සංවර්ධන සැලැස්මක් අවශ්‍ය ඇයි?


වසර 2025 සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය, සංශෝධන කිපයක් සමගින්, වැඩි ජන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. ඒ අනුව, ඉදිරි මාස 8 ක කාලය තුළ දී එම අයවැය ක්‍රියාත්මක වීමට නියමිතය. සාම්ප්‍රදායිකව, අයවැය ඉදිරිපත් කිරීමේ සිට එය සම්මත වීම දක්වා කාලය තුළ අයවැයට අදාළව බොහෝ දෙනකු ඉහළ උනන්දුවක් දැක්වුවත් ඉන් පසු කාලය තුළ දී, එනම් ක්‍රියාත්මකම සිදුවන අවස්ථාවේ දී, අයවැය වැඩසටහන් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකෙරේ.

අයවැයේ ගුණදොස් විමසීම සිදු කරනුයේ යෝජීත ආදායම් හා වියදම් යෝජනා පිළිබඳව මිස සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන යෝජනා පිළිබඳව නොවේ. එහිදී සිදුකරනු ලබන මූලික උපකල්පනය වනුයේ යෝජීත සියල්ල ඒ අයුරින්ම ක්‍රියාත්මක වේය යන්න වීමට පුළුවන. එහෙත් අතීත අත්දැකීම වනුයේ ඊට හාත්පසින්ම වෙනත් වූ තත්වයකි. අයවැය වැඩසටහන් ක්‍රියාත්මක වීමට අදාළව සාම්ප්‍රදායිකව පවතින ගැටලු ගණනාවක් ඇත. මේ නිසාම ඇතමෙක් වර්තමානයේ දී අයවැය ඉදිරිපත් කරනු ලබන අවස්ථාවේ දී එහි ගුණදොස් විමසීමට ඉදිරිපත් නොවෙති. මෙම ලිපියේ අරමුණ වන්නේ සාම්ප්‍රදායිකව අයවැය වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු කිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම වේ. එම තත්වය පිළිබඳව නිසි අවධානයක් යොමු කිරීමෙන් මෙවර ඇයවැය වඩා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි සිතිය හැකිය.

 

ආදායම් ඉලක්ක

පසුගිය අයවැය වාර්තාවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ අයවැය මගින් අපෙක්ෂා කරනු ලබන රාජ්‍ය අදායම් ඉලක්ක ළඟාකර ගැනීමට අපොහොසත් වීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 සිට මේ දක්වා වූ සෑම වර්ෂයකටම අදාළව රජයේ ආදායමට අදාළව අධි-තක්සේරු කිරීමක් දැකිය හැකිය. පුරෝකථන දෝෂය සියයට16.9 පමණ ඉහළ මට්ටමක පවති. වෙරිටේ පර්‌යේෂණ ආයතනයට අනුව සාමාන්‍යයක් වශයෙන් ගත්කල රජය අයවැය මගින් අපේක්ෂිත ආදායමෙන් සියයට12 පමණ ප්‍රමාණයක් රැස් කර ගැනීමට අපොහොසත්ව ඇත. ඒ අනුව ගත්කල මෙවර අයවැයෙන් අපේක්ෂිත ආදායම ළඟාකර ගැනීමට හැකිවේද ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් පවති. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් අපේක්ෂා කරනු ලබන අතර ඊට ළඟාවීම සඳහා, 2024 ට සාපේක්ෂව, බදු ආදායමේ සියයට24 ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. මෙම අමතර බදු ආදායම විශාල වශයෙන්ම රැස් කිරීමට අපේක්ෂා කරනුයේ වාහන ආනයනය හරහා ලැබෙන තීරුබදු සහ අනෙකුත් බදු මගින් වේ. වාහන ආනයනය මේ වන විට ලිහිල් කර ඇතත් දැනට පවතින දත්ත මගින් පෙනී යන කරුණක් වන්නේ අපේක්ෂා කළ මට්ටමේ ඉහළ ඉල්ලු‍මක් වාහන මිලදී ගැනීම සඳහා නොපවතින බවයි. පෞද්ගලික වාහන සඳහා පනවා ඇති ඉහළ බදු මට්ටම් ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව වන අතර ඊට අමතරව ඉදිරියේ දී මෙම ඉහළ බදු මට්ටම් පහත වැටෙනු ඇතැයි කල්පනා කරනු ලබන අය ද සිටිති. හේතුව කොයි හැටි වෙතත් යම් හෙයකින් වාහන ආනයනය මගින් අපේක්ෂා කරනු ලබන බදු ආදායම නොලැබී ගියහොත් අපේක්ෂිත ආදායමට ළඟාවීමට රජය‍ට නොහැකි වනු ඇත. සාම්ප්‍රදායිකව එවැනි තත්ව වලදී ආණ්ඩු ක්‍රියාකළ ආකාර කිපයක් ඇත. ඒ අතර ප්‍රාග්ධන වියදම් කපා හැරීම, අමතර ණය ගැනීම, සහ කඩිමුඩියේ අමතර බදු පැනවීම සඳහන් කළ හැක. අයවැය හිඟය තවදුරටත් පුළුල් වීමට ඉඩදිය නොහැකි වන අතර මේ නිසා රජයට විකල්ප කීපයක් පමණක් පවති. එබැවින්, අපේක්ෂිත බදු ආදායම නොලැබී යාමේ අවදානම පිළිබඳව දැන් තියාම රජය අවධානය යොමු කර ඊට අවශ්‍ය පියවර ගැනීම වඩාත් යෝග්‍ය බව සඳහන් කළයුතුව ඇත. විශේෂයෙන්ම වත්කම් මත වූ බද්ධ හඳුන්වා දීම කඩිනමින් සිදුකිරීම එහිලා වැදගත් වනු ඇත. එසේම බදු අයකිරීම කාර්යක්ෂම කිරීමේ වැඩසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ද යෝග්‍ය වේ.

 

ප්‍රාග්ධන වියදම් සපුරාලීම

රජය මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 1,304 ක මුදලක් වෙන්කර ඇති අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ප්‍රමාණයක් වේ. ආර්ථික අර්බුදයට පෙර කාල සීමාව සමග සැසිදීමේ දී තවමත් රාජ්‍ය ප්‍රාග්ධන වියදම පවතින්නේ පහළ මට්ටමකය. මෙහිදී වැදගත් වන කරුණ වන්නේ මෙම ප්‍රාග්ධන වියදම නිසි පරිදි යෙදවීම සහතික කිරීමේ අවශ්‍යතාවයි. සාම්‍ප්‍රදායිකව අපට ඇති අත්දැකීම වන්නේ රාජ්‍ය අයවැය මගින් ප්‍රාග්ධන වියදම් වෙන් කෙරුණ ද වසර අවසානය වනවිට සත්‍ය වශයෙන්ම එම වියදම් සිදුව නොමැති වීමයි. මේ සඳහා බලපානු ලබන කරුණු ගණනාවක් පවති. ඒ සඳහා මීට පෙර සඳහන් කළ අපේක්ෂිත ආදායම් ඉලක්කවලට ළඟා නොවීම මෙන්ම ප්‍රාග්ධන වියදම් කාල පමාවකින් යුතුව අදාළ අමාත්‍යංශවලට ලැබීම, මිලදී ගැනීමේ ක්‍රියාවලියේ කල්ගත වීම්, රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම, මෙන්ම ව්‍යාපෘති නිසි පරිදි සැකසී නොමැතිකම සඳහන් කළ හැක.

පසුගිය කාලයේ දී, බොහෝ අමාත්‍යංශවලට ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් ලැබෙනුයේ වසර අවසානය ආසන්න වත්ම වූ අතර එවැනි ප්‍රමාද හේතුවෙන් එක්කෝ එවැනි වියදම් දැරීම සිදු නොකළ අතර යම් හෙයකින් වියදම් දැරීමට තීරණය කළේ නම් එවැනි වියදම් ඵලදායී ලෙස සිදුකිරීම වැළකිණ. වර්තමානයේ පවත්නා ආර්ථික වටපිටාව තුළ රාජ්‍ය ආයෝජන අතිශය වැදගත් වන අතර මේ නිසා රජය වෙන්කර ඇති ප්‍රාග්ධන මුදල ඵලදායී ලෙස යෙදවීම සඳහා පියවර ගැනීම වැදගත් වේ.

 

රාජ්‍ය ආයෝජන

විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් නිසි පරිදි සිදු කිරීමට ඇති බාධා ඉවත් කළ යුතුය. වර්තමානය වන විට විදේශ ආයෝජන අද්දවා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් දක්නට නොමැති අතර දේශීය පෞද්ගලික අංශය ද නව ආයෝජන සඳහා ඉහළ උනන්දුවකින් ඉදිරිපත් වීමක් ද දක්නට නොමැත. එවන් තත්වයක් යටතේ සීමිත වුවත් වෙන්කර ඇති රාජ්‍ය ප්‍රාග්ධන වියදම් නිසි පරිදි යෙදවීම සහතික කළ යුතුව ඇත. අවධානය යොමු කළ යුතු තවත් අංශයක් වන්නේ රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමය. ලෝක බැංකු දත්තවලට අනුව රාජ්‍ය ‍අයෝජනවල කාර්යක්ෂමතාව 0.78 ක් වන අතර පෞද්ගලික අයෝජනවලට අදාළව එම අගය 1 ක් වේ. ඒ අනුව, නාස්තිය, වංචා දූෂණ පිටු දැකීම මෙන්ම නිවැරැදි මිලදී ගැනීම් මෙන්ම ව්‍යාපෘති නිසි අයුරින් ඇගැයීම මගින් රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට ඉඩකඩ සැලසේ.

 

අයවැය පසුවිපරම

අයවැය යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව පසුවිපරම අතිශය වැදගත් වේ. පෙර සඳහන් කළ පරිදි, අපගේ අතීත අත්දැකීම් වන්නේ ඇතැම් අයවැය යෝජනා ක්‍රියාත්මක වීමක් සිදු නොවන අතර තවත් කොටසක් ක්‍රියාත්මක වන්නේ යෝජනා වූ ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව තොරතුරු ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බව වෙරිටේ පර්‌යේෂණ ආයතනය අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. මෙම තත්වය යහපත් රාජ්‍ය මූල්‍ය පාලනයක් පවත්වා ගැනීමට හානිකරන අතරම අයවැය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ඇති කරලීම සඳහා ද අයහපත්ව බලපානු ලබයි. එබැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක වීමට අදාළව තොරතුරු නිසි පරිදි ජනගත කිරීමට කටයුතු කිරීම අදාළ අමාත්‍යංශවල ප්‍රමුඛතම කාර්යයක් බව සිහිපත් කළ යුතු වේ. අයවැයට අදාළව ක්‍රියාත්මක වන ව්‍යාපෘති සුපරීක්ෂණය සහ ඇගැයීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍යවන පියවර ගැනීම වැදගත් වේ.

 

ආර්ථික පරිවර්තන පනත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වසරක වැඩසටහනේ හරි අඩක් මේ වනවිට අවසන් කර ඇති අතර එමගින් අපේක්ෂා කළ පරිදි කෙටි කාලීනව ආර්ථිකයේ ස්ථායීකරණ අරමුණු ළඟාකර ගැනීමට සමත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂා ද අභිබවා ආර්ථිකයේ යහපත් ගති ලක්ෂණ, පහළ උද්ධමනය, ඉහළ විදේශ සංචිත සහ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම, ආර්ථික වර්ධනය වේගය ඉහළ යාම වැනි, ඇතිකර ගැනීමට 2024 මැද භාගය වනවිට හැකිවීම රට ලැබු ජයග්‍රහණයකි. එමෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කිරීම ද මෙහිලා සඳහන් කළ යුතුව ඇත. එවන් පසුබිමක පසුගිය රජය ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කළ අතර එම පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වීමත් සමග එය රටේ නීතියක් බවට පත් විය. එමගින් ඉලක්ක ගණනාවක් අත්කර ගැනීම අපේක්ෂාව විය. ඊට අදාළව දැනට අයෝජන, අපනයන සහ කාර්මීකරණය ප්‍රවර්ධනය සඳහා පවත්නා ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන ලදි. ආර්ථික කොමිසමක් පිහිටුවීම, ඵලදායීතා කාර්යංශයක් පිහිටුවීම, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ ආයතන පිහිටුවීම මෙමගින් යෝජනා විය. නව රජය පත්වීමත් සමග මෙම පනතේ ඉරණම කුමක් වේවිද යන්න පිළිබඳව කුකුසක් පැවතියත් අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ එම පනත සංශෝධන සහිතව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන බවයි. ඒ අනුව බොහෝ දෙනෙක් අයවැයට සමගාමීව එම ‍සංශෝධන මොනවා ද යන්න ඉදිරිපත් වේවියැයි අපේක්ෂා කළද එවැන්නක් සිදුනොවීම කනගාටුවකි. 

2028 න් ආරම්භවන ණය ආපසු ගෙවීම ජනතාවට අපහසුවක් නොවන අයුරින් සිදුකිරීමට නම් අත්‍යවශ්‍යයෙන්ම අප අපනයන මත පදනම් වූ ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟාකර ගතයුතුව ඇත. යම් හෙයකින් එවැනි මට්ටමක් ළඟාකර ගැනීමට අපොහොසත් වුවහොත් ඇතිවන තත්වය පිළිබඳව පුරෝකථනය කිරීමෙන් පළක් නොවන මුත් ණය අර්බුදවලට මුහුණ දුන් රටවල අත්දැකීම්වලින් ප්‍රකාශ වන මූලික කරුණක් වන්නේ බොහොමයක් රටවල් ණය ගෙවා ගැනීමට ඇති හැකියාව තිරසාරව සකස් කර ගැනීමට අපොහොසත් වු බවයි. ගෝලීය ආර්ථිකය පෙර නොවු විරූ අයුරින් වෙනස්කම්වලට භාජන වෙමින් පවතියි. එවන් පසුබිමක තුළ අපනයන ප්‍රවර්ධනය සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා පවතින ඉඩකඩ සීමාවීමට පුළුවන. එබැවින් ආර්ථිකයේ අත්‍යවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට තවදුරටත් කල්මැරීම යෝග්‍ය නොවන බව සඳහන් කළ යුතුව ඇත.

විශේෂයෙන්ම පවත්නා ආයතනික ව්‍යුහය තවදුරටත් එලෙසම හෝ ආන්තික ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවත්වා ගෙනයාම මගින් ආර්ථික කාර්යසාධනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන්නා වූ දිරිදීම් ලබා දීමේ හැකියාවක් නොමැත. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය, රාජ්‍ය සේවය, ශ්‍රම වෙළෙඳපොළ නීතිරීති, සාධක වෙළෙඳපොළ (ඉඩම් අයිතිය) මෙන්ම අනෙකුත් කේෂ්ත්‍ර‍ ද රැඩිකල් වෙනස්කම්වලට භාජන කළ යුතුව ඇත. ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාව තුළ සිදුකරමින් පවතින ආකාරයේ රැඩිකල් ප්‍රතිසංස්කරණ සඳහා අප ද ගමන් කළ යුතුව ඇත. ඒ සඳහා අත්‍යවශ්‍ය දිගුකාලීන ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් සහ ඒ සමග ගමන් කරන ජාතික සංවර්ධන සැලස්මකි.

(***)