ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. ආදායම පිරිහී ඇති අතර විනිමය හිඟය විදේශ වෙළඳ කටයුතු අඩාල කර තිබේ. දේශීය හා විදේශීය ණය අර්බුදය කළමනාකරණය කිරීම සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොදු ජනතාවගේ පැවැත්ම දුෂ්කර අතට හැරී ඇත. අතට ලැබෙන ආදායම එදිනෙදා වියදමට නොසෑහෙන ස්වාභාවයක් නිර්මාණය වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනපතා ඉහළ යන අතර වෙළඳපොළ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ගන්නා උත්සාහය අනිටු ප්‍රතිඵල ඇති කර තිබේ.
ආහාර, ඖෂධ, බලශක්ති පිරිවැය ඉහළ නැගීම ගැන කම්පාවට පත්ව ඇති ජනතාව, පීඩාකාරී ක්‍රමය වෙනස් කරන ලෙස බලකරමින් සිටී. ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත වූ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී සිටින අතර ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා තීරණ හේතුවෙන් ජනතාව තවදුරටත් අසීරු තැනකට පත්වෙමින් සිටින බව සඳහන් කළ යුතුය.
ආර්ථිකය ස්ථාවර කරන්නට ගන්නා ක්‍රියාමාර්ග හමුවේ, දුප්පත් ජන කොටස වඩාත් පීඩාවක පසුවන අතර මැදි ආදායම් මට්ටමේ ජන කොටස දුප්පත්භාවයට පත්ව සිටිති. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල සිටින විශාල පිරිසක් නිවාස ඉදිකිරීමට ගත් ණය සහ අධ්‍යාපන කටයුතු සඳහා කරන වියදම සමග ජීවිත්වීමේ අරගලයක පසුවෙති.
දේශපාලනඥයන් කෙරෙහි අප්‍රසාදයකින් පසුවෙති. ආර්ථිකය දියුණු කිරීම අරමුණු කරගෙන තීරණ ගත යුතුව තිබේ. දුප්පත් ජන කොටස්වලට සහන ලබාදිය යුතුවේ. ‘‘අස්වැසුම’’ නමින් ආධාර ක්‍රමයක් හඳුන්වා දී ඇති නමුත් එම ආධාර නොලැබෙන, පිළිසරණක් නැති පිරිස වෙත ආර්ථික වර්ධනයක් තුළින් පරිවර්තනයකට ඉඩ සලසා දිය යුතුය.
දුෂ්කර කාල පරිච්ඡේදය අවසන් වන දිනයක්
ජීවත්වීම සඳහා කරන අරගලය වගකිවයුතු අංශවල සැලකිය යුතු අවධානයට ලක්විය යුතු කරුණකි. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සෑහෙන කැපවීමක් කර තිබේ. මෙම කැපවීම කෙළවර දියුණුව ළඟාකර ගත හැකි නම් ප්‍රශ්නයක් නැත. යහපත් දිසාවකට ගමන් කිරීම ආරම්භ වුවහොත් අපේක්ෂා මල්ඵල ගැන්වේ. පසුගිය දශක ගණනාව තුළ ජනතාව සෑහෙන කැපකිරීම් කර තිබේ. ආර්ථිකයද ස්ථාවර කර වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවිය. මෑත කාලය තුළ මුහුණ දුන් සිද්ධි සහ ඒවාට මුහුණදීමේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිවල දෝෂ අද පවතින අස්ථාවර ආර්ථිකයට හේතු විය. එකිනෙකාට දෙ ාස් පැවරීම, චෝදනා කිරීම උත්තරය නොවේ. අභියෝග මැඩ, වර්ධනයක් කරා ගමන් කිරීමට ගත යුතු පියවර ගණනාවකි. ස්ථාවර කළ ආර්ථිකය තුළ ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ එයින් ප්‍රධානය. වෙනස්කම් සඳහා ප්‍රතිපත්ති තීරණ ගතයුතුව තිබේ. ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනුවෙන් ජනප්‍රිය භාවය තකා ක්‍රියා කළහොත් නැවත පුරුදු චක්‍රයට ගොදුරුවීම වැලැක්විය නොහැක.
මුල්‍ය අරමුදලේ යෝජනා අනුව ආර්ථිකය ස්ථාවර කරන පියවර සමග ප්‍රතිසංස්කරණ ඔස්සේ ආදායම නංවන සැලැස්මක් අවශ්‍යය. ජාත්‍යන්තරයේ පවතින නවීන, තරගකාරී ආර්ථික ක්‍රමවේද සලකා බැලිය යුතු අතර යල්පැනගිය ක්‍රම බැහැර කළ යුතුවේ. සටන්පාඨ දේශපාලනයෙන් රටටත් ජනතාවටත් අමතක නොවන අත්දැකීම් ලැබී ඇත. ක්‍රමය වෙනස් කිරීම වෙනුවට මුහුණු වෙනස් කරන තීන්දුවලින් අනාගතය සාක්ෂාත් කරන්නේ නැත.
ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට අසූවක ප්‍රතිශතයක් රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කෙරේ. සියයට හැත්තෑවක පමණ ප්‍රතිශතයක් ණය පොලිය වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇත. මෙම අංශ දෙක පමණක් සලකා බැලීමේ දී පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ පා ඇති ඉරණම පැහැදිලිය. ජාතික ආදායම නොසලකා දිගින් දිගටම අනුගමනය කළ ප්‍රතිපත්ති අද උද්ගතව ඇති තත්ත්වයට හේතු වී ඇත. ස්ථාවර කරන ලද ආර්ථිකයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු අතර සාර්ථකව ක්‍රියාවට නංවන්නට නොහැකි වූ අංශයකි. දැනට පවතින රාමුව තුළ යැපෙන, වෙනස්කම්වලින් පසු තමන්ගේ පැවැත්මට තර්ජනයක් වනු ඇතැයි කල්පනා කරන සුළු පිරිස විසම චක්‍රය බිඳින්නට ඉඩ දෙන්නේ නැත. අසීරු තීරණ ගතහොත් සමස්ත රටවැසියන්ටම ප්‍රතිලාභ අත්වේ. පටු ආකල්ප සහිත දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති හා සේවක පිරිස් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජය තුළ භීතියක් ඇති කර තිබේ. අනවශ්‍ය බිය සමාජයට ඇති කරන මිථ්‍යා මත විසුරුවන මාධ්‍ය පවා මෙහි දී වහල් කරගෙන ඇත. අර්බුදයෙන් ගැලවීම සඳහා උපකාරී විය හැකි අංශ ගැන සමාලෝචනය කර, සත්‍ය තොරතුරු අනාවරණය කිරීම බුද්ධිමතුන් සතු වගකීමකි.
වියදම ආවරණය කරන ප්‍රතිපත්තියක බර
වියදම පාලනය කිරීමේ පියවරක් වශයෙන්, රාජ්‍ය ව්‍යවසාය පිරිවැය ආවරණය කරන ගාස්තු වියදම ක්‍රමයකට හරවා ඇත. ඛනිජ තෙල්, විදුලිය, ජලය, ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වරින්වර සංශෝධනය කරන අතර මෙම ව්‍යවසායවල අකාර්යක්ෂමතාව, කළමනාකරණ දුර්වලතා, දූෂණ හා නාස්තිය වැනි සියලු බර පාරිභෝගිකයන්ට පවරා ඇත. විදුලිය ඒකකයක් නිපදවන්නට වැයවන මිල සලකා ගාස්තු අය කිරීම හෝ ඉන්ධන ගෙන්වන්නට දරණ පිරිවැය සලකා ගාස්තු නියම කිරීම තුළ පාරිභෝගිකයන්ට සිදුවන අවාසිය නොසලකා හැරීම සුදුසු තත්ත්වයක් නොවේ. නවීන තාක්ෂණය හා නවතම උත්පාදන ක්‍රම භාවිත කරන ජගත් ප්‍රජාව බලශක්තිය සඳහා වියදම අවම කරන ක්‍රම භාවිත කරයි.
ඉන්දියාවේ විදුලිය ඒකකයක මිල ශ්‍රී ලංකාවට වඩා තුනෙන් දෙකක් අඩුය. දුරකතන දත්ත සඳහා ගාස්තු අඩුම රටවල් අතින් එකක් බවට ඉන්දියාව පත්ව ඇත. ඛනිජ තෙල්, ගෑස් අඩු මිලට ලබාදීම අරමුණු කරගෙන අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇත. බලශක්ති පිරිවැය අඩුවන විට සමාජයට ප්‍රතිලාභ අත්වේ. පොදු ප්‍රවාහනයේ දී අඩුම ගාස්තු අය කෙරේ. බස් රථවල කාන්තාවන්ට ගාස්තු අය කරන්නේ නැත. රජය ව්‍යාපාර මෙහෙයයැවීමෙන් ඉවත් වී ඇති අතර ප්‍රධාන ආර්ථික මර්මස්ථාන පවා පෞද්ගලික අංශයට පවරා ඇත. මෙවැනි තීරණ ගත හැකි පරිදි ඉන්දියාව ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණ ගැනීමෙන් පසු එරට සංවර්ධන වේගය ඒවායේ වැදගත්කම හුවා දක්වයි.
රාජ්‍ය ආයතන ආරක්ෂා කරගෙන, ඒවායේ දුබලතා වෙනුවෙන් වන්දිගෙන, ශ්‍රී ලංකාවේ ජනතාව ලෝකයේ අනෙක් රටවල සිදුවන තරගකාරී ක්‍රමවේද අධ්‍යයනය කළ යුතුය. ඇතැම් දේශපාලනඥයන් සහ විරුද්ධ පක්ෂ රජයට අයත් ආයතන ජාතික සම්පත් බව හඳුන්වමින් සිටී. ඒවායේ දුබලතා ආර්ථිකයට කරන හානිය හා ජනතාවට එල්ල කරන පීඩනය අධ්‍යයනය කළ යුතුව තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශයේ අත්පත් කරගෙන ඇති දියුණුව සලකා බැලීම සුදුසුය.
මෙහි දෙවැනි පියවරක් සඳහා තීරණ ගැනීමෙන් පස්වැනි පරම්පරාවේ වේගවත් දත්ත සම්ප්‍රේෂණය සහිත නවීනතම පහසුකම් පාරිභෝගිකයන්ට අත්පත් කරගත හැක. පවතින රාමුව වෙනස් කරන්නට කැමැති නැති, එම ක්‍රමයේ ගැලී එයින් වාසි ලබන සුළු පිරිසක් රටට බරපතළ අනර්ථයක් සිදුකරන බව තේරුම්ගත යුතුය. ආර්ථිකය ස්ථායී කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණ පියවර මගින් අලුත් ව්‍යුහයක් නිර්මාණය කරගත යුතුව තිබේ.
ආයෝජන ප්‍රමාණවත්ව නොලැබෙන්නට හේතුව?
ආදායම වර්ධනය කරගෙන ආර්ථිකය වේගවත් කිරීම සඳහා ආයෝජන අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර බහුල කළ යුතු අතර නිෂ්පාදන අපනයනය කරන සැලැස්මක් රටට අවශ්‍යය. දේශීය හෝ විදේශීය ව්‍යවසායකයන්ට අලුත් ආයෝජන සඳහා ඉඩකඩ වුවමනා කෙරේ. එමගින් රැකියා අවස්ථා ඇතිවේ. රජයේ බදු ආදායම වැඩිකරගත හැක. අලුත් තාක්ෂණය රටට ලැබේ. දැනට පවතින සංකීර්ණ බදු ක්‍රම, නිලධාරීවාදය හා ආයතන අතර අන්තර් සම්බන්ධතා රහිතභාවය ආයෝජන හිතකර තත්ත්වයක් නොවේ.
ව්‍යාපාරවලට විශාල බදු පනවා ඇත. ඒවායේ සේවය කරන කළමනාකරුවන්ට උපයනවිට ගෙවන බදුවැඩි කර ඇති අතර, ආවරණය කරගැනීම සඳහා අධික වැටුප් ගෙවීමට සිදුවේ. දක්ෂ පිරිස් මෙම ගැහැට ඉවැසිය නොහැකිව වෙනත් රටවල අවස්ථා සඳහා පිටත්ව යති. විදුලිය, ඛනිජ තෙල් හා ජල ගාස්තු අනුව කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා අංශවලට වියදම ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න වෙනස් ආකාරයකින් ව්‍යාපාර හා කර්මාන්තවලට බලපා ඇත. ආයෝජනය කිරීම වෙනුවට බැංකුවක මුදල් තැන්පත් කර පොලිය ලබාගැනීමට හැකියාවක් ඇත.
වෙනත් රටවල අඩු පිරිවැයකින් කර්මාන්ත ඇරඹිය හැකි අතර බංගලාදේශය සහ වියට්නාමය එයට උදාහරණයකි. පසුගිය වසරේ බංගලාදේශයේ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පනහකි. ශ්‍රී ලාංකිකයන් ගණනාවක් එහි ඇඟලුම් කම්හල් පවත්වාගෙන යති. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළ නොහැකි නමුත් බංගලාදේශයට ව්‍යාපාර ගෙනයෑම පිළිබඳව සොයා බැලිය යුතුය.
ආයෝජනවලින් අලුත් රැකියා අවස්ථා ලැබේ. සමාජයේ ස්ථාවරභාවය ඇතිවේ. ශ්‍රී ලංකාව කුඩා වෙෙළඳපොළක් හෙයින් ආයෝජකයන්ගේ අවධානය අඩුය. අන්තර් ජාතික සබඳතා හා වෙළඳ ගිවිසුම් අනුව මෙරට කර්මාන්තවල නිෂ්පාදන අපනයනය කළ හැකි පරිදි තරගකාරී ව්‍යවසායකත්වයකට ඉඩ දිය යුතුය.
ශ්‍රී ලංකාව තවමත් කුඩා ආර්ථිකටකට සීමා වී තිබේ. මැද පෙරදිග රටවල ඇතුළු විදේශ රටවල සේවය කිරීම අපනයන ආදායම උත්පාදනය වන ප්‍රධානතම අංශය බවට පත්ව ඇත. විදේශගත ශ්‍රමිකයන් රටට එවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ වේ.
ඇඟලුම් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ උපයන නමුත් එයින් ඩොලර් බිලියන තුනක් පමණ අවශ්‍ය උපකරණ හා රෙදි ආනයනයට වැයවේ. තේ කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. පසුගිය වසරේ සිට තොරතුරු තාක්ෂණ අංශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ ලැබේ. සංචාරක අංශයේ ආදායම ස්ථිර නැත. මෙම විදේශ ආදායමෙන් පමණක් රටක් ඉදිරියට ගෙන යන්නට හැකියාවක් නැත. ආනයන නතරකර විදේශ ණය ගෙවීම පවා අත්හිටුවන්නට සිදුවීම මෙහි ප්‍රතිඵලයකි.
නිෂ්පාදන ආර්ථිකයකින් උත්තර සොයාගැනීම
දැනට අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව ආර්ථිකය කුඩා කර පාලනය කරමින් සිටී. ආනයනය සීමා කරන අතර අධික බදු නියම කර තිබේ. මෙහි දී මහජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී ඇත. ආර්ථිකය කුඩා කරන ප්‍රතිපත්තියකින් රටක් සංවර්ධනය කළ නොහැක. ආර්ථිකය ප්‍රසාරණය කරන අතර වැඩි දෙනෙකුට සහභාගීවිය හැකි සක්‍රීය ස්ථානයක් බවට පත් කළ යුතුවේ.
කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල පරිවර්තනයක් සිදුවිය යුතුය. මෙවැනි වෙනස්කම් ඉලක්ක කරගත් සංකීර්ණ යෝජනා සඳහා වහාම පියවර ගත යුතුව ඇත. එම තීරණ ගැනීම පහසු නැත. ආර්ථිකය ප්‍රසාරණය කරන ප්‍රතිසංස්කරණ තිබිය දී මහජනතාව මත බර පටවන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි අතර ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න උහුලන්නට නොහැකි මොහොතක් උදාවන බව අමතක කළ යුතු නැත.
ආර්ථිකය ස්ථාවර කර ප්‍රතිසංස්කරණ සඳහා තීරණ ගැනීමේ දී ක්‍රම දෙකක් අනුගමනය කළ හැක. ඉක්මනින් තීරණ ගෙන වහාම ක්‍රියාත්මකවුවහොත් ආර්ථික වර්ධනය ඉක්මන්ය. මෙහි දී ආණ්ඩුවට පමණක් නොව ජනතාවට ද තරමක පීඩනයක් දැනෙන නමුත් එය කෙටිකාලයකට පමණකි. අනෙක් ක්‍රමය අනුව වහාම තීරණ නොගෙන පියවරෙන් පියවර ඉදිරියට යා හැකිවේ. ඉන්ධන මිල වාර කිහිපයකින් සංශෝධනය වේ. විදුලිය ගාස්තු හෝ පොලී අනුපාත සංශෝධන එකවර කරන්නේ නැත. මෙහි දී ජනතාවට පීඩනය ක්‍රමානුකූලව දැනෙන බැවින් ඉවසන්නට හුරුවේ.
එහෙත් මෙහි භයානක පැත්තක් ඇත. අවශ්‍ය කරන සංවර්ධන වේගය ලබාගෙන ආර්ථිකය සක්‍රියවීම සඳහා දීර්ඝ කාලයක් ගතවේ. එහි දී පොදු ජනතාවට සෑහෙන කාලයක් පවතින දුෂ්කරතා උහුලන්නට සිදුවනු ඇත. මෙම කාලය තුළ දේශපාලන වෙනස්කම් සිදුවුවහොත් නැවතත් ගමන මුල සිට ආරම්භ කරන්නට සිදුවීම තවත් අනතුරකි. අලුතින් බලයට පත්වන පක්ෂය නැවතත් අත්හදා බැලීම් කරන අතර පැරණි පාඩම් නැවත නැවතත් ඉගෙනගන්නා ජනතාව තවත් වටයකින් දුප්පත්භාවයට පත්වෙනු නිසැකය.
රටට අවශ්‍ය නවීන යුගයට ගැලපෙන ලෝක වෙළඳපොළට ප්‍රවේශ විය හැකි නිෂ්පාදන ආර්ථිකයකි. අලුතින් කර්මාන්ත හා සේවා බහුල කළ යුතුය. අපනයනය අරමුණු කරගෙන තරගකාරීව ක්‍රියා කළ යුතු අතර එයට අවශ්‍ය පහසුකම් සැපයීම ආණ්ඩුවක වගකීමකි. කර්මාන්ත හා ව්‍යාපාර සඳහා සහන වෙනුවට ලෝකයේ අනෙක් රටවල පවතින රාමුව අනුව පසුබිම සකස් කිරීම ප්‍රමාණවත්ය. පිරිවැය අඩු තාක්ෂණික ක්‍රම සඳහා අවස්ථා ඇති කළ යුතුවේ. රට තුළ ප්‍රමාණාත්මකව යටිතල පහසුකම් පවතී. වැඩ කරන්නට දක්ෂ මානව සම්පතක් ඇත.
තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නට ආණ්ඩුව පියවර ගත යුතු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කරගැනීම සුදුසුය. ආණ්ඩුවේ හා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල බල අරගලය හේතුකොටගෙන විපතට පත්ව ඇති ජනතාව දෙස අවධානය යොමු කළ යුතුවේ. තමන්ට ජනවරම එනතෙක් අනාගතය අවහිර කිරීම වෙනුවට ජනවරම ලබාගැනීම අරමුණු කරගෙන හොඳ ජීවන මට්ටමක් සහිත ජන සමාජයක් බිහිකිරීමට එක්සත්වීම මෙම තීරණාත්මක අවස්ථාවේ දී වැදගත්ය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.
මිලින්ද මොරගොඩ