සංස්කෘතික අරමුදලේ මුදල් කාබාසිනියා කිරීම


ජනතාවගේ මුදල් නූලට තිතට හා වගකීමෙන් යුතුව විය පැහැදම් කිරීම රාජ්‍ය පාලනයේ යහපත් බව ප්‍රදර්ශනය කිරීමකි. නාම පුවරු,  බෝඩ් ලෑලි හා ප්‍රතිපත්ති ප්‍රකාශනවල බොහෝ සාර සංකල්ප සඳහන්ව තිබුණද ඒවා නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින් රටට  දුගතියක් මිස සුගතියක් නොවේ. නමින් යහ පාලනය වූ 2015-2019 යුගයේ රජය කර ඇති තක්කඩිකමක් ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා ඉකුත්දා හෙළි කළේය. රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ යහපාලන රජයේ සංස්කෘතික කටයුතු බාරව සිටි අමාත්‍යවරයා සංස්කෘතික අරමුදලේ කෝටි 2500ක් කාබාසිනියා කර ඇති බවය.

රටක උරුමය එම රට සතු සංස්කෘතිය වේ. පුරාවිද්‍යාත්මක වස්තු, සාම්ප්‍රදායික කලාවන් මෙන්ම වගාවන්ද එම සංස්කෘතියට අයත් වේ. අපගේ ජීවන විලාශය තීරණය කරනු ලබන්නේ එම සංස්කෘතික උරුමයේ බල මහිමයෙනි. එමෙන්ම අපගේ ප්‍රෞඪත්වය, විශිෂ්ටත්වය රැඳී තිබෙන්නේද එම සංස්කෘතිය මතය. එම උරුමය වර්තමානයට මතු නොව අනාගතයට ද සුරක්ෂිත කර දායාද කරවීම රට කරවන  ඇත්තන්ගේ වගකීමය.

ජාතික  අධ්‍යාත්මය හා ඍජුව බැඳුණු අමාත්‍යාංශයක් වුවද සංස්කෘතික අමාත්‍යාංශයට ඉතිහාසයක් පුරා ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. එය දෙවැනි පන්තියේ නොව තුන්වැනි පන්තියේ අමාත්‍යාංශයක් ලෙස ගණන් බැලීමකි. තමන් නුරුස්නා කෙනකුට …පුදන අමාත්‍යාංශයක් හෝ කල දුටු කල වළ ඉහ ගන්න කැමති තමන් සමීපතමයකුට හෝ පුදන අමාත්‍යාංශයක් බවට සංස්කෘතික අමාත්‍යාංශය පත්ව තිබේ.

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසන්නේ සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 2500ක් හිටපු අමාත්‍යවරයා කාබාසිනියා කර ඇති බවය. එයින් කියැවෙන්නේ සංස්කෘතික අරමුදලේ  පරමාර්ථවලට නොව වෙනත් පරිබාහිර දෙයට එම මුදල් වියදම් කර ඇති බවය. එසේ වියදම් කර ඇත්තේ කුමකටදැයි රාජ්‍ය ඇමතිවරයා අනාවරණය  කර තිබුණේ නැත. කෙසේ වෙතත් එම සංස්කෘතික අරමුදලේ මුදල් පෝස්ටර් ගැසීමට, කටවුඩ් ගැසීමට, වේදිකා තැනීමට හෝ තම හිතමිත්‍රාදීන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරන්නට ඇතැයි සාමාන්‍ය ජනයාට නොසිතුණොත් පුදුමය.

අපගේ සංස්කෘතික උරුම විනාශ මුඛයේ  බව වසන් කළ නොහැකි සත්‍යයකි. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන නිදන් හොරුන්ගේ සිට විවිධ චෞර  කප්පිත්තන්ගේ ග්‍රහණයට හසුවී ඇති අතර පුරා විද්‍යාත්මක භූමි අනවසර ඉදිකිරීම් ආදි නොමනා ක්‍රියා නිසා විනාශයට පත් වෙමින් තිබේ. මෙම තත්ත්වය තුරන් කළ යුතුය. එයට දියුණු  විද්‍යාත්මක වැඩ  පිළිවෙළක් අවශ්‍ය වේ. සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කළ යුත්තේ ඒවාටය. එසේ නොවී පරිබාහිර දෙයට නොවේ.

සංස්කෘතික අරමුදල  කාබාසිනියා කර ඇතැයි ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා තවත්  වැදගත් කරුණක් අනාවරණය කර තිබිණි. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ  නියෝජිතයන් හමුවේ රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට  හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවය. එමෙන්ම ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේදී අදාළ  නීති සියලු ජන වර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පළාත් කිහිපයක මහජනතාව එම කාර්ය සාධක බළකායට තොරතුරු ලබාදී ඇති බවද එම හමුවේ දී ප්‍රකාශ කෙරුණු බව ඒ සම්බන්ධ අප පුවත්පත පළවූ වාර්තාවේ  සඳහන්ය.

පුරා විද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම  පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි. සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන රටක් ලෙස මෙම තත්ත්වය සුළුවට නොගත යුතුය.  පන්සලේ පිං කැටයටත් බදු ගැසිය යුතු යැයි කියූ සංස්කෘතික ඇමැතිවරුන් සිටි රටක සංස්කෘතික අරමුදලේ මුදල් කාබාසිනියා කළ සංස්කෘතික ඇමැතිවරුන් සිටින රටක ඉහත තත්ත්වය සම්බන්ධයෙන්  අමුතු විමතියක් ඇතිකර ගත යුතුද නැත.

 ප්‍රශ්නය සරළ නැත. එය පළමුව වටහා ගත යුතුය. රටේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ සංස්කෘතික මිනිසාය. ඒ සංස්කෘතික මිනිසා ඉබේ නිර්මාණය නොවේ. ඒ සඳහා සුදුසු බිමක් තිබිය යුතුය. සංස්කෘතික කාන්තාරයක එම මිනිසා බිහි නොවේ. අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව සංස්කෘතික කෝණයෙන් ප්‍රශ්න දෙස නොබැලීමය. එහෙයින් සංස්කෘතිය හා ඒ හා බැඳුණු උරුමයන් මතු මහලට ඔසොවා තැබිය යුතුය. එහි ආකර්ශනීය  බව තීව්‍ර කළ යුතුය. සංස්කෘතික අරමුදලේ සෑම ශතයක්ම වියපැහැදම් කළ යුත්තේ ඒ වෙනුවෙනි. එහෙත් වර්තමාන රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ යහපාලන රජයේ සංස්කෘතික ඇමතිවරයා සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 2500ක් කාබාසිනියා කර ඇති බව ය. එය ප්‍රකාශ කිරීම පමණක් සෑහේද යන ප්‍රශ්නය අපි මෙහිදී මතු කරමු.

(***)