දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින් ඒ තුළ තරගකාරී බව වර්ධනය වේ. කෙසේ වුවද කැබිනට් තීරණයේ ප්‍රතිඵල ඉන්ධන වෙළෙඳපොළ හසුරුවනු ලබන නියාමන යාන්ත්‍රණය ඔස්සේ ඉදිරි කාලයේදී හැඩ ගැසේ.
ඉතිහාසය
පසුගිය විසි වසර පුරා ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම තුළ පැවැතියේ ආයතන දෙකක වෙළෙඳ අධිකාරියකි. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ හිමිකාරිත්වය ඇති ලංකා ඛනිජතෙල් සංස්ථාවත්, ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) හි අනුග්‍රහය ලබන ලංකා IOC සමාගමත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී විය. ඊට පෙර අවුරුදු 40ක පමණ කාලයක් තිස්සේ පැවැතියේ වෙළෙඳපොළ ඒකාධිකාරයකි. එම වෙළෙඳපොළ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ලංකා ඛනිජ තෙල් සංස්ථාව අල්ලාගෙන තිබිණි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ එල්. අයි. ඕ. සී. එක්ව ක්‍රියාත්මක වූ ද්විධාධිකාරිය, ඊට පෙර පැවැති ඒකාධිකාරියට වඩා හොඳද යන්න කල්පනා කර බැලිය යුතු ප්‍රශ්නයකි. ඉන්ධන අර්බුදයෙන් දේශීය වෙළෙඳපොළට පහර වදින විට ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි. ඕ. සී. යන ආයතන දෙකම (ඉල්ලුම වැඩිවීම නිසා) ජනිත වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නොහැකිව අසරණව බලා සිටියේය.
2002 දේශීය ඉන්ධන වෙළෙඳපොළේ කොටසක් එල්. අයි. ඕ. සී. සමාගමට භාර දෙන විට තවත් අන්තර්ජාතික සමාගමක් ශ්‍රී ලාංකීය ඉන්ධන වෙළෙඳපොළට ඇතුළත් වීමට බලාපොරොත්තුව සිටියේය. එය සිනොපෙක් සමාගමයි. සිනොපෙක් සමාගම චයිනා පෙට්රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් හි අනුග්‍රාහක සමාගමක් ලෙස පිහිටුවන ලද්දකි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳාමේ වෙළෙඳපොළ කොටසකට සිනොපෙක් සමාගමට පිවිසීමට අවසරදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඇයිද යන්න ඒ කාලයේ දේශපාලන බලධාරීන් වඩාත් කදිමට විස්තර කරනු ඇත. ඔවුන්ට වෙළෙඳපොළ කොටසක් ප්‍රදානය කළේනම් අද වනවිට අපට සැපයුම්කරුවන් තිදෙනකු සිටිනු ඇත. ලංකා ඛනිජ තෙල් සමාගම ඉන්ධන ඉල්ලුම සපුරාලන්නට අසමත්වන විටකදී අනෙක් සැපයුම්කරුවන් දෙදෙනා අතර එවිට තරගයක් ඇතිවනු නියතය. සුළු අධිකාරිය යනුවෙන් හැඳින්වෙන එකී වෙළෙඳපොළ ව්‍යුහය ගැන මෙහිදී විස්තර කිරීම අනවශ්‍යය. එය ද්විධාධිකාරයකට වඩා බොහෝ සෙයින් තරගකාරීය.
රාජ්‍ය ඒකාධිකාරය
1961 පාර්ලිමේන්තු පනතකින් ඛනිජ තෙල් සංස්ථාව පිහිටුවීමට පෙර පැවැතියේ කුමක්ද? එකල පැවැතියේ අන්තර්ජාතික තෙල් සමාගම් දෙකක් විසින් මෙහෙයවනු ලැබූ තරගකාරී පෞද්ගලික ව්‍යාපාරයකි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම අන්තර්ජාතික තෙල් සමාගම් දෙක සමග තරග කරමින් 1962 දී ව්‍යාපාර ඇරැඹුවේය. තෙල් වෙළෙඳාම ජනසතු කිරීම සහ එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භාරදීමත් සමඟ රාජ්‍ය ඒකාධිකාරය ජනිත විය.
ඒ සමගම සියලුම අන්තර්ජාතික තෙල් සමාගම්වලට මෙරට හැරයාමට සිදුවිය. ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය අලෙවිය හා බෙදාහැරීම ඇතුළු සමස්ත ව්‍යාපාර කටයුතු භාර ගත්තේය. ඊට අමතරව කොළොන්නාව තෙල් ගබඩාකරණය ප්‍රාදේශීය තොග මධ්‍යස්ථාන සහ සිල්ලර අලෙවි කටයුතු යන කොම්පැනි තුනක් යටතේ වෙනම පැවැති කටයුතු ඒකාබද්ධ කොට ඛනිජ තෙල් සංස්ථාව යටතේ තනි ආයතනයක් ලෙස පවත්වා ගැනීම පටන් ගැනිණ. එවිට එහි ඒකාධිකාරි වෙළෙඳපොළ බලය තවදුරටත් ශක්තිමත් වූයේය.
1969 තෙල් පිරිපහදු පහසුකම් ඇරැඹීමත් සමග 1971 ඉන්ධන තොග රැස් කිරීමේ මෙහෙයුම් සහ අනෙකුත් පෙට්රෝලියම් නිෂ්පාදන නිෂ්පාදනයට එක්විය. එවිට ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය ඒකාධිකාරියක් ලෙස එහි ධාරිතාවක්, ශක්තියක් වර්ධනය කර ගත්තේය. 2003 දී එල්අයිඕසී සමාගම වෙළෙඳපොළට ඇතුළත් වූ පසුව පවා එහි ඒකාධිකාරි තත්ත්වය වෙනස් වූයේ මඳ වශයෙනි. එහි අධිකතර වෙළෙඳපොළ කොටස සහ නියාමන යාන්ත්‍රණය ද්විධාධිකාරි තත්ත්වයකින් අභියෝගයට ලක් කළ නොහැකි තත්ත්වයක පැවැතීම ඊට හේතුවයි.
එසේ වුවද යටත් විජිත කාලයේ පටන් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු කරනු ලැබූ බහුජාතික සමාගම්වලින් එකක් වූයේ රෝයල් ඩච් ෂෙල් කොම්පැනි හෙවත් ෂෙල් සමාගමයි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව එම සමාගමට ද මෙරට ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වන්නට සිදුවිය. කෙසේ වුවද 1996 කළම්බු ගෑස් කොම්පැනි හි කොටස්වලින් සියයට 51 ක් රජය පිරිනැමීම හේතුවෙන් ෂෙල් සමාගම නැවත ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසියේ ඇ. ඩොලර් මිලියන 37 කට එම කොටස් මිලට ගනිමිනි. එවර ෂෙල් සමාගම මෙරට අවුරුදු 10 කට වඩා රැඳී සිටියේ නැත. 2005 නැවත රජයට පවරාගෙන ජනසතු කිරීම් ඇරැඹි විට ෂෙල් කොම්පැනිය එහි මෙහෙයුම් කටයුතු හමාර කළේ ඇ. ඩොලර් මිලියන 63කට ඒවා ආපසු රජයට භාරදීම සමගයි. මෙකී රජයේ ජාතිකකරණ වැඩ පිළිවෙළ යටතේ ආණ්ඩුව තමන්ටම අයත් ලිට්‍රෝ ගෑස් සමාගම පිහිටුවූයේය. එය අද වනවිට ගෑස් සැපයීමේ ව්‍යාපාරික වරදානය තබාගත නොහැකිව ගෑස් සැපයුම් කිරීමට අසමත් වී තිබේ.
අසමත් මොඩල
අද වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරී මොඩලය අසමත්වී තිබේ. කෙසේ හෝ ඛනිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ඒකාධිකාරයට දේශීය වෙළෙඳපොළ වෙත සැපයුම් බෙදාහරින්නට නොහැකිව එම කටයුතු කඩා වැටී තිබේ. මෙම අසමත්වීම තීරණාත්මක එකක් වනුයේ ඒ නිසා ශ්‍රී ලංකාවේ අඩපණ වී ඇති ආර්ථිකය කබලෙන් ළිපට වැටෙන නිසාය.
එහෙත් එය අසමත් වූයේ ඇයි? ඒවා සෑම තැනකම අසාර්ථක වී නැතැයි අයෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. මම එයට එකඟ වන්නෙමි, මක් නිසාදයත්, රාජ්‍ය ව්‍යවසායන් ගෝලීය වශයෙන් වර්ධනය වී බහුජාතික සමාගම් බවට පත්වී පෞද්ගලික බහුජාතික සමාගම් සමඟ තරග වදින බැවිනි. 2013 දී OECD පර්ෙය්ෂණ පළකිරීම්වල රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයන් 204ක් ලෝකයේ ලේඛනගත විශාලම සමාගම් 2000 අතර තිබෙන බව සඳහන් විය. මෙම රාජ්‍ය හිමි සමාගම් 204 රටවල් 37කින් ප්‍රභවය ලැබූ ඒවා වන අතර එම රටවලින් බොහොමයක් ආසියාතික රටවල් වේ.
එසේ නම් බොහෝ රටවල රාජ්‍ය හිමි ව්‍යවසායයන් අවම වශයෙන් හෝ අසාර්ථක වූයේ ඇයිද යන මගේ ප්‍රශ්නය මම නැවත යොමු කරමි. එම රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට කිසිම විවාදයක් නැති බව පෙනී යයි. රාජ්‍ය හිමි ව්‍යවසායන් සටන් පාඨයක් කරගෙන ඇත්තේ ඒවා ජනසතු දේපළ යන්නයි. ඒවා ශ්‍රී ලංකාව තුළ මෙහෙයවනු ලබන දේශපාලන හා ආර්ථික පරිසරය තුළ ජනසතු යන පාඨයට ඇත්තේ පටු අර්ථයකි. අප ආර්ථික හා කළමනාකරණ අධ්‍යයනවලදී ‘මූලික ගැටලුකාරකය’ සම්බන්ධයෙන් කරන වාදවිවාදවලට ව්‍යවසායක හිමිකාරිත්වය සම්බන්ධ කර ගන්නෙමු. රාජ්‍ය හිමි ව්‍යවසායක සැබෑ හිමිකාරිත්වය හඳුනාගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. ඒවායේ ඵලදායිත්වය හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වගකීම සහ වගවීම දරන්නේ කවුද යන්න පැහැදිලි නැත. ව්‍යාපාරය ක්‍රියාවේ යොදවන අය කාරකයෝ නැතහොත් නියෝජිතයෝ වෙති. ඒ අතර හිමිකරුවන් වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ය.
ඒවා කාට හිමිද?
රාජ්‍ය ව්‍යවසායයන් අධීක්ෂණ කටයුතු කරන අය බොහෝය. පොදු මහජනතාව, ඡන්දයෙන් පත් කළ දේශපාලනඥයන්, ඡන්දයෙන් පත් නොකළ නිලධාරින් සහ කළමනාකරණය ආදින් ඒ සඳහා සිටියත් කවුරු කුමක් සඳහා වගකීම දරන්නේද යන ප්‍රශ්නය අවසානයේ දී මතුවේ. රාජ්‍ය ව්‍යවසායයන් මෙහෙයවනු ලබන පරිසරය මහජන අවශ්‍යතාවල අරමුණු ආදියද ඒවාට බලපෑම් කරන බලවතුන්ගේ ඕනෑ එපාකම් අනුව වෙනස් වේ. ඔවුන්ගේ අවශ්‍යතා අනුව ගන්නා තීරණවලටද මඟපෙන්වීම සිදු කෙරේ.
රාජ්‍ය ව්‍යවසායයන් සාමූහික පාලනය නිසා විවිධ අන්දමේ අභියෝගවලට මුහුණ දෙන බව ලෝ පුරා ඇති රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් පෙනී යයි.
දේශපාලන වශයෙන් අභිප්‍රේරණය වූ හිමිකාරිත්වයේ මැදිහත්වීම්වලට සහ නොමනා ඇඟිලි ගැසීම්වලට ඒවා භාජනය වේ.
ප්‍රධාන ව්‍යාපාරික තර්ජන දෙකකින් ඒවා ආරක්ෂා වේ. අයිතිය වෙනස්වීම හා බංකොලොත්භාවයට පත්වීම ඒ කාරණා දෙකයි.
සංකීර්ණ කාරක දාමයක් ඒවායේ ඇත. කළමනාකාරිත්වය, අධ්‍යක්ෂ මණ්ඩලය, හිමිකාරි ආයතන, අමාත්‍යවරුන් සහ රජය ඒවායේ ප්‍රතිපත්ති හසුරුවන බව පැහැදිලිව හඳුනාගත හැකිවේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවායේ ව්‍යාපාර පාඩු සිදුවූවාට කම් නැති වන්නේ එම පාඩු ආණ්ඩුවේ අයවැය හරහා බදු ගෙවන්නන් හට පවරන බැවිනි.
ඒකාධිකාරි වෙළෙඳපොළ තුළ තරගකාරිත්වය නැතිවූ කල කාර්යක්ෂමතාව උදෙසා දිරි දීමනා ගෙවීමක් නැත. රජයෙන් බැංකු සහතික දෙන නිසා ඒවාට ණය ලබාගත හැකිය. ඒ සියල්ලන්ටත් වඩා අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවකයන් අතේ හැන්ද තිබෙන නිසා ඒ අයට රිසි පරිදි බෙදා ගත හැකිය.
ප්‍රතිව්‍යුහකරණයට ඇති බාධා
කෙසේ හෝ එක් අවස්ථාවක ඒවා අසාර්ථකත්වය කරා යයි. එය කල්තියා වටහා ගන්නා නායකයන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිසි පියවර ගත යුතුය. එම ක්‍රියා මාර්ග අතර නිදහස්කරණය, පෞද්ගලීකරණය, තරගකාරිත්වයට විවර කිරීම වගකීමෙන් යුතු කළමනාකරණ ක්‍රමයක් හඳුන්වාදීම ආදිය ඇතුළත් වේ. විවිධ පාර්ශ්වවලින් ප්‍රතිව්‍යුහගතකරණයට බාධා එල්ලවිය හැකිය.
a. ජනප්‍රිය වීමේ වාසි ලබාගන්න දේශපාලකයෝ
b. රිසි පරිදි බෙදා ගැනීමට තම අත හැන්ද ඇති සේවකයන්ගේ වෘත්තිය සමිති
c. වෙන අයගේ අවශ්‍යතා මත නොමග යවන ලද්දාවූ මහජනයා පොළඹවන කණ්ඩායම්.
d. දේශපාලකයන්ගේ දූෂණ නිලධාරීන් සහ අල්ලස් යන්නා ගනුදෙනු කරුවන්ගේ කොමිස් වැනි අනෙකුත් නොවන වාසිද ඊට බලපෑම් කරයි.
ශ්‍රී ලංකාව තුළ තවමත් රාජ්‍ය හිමි ව්‍යවසාය 400 ක් පමණ තිබීම ඇදහිය නොහැක්කකි. ඒවායේ නිවැරැදි සංඛ්‍යාව ද දන්නා කෙනකු නැත. මුදල් නාස්තිවන ඒවායින් සමහරක් තවම තිබෙන්නේ ඇයිද යන්න මට වටහාගත නොහැකිය. පිරිවැටුමෙන්, මෙන්ම ලබන වාර්ෂික පාඩු වලින්ද ඒ අතර ඇති විශාලතම රාජ්‍ය ව්‍යුහයන් වන්නේ ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවයයි.
ඒවා ප්‍රතිව්‍යුහකරණයට ලක්කිරීම හැර වෙනත් විකල්පයක් නැතත් ඒවායේ හිමිකාරිත්වය වෙනස් කිරීමේ තීරණයක් ගෙන නැත. ඒ පිළිබඳ සැලකිලිමත්වීමක්ද නැත.
එය බැරෑරුම් ලෙස සලකන්නේ නම් ආර්ථික අර්බුදය විසින් ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව සියලුම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට දැන් පෙර නොවූ විරූ අවස්ථාවක් සලසා දී තිබේ. එසේ කිරීම ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ද උපකාරී වන අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය ඉදිරියට යෑමද ඒ ඔස්සේ සිදුවේ.
(***)
2022 ජූලි 03 සන්ඩේ ටයිම්ස් හි පළවූ මහාචාර්ය සිරිමල් අබේරත්නගේ
Fuel Supply and oily politics ලිපියේ
පරිවර්තනය –
සමන් පුෂ්ප ලියනගේ