සඟසතු කළ මුල්ම වලව්වේ කතාව


අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරමින් අමරපුර නිකාය මෙරට ආරම්භ වනුයේ මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමිනි.

අමරපුර සමාගමේ මූලස්ථානය වන මෙම වලව්ව අමරපුර නිකායේ ආදිකර්තෘ මහකරාවේ ශ්‍රී ඥාන විමලතිස්ස  මාහිමියන්ට කඨින පූජාවක් ලෙස සඟසතු කොට පූජා කළේ උතුම් ශාසනික සාමාජීය මෙහෙවරකට අඩිතාලම දමමිනි. ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බලපිටිය නගරය පසුකොට අහුංගල්ල දෙසට පැමිණෙන විට අහුන්ගල්ල පොලිසිය සමීපයේ පිහිටි අමරපුර නිකාය පිහිටුවා වදාළ මහාධම්ම රාජාධිරාජගුරු මහ කරාවේ ශ්‍රී ඥාන විමල තිස්සමාහිමියන්ගේ ප්‍රතිමාව දිස්වේ. ඒ අසලින් දකුණුපස මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය පසු කළ විට ඔබ පිවිසෙන්නේ දෙවැනි මිහින්තලය ලෙස හැඳින්වෙන අම්බරූකඩාරාමය නැතහොත්  මූල මහා විහාරයටය.

යටත් විජිත පාලන සමයේ රජයේ උසස් තනතුරු දැරූ ප්‍රභූවරුන් වාසය කළේ අඹගහපිටිය හෙවත් සහබන්දු වලව්වේය. මහා බද්ධ නමින් හැඳින්වෙන කුරුදු කාර්යාංශයේ ප්‍රධානින් වාසය කළේද මෙම වලව්ව අවට වලව්වල ය. සියම් මහානිකායේ පහත රට ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ බෝවල ධම්මානන්ද නාහිමියන් හා සහබන්ධු මුදලිවරුන්  සමඟ පැවැතියේ සමීප සබඳතාවකි.

බෝවල නාහිමියන් මාතර සිට මහනුවර මල්වතු විහාරය කරා වැඩම කරන වන විට විවේක ගැනීම සඳහා නතර වූයේ සහබන්දු වලව්වේය. වලව්වේ සැදැහැවතුන් සිය ආගමික හා වන්දමාන කටයුතු සඳහා වලව්වේ ඉඩමේ කොටසක සිය පෞද්ගලික වියදමින් විහාරයක් ඉදිකර තිබූ බව සඳහන් වේ.

මෙම විහාරයේ පිහිටියේ පාතේගම වත්මන් රාහුලාරාමය පිහිටි ස්ථානය බව පත පොතෙහි සඳහන් වෙයි. එදා පාතේගම කුඩා ආවාසයක වැඩ සිටි කිරිඅප්පු ගනින්නැහේ  ඥාන විමල හිමියන්ගේ බාප්පා බවත් එම ගනින්නැහේ සමග සිටි අමේන්ද්‍රයන් නම් දරුවා පැවිදිවීම සඳහා මහනුවර  මල්වතු විහාරය කරා ගෙන යන්නේ බෝවල නායක හිමියන් බවත් සඳහන් වේ. එම දරුවා මල්වතු විහාරයේදී බෝවල නාහිමියන්ගේ මග පෙන්වීම පරිදි වැලවිට සරණංකර සංඝරාජ මාහිමියන් වෙතින් පැවිදි බිමට පත්වන්නේ දොළොස් හැවිරිදි වියේදීය. ඒ 1778 වසරේදීය.

 

සංඝරාජ මාහිමියන් අපවත්වීමට පෙර පැවිදි කළ අවසන් පැවිදි සිසුවා වන්නේද ඥාන විමල හිමියන් බවද කියැවේ. ඥාන විමල හිමියන් පුෂ්පාරාම නමින් පැවිදි බිමට පත් වූ බව සඳහන්වේ. පහත රට සංඝනායක බෝවල ධම්මානන්ද මාහිමියන් මාතර සිට මහනුවර බලා හා ආපසු වැඩම කරන විට විවේක ගැනීම සඳහා නතර වන්නේ අඹගහපිටි වලව්වේය. හල් ජෝති දිනෙස් ද සෝසා විජයශ්‍රීවර්ධන ජයතිලක රාජපක්ෂ මුදලිවරයා මෙම වලව්වේ හිමිකරුය. ඥානවිමල හිමියන් බෝවල නායක හිමියන් සමඟ සහබන්ධව මුදලිවරයා හමුවී කළ සාකච්ඡාවක ප්‍රතිඵලය වූයේ උපසම්පදාව ලබාගැනීම සඳහා සියම් දේශය බලා පිටත්ව යාමට කටයුතු සංවිධානයවීමය. සහබන්දු මුදලිතුමාගේ සොහොයුරු රපියෙල් ද  සෝ සා විජය ශ්‍රී වර්ධන ජයතිලක රාජපක්ෂ මුදලිවරයාගෙන්ද නොමසුරු සහයෝගයක් ඒ සඳහා ලැබුණි. අනතුරුව ඥානවිමල සාමණේර ඇතුළු පස් නමක් හිමිවරුන් සහ කැපකරු දායකයන් දෙදෙනකු ද සමග ගාලු‍ වරායෙන් රුවල් නැවක නැගී සියම් දේශීය බලා පිටත්ව යන්නේ 1799 වසරේය.

මහ මුහුදේ ඇතිවූ කුණාටුවක් නිසා අහම්බෙන් බුරුම රටේ අමරපුර රාජධානියට ගොඩ බට ඥානවිමල හිමි ප්‍රමුඛ දූත පිරිස බුරුම රජු හා ඥානාභිවංස ධම්මසේනාති  සංඝරාජ මාහිමියන් බැහැ දැක කෙටි කලක දී ස්වර්ණ ගුහා නම් සීමා මාලකයේදී දී උපසම්පදාව ලබා ගත්හ. එසේම මහා ධම්ම රාජාධිරාජගුරු ගෞරව උපාධිය සමඟ අමරපුර නිකායේ නායක පදවියද ලබා 1802 වසරේදී යළි ලංකා බිමට වැඩම කරවන අප ඥානවිමල  මාහිමියන් අග්‍ගසාර නාහිමියන්ගේද  උපාධ්‍යායත්වයෙන් 1803 වර්ෂයේදී බලපිටි මෝදර සීමාමාලකයේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරනුයේ ශාසනික මෙන්ම සමාජ විප්ලවයක් කරමිනි. එක් කොටසකට පමණක් උරුම වී තිබුණ උපසම්පදාව කිසිදු කුලගොත් විචාරකින් තොරව ලබාදෙන්නේ අමරපුර නිකායේ ආරම්භයද සනිටුහන් කරමිනි. මහ කරාවේ  ඥානවිමල මාහනායක මහිමියන්ගේ නායකත්වයෙන් අමරපුර භික්ෂුවංශය රට පුරා ව්‍යාප්ත වූයේ එලෙසිනි.

අඹගහපිටි - සහබන්ධු  වලව්වේ පළමු වස් විසීම සඳහා ආරාධනා ලැබ එහි වැඩම කරවන ඥානවිමලතිස්ස මාහිමියන්ට වස්විසීම අවසානයේ  කඨින පූජාවක් ලෙස සහබන්ධු    මුදලිතුමා පූජා කරන්නේ සිය වාසස්ථානය වූ වලව්වය. මිහිඳු මාහිමියන් යළි මෙරට  බුදුදහම ව්‍යාප්ත කොට ජන සතු කළාක් මෙන් උපසම්පදාව ජන සතු කරමින් ඥානවිමල මාහිමියන්ද සිදු කරනුයේ ඓතිහාසික යුග මෙහෙවරකි. අමරපුර නාමය මෙරට ස්ථාපිත වූයේ මහකරාවේ  ඥානවිමල  මාහිමියන් ජීවිත පරිත්‍යාගයෙන්  සිදුකළ මෙහෙවරට පින් සිදුවන්නටය.

බුරුම රජු හා සංඝරාජ මාහිමියන් ඥාන විමල හිමියන්ට පිරිනැමූ නායක පදවිය පිළිගැනීමට මෙරට සුදු පාලකයෝ එකල මැළි වූහ. ඒ සුද්දන්ගේ හා කළු සුද්දන්ගේ නොමනාකම් නිසාය. වසර ගණනාවක් ගෙවීගිය ද ඥානවිමල හිමියන්ගේ නායක පදවිය පිළිනොගැනීමට පිළිතුරු ලැබෙන්නේ ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කළ බව කියන වර්ජනයකිනි.  එදා සුදු පාලක ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ කුරුඳු වගාවේ නියුතු සියලු‍ම පිරිස් කිසිදු භේදකින් තොරව මෙම වර්ජනයට එක් වූහ. කුරුඳු කැරැල්ල ලෙස ප්‍රථම වර්ජනය හැඳින්විණි.

සුදු පාලකයන් එදා දණගැසූ කුරුඳු කැරැල්ල අවසන් වූයේ 1825 වසරේදීය. ඥාන විමල හිමියන්ට සිදු වූ වරද නිවැරදි කරමින් ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා යළි ඥානවිමල හිමියන්ට පිරිනැමූ නායක පදවිය පිළිගත් අතර මෙම කුරුඳු කැරැල්ලට නායකත්වය ලබාදුන්නේ බලපිටි වලව් පෙළපතේ මුදලි - මහමුදලිවරුය. ඥාන විමල නාහිමියන් අපවත් වන්නේ වැලිතර පුෂ්පාරාමයේදී නැතහොත් නායක පන්සලේ වැඩ සිටියදීය. ඒ 1835 වසරේදීය. සහබන්ධු මුදලි තුමා මියයාමෙන් අනතුරුව දේවත්වයක් ලබා බලපිටිය වතුරේගම සුදුමල් දේවතාවුන් වැඩ සිටින අනුහස් ඇති දේවාලයේ අලු‍ත් දෙවි නමින් වැඩ සිටින බව විශ්වාස කෙරේ.

මෙම දේවාලය කතරගම දේවාලයට ද පවා යටත් නොවන දේවාලයක් බව කියති. මිහින්තලාවේ අඹ තලාවෙන් පැතිරී ගිය ධර්මාලෝකය යළි මල්වතු මහා විහාරය හරහා බලපිටිය අඹ ගහපිටිය මහා වෙහෙර හරහා රට පුරා පැතිරී ගියේ ශාසන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කරමිනි. බලපිටිය වැලිතර අම්බරූකඩාරාමය  නැතහොත් අඹ ගහපිටිය මූල මහා විහාරය සියලු‍ විහාරාංගයන්ගෙන් සමලංකෘත වූ මහා විහාරයකි. මෙහි  දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහලේ කෞතුකාගාරය හා පුස්තකාලය දෙස් විදෙස් උගතුන්ගේ නිරන්තර පර්යේෂණවලට ලක්වන ස්ථානයකි.

වටිනා කෞතුක භාණ්ඩ පුස්කොළ පොත් පොත්පත් සිහිවටනද බොහෝය. එසේම පැරණි සිවුරු පිරිකර සංදේශ සන්නස් වටිනා ලිපි ලේඛනද බොහෝය.  ඥාන විමල  මාහිමියන්  පරිහරණය කළ කෝසෙයියට පට  රන් පැහැ සිවුර මෙන්ම වසර 200කට වඩා පැරණි දුර්ලභ මලක්ද මෙහි සුරක්ෂිතව තිබේ. ධාතු මන්දිරයද මෙම ඓතිහාසික දෙමහල් ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. දෙස් විදෙස් ගිහි පැවිදි සම්භාවනීය බොහෝ දෙනකුගේ අත්සන් සහිත සටහන්ද මෙහි දක්නට ලැබේ . එසේම කඟවේන දළ මෙන්ම තවත් කෞතුක භාණ්ඩ බොහෝය. බුදු මැදුරු දෙකකි. කුඩා බුදු මැදුර පැරණිය. සූවිසි විවරණය එහි ප්‍රතිමාවලින් නිරූපණය වේ. විවරණයක් පාසා ගාථාවක් සටහන් කර තිබේ. මහ බුදු මැදුර සැතපෙන බුදු පිළිමයකින් හා අගසව් රහතුන් වහන්සේලාගේ පිළිමවලින් සමන්විතය. ඉදිරිපස ආලින්දයේ සතිපට්ඨාන සූත්‍රය ලියා තිබේ. මෙම බුදු මැදුර ඉදිරිපිට පොලොන්නරු ගෘහ නිර්මාණ ශිල්පය සිහිකරවන චේතිඝරයකින් යුත් දාගැබකි. ඒ අසලම විෂ්ණු දැහැනින් නිර්මිත බව කියන විෂ්ණු දේව මන්දිරයක් ද වේ.

බුදු මැදුර පිටුපස පැරණි බෝධීන් වහන්සේ රෝපණය කර තිබේ. ඥාන විමල මාහිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති අළුසෑය ද මෙහි වේ. එසේම අවස්ථා තුනකදී ගොඩනංවන ලද සංඝාවාස ද වේ. පැරණිම සංඝාවාසය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව කරවන ලද ආරුක්කු සහිත ගොඩනැගිල්ලය. අඩකව හැඩැති ජනෙල් දොරවල් මෙන්ම එහි රාමු විසිතුරු පාට වීදුරුවලින් ආවරණය කර තිබේ.

මහල් සතරේ පැරණි ඝණ්ඨාර කුලුණ ඥාන විමල මාහිමි අනුස්මරණ ශාලා ගොඩනැගිල්ල මෙන්ම සෙසු ගොඩනැගිලි විහාරමළු ළිං පොකුණුද වෙයි. ගිහි පැවිදි උගතුන් වියතුන් රැසක් රටට දායාද කළ පැරණිතම පිරිවෙනක් බව සලකන සුගත  ශාසනෝදය පිරිවෙනෙන්  එදා පමණක් නොවද අද ද සිදුවන සේවාව අමිලය.

මහකරාවේ ශ්‍රී ඥානවිමලතිස්ස මාහිමි ප්‍රමුඛ විහාරාධිපති පරපුරේ බේරතුඩුවේ ධම්මාධාරතිස්ස , මහකරාවේ විමලසාරතිස්ස,        අහුන්ගල්ලේ විමලකිත්තිතිස්ස, අහුංගල්ලේ විමලනන්දි තිස්ස, අහුන්ගල්ලේ විමලජීව තිස්ස යන අපවත් වී වදාළ විහාරාධිපති  ස්වාමීන් වහන්සේ මෙන්ම වත්මන් විහාරාධිපති අමරපුර මූල වංශික මහ නිකායේ මහනායක අහුංගල්ලේ විමලධම්ම තිස්ස මාහිමියන් මෙන්ම විහාරවාසී පිරිවෙන් අධ්‍යක්ෂ කොස්ගොඩ විමලවංශ තිස්ස හිමියන්ගේ ශාසනික හා සමාජ මෙහෙවර ද විශේෂයෙන් සටහන් කළ යුතුය.

(***අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)