සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම


අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ වාහන නාට්‍ය මීට හොඳම උදාහරණය වේ. 2015 දී ද මෙය මෙලෙසම සිදු කළ අතර, තවදුරටත් එය විකිණිය නොහැකි බව දැනගෙන තිරය වසා දමා අදාළ වාහන ඒවාහි හිමිකරුවන්ට නැවත ලබා දීමට කටයුතු කෙරුණි.

වර්තමානයේ ද එය ම සිදු වී තිබේ. එම වාහන ජනාධිපති කාර්යාලයට විවිධ අවශ්‍යතා මත අනුයුක්ත කළ රජයේ ආයතනවලට ම ඒවා නැවත බාර දෙනු ලැබීය.

මේ වැනි නාට්‍ය තාවකාලික දේශපාලන කුල්මත් කිරීම සඳහා ඉදිරිපත් කළාට කම් නැත. එහෙත් භයානකත්වය වන්නේ මේ සංදර්ශන මගින් අවසානයේ භූමියේ කිසිවක් වෙනස් නොවීමයි. මේවා හුදු දිව රසට දෙන සීනිබෝල පමණි. බඩට කිසිවක් නොලැබෙන අතර, දේශපාලන සීනිබෝල’ වැඩිපුර කෑමෙන් රටට දියවැඩියාව වැළඳිය හැකි ය. අනිත් පැත්තෙන් මේවැනි දේ නිසා රටේ මහජනතාව අතර පොදුවේ ආණ්ඩු සහ දේශපාලනය පිළිබඳ කලකිරීමක් ද හටගනී. පසුගිය කාලයේ 225ම එපා වැනි සටන්පාඨ නිර්මාණය වූයේ මේවැනි හරසුන් මත නිර්මාණ නිසා ය. අවසානයේ මේවා නවතින්නේ රටවල් ආරාජිකත්වයට පත්වීමෙනි. වත්මන් ඩිජිටල් මාධ්‍ය වපසරිය තුළ නිරන්තරව මේ වැනි මත බහුලව පැතිර යාම නිසා ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇත. අවසානයේ එහි අනිටු විපාක විඳීමට සිදුවන්නේ ද මහජනතාවට ය. මන්ද දේශපාලකයන් නොමැතිව ආණ්ඩු පවත්වාගෙන යන ක්‍රමයක් තාමත් සොයාගෙන නැති නිසාය.

ඊට අමතරම ආණ්ඩුවටම ඒවා දෙගුණ තෙගුණ වී ආපිට කැරකීම ද සිදුවේ. මෙවැනි දේට විරුද්ධව නිර්මාණය කළ ජනමතය මගින් ආණ්ඩුව වෙතින් එවැනි දේ පිළිබඳ ප්‍රායෝගික ආදර්ශයක් ඉල්ලා සිටියි. එහෙත් ප්‍රායෝගිකව එවැන්නක් කළ නොහැකි ය. මන්ද වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරත්තවලින් හෝ මරුති කාර්වලින් හෝ ගමන් කරනු නොපෙනේ.  පසුගිය දා ජනපති අනුර කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයට යුරෝපයේ නිෂ්පාදිත ඉතා මිල අධික සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ හැසිරුණු ආකාරය පිළිබඳ මාලිමාවට සහාය දුන් පිරිස් වෙතින් ම විවේචන එල්ල විය. එම විවේචනය තුළ දැක්වුණේ ජනාධිපතිවරයා ආරක්ෂකයන් පිරිවරාගෙන ජනතාව අතරින් ‘පුටු පෙරළමින්’ ප්‍රදර්ශනය තුළ ගැවසීමයි. මේවා ජනාධිපතිවරයාගේ මාලිමා දේශපාලන වේදිකාව මතම දැඩි ලෙස විවේචනයට ලක් වූ කාරණා ය. විශේෂයෙන්ම ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන එහි දී අවධාරණය විය. පාලකයන්ගේ ආරක්ෂාව සඳහා ජනතා බදු මුදල් මේ තරම් වැය කරන්නේ ඇයි ද යන්න එහි දී ප්‍රශ්න කෙරුණි.

ජනපති අනුර කුමාරගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අනෙත් ඒවායින් වෙන් කර හඳුනාගත හැකි සුවිශේෂී කරුණක් තිබේ නම් ඒ දූෂණ විරෝධී මතවාදයයි. මෙය අන් කිසිදු කරුණකට වඩා සාර්ථකව දියත් කළ හැකි ඉතා කදිම දේශපාලන සටන්පාඨයකි. මාලිමාවට එම සටන් පාඨය ඉදිරිපත් කිරීම සඳහා ඉතා හොඳ සුදුසුකමක් තිබුණි. ඒ මන්ද යත් ඔවුන්ගේ වසර 50ක ඉතිහාසය තුළ කිසිදා ඍජුව ආණ්ඩුකර නැතිවීමයි. ඒ අනුව, දූෂණ චෝදනා දිගට හරහට සෙසු පක්ෂ වෙත එල්ල කිරීමේ අද්විතීය හැකියාවක් ඔවුන්ට තිබේ. ඒ අනුව, මේ වන විට ජනතාව විසින් එම දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට බලය ලබා දී තිබේ. දැන් ඔවුන්ට තවදුරටත් පැමිණිලි හා මැසිවිලි නැගිය හැකි නොවේ. ඇතැම් විට ඉහත වාහන සංදර්ශන පවා සිදු කළේ මේ දූෂණ මතයට අදාළ ව ගොඩනැගී මහජන මතය සංතර්පණය කිරීම සඳහා විය හැකිය. තමන් දැන් දූෂණයට එරෙහිව ක්‍රියාකරමින් සිටින බව ඡන්ද දායකයාට පෙන්වීමට ප්‍රයත්න දැරුවා විය හැක.

විද්‍යාත්මක ව කරුණු කාරණා සහිතව කතා කරන විට ලංකාවේ මෑත ආර්ථික අර්බුදය පැමිණීයේ ද, ඒවාගේම අපගේ ආර්ථිකය අද මෙතැන තිබෙන්නේ ද දූෂණය හා වංචාව නිසාම නොවේ. අප විසින් උපයනවාට වඩා වියදම් කිරීම හා අපනයනය කරනවාට වඩා ආනයනය කිරීමයි. අප විසින් මුදල් වියදම් කර ඇත්තේ ද ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම සඳහා ය.

අප මෙසේ කියන්නේ හුදු අලංකාරොක්තියක් සඳහා නොවේ. මේ භූමියේ සත්‍ය කතාවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් වසර දෙකකට වරක් ලෝකයේ රටවල් 191ක් අතර සමීක්ෂණයක් සිදුකොට එම රටවල ජනතාවගේ “මානව සංවර්ධන දර්ශකය” වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කරයි. 90 දශකයේ මුල සිට කළ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව නිරන්තරව සිටියේ දකුණු ආසියාවේ සියලු‍ රටවලට වඩා බොහෝ ඉහළින් ය. එම වාර්තාව 2023-24 වසර සඳහා ද පළකර ඇත.  ඊට අනුව ලොව රටවල් 191 අතරින් ලංකාව සිටින්නේ 78 වැනි ස්ථානයේ ය. එනම් අපට වඩා පිටුපසින් රටවල් 113ක් පමණ සිටී. මේ මාහැඟී සාර්ථකත්වය අප ලබාගෙන තිබෙන්නේ රෝසමල් යහනාවක සිට නොවන බවද කිව යුතුය. එම කාලය අතරතුර වසර 30 යුද්ධයක පැටලී අප ඊට ඩොලර් බිලියන 200ක් පමණ වියදම් කර ඇත. ජවිපෙ විසින් මෙහෙය වූ කැරලි දෙකකට මුහුණ දී ඉන් ලැබූ ඍජු හා වක්‍ර ආර්ථික හානිය අති විශාල ය. එවන් තත්වයක දී පවා අප සිටින්නේ අපවැනි අභියෝග නොතිබූ රටවල්වලට ද වඩා ඉදිරියෙනි. උදාහරණක් ලෙස වියට්නාම සිටින්නේ 107 වැනි තැනයි. ජොර්දානය, ඊජිප්තුව, පිලිපීනය වැනි රටවල් සියල්ල අපට බොහෝ පහළිනි. දකුණු ආසියාවේ යාන්තම් අපට වඩා ස්ථාන 10කින් පහළ සිටිමින් අපට ළංව සිටින්නේ මාලදිවයිනයි. ඊට හිමි තැන 87 වැනි ස්ථානය වේ. ඉන්දියාව 134 ද, බංගලාදේශය 129 ද, පාකිස්ථානය 162 ද ස්ථානයේද සිටී. 78 වැනි තැන රැකෙමින් කලාපයේ ද, ලෝකයේ ද 78 වැනි තැනට පැමිණ තිබීම යනු සැබැවින්ම ජයග්‍රහණයකි.

මෙහි නොකියවෙන අරුත කුමක්ද? එනම් අප රට මානව සංවර්ධනය සඳහා මුදල් හා සම්පත් ආයෝජනය කර ඇති බවයි. මෙම දර්ශකය තුළ බලා තිබුණේ පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ජීවන තත්වයයි. දේශපාලන වේදිකාවල රට ගැන නිර්මාණය කළ මතය නම් ලංකාව තරම් දූෂිත හා වංචනික තවත් රටක් නැති බවයි. ඒ තරම් දූෂිත රටකට ලොව රටවල් 113ක් පරාජය කළ හැකිවූයේ කෙසේ ද? අප රට තුළ දූෂණය හා වංචාව නැතිවා නොවේ. ඕනෑම රටක ඒවා තිබේ. එහෙත් පසුගිය කාලය තුළ නිර්මාණය කළ තරම් වැනි දූෂිත හා වංචනික රටක් වශයෙන් ශ්‍රී ලංකාව හැඳින්විය නොහැක.

අප විමසන ප්‍රශ්නය වන්නේ, රට ගැන ව්‍යාජ මතයක් මහජනතාව අතර නිර්මාණය කොට ඒ හරහා දේශපාලන බලය ලබා ගැනීම කොතරම් යුක්ති යුක්ත ද යන්නයි. ඇරත් ඒ හරහා මහජනයා අතර රට ගැන අවිස්වාසයක් ඇති වී රට හැර දා යන තත්වයක් උදාවේ. පසුගිය කාලයේ තරුණයන් රටහැර යාමට මේ මතය සැලකියුතු කාර්යභාරයක් සිදු කළේ ය.

ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවේ වත්මන් ආණ්ඩුව විසින් පතුරුවා හළ ඉතා ප්‍රබල මතයක් වූයේ ඉන්ධන මිල පිළිබඳ කතාවයි. ඊට අනුව, වත්මන් ඉන්ධන මිල යනු වංචාව නිසා ඇතිවූ තත්වයකි. ඒ අනුව, ඔවුන් ගණන් හිලව් සහිතව ඉන්ධවල සැබෑ මිල පිළිබඳ විවිධ කතා කීවේ ය. කොටින් ම රුපියල් 160ට ඩීසල් ලීටරයක් දිය හැකි බවත්, අද 300 වී තිබෙන්නේ, මැති ඇමතිවරුන්ගේ සාක්කුවට මුදල් යන නිසා බවත් එහි දී කියා සිටියේය. දැන් පසුගිය 1 වැනිදා සිට ජනපති අනුරගේ මාලිමා ආණ්ඩුව විසින් සුපුරුදු ඉන්ධන මිල සංශෝධනය කරන විට ඔවුන්ට ඔවුන් විසින් කී ලෙස ඉන්ධන රුපියන් 160ට නොව, 200 දක්වා හෝ අඩුකිරීමට නොහැකි වී ඇත. ඩීසල් ලීටරයක් අඩුකර තිබුණේ රුපියල් 21කිනි. සෙසු ඒවාද එවැනි ගණන්වලිනි. වෙනදාට නම් පැවති ආණ්ඩු විසින් සුපිරි ඩීසල් සාමාන්‍ය ඩීසල්වලට වඩා වැඩිපුර අඩුකරන විට කියා සිටියේ පොහොසතුන් සඳහා පමණක් මෙම ආණ්ඩු සහන දෙන බවයි. එහෙත් වත්මන් ආණ්ඩුව සාමාන්‍ය ඩීසල්වලට වඩා සුපිරි ඩීසල් වැඩිපුර ගාණකින් අඩු කළ විට ඉහත ප්‍රශ්නය කිසිවකු අසා තිබුණේ නැත. ඒ කෙසේ වෙතත්, ඉන්ධන මිල මේ තරම් වැඩි වී තිබුණේ දූෂණය නිසාය යන මතය නවතම ඉන්ධන මිල සංශෝධනය හරහා, එම චෝදනාව දිගින් දිගටම එල්ල කළ ආණ්ඩුව විසින් ම කඩා බිඳ දමා ඇත.

මේ සියල්ලෙන් ම කියන්නේ යථාර්ථවාදී නොවන මත නිර්මාණය කිරීම හරහා කවුරුන් විසින් බලය ලබා ගත්ත ද අවසානයේ එසේ ලබාගත් අය වෙතම එම මතය හා යථාර්ථය කෙසේ වෙතත්, එහි ගැටලුව වන්නේ, එසේ හඹා ඒමෙන් ගොදුරු වන්නේ එසේ බලයට පැමිණි ආණ්ඩුව පමණක් නොව, සමස්ත දේශපාලන තන්ත්‍රයම වීමයි. එය රටක ස්ථාවරත්වය හා ඒ මගින් ගොඩනැගෙන යහපැවැත්ම සඳහා එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ