මේ දිනවල රටේ දේශපාලනයේ කතා වෙන එක් මාතෘකාවක් වන්නේ චැනල් - 4 නාලිකාවේ විකාශය වූ පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධ වීඩියෝ එකය. සමහරුන් සිටින්නේ ‘‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ නියම තොරතුරු සොයා ගත්තා’’ වැනි සතුටකින්ය. රටින් පැන ගොස් වෙන රටක පුරවැසිකම ලබා ගැනීමේ අරමුණින් මීට පෙර බොහෝ අය සිදු කළා වැනි පාපෝච්චාරණයක් මෙතැන තිබෙන බව තවත් සමහරුන්ගේ අදහසය. මේ පාපෝච්චාරණයේ ඇත්ත-නැත්ත ඉදිරියේදී රටට ඉදිරිපත් විය යුතුය. ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට මා අදහස් කරන්නේ නැත.
මෙවර කිවිදා දැක්මෙන් මා බලාපොරොත්තු වන්නේ යම් ආකාරයක සංකල්පීය රාමුවක් පිළිබඳව සාකච්ඡා කරන්නටය. ඒ කියන්නේ රටේ අනාගත පාලනයක් ගොඩ නගන කවර පාක්ෂයකට වුවත් වැදගත් වන දේශපාලන, ආර්ථිකයේ මූලික කාරණා කීපයක් පිළිබඳව කතා කරන්නටය.
මෙරට සමාජයම ආර්ථික වශයෙන් කඩා වැටී ඇති මේ කාලයේ බොහෝ අය සාකච්ඡා කරන මාතෘකාවක් වන්නේ ‘‘රටේ ඉදිරිය කුමන ආකාරයක් ගන්නේද’ යන කාරණයයි. ශ්‍රී ලංකාවේ කොමියුනිෂ්ට් පක්ෂය මේ ගැටලුව පිළිබඳව ඔවුන්ගේ පිළිතුරු ඇතුළත් කර පොතක් පළ කළේය. තවත් සමහර පක්ෂ මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ස්ථාවරය සහ අනාගත වැඩ සටහන් ඉදිරිපත් කරමින් සිටින බවද පෙනෙන්නට තිබේ.
මීළඟ ආණ්ඩුව භාර ගැනීමට හෝ මීළඟ ජනාධිපතිවරයා වීමට හෝ අපේක්ෂා කරන කවර පාර්ශවයක් හෝ පුද්ගලයකු විසින් රට හමුවේ තැබිය යුතු වැදගත්ම දේ වන්නේ ‘රටේ ඉදිරි මග ගොඩ නගන්නේ කෙසේද’ යන සැලසුම බව ඉතාමත් පැහැදිලිය.
අර්බුදයේ ගමන් මග
බොහෝ අය දන්නා පරිදි 2022 අප්‍රේල් 12 දින සිට රට තිබෙන්නේ ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකය. රට තුළ ආර්ථික කඩා වැටීමක් සිදුවීමත්, එහිම දිගුවක් ලෙසින් ණය ගෙවීමට නොහැකිවීමත් නිසා රට වැටී තිබෙන්නේ ඉතාමත් අනතුරුදායක තැනකටය. රට මේ තත්ත්වයට පත් වූයේ කුමන හේතු නිසාදැයි දීර්ඝව කතා කළ යුතු කාරණාවක්ය. එහෙත් ඉතාමත් කෙටියෙන් පැවසුවොත් මේ කඩා වැටීමට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ රටේ දේශපාලන ආර්ථිකමය ප්‍රතිපත්ති නිර්මාණය සහ සැළසුම්කරණය පිළිබඳව 1977 පසු කාලයේ සිදුවූ බරපතළ වැරදිසහගත ක්‍රියාය.
1977 පත්වූ ආණ්ඩුව ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය නිර්බාධකරණය හෙවත් විවෘත කරන්නේ අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් හදන්නට කියාය. එහෙත් 2022 වන විට සිදුවී තිබෙන්නේ බරපතළ ආකාරයෙන් ආනයනය මත පදනම් වූ රටක් නිර්මාණය වීමය. ආර්ථිකය විවෘත කළේ මෙරටින් පිටරටට යැවෙන සේවා සහ නිෂ්පාදන වැඩි කරන්නට කියාය. එහෙත් අන්තිමට සිදු වුණේ විදේශවලින් ආනයනය කරන භාණ්ඩ හා සේවා මත පදනම් වූ රටක් බවට පත්වීමය.
රට බංකොලොත් වූවා යැයි කියන්නේ මේ ආනයන වියදම සම්පූර්ණ කරගන්නට ණයක් ගන්නටවත් නොහැකි තත්ත්වයකට රට පත්වීමය. අපනයන ආදායම වර්ධනය කර ගැනීමට ප්‍රතිපත්ති හා සැළසුම් හදන්නට අසමත්වීම නිසා විදේශ මුල්‍ය ශක්තිය පවත්වා ගෙන ගියේ විදේශ ණය ලබාගැනීමෙන්ය. දීර්ග කාලීන ගෙවීම් පදනම මත සහන පොලියකට ලබාගත් ණය සීමාව නිමාවූ විට වැඩි පොලියට අඩු කාලයකින් ගෙවන ණය විදේශීය මුදල් වෙළඳපොළෙන් ලබාගැනීමට පටන් ගත්තේය. 2008 සිට ගත් ISB ණය කියන්නේ ඒවාටය.
මේ තත්ත්වය තුළ 2022 වනවිට රට මුහුණ දුන්නේ ණය වාරික ගෙවීමටත් ආනයනය පවත්වාගෙන යාමටත් අවශ්‍ය විදේශ මුදල් නැති බරපතළ අර්බුදයකටය. අනෙක් අතින් දේශීය වශයෙන් රටේ මුල්‍යකරණය පවත්වා ගෙන ගියේ‘‘ වර්ධනය මත හෙවත් Growth base’’ ආකෘතියකින් නොවේ.
මේ තත්ත්වය තුළ මේ වනවිට රටේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලු තුනක් එකවර ජනතාවගේ හිසට කඩා වැටී ඇති බව ඉතාමත් පැහැදිලිය. ඒ අර්බුද තුන වන්නේ රාජ්‍ය මුල්‍ය අර්බුදය, විදේශ විනිමය අර්බුදය සහ ණය සේවාකරණ අර්බුදයෝය.
ආර්ථිකයේ මේ කඩා වැටීමට සාපේක්ෂව රටේ දේශපාලනය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද බරපතළ කඩා වැටීමක් ඇති වූ බව ඉතාමත් පැහැදිලිය. ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන් ජනතාව එළියට පැමිණීම මගින් පෙන්නුම් කරන්නේ ඒ දේශපාලන අර්බුදයේ තරමය. මා මෙයින් කියන්නේ ජනතා පීඩනයක් තිබෙන අවස්ථාවක ජනතාව පාරට පැමිණීම වරදක් කියා නොවේ. එහෙත් රටක ප්‍රජාත්න්ත්‍රීය ආකෘතිය තුළ එම රටේ ගැටලු නිරාකරණය කර ගැනීමේ ඉඩ නිමාවීම කියන්නේ බරපතළ ආකාරයේ දේශපාලන කඩා වැටීමක් බව මගේ අදහසය. මේ අනුව පෙනී යන්නේ අර්බුදයේ ගමන් මග රට රැගෙන ගොස් ඇත්තේ බංකොලොත් වූ ආර්ථිකයක් සහ කඩා වැටුණු ප්‍රජාතන්ත්‍රීය පාලනයක් සහිත තැනකටය.
මෙම අර්බුදයෙන් රට බේරාගත හැකි ආකෘතියක් ගොඩනගා ගැනීම අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බව ඉතාමත් පැහැදිලිය. මේ සඳහා මා යෝජනා කරන අදහස් කීපයක් මෙහිදී සංක්ෂිප්තව සටහන් කළ හැකිය.
ආර්ථික
අපේ ආර්ථිකයේ පෙන්නුම් කරන එක් ප්‍රධානතම ගැටලුවක් තිබෙන්නේ විවෘත ආර්ථික මොඩලය අප විසින් තේරුම් ගෙන ඇති ආකාරය තුළය. ‘‘අපනයනය හා ආනයනය නිදහස් කිරීම හරහා විවෘත ආර්ථිකයක් පවත්වාගෙන යාම’’ යන සරළ කියවා ගැනීමෙන් එපිටට නොගිය විවෘත ආර්ථිකයක් පවත්වා ගෙන යාමෙන් සිදුවිය හැකි දුර්විපාක සියල්ලම පාහේ අපට සිදු වුණේ ඒ නිසාය.
අපනයනය සඳහා නව ඉසව් නිර්මාණය නොකර සහ ඒ සඳහා නව දැනුම නිර්මාණය නොකර හුදු තරගකාරී අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට හැකියාවක් නැත. අනෙක් පසින් ආනයනයේ සියලු දොරගුලු විවෘත කිරීම තුළ සිදුවන්නේ සියලු නිෂ්පාදන කිසිදු වගවිභාගයකින් තොරව රට තුළට ඇතුළුවීමෙන් දේශීය ආර්ථික ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම කඩා වැටීමය.
චීනය, ඉන්දියාව සහ වියට්නාමය යන රටවල් තම විවෘත ආර්ථික මොඩලයට ගියේ අපෙන් පසුවය. එහෙත් එම රටවල් තුන් ආකාරයකින් මේ තත්ත්වය කළමනාකරණය කර ගත්තෝය. ඉන්දියාව විවෘත ආර්ථිකයට ගියේ සියලුම ක්ෂේත්‍රවල ආනයන විවෘත කරමින් නොවේ.
චීනය විවෘත ආර්ථිකයට ගියේ සියලු ක්ෂේත්‍රවල ආනයන විවෘත කරමින් නොවේ. මේ රටවල් දෙක විශාල වෙළඳපොළවල් තිබෙන රටවල් නිසා එසේ සමහර ක්ෂේත්‍රවල ආනයන පාලනය කර ගැනීමෙන් ගැටලුවක් ඇති නොවන නමුත් ලංකාව වැනි කුඩා වෙළඳපොළක් තිබෙන රටක එසේ කළ නොහැකි බව සමහරුන්ගේ අදහසය. එහෙත් මෙරට අභ්‍යන්තරික ආර්ථික අවස්ථා හැකිලෙන පරිදි ආනයනය විවෘත කිරීම වනාහි දෙපැත්තකින් රටේ ආර්ථිකය බිඳ දැමීමක් බව මේ සමහරුන් දකින්නේ නැත.
2015 – 19 කාලයේ ඕස්ට්‍රේලියාවෙන් තණකොළ පවා මෙරටට ආනයනය කළ බව සමහරුන් දන්නේ නැත.
ආර්ථිකයේ අපනයන වපසරිය නිසි පරිදි කළමනාකරණය හා සැලසුම්කරණය නොවීම මෙහි ඇති තවත් බරපතළ කාරණයකි. යටත් විජිත යුගයේ අපනයන උපක්‍රම මත යැපීම හේතුවෙන් සහ නව වෙළඳපොළවල් නොසෙවීම හේතුවෙන් අපනයනය එක තැන පල්වෙන දෙයක් බවට පත්වී ඇත. රජයේ මූල්‍ය කළමනාකරණයද ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ ලෙසින් අපගමනය වී ඇති ක්ෂේත්‍රයකි. රාජ්‍ය සේවය යනු රටක ශක්තියක් මිස බාධාවක් නොවිය යුතු එකකි. එහෙත් මෙරට සැලසුමක් නැති රාජ්‍ය සේවය සහ කාර්යක්ෂම නොවන පාලනය ආර්ථිකයේ විශාලම නාස්තිය බවට පත්වීම කනගාටුදායකය.
ඒ නිසා ආර්ථික ක්ෂේත්‍රයේ, (1) විනිමය කළමනාකරණය සහ සංචිත වර්ධනය, (2) රාජ්‍ය මූල්‍ය අංශයේ සැලසුම්කරණය, (3) අපනයන හා සේවා අංශ විවිධාංගකරණය (3) සැලසුම්සහගත ආනයන යාන්ත්‍රණය (4) ආර්ථික අවස්ථා වර්ධනය සහ ධන උත්පාදන අවස්ථා, සාධාරණ, ලෙස බෙදීයාම වැනි අංශ ගණනාවක නව ප්‍රතිපත්ති හා සැලසුම්කරණයක් නිර්මාණය කරගැනීම රටේ අංක එකේ අවශ්‍යතාව බවට පත්වී ඇත.
විදේශ ප්‍රතිපත්ති
මෙහිදී අවධානය යොමුකළ යුතු අනෙක් වැදගත් ක්ෂේත්‍රය වන්නේ විදේශ ප්‍රතිපත්තියයි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය වෙනදාටත් වඩා බරපතළ ලෙසින් වැදගත් වන්නේ චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකමය වර්ධනයට සම්බන්ධව සිතීමේදීය.
කලාපීය වශයෙන් ඇතිවෙමින් තිබෙන බල ආතතිය ඍජුවම වැටෙන ප්‍රදේශයක් වන්නේ ශ්‍රී ලංකාවය. යුරෝ - ඒසියා අර්බුදය තුළ රුසියාවට එරෙහි බලවේගවල ගොදුරක් බවට යුක්රේනය පත් වූ අයුරු අපේ අවධානයට ගැනීම ඉතාම වැදගත්ය. දකුණු ආසියාවේ යුක්රේනය බවට අප පත්වීමට ඉඩ නොදිය යුතුය. ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මේ හේතුව නිසාය. මේ දිනවල ආණ්ඩුව කරගෙන යන ඉන්දියානුකරණ ව්‍යාපෘතියෙන් පෙනී යන්නේ මේ අනතුර ගැන හරි අවබෝධයක් වත්මන් පාලනයට නොමැති බවය.
දේශපාලන ප්‍රතිසංස්කරණ
රටේ ඉදිරිය රැඳී තිබෙන්නේ ආර්ථික තලයේ සිදුකරන වෙනස්කම් තුළ පමණක් නොවේ. දේශපාලන ක්ෂේත්‍රයේ අපේ රට තිබෙන්නේ බරපතළ නොගැළපීම් සහ ගැටලුකාරීත්ව රාශියක් හමුවේය. රටට අවශ්‍ය ආණ්ඩු ක්‍රමය කුමක් විය යුතු ද යන ප්‍රශ්නයට හරියට පිළිතුරක් දීමට තවමත් අපට හැකි වී නැත. පත්වෙන හැම ආණ්ඩුවක්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පොරොන්දු දෙන්නේ ඒ නිසාය.
මේ සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවක් මෙය සිදුකළ නොහැකිය. එහෙත් අපේ රටේ ඉදිරි දේශපාලන න්‍යාය පත්‍රයක තිබිය යුතු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වන්නේ (1) රාජ්‍ය සේවයේ තීරණාත්මක වෙනස්කම්, (2) අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ගමනාගමන ක්ෂේත්‍ර, තුන රජයේ පංගුකාරීත්වය සහිතව වර්ධනය කිරීම්, (3) ව්‍යවස්ථාමය මැදිහත්වීමක් හරහා 13 සංශෝධනය, ඡන්ද ක්‍රමය. ජනාධිපති ක්‍රමය වැනි අංශ පිළිබඳ අවධානය යොමු කරමින් ව්‍යුහාත්මක වෙනසකට භාජන කිරීම වැනි දෑය.
සංවර්ධන මොඩලය
මේ සියල්ල සමග එකට ගමන් කරනා සංකල්පීය පොදු ගුණාකාරයක් ගොඩනගා ගැනීමත් ඉතාමත් අවශ්‍යය. මතවාදී තලයේ එකගතාවක් නැති සංවර්ධන උපාය මාර්ග රටේ පැළවෙන්නේ නැත. විවෘත ආර්ථිකය තවමත් රටේ ප්‍රශ්න කෙරෙන්නේ මේ හේතුව නිසාය.
ඒ නිසා අනාගත සංවර්ධනයක තිබිය යුතු වැදගත්ම එකඟතාවක් වන්නේ දෙමුහුන් පදනමක නොමැති ස්ථීර සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමය.
මේ සඳහා මගේ යෝජනාව වන්නේ ප්‍රජාතන්ත්‍රීය සහභාගිත්ව ව්‍යවසායකත්ව රාජ්‍යයක් (Inclusive Democratic Entreprencurial state) ගොඩ නැගීමය.
මහාචාර්ය චරිත හේරත්