සමලිංගිකත්වයට නීතිමය පිළිගැනීමක් ලබාදීම භයානකයි


HOMO-SEX_P14

සමලිංගික සේවනය පිළිබඳ සාකච්ඡාවක් මේ වනවිට මතුව ඇති ආකාරයක් දක්නට ලැබේ. එවැනි කතිකාවක් කෙරෙහි සමාජයේ අවධානය යොමු වීමට බලපෑ ආසන්නතම හේතුවක් වූයේ පසුගිය සතියේ පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළේ යැයි මාධ්‍ය සඳහන් කර තිබූ සම ලිංගික සේවනය වරදක් නොවන බවට වන යෝජනාවකි. මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මෙහි එවැනි යෝජනාවක් ඇතුළත්ව තිබිණි යැයිද ඊට එරෙහිව අමාත්‍යවරුන් රැසක් දැඩි විරෝධය පළ කර සිටියේ යැයිද යනුවෙන් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් කරුණු සඳහන් වී තිබිණි. මේ සියල්ලත් සමග සමලිංගික සේවනය ගැන රට්ටුන්ගේ අවධානය ගැඹුරු වී ඇති බැවින් මේ ඒ සම්බන්ධව ප්‍රජා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.


සමලිංගිකත්වය යන්නෙන් අදහස් වන්නේ එකම ලිංගිකභාවයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ කීපදෙනෙකු අතර පවත්නා ලිංගික සබඳතාය. සමලිංගික සේවනය ලංකාවේ ඈත අතීතයේ පටන්ම තිබූ බව හෙළිවී තිබේ. කෙසේ වෙතත් ලංකාවේ නීතියට අනුව පිරිමි දෙදෙනෙකුට විවාහ විය නොහැකිය. ගැහැනු දෙදෙනකුටද එසේ කළ නොහැකිය. ඒ අනුව සමලිංගික සේවනයෙහි යෙදෙන්නන්ට විවාහය දක්වා වූ දිගුදුරක් යෑමට අපේ රටේ නීතිය අනුව ඉඩක් නොලැබේ. නමුත් ඇතැම් යුරෝපීය රටවල එවැනි විවාහ සඳහා නීතියෙන් අවසර ලැබී තිබේ. නිදසුනක් ලෙස නෝර්වේ රට ගත හැකිය. එරටේ නීතියට අනුව සමලිංගික සේවනයෙහි යෙදෙන ගැහැනු දෙදෙනකුට හෝ පිරිමි දෙදෙනකුට විවාහ විය හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම්  ප්‍රාන්තවලද මේ තත්ත්වය ක්‍රියාත්මක වේ. තාක්ෂණය දියුණු නිසා සමලිංගික සේවනයෙහි යෙදෙන ගැහැනු දෙදෙනකුට දරුවකු වුව හදාගත හැකිය. ශුක්‍රානු සහිත බැංකුවලින් ඒවා ලබාගෙන තැන්පත් කරගැනීම මගින් ඒ සඳහා කටයුතු කළ හැකිය. මෙවැනි තත්ත්ව සමහර යුරෝපීය රටවල සිදුවේ.


SLD_20170122_A014සමලිංගික සේවනයට අදාළව අප කළ සමීක්ෂණවලදී පෙනී ගිය කාරණයක් නම් ලංකාවේ තරුණ ප්‍රජාවෙන් බහුතරය “සමලිංගිකත්වය” යන්න ගැන නිසි අවබෝධයෙන් තොර බවය. අධ්‍යාපනය හදාරන පිරිමි සහ කාන්තා නේවාසිකාගාරවල සිටින තරුණ ප්‍රජාව අතර මේ ආකාරයේ සබඳතා වැඩි වශයෙන් ඇතිවන ආකාරයක්ද හඳුනාගත හැකිය. මෙරට සමලිංගික සේවනය සුලබව දැකිය හැකි තවත් ක්ෂේත්‍රයක් නම් සංචාරක ක්ෂේත්‍රයයි. විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සමලිංගික සේවනයට වැඩි කැමැත්තක් දක්වන සංචාරකයන් නිසා ඒ තත්ත්වය දැකිය හැකිය. සමලිංගික සේවනයේදී සංසර්ගයේ යෙදීමක් සිදුනොවන බැවින් ලිංගාශ්‍රිත ලෙඩ රෝග වැලදීමේ ඉඩකඩ අඩුය. ඒ නිසා ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයෝ සමලිංගික සේවනයේ යෙදීමට උත්සාහ කරති. මේ අනුව කිවහැක්කේ යම්තාක් දුරකට ලංකාවේ සමලිංගික සේවනය යන්න ක්‍රියාත්මක වන බවය. එසේ වුවද ඒ ගැන තිබෙන්නේ ඉතා අඩු අවබෝධයකි.


සමලිංගික සේවනය නීතිගත කළහොත් ඒ ආකාරයේ ලිංගික කටයුතුවල යෙදෙන පිරිස්වලට විවාහ වීම සඳහා ඉඩ ලබා දිය යුතුය යන ඉල්ලීමද ඉදිරිපත් වේ. එවැන්නකට ඉඩ ලබාදීම සිදුකළ හොත් අපේ සමාජ පද්ධතීන් විෂයෙහි විශාල ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ තිබේ. මීට අදාළව අප කළ පර්යේෂණවලදී දුටු පරිදි ඒ සඳහා බලපාන එක් හේතුවක් තිබේ. එනම් සමලිංගික සේවනයට යොමු වූ තරුණ පිරිස්වලට යහපත් විවාහ ජීවිතයක් ගතකිරීමට ඇති නොහැකියාවයි.  සමලිංගික සේවනයෙහි යෙදෙන පිරිමි අයෙකුට ස්ත්‍රියක සමඟ විවාහ වී දරුවන් බිහිකර හොඳ පවුල් ජීවිතයක් ගතකිරීමට හැකිවන්නේ නැත. නැතහොත් ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා සීමිතය. සමලිංගික සේවනයෙහි යෙදෙන කාන්තාවකටද මේ තත්ත්වය අදාළය. එවැනි අය විවාහ වුවද ඉතා ඉක්මනින් ඒ විවාහ ජීවිතවල ප්‍රශ්න, ගැටුම් ආදිය හටගත හැක්කේ ඔවුන් තමන් පෙර සිදුකළ සමලිංගික ක්‍රියාකාරකම්වලට වැඩි ප්‍රියතාවක් දක්වන නිසාය. සමාජයක පවුල නමැති සංස්ථාව ඉතාම වැදගත්ය. අපි මේ මෑතකදී සමාජ සේවා දෙපාර්තමේන්තුව සමග එක්වී පවුල් ප්‍රතිපත්ති මාලාවක් පිළියෙල කළෙමු. ඒ මගින් පවුල් ආරක්ෂා කිරීමට හා සවිබල ගැන්වීමට අදාළ ප්‍රතිපත්ති රැසක් ඉදිරිපත් කිරීමට හැකිවිය. පවුල ආරක්ෂා වුවහොත් පමණක් රට ඉදිරියට ගෙන යා හැකි අතර පවුල් සබඳතා අභිබවමින් ඒකලිංගික සබඳතා ඉදිරියට පැමිණියහොත් පවුල් සංස්ථා ආරක්ෂා වන්නේ නැත. ගැහැනියක සහ පිරිමියකු විවාහ වී සංසර්ගයේ යෙදී දරුවන් බිහිකර එම දරුවන් පෝෂණය කිරීමේ පවුල් ක්‍රියාවලිය විෂයෙහි දරුණු බලපෑම් එමගින් ඇතිවිය හැකි අතර රටේ සඵලතාව (දරුවන් බිහිකිරීමේ ප්‍රවණතාව) කෙරෙහිද  ගැටලු ඇතිකිරීමට ඒ තත්ත්වය ඉවහල් විය හැකිය. සමලිංගික සේවනය නීතිගත කර තිබෙන ඇතැම් රටවලට මේ තත්ත්වය ගැටලුවක් නොවන්නේ එම රටවලට වෙන රටවල හොඳට ඉගෙනගත් තරුණ තරුණියන් ගෙන්වා ගෙන ළමයින් බිහිකරගන්නා බැවිනි. එම නිසා ජන සංඛ්‍යාවෙහි ප්‍රමාණය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් නැත. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවලට ඒ ආකාරයට විදේශ රටවලින් තරුණ පිරිස් පැමිණ පදිංචි වීමක් සිදුවන්නේ නැත. එම නිසා සමලිංගික සේවනය නීතිගත කර ඒ ආකාරයේ විවාහවලට ඉඩ ලබා දීමට කටයුතු කළහොත් සිදුවිය හැකි එක දෙයක් නම් රටේ සඵලතාව විෂයෙහි විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. අනෙක් පැත්තෙන් පවුල් සංස්ථාවලද බරපතළ ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. සමලිංගිකත්වය ගැන නොදන්නා  මිනිසුන් මේ මගින් ඒ පිළිබඳ ලබන දැනුම්වත්භාවය නිසා ඊට යොමුවීමේ අවධානමක්ද මෙහි පවතී. අපේ රටේ ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය නීතිගත කර නැත. නමුත් ඒවා ක්‍රියාත්මක වේ. ඒවාට නීතිමය පිළිගැනීමක් ලබාදීමට පියවර ගතහොත් සිදුවන්නේ ඒ සඳහා යොමුවන පිරිස් වැඩිවීමත් පවුල් සංස්ථා ආරවුල් ඉහළ යෑමත්ය. පවුල් සුරක්ෂිතතාව, ළමා සුරක්ෂිතතාව මේ ආදී ඒවායෙහි බරපතළ ප්‍රශ්න ඇතිවීමට මෙවැනි තත්ත්වයක් හේතු විය හැකි අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ ඊට කිසිදු අනුකූලතාවක් ලැබීමට කිසිසේත්ම ඉඩකඩක් ද නොමැත. වෙනත් සංස්කෘතියක අංගයක් අප වැනි රටක ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ  නම් ඊට පෙර ඒ සම්බන්ධ මනා කතිකාවක් ගොඩනගා එහි සුදුසු නුසුදුසුභාවය පරික්ෂාවට බඳුන් කළ යුතුය.


 සමලිංගික සේවනය ගැන තවදුරටත් කතා කරන විට එහි ඇති තවත් එක් ප්‍රභේදයක් ගැනද අපේ අවධානය යොමු කළ හැකිය. එනම් ගැහැනියක සහ පිරිමියකු පවුල් ජීවිතයක් ගත කරන අතරවාරයේ එම  ස්වාමි පුරුෂයා වෙනත් පිරිමියකු සමඟ සබඳතා පවත්වන තත්ත්වයකි. එවැනි සබඳතා නිසා ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් ද තිබේ. මන්ද එකී ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර පවතින ලිංගික සබඳතාවට අමතරව පුරුෂයා තවත් පිරිමියකු සමග ලිංගික සබඳතා පවත්වන නිසාය. මගේ පෞද්ගලික අදහස අනුව නම් සෞඛ්‍ය, පවුල් සබඳතා හා ආර්ථික ආදී අංශවලට අදාළව ගත් විට සමලිංගික   සේවනයෙන් පැතිකඩ ශ්‍රී ලංකාව වැනි රටකට එතරම් යෝග්‍ය වන්නේ නැත. අපේ සමාජයේ මේ සඳහා “වැබූ” (එය සිදුවන බව දන්නා නමුත් ඒ ගැන කතා නොකරන) යන නාමය ව්‍යවහාර වන්නේද ඒ නිසාය. මේ සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීම මගින් ඉහත අප සාකච්ඡා කළ වැබූ ප්‍රවණතාව තවත් වර්ධනය වීමට ඉඩ ඇත. ඒ වර්ධනයෙහි එක් අවස්ථාවක් ලෙස සමලිංගික සේවනය ලබා දෙන සේවා ස්ථාන ඇති වීමටද පුළුවන. ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර නැති නිසා ගණිකා සේවය සපයන ස්ථාන ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන්නේ නැත. ගණිකා වෘත්තිය නීතිගත කර ඇති තායිලන්තය වැනි රටක එම සේවා සපයන ස්ථාන ලියාපදිංචි කර ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකිය. එවැනි පසුබිමක සමලිංගික සේවනය නීතිගත කිරීමට කටයුතු කළ හොත් අද වන විට අඩියක් පාසා දක්නට ලැබෙන සම්බාහන (ස්පා) සේවා සපයන ස්ථාන මෙන් සමලිංගික සේවා සපයන ස්ථාන ඇතිවීමටද ඉඩ තිබේ. අනෙක් අතට මේවා පිළිබඳ “ෆේස්බුක්” වැනි සමාජජාල වෙබ් අඩවි මගින් තොරතුරු සන්නිවේදනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ගබ්සා කිරීම ගතහොත් එය ලංකාවේ  නීතිගත කර නැති බැවින් කිසිවකුට ඒ පිළිබඳ තොරතුරු සමාජජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කළ නොහැකිය. එය නීතිවිරෝධී කටයුත්තක් නිසා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක්ද තිබේ. එබැවින් සමලිංගික සේවනය නීතිගත කිරීම මගින් ඒ සඳහා සුවිශාල ප්‍රචාරණයක් ලැබීම සේම තරුණ ප්‍රජාව බහුල ලෙස ඊට  යොමුවීමක්ද සිදුවිය හැකියි.


මෙහි දැකිය හැකි තවත් පැතිකඩක් තිබේ. එනම් තරුණියන්ට වඩා තරුණයන් බහුල ලෙස සමලිංගික සේවනයට යොමුවීමය. ඊට බලපාන එක් හේතුවක් නම් පවුල් සංස්ථාවේදි තරුණියට (දුවට) ලැබෙන ආරක්ෂාව සහ උපදෙස්  තරුණයාට (පුතාට) නොලැබීමය. විශේෂයෙන්ම වැඩිවියට පත්වන දියණියට ආරක්ෂාවිය යුතු අන්දම පිළිබඳ  මව් පාර්ශවයෙන් නීති උපදෙස් හා ආරක්ෂාව ලැබෙන නමුත් පවුලක පිරිමි දරුවකු සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. ඒ පසුබිමේ වැඩිහිටි පිරිමියෝ පිරිමි දරුවන් සමලිංගික සේවනය සඳහා යොමු කරවා ගනිති. එවැනි ඇසුරකට යොමුවන වැඩිහිටි පිරිමියකු කාන්තාවක සමඟ විවාහ ජීවිතයට ඇතුළත් වුවද පැරැණි සමලිංගික ඇසුරු ගැන මතක් වී යළි ඒ සඳහා යොමු වීමටද පිළිවන.


ලංකාවේ නීතිය අනුව විවාහ වී සිටින දෙදෙනකු පවත්වන ලිංගික සබඳතා මගින් එක් අයෙකු අනෙකාට හිංසනකාරී ලෙස හැසිරුණහොත් හෝ සංසර්ගය නිසා හටගන්නා දරු ගැබෙහි වගකීම ප්‍රතික්ෂේප කළ හොත් (බොහෝවිට පිරිමියා විසින්)  එවැනි ප්‍රශ්න නීතිය හමුවට පැමිණෙති. ඒවා පිළිබඳ අපට නොයෙක් තොරතුරු අසන්නටද ලැබේ. කෙසේ වෙතත් සමලිංගික සේවනය සම්බන්ධ ඒ ආකාරයේ ප්‍රශ්න නීතිය ඉදිරියට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. ඇතැම්විට නොඑන තරම්ය. සමලිංගික සේවනය අපේ සමාජයේ “වැබු” කර තිබීම (ඒ ගැන කතා නොකර වසා තැබීම) ඊට එක් හේතුවකි. කෙසේ වෙතත් කුඩා පිරිමි දරුවන් මේ සඳහා යොදා ගන්නා සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් ඒවා නීතිය ඉදිරියට  පැමිණවිය හැකිය. මන්ද එම කුඩා දරුවන්  නොදන්නාකම නිසා ඊට ගොදුරු වන නිසාත් වැඩිහිටි පිරිමින් හෝ සංචාරකයන් හෝ එම දරුවන් රැවටීම මගින් ඒ සඳහා යොමුකරවා ගන්නා බැවිනි. ඒ ආකාරයට දරුවන් රැවටීමට ලක්කරමින් එවැනි කටයුතු සඳහා යොදාගන්නා අයට විරුද්ධව පවරා ඇති නඩු පිළිබඳවද අපට තොරතුරු අසන්නට ලැබී තිබේ. එබැවින් මෙම සමලිංගික සේවනයට අදාළ නීතිමය පැතිකඩක්ද තිබෙන බව සැලකිල්ලට ගතයුතුය. මේ සේවය නීතිගත කළහොත් ඇතැම් සංචාරකයන් ඒවා ලබා ගැනීමේ අරමුණින්ම මෙරටට පැමිණීමටද ඉඩ තිබේ.


 සමලිංගික සේවනය ලංකා සමාජයේ “වැබූ” කර තිබෙන බැවින් ඊට අදාළව සමීක්ෂණ සිදුකිරීම තරමක අපහසු කර්තව්‍යයකි. කෙසේ වෙතත් ලංකාවේ සමලිංගික සේවනයෙහි යෙදෙන ප්‍රතිශතය ඉතා අඩු අගයක් ගනියි. ඒ අතරින්ද සමලිංගික සේවනයෙහි යෙදෙන්නන් අතරින් සියයට විස්සක් තිහක් (20%-30) අතර පිරිසක් තරුණ ප්‍රජාව නියෝජනය කරන්නෝ වෙති. මේ ආකාරයට ලංකාවේ සමලිංගික සේවනයෙහි යෙදෙන්නන්ගේ ප්‍රතිශතය ඉතා අඩු අගයයක් ගැනීමට බලපාන එක් හේතුවක් නම් තරුණ ප්‍රජාව අතර ප්‍රේම සබඳතා බහුල ලෙස පැවතීමය. එවැනි සබඳතා පවත්වන්නන් සමලිංගික සබඳතාවලට යොමුවන ඉඩකඩ ඉතා සීමාසහිතය. අනෙක් අතර අපේ රටේ විවාහවන්නන්ගෙන් බහුතරයක් දෙනා විවාහවන්නේ ප්‍රේම සබඳතා මගින්. එබැවින් මේ තත්ත්වය වෙනස් කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එමගින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුය. එම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගේ මත විමසමින් අවශ්‍ය පර්යේෂණ සිදුකරමින් සුදුසු තීරණයක් ගැනීම ඉතා වැදගත්ය.


 සමලිංගික සේවනය සඳහා යොමුවීම කෙරෙහි ජානමය බලපෑමක් තිබේද යන්න පිළිබඳව මෙතෙක් ඊට අදාළව සිදුකර තිබෙන පර්යේෂණවලින් කරුණු අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් ඇතැම් පිරිමින් කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට බියක් දක්වන බව නම් ප්‍රකටය. පිරිමින්ට ඒ සඳහා හොඳ ශාරිරික හා මානසික හැකියාවක්ද තිබිය යුතුය. එවැනි හැකියාවක් තමන්ට නැතැයි සිතන පිරිමි විවාහ නොවී සිටීමට උත්සාහ කරති. එවැනි කාන්තාවෝද සිටිති. ඔවුන් බොහෝවිට සමලිංගික සේවනය සඳහා යොමු වීමට ඉඩ ඇත.

m