සමාජ-ආර්ථික පෙරළියකට කාලය ඇවිත්


ලෝකයේ රටවල් විශාල පරිවර්තනයකය. දේශපාලනය, ආර්ථිකය හා ජන සමාජය වෙනස් වෙමින් තිබේ. කාලානුරූපව වෙනස් වන රටවල් දියුණු තැනෙක බව සඳහන් කළ යුතුය. කොවිඩ් වසංගත තත්ත්වයට පසු නවතම ප්‍රවේශයකය. පටු අදහස් වලින් ගැලවී අලුත් යුගයකට ඇතුළුවෙන්නට නම් අලුතින් හිතන්නට අවශ්‍යය. විකල්ප ගැන අවධානය යොමු කළ යුතුය. අලුත් දැක්මක් අනුව කටයුතු කළ යුතුව තිබේ. එය පහසු නැත. අභියෝගයකි. වෙනස් නොවන පැති ඉදිරියේ සමාජය ගෙවා ඇති වන්දිය බරපතළය. පැරණි ව්‍යුහය වෙනස්කරන සේ බලකරන සමාජ ව්‍යුහයක් අවශ්‍යය. අලුත් අවස්ථා ඉල්ලන ජනසමාජයේ හඬ යටපත් කර දැමීම සුදුසු නැත.

වෙනස්වීම පොදු ධර්මතාවකි. වෙනස්වීම ගැන බෞද්ධ ආගමානුකූලව කරුණු පැහැදිලි කර ඇත. අනෙක් ආගම්වල පවා වෙනස්වීම ගැන දක්වා තිබේ. පැවැත්ම වෙනස් කරන පැති විද්‍යාවෙන් ද අනාවරණය කරයි. පරිණාමය, විද්‍යාත්මකව කරන පැහැදිලි කිරීමකි. ‘අලුත් දෑ නොතකන සමාජය ලගී ගයා මර ගී’ යනුවෙන් කුමාරතුංග මුනිදාස ශූරීහු ප්‍රකාශ කර තිබේ. නොවෙනස්වන දෙයක් නැත. ජන සමාජය තුළ විවිධ කොටස් සිටිති. ඇතැම් පිරිස් පැරණි මතවල පවතින්නට වෑයම් කරති. අලුත් දේ සඳහා සූදානම් නැත. ශ්‍රී ලංකාව බලගන්වනු සඳහා පැරණි ගතානුගතික රාමුවෙන් ගැලවිය යුතුය.


ධනය නිපදවීම පෞද්ගලික අංශය අතට
රාජ්‍යය, යන සංකල්පය කාලානුරූපව පරිවර්තනයකට ලක් වී ඇත. රජය පමණක් සියලු දේ කළ යුතුය යන රාමුව අහෝසි වී තිබේ. පුද්ගලයා සහ පෞද්ගලික ව්‍යවසාය වලට ද වගකීමක් හා කාර්ය භාරයක් පැවැරී ඇත. ධනය නිපදවන්නේ පෞද්ගලික අංශයයි. ප්‍රතිපත්ති සකස් කිරීම ආණ්ඩුවලට පැවරේ. එහි දී විශාල කාර්යක්ෂමතාවක් ඇතිවෙයි. ඉතාම ශක්තිමත් නියාමනයකින් පාලනය සිදුවෙයි. නියාමනය ආණ්ඩුවල කාර්යභාරයකි. අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. එයින් පෞද්ගලික ව්‍යවසාය දියුණුවෙයි. තරගකාරීව වැඩෙන පෞද්ගලික ව්‍යවසාය ආර්ථිකය සක්‍රීය කරයි. රැකියා උත්පාදනය කරන අතර රජයට බදු ආදායම ලැබෙන මාර්ගයකි. එම ආදායම පොදු පහසුකම් වැඩිදියුණුව සඳහා වියදම් කළ හැකිය. සහන අවශ්‍ය ජන කොටස තෝරා ඔවුන්ට අවශ්‍ය සහන සැපයීමට වැය කළ හැක. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙක අතර සමබරතාව පවත්වාගෙන යෑමෙන් රටට අත්පත්වන ප්‍රගතිය ඉහළය. ජනතාවට දැනෙන සේවයක්, අතමිට සරු හෙට දවසක් වෙනුවෙන් තීරණ ගැනීම රජය සතු බලවත් වගකීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථික ක්‍රමය තුළ හැඩගැසෙන්නට ශ්‍රී ලංකාව වරින්වර උත්සාහ කර තිබේ. ආණ්ඩු වලින් සිදුකරන්නේ ප්‍රතිපත්ති ගැටීමකි. ඉකුත් දශක හතර තුළ විවෘත ආර්ථික ක්‍රමයේ ජවය, නිසියාකාරයෙන් ලබාගෙන නැත. මතවාදී වශයෙන් විරුද්ධ සහ පටු අදහස් පතුරුවා හරින ප්‍රතිවාදී ඇතැම් දේශපාලනඥයෝ, රාමුවෙන් බැහැර තීරණවලට වැරදරන ආණ්ඩුවලට එරෙහි වෙති. ආණ්ඩුවේ ජනප්‍රියභාවය, ඡන්ද පදනම ගැන අවධානය යොමු කරන ඇතැම් නායකයෝ, පැවැත්ම අවදානමකට තබන්නට සූදානම් නැත. එහි ප්‍රතිඵලය කටුක, නිරස ස්වභාවයක් ඉතිරිකර තිබේ. ආර්ථිකය දුබල කර ඇත. එයින් ඇති කරන අවදානම සුළු පටු නොවේ. රට පවතින දුර්වල තැන දකින තරුණ පරපුර, අලුත් අවස්ථා සොයා රට හැර යමින් සිටිති. වෙනත් රටකින් අනාගතය සාක්ෂාත් කරගන්නා තැනට පත්ව සිටීම කනස්සල්ලට කරුණකි.


මේ කවුද නොව - මොනවද කරන්නේ යන්න වැදගත්ය
පුරවැසියන්ගේ අවශ්‍යතාව පළමු කොට සැලකිය යුතුය. කාර්යක්ෂමව, අඩුම මිලකට හොඳ සේවයක් අවශ්‍යය. ඛනිජ තෙල්, ගෑස් විදුලිය  වැනි අංශවල විශාල විකෘතියක් තිබේ. මෑත කාලයේ පාරිභෝගික ආකල්ප වෙනස් වී ඇත. ආණ්ඩුවෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න වැදගත් කාරණයක් වී නැත. ඛනිජ තෙල්, විදුලිය සහ ගෑස් යන බලශක්ති අංශයේ වැඩිම කොටසක් ආණ්ඩුව භාරයේ ඇත. ඒවා පහසු ව්‍යාපාර නොවේ. මිල ගණන් වෙනස්වන විට හා පිටරටවලින් ගෙන්වනවිට රජයකට අනුගමනය කළ හැකි පිළිවෙළ අවාසිදායක ලෙස බලපා තිබේ. එහි අකාර්යක්ෂමතාව පොදු ජනතාවට බරකි.  විදුලිය උත්පාදන ක්‍රම සම්බන්ධ පරිවර්තනයක් ලෝකයේ සිදුවී තිබේ. පුනර්ජනනීය විදුලිය වෙත නැඹුරු වී ඇත. එම පැතිවලට ඇතුළු නොවීම විශාල අවාසියකි. වෙනස්කම් කරන්නට රජයට ධනය නැත. දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අලුත් තීරණ ගැනීමට ඉඩ දෙන්නේ නැත. එහි බර ආර්ථිකය අසීරු තැනකට තල්ලු කර තිබේ.

අසාර්ථක රාජ්‍ය ආයතන ජාතික සම්පත් වශයෙන් හඳුන්වන්නේ ඇයි? ඇමැතිවරු රජයේ ආයතන ප්‍රයෝජනයට ගනිති. සෑම ආණ්ඩුවක්ම නඩත්තු කරන්නට නොහැකි තරමට සේවක පිරිසක් බඳවාගෙන ඇත. එය පාඩු ලබන එක හේතුවකි. දේශපාලන ව්‍යාපෘති වලට රජයේ ආයතන නැඹුරු කරගැනේ. සම්පත් නාස්ති කරන, අකාර්යක්ෂම හා පාඩු ලබන රාජ්‍ය ආයතන ආර්ථිකයට හානියකි. රටට බරක් වන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වශයෙන් පෙනී සිටීම අවමානයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාර, බංකොලොත්වන විට ඒවායේ අයිතිකරුවන් අසාර්ථක පුද්ගලයෝ බවට පත්වෙති. පෞද්ගලික අංශයේ පිළිගැනීම එයය. ජනතාවගේ බදු වලින් නඩත්තු කරන රජයේ ආයතන අසාර්ථක නමුත් තව තවත් වරප්‍රසාද ලබයි. අති විශාල පාඩු සහ බැංකු ණයවලට ගෙවන පොලිය රටට ඉතාම අහිතකරය.  කිසිම ආකාරයක යහපතක් සමාජයට ලැබෙන්නේ නැත. ක්‍රමය පවත්වාගෙන යන දේශපාලනඥයෝ මෙම ගතානුගතික රාමුව ආරක්ෂා කරති.  

රට පාලනය කිරීම වෙනුවට ව්‍යාපාර කරන ආණ්ඩු අවසානයේ දී සංකීර්ණ තත්ත්ව වලට ගොදුරුවේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආයෝජන, මහජන සුබසාධනය, ව්‍යවස්ථාව සකස් කිරීම වැනි වැදගත් කරුණු පසෙකට තබන අතර සහල්, කිරිපිටි, සීනි ඇතුළු සෑම අංශයකම කැලැඹිලි ඇති කරගෙන ඇත. දුරකතන සේවා ආණ්ඩුව භාරයේ තිබුණි. පෞද්ගලික අංශයට විවෘත කිරීමෙන් පසු ලැබී ඇති දියුණුව කැපී පෙනේ. රජය කරගෙන ගියේ නම් අද වනතුරු රටට ජංගම දුරකථන සේවා සැපයෙන්නේ නැත. රක්ෂණ අංශය සාර්ථකව තරඟකාරීව පවතී. පෞද්ගලීකරණයෙන් ලැබුණ වාසියකි. ඛනිජ තෙල් ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වූයේ නම් සම්පූර්ණයෙන් වෙනස් ස්වභාවයක් පවතිනු ඇත. විදුලිය බලය, ජලය බෙදාහැරීම, දුම්රිය සේවා වැනි අංශ වල විශාල ප්‍රගතියක් ඇති කළ හැකිය.


අලුත් අවස්ථා ගැන වෙනස් පැතිවලින්
මහජනතාවට දැනෙන සේවයක් සඳහා අලුත් ව්‍යුහයක් අවශ්‍යය. ආර්ථික දියුණුව ඇති කෙරෙන්නේ ආණ්ඩුවෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න වැදගත් නැත. ව්‍යාපාර වලින් අය කරන බදුවලින් දුප්පත් ජනතාවට සහන සැපයීමට හැක. දැන් සිදුවෙන්නේ දුප්පත් ජනතාවගෙන් අය කරන බදු වලින් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නඩත්තු කිරීමයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය නඩත්තුවට එක දිනකට රුපියල් මිලියන අනූ නමයක් ගෙවන්නට මහා භාණ්ඩාගාරයට සිදුවී තිබේ. 2022 අය වැය යෝජනාවලට මෙම අසාර්ථක ක්‍රම අලුත් කරන වගකීමක් ඇත. වසර හතළිකට කලින් විවෘත ආර්ථිකයෙන් ලබා ගත් අවස්ථා නැවත වටයකින් ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය්‍ රාමුව සකස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.

රජයට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් තිබේ. දුම්රිය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු තැන් වල ඇති අවකාශය කිසිම ප්‍රයෝජනයකට නොගනී. සෑම බිම් අඟලකම වටිනාකමක් ඇත. දේශීය හෝ විදේශීය ආයෝජන වලින් මනා ප්‍රයෝජන ගත හැකිය. ඉඩම් පැවැරීම ගැන ඇතැම් කොටස් විරෝධය පළකරති. රටේ භූමිය කිසිවෙකු රැගෙන ගොස් නැත. මෙරට ජනී ජනයා ලක්ෂ දෙකකට වඩා වෙනත් රටවල සේවය කරමින් සිටිති. එම රටවල දී උපයන ධනයෙන් කොටසක් ලංකාවට එවන අතර එය මෙරට වැඩිම විනිමය උත්පාදනය බවට පත්ව ඇත. ලාංකිකයන්ට තම රටේ සේවය කරන උසස් අවස්ථා ඇති කිරීම අපගේ වගකීමකි. විදේශගතව සිටින පිරිස හා සේවයෙන් පසු නැවත ආපසු එන ලාංකිකයන්ට වෙනත් රටවල් දියුණු වී ඇති ආකාරය ගැන අත්දැකීම් තිබේ. ඒවා අමතක කරන්නේ ඇයි? ආකල්ප වෙනස් කරන වැඩ පිළිවෙළක් අවශ්‍යය. රට නගා සිටුවීම සඳහා සමාජ බලකිරීම ද වැදගත් කාරණයකි.

පාලකයන්ට තීරණ ගැනීම පහසු කරවයි. පටු අදහස් වලින් සමාජයට විකෘති අදහස් පතුරුවා ඇති අතර එයින් සිදුවන හානිය නිසි සේ තක්සේරු කිරීම අප සියළු දෙනාගේ බලවත් වගකීමකි.


තාක්ෂණයෙන් සිදුවන සමාජ පරිවර්තනය
දශක ගණනකට කලින් වරාය සේවා හැඩි දැඩි ශ්‍රමිකයන්ට සීමා වී තිබුණි. අදානි සමූහ ව්‍යාපාරය ආයෝජනය කරන කොළඹ බටහිර පර්යන්තය විශාල වෙනස්කම් ඇති කරනු ඇත. දැනට වරාය කාර්ය මණ්ඩලයේ කාන්තා ශ්‍රම නියෝජනය සියයට තුනකි. බටහිර පර්යන්තයේ මෙහෙයුම් වල දී සියයට හතළිහක ශ්‍රම බලකායක් කාන්තාවන් අතරින් තෝරා ගැනීමට නියමිතය. සියල්ල පරිගණක ගත අර්ධ රොබෝ තාක්ෂණයෙන් සිදුකෙරෙන බව වාර්තා කර තිබේ. ඒවායේ සේවය සඳහා තරුණියන්ට අවස්ථා ඇත. එපමණක් නොවේ. ලෝකයේ අලුත් කර්මාන්ත හා ව්‍යාපාර දියුණු තාක්ෂණයෙන් බලගැන්වෙයි. බලශක්තිය අතින් විශාල පරිවර්තනයකය. එයින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඇතිවේ. මෙම වෙනස්කම්වලට ශ්‍රී ලංකාව ඇතුළුවිය යුතුය. කාන්තා ශ්‍රම නියෝජනය ඉහළ යන විට අලුත් විභවයන් ඇති වෙයි. පවුලේ ඉපැයීම් වැඩිවන අතර සමාජ තත්ත්ව වෙනස් කරන බලවත් සාධකයකි. විරෝධතා ඇති කරන්නට කලින් ඇතුළාන්තය අධ්‍යයනය කළ යුතුය. ලෝකයේ අනෙක් රටවල සාර්ථක වී ඇති ක්‍රම ශ්‍රී ලංකාවට නොගැළපෙන්නේ ඇයි?

රට බෙදීම හා දේශීය සම්පත් විකිණීම වැනි ආකර්ෂණීය විවේචන කළ හැකිය. ඒවායෙන් දුප්පත් ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නැත. රටට ගැළපෙන ක්‍රම සඳහා සූක්ෂමව ප්‍රවේශවීම වැදගත්ය. නිදහස් වෙළෙඳ කලාප, ආයෝජන මණ්ඩලය, ඇඟලුම් කර්මාන්තය වැනි 1978 පසු ඇති වූ අවස්ථාවලින් ඉනික්බිතිව අපට ලැබී ඇත්තේ මොනවාද? නිතර සඳහන් කරන පරිදි ආසන්න රටවල් වේගයෙන් දියුණු වී තිබේ. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් තීරණ ගැනීමේ දී ඉතා පටු ආකාරයට ඊළඟ මැතිවරණය ගැන අවධානය යොමු කළේ නැත. එහි ප්‍රතිඵලය අද දකින්නට තිබේ.

 කිසිම සම්පතක් නැති කුඩා සිංගප්පූරුව විශාල ආර්ථිකයක් ඇති තැනකි. එහි එකම තෙල් ළිඳක් හෝ නැත. එහෙත් ලෝකයේ තෙල් නිෂ්පාදන අලෙවි කරන ප්‍රධාන රටවල් අතර තුන් වැනි තැන සිටී. එරට පාලකයෝ විදේශීය සමාගම් වලට ආයෝජන අවස්ථා සැපයූහ. ඩුබායි නගරය අද මුල්‍ය කේන්ද්‍රයකි. අප නිදහස ලබන කාලයේ එය කාන්තාරයක් පමණකි. දෙවැනි ලෝක යුද්ධයෙන් බැට කෑ ජපානය බින්දුවට වැටී සිටියේය. අද ජපානය ලෝක බලවතුන් අතරය. බංගලාදේශය දරිද්‍රතාවෙහි ගිලී සිටි රටකි. ඇඟලුම් කර්මාන්තයෙන් සෑහෙන දියුණුවක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවට ද ණය දෙන තරම් දියුණුවකි. කොරියාව, වියට්නාමය, පිලිපීනය යනාදී වශයෙන් තවත් උදාහරණ දැක්විය හැක. ඒවායේ පාලකයන් නිසි අවස්ථාවේ දී තීරණ ගෙන ඇත. ජනතාව එදිරිවාදිකම්වලට ගොදුරුවූයේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල ගැටුම් පොදු ජනතාවගේ ආර්ථික සිහින විනාශ කර තිබේ.


අදටත් එකසේ වලංගු ඉතිහාසයේ චෝදනා
රාජ්‍ය ව්‍යවසාය හා පෞද්ගලීකරණය ගැන විවාදය ගැන මගේ පෞද්ගලික අත් දැකීම් ද තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා පසුව ඇමැතිවරයකු වශයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයට සෑහෙන වෑයමක් දැරීය. එකල පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වූ කණ්ඩායම් නගන ලද තර්ක අදටත් එලෙසම තිබේ.

 කිසිම ආකාරයක වෙනස්කමක් නැත. අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ආර්ථික දේහයේ රුධිරය රහිතව වියැළී ඇති නහර සේ හඳුන්වන ලද අතර අදටත් එය වලංගුය. පරම්පරාවක් තිස්සේ අභාග්‍යය වෙත ගමන් කර තිබේ. එදා අවදානමක් ගෙන වෙනස්කම් කරන්නට වෑයම් කළේ නම් අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙපමණ දුබල තැනක නැත. එකල තිබුණ පහසු ආයෝජන රටාව වෙනුවට අද ඉතාම සංකීර්ණ ආයෝජන තරඟකාරීත්වයක් ඇත. අවස්ථා අහිමිකරගත් පසු පශ්චාත්තාපවීම සුදුසු නැත. ජනතාව විශාල වන්දියක් ගෙවා තිබේ. මහජන නියෝජිතයන් වශයෙන් සත්‍ය හා මුළාව අතර වෙනස වටහා ගැනීම වැදගත්ය. ලෝකයේ පවතින තරඟකාරී ආර්ථික රටාව හැර අනෙක් හුදෙකලා ගමනක් නැත. දූපතක අයිතිය ගැන තර්ක කරන්නට හැකිය. එහෙත් ජනී ජනයා දූපතෙන් එපිට සිදුවන දේ ගැන අවබෝධයක සිටී. රට අසාර්ථක වන විට වෙනත් රටවල් කරා සංක්‍රමණයට යුහුසුළු වෙති. මතක තබාගත යුතු වැදගත්ම කරුණ එයයි.

සංවර්ධනය සහ රටේ අනාගතය ගැන අප හැමදෙනාම උනන්දුවක් ඇත. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු එක කොටසකට පමණක් නොවේ. ආර්ථිකය දියුණු කරන්නට කෙටි හෝ වඩා සුවපහසු මාර්ග නැත. පවතින්නේ එක මාර්ගයකි. ජාත්‍යන්තර ප්‍රජාව තහවුරු කරන්නේ එකී පණිවුඩයයි. කැපවීම හා නිසි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම එහිලා ඉතාම වැදගත්ය. ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ඕනෑම සමාජයක් පවතින තත්ත්වය වෙනස්කර යම් ප්‍රතිසංස්කරණයක් ඇතිවීම ගැන බලන්නේ සැකය හා අවිශ්වාසය ඇතිවය. මහජනතාවට ඇත්ත තත්ත්වය තේරුම්කර ඔවුන්ට නොපෙනෙන අනාගතය පෙන්වා ඒ ගැන විශ්වාසයක් ඇතිකිරීම අවශ්‍යය. සෑම තලයකටම සෘජු දේශපාලන නායකත්ව අවශ්‍යය.

සමාජ එකඟතාව ඇතිකරගත යුතුය. විශාල කැපවීමකට පසු  ජයග්‍රහණය කරා යා හැකි බවට පිළිගැනීම අවශ්‍යය. නිසැකය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආර්ථිකය දියුණු කරන්නට තීරණ ගන්නා ආණ්ඩු වලට එහි ප්‍රතිඵල භුක්ති විඳිනතෙක් බලය ආරක්ෂා කරගන්නට අවස්ථාව නොලැබේ. අමිහිරි, තද තීරණ ගන්නාවිට මහජනතාව අතර ජනප්‍රිය වන්නේ නැත. එවිට ඡන්දයෙන් පරාජයට පත්වෙයි. පරාජයට පත් ආණ්ඩුව ගත් තීරණවල ප්‍රතිලාභ ලැබෙන්නේ ඉන් අනතුරුව බලයට පත්වන රජයටයි. ජර්මනියේ එය සිදුවිය.

ජර්මන් නායක ග්‍රෙහාඩ් ස්ෂෝඩර් එකී ඉරණමට මුහුණ දුන්නේය. යුද්ධ දිනූ නායකයන්ට රට දියුණු කිරීමේ අවස්ථාව අහිමි විය. බ්‍රිතාන්‍යයේ අගමැති වින්සන්ට් චර්චිල් දෙවන ලෝක යුද්ධය දිනා පසුව ඡන්දයෙන් පරාජය වී ගෙදර ගියේය. ආර්ථික අර්බුදවලට මුහුණ පා නිවැරැදි දැක්මක් ඇතිව ක්‍රියාකිරීමෙන් යළි රටවල් යහමගට ගත් නායකයෝ බලයෙන් පහවී ඇත්තාහ. එහෙත් එම නායකත්ව ඉතිහාසයෙන් මැකී නැත. ජනතාව තවමත් ඔවුහු කළ පරිවර්තනවලට ලෙන්ගතුය. ආර්ථීකය නව මාවතකට අවතීර් කරන්නටත් අවස්ථාව උදා වී තිබේ.

සෞභාග්‍යය උදෙසා ශ්‍රී ලංකාවට හුදෙකලාව ගමන් කළ හැකි මගක් නැත. නිදහස ලබාගත් අවස්ථාවේ සිට මේ දක්වා අත්හදා බැලීම් කර ඇත. වාද විවාද හා මතගැටුම් ඇති කරගෙන තිබේ. දෙවන ලෝක යුද්ධය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් හා දියුණු මට්ටමක පැවතිණ. එහෙත් එය අඛණ්ඩ වර්ධනයක් දක්වා පවත්වාගෙන යන්නට අපි අපොහොසත් වීමු. එයට බලපෑවේ ප්‍රතිපත්ති ප්‍රශ්න හා දේශපාලන තීරණ බව සඳහන් කළ යුතුය. විවෘත ආර්ථීක ක්‍රමයක් එක දිගට පවතින්නේ නැත. එහි ශීඝ්‍ර වර්ධන, පසුබෑම් හා අඩාලවීම් මුණ ගැසේ. ඒවා නිවැරදි කිරීමට ගන්නා පියවර ඔස්සේ ආර්ථිකය අලුත් ජවයකින් නැගීසිටියි. වඩා උද්යෝගයෙන් වැඩකරන්නට අවශ්‍යය. නව සොයාගැනීම්  ඔස්සේ ආර්ථිකය හා සමාජය මෙහෙයැවිය යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස[email protected] වෙත යොමුකළ හැකි නම් මැනවි.

(***)