අඳුරත් සමඟ ඇරඹෙන රැය වඩාත් දිගුවෙයි. අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, නැටුම්, කලකෝලහාල මේ සියල්ලක් රාත‍්‍රියේ දිග හැරෙන රාත‍්‍රී සමාජ ශාලා ජීවිතය අභ්‍යන්තරයේ අන්තර්ගතය.
විනය, සදාචාරය, කොන්දේසි, සීමා පිළිබඳ තහංචි වෙනුවට ඒ ජීවිතය තුළ රැඳී ඇත්තේ මහා සංස්කෘතියෙන් බැහැර වූ උපසංස්කෘතියකට අනන්‍ය ලක්ෂණ ය. රාත‍්‍රී සමාජ ශාලාවන්හි සරණ රැ සමනලියන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් පිළිබඳව අපි ඉකුත් සතියේ දී කතා කළෙමු.
අද අපි ඔබට කියන්නේ රාත‍්‍රී සමාජ ශාලාවල ක‍්‍රියාත්මක වන වී.අයි.පී. සිස්ටම් යනුවෙන් හඳුන්වන ක‍්‍රමය පිළිබඳව ය.
එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනක් වන අතර සරලව කිවහොත් කාමරයකට යාමක් හා එය සමාන වෙයි. තමන් තෝරා ගන්නා සමාජශාලා යුවතිය හා ”ගෙස්ට්” හැරුණු විට අන්කිසිවෙක් එතෙන්ට පැමිණෙන්නේ නැත. ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන පැමිණෙන වේටර්වරයාට පමණක් එතැනට පැමිණෙන්නට අවසර තිබේ. කාමරය තුළ දී ‘ගෙස්ට්’ සමාජශාලා යුවතිය සමග රිසිසේ නිදහසේ හැසිරෙන්නට ඉඩකඩ හිමිය. එක් එක් මිල මට්ටමේ පැකේජ වී.අයි.පී. රූම් සඳහා පවතී. මෙම කාමරවල සැප පහසු සෙටියක් හා රූපවාහිනී යන්ත‍්‍රයක් ද තබා ඇත. මේ සියලූ සැප පහසුකම් මැද හැකි උපරිමයෙන් කරන්නේ පැමිණෙන්නන් සන්තකයේ ඇති අවසන් රුපියල දක්වාම වැය කරවීමය. වයස අවුරුදු 15-16 සිට සුපිරි සමාජ මට්ටම්වල ජීවත් වන බොහෝ තරුණ තරුණියන් මෙන්ම මැදි වියේ පසුවන්නන් ද මෙම සමාජ ශාලා සංස්කෘතියට පුරුදු වී සිටිති. ඒ සංස්කෘතිය ඔවුන් ජීවත් වෙන සමාජ පන්තියට අනුව ඔවුන් සාමාන්‍ය හා තමන්ට අත්‍යවශ්‍ය සම්ප‍්‍රදායක් කොට ද බොහෝ දෙනා සලකති.
සමාජයේ ජීවත්වන ඉහළ පන්තියට අයත් සුපිරි මට්ටමේ ධනවතුන් විශේෂයෙන් ඇතැම් ක‍්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, මැති ඇමති දු පුතුන් වැනි පිරිස් මෙම සමාජශාලා සංස්කෘතියට ඇබ්බැහි වී සිටිති. මෙවැනි විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂ ආරක්ෂාවක් යටතේ ඇති සමාජශාලා ද පවතින අතර සාමාන්‍ය මට්ටමේ අය ඒවාට නොපැමිණෙති. දිනකට බොහෝ විට මේ එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරති.
”වී.අයි.පී. රූම්” සඳහා වූ පැකේජය දෙදෙනෙකුට ද එක් වී ලබාගත හැකි අතර එවිට පැකේජයට අදාළ සියල්ල ඔවුන් බෙදාගත යුතුය. එහි ස්වභාවය ජුගුප්සාජනක යැයි කෙනෙකුට හැඟී ගියත් එකී උපසංස්කෘතියට අනුගත වූවන්ට එහි අමුත්තක් නැත.
සමාජශාලාවල සේවය කරන යුවතියන් තම රාජකාරි නිමා කරන්නේ පාන්දර වන විටය. ඒ වෙද්දී ඔවුන් සිටින්නේ ප‍්‍රකෘති ස්වභාවය ඉක්ම වූ ස්වරූපයකිනි. එහෙයින් ඔවුන් නිවෙස් කරා යන අවස්ථාව ඉතා අඩුය. ඔවුන් බලා සිටිනේ තම රාජකාරිය නිමා වූ සැණෙන් නිදි සුව විඳගන්නටය. එහෙයින් සමාජශාලා ආසන්නයේම නවාතැන්හි ඔවුහු ලැගුම් ගෙන සිටිති.
සමාජශාලාවල සේවය කරන යුවතියන් බොහෝ විට බාහිර සමාජයට පවසන්නේ තමන් සමාජශාලාවක සේවය කරන බව නොවේ. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන බවය. තමාට ලැබෙන සන්තෝෂම්වලට අමතරව සාමාන්‍යයෙන් සමාජශාලාවක සේවය කරන යුවතියන් මසකට රුපියල් අසූපන්දහස, අනූදහසක අතර වැටුපකට හිමිකම් කියන්නීය.
සමාජශාලාවල සේවය කරන යුවතියන් සැමවිටම සමාජශාලාව තුළ පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකිනි. ඔවුන්ගේ සැබෑ නම එහි පැමිණෙන ගනුදෙනුකරුවෝ නොදනිති. සමාජශාලා අභ්‍යන්තර රෙගුලාසීන්ට අනුව ”ගෙස්ට්ලා” සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීම හා පිටත දී හමුවීමට සමාජශාලා යුවතියන්ට තහනම් ය. රාත‍්‍රී සමාජශාලාවන්හි ඇති තවත් දෙයක් වන්නේ මත්පෙති වර්ගය. කේරළ ගංජා (කේ.ජී.) සමාජශාලාවන්හි ඇති ඉතා ප‍්‍රසිද්ධ හා සුලභ ඉල්ලූමක් ඇති දෙයකි.
සමාජශාලාවල දී මුණගැසෙන යුවතියන් පසුකාලීනව තම බිරිය බවට පත් කරගත් පුද්ගලයෝ ද සිටිති.
සමාජශාලාවල සේවය කරන යුවතියන්ගේ ඇසුර හෝ ගණිකාවකගේ ඇසුර පතා පැමිණෙන පුද්ගලයෝ විවිධ මානසික මට්ටම්වලින් යුක්තවූවෝ වෙති. විවිධ මානසික හා කායික අවශ්‍යතාවන් සපුරාගන්නා අභිලාශයෙන් ඔවුහු මේ රැ සමනලියන් සොයා පැමිණෙති.
මත්ද්‍රව්‍ය ආදී සමාජ අපචාරවලට ගොදුරු වූ තරුණයෝ ද තමාට ඉඩක්, අවස්ථාවක් ලද විටෙක ගණිකා ඇසුර කෙරේ යොමු වෙයි.
විවාහක පුරුෂයන් මෙන්ම විවාහ දිවියට ඇතුළු නොවී තනිකඩව ජීවත්වන එහෙත් විවිධ අපචාර හා ස්ත‍්‍රී ඇසුර කෙරෙහි ලොල් වූ පුද්ගලයෝ ද ගණිකා ඇසුර කෙරේ යොමුවී ඇත්තේය. ඇතැම් අය තම විකෘති වූ ලිංගික හැඟීම් සන්තර්පණය කර ගැනීමට ද ගණිකා ඇසුර යොදා ගනියි.
විවාහක පුරුෂයන් ගණිකා ඇසුරට සමාජශාලා යුවතියන්ගේ ඇසුරට හෝ සම්භාහන ආයතනවල සේවය කරන යුවතියන්ගේ ඇසුරට නැඹුරු වීම කෙරෙහි බලපාන හේතු සාධක කිහිපයකි.
තම බිරිය වෙතින් තමා අපේක්ෂා කරන තෘප්තිය තමන්ට නොලැබීම, දරුවන් ලැබීම සහ නිවසේ කාර්යයන් අතර කාර්යබහුලවන බිරිය පෙර මෙන් තම පිරිසිදු බව හා රූ සපුව පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා සැමියාට තම බිරිය කෙරේ ආකර්ෂණයක් ඇති නොවීම, විවාහ ජීවිතය ඒකාකාරී වීම. ගෘහ ජීවිතයේ සම්ප‍්‍රදායික යුතුකම් හා වගකීම් තුළ ජීවිතය කේන්ද්‍ර ගත වන විට සතුට සැහැල්ලූ හා ජීවිතය පිළිබඳව වන වින්දනීය හැඟීම් ජීවිතය වෙතින් පළායාම, ඒ ඇතිවෙන හිස්තැන සපුරාගැනීමට වෙනත් මං සොයා යාම, තම බිරිය විවිධ අසනීප තත්ත්වයන්ට ගොදුරු වීම හෝ ඇය දරු ප‍්‍රසූතියකට සූදානම්ව සිටීම හෝ දරු ප‍්‍රසූතියෙන් පසු විවේකීව සිටීම මේ ආදී පසුබිම් මත විවාහක පුරුෂයන් ගණිකා ඇසුරට සමාජශාලා යුවතියන්ගේ ඇසුරට හෝ සම්භාහන ආයතනවල සේවය කරන යුවතියන්ගේ ඇසුරට යොමු වේ.
ඇතැම් පුද්ගලයන් ගණිකා ඇසුර සොයා එන්නේ හුදෙක් කායික ඇසුරක් අපේක්ෂාවෙන් පමණක් නොවේ. ඇතැම් පුද්ගලයෝ මානසික පීඩා පිළිබඳව ද මේ ගණිකාවන් සමග කතා කරති.
තමා වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය කුමක් වුවත්, ඔවුන් වෙතින් විඳින්නට වන අත්දැකීම් කවරාකාර වුවත් ඒ සියල්ල ඉවසා සිටීමට ගණිකාවෝ මෙන්ම සමාජශාලා යුවතියෝ ද උත්සාහ කරති. ඒ තම ඒකායන අරමුණ මුදල හා නැවත ඔහුට සේවය ලබා දීම වන බැවිනි. තම පැවැත්ම උදෙසා ඒ ගනුදෙනුකරුවන් තමන්ට වැදගත්ම සාධකය වන හෙයිනි.
තවත් කොටසක් ලබන සතියේ...
සටහන - සංජීවිකා සමරතුංග