සියලූම සාක්‍ෂි අවසන්වීමෙන් පසුව සරදියෙල් හා මම්මලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සරදියෙල් අසලට ගොස් ප‍්‍රකාශ කළේ ජූරි සභාවෙන් ලැබෙන තීරණය එතරම් හොඳ එකක් නොවනු ඇති බවය. එහෙත් ඒ වනවිටත් සරදියෙල් එ් බව දැන සිටියේය. ජූරි සභාව නියෝජනය කළ 13 දෙනාම ඉංග‍්‍රිසි ජාතිකයන් වීම නිසා ඔවුන්ගෙන් කිසිම අනුකම්පාවක් සරදියෙල් අපේක්‍ෂා නොකළේය.
‘‘ ඕනෑ එකක් ලැබිච්චාවෙ සර් මැරෙන්නේ එකපාරයි. ඉංග‍්‍රිසි කාරයාටයි, උන්ට වාල්කම් කරන එවුන්ටයි යටත් නොවී මැරෙන එක ජීවත් වෙනවට වඩා සැපයක් යැයි සරදියෙල් උත්තර දුන්නේය.තම පුත‍්‍රයාට එරෙහිව ලැබෙන තීන්දුව කුමක්දැයි සරදියෙල්ගේ මව හැඬු කඳුළින් බලා සිටියාය. සරදියෙල්ගේ නැගණිය ද මව අසලින්ම සිටියාය. අධිකරණ ශාලාවේ නඩුව ආරම්භයේ සිටි ජනතාව එලෙසම සිටියහ. ජූරි සභාවේ ඒකමතික තීරණය වූයේ සරදියෙල් හා මම්මලේ මරික්කාර් යන දෙදෙනා එල්ලා මරාදැමිය යුතු බවය. ඒ අනුව විනිශ්චයකාරවරයා තම තීන්දුව මෙසේ ප‍්‍රකාශයට පත්කළේය.
‘‘ලබන මැයි මස 05 වැනිදා යුෂ්මතුන් දෙදෙනාගේ පණ යනතුරු බෝගම්බර ප්‍රසිද්ධ පෝරකයේදී එල්ලා මරණ ලෙස නියෝග කරනවා’’ යනුවෙනි.
මෙම තීන්දුව අසා සරදියෙල්ගේ නැගණිය සිහිසුන්ව ඇදවැටුණාය. මව විලාප තැබුවාය. බොහෝ දෙනෙක් මේ තීන්දුවට එරෙහිව ශාප කළහ. සරදියෙල් හා මම්මලේ වෙනුවෙන් දළදා හාමුදුරුවන්ගේ පිහිට යැද්දාහ. මෙම තීන්දුව ලැබුණේ 1864 අපේ‍්‍රල් 04 වැනිදාය. මරණ දඬුවම ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ මැයි 05 වැනි දිනදීය. මේ නිසා මාසයක කාලයක් තිස්සේ සරදියෙල්ව හා මරික්කාර්ව සිරඅඩස්සියේ තැබූහ.
මේ තීන්දුව පිළිබඳව 1864 අපේ‍්‍රල් 08 දින නිකුත් වූ ‘‘ලක්රිවි කිරණ’’ පත‍්‍රයේ මෙසේ සඳහන්වී තිබිණි. ‘‘මේ දෙදෙනා මරන්න තීන්දු කරන විට කිසිම පැකිලීමක් නැතුව නිර්භීතව සිටි බවත් ඔවුන් නඩු ශාලාවේ සිට සිරගෙදරට ගෙනයනු ලබන විට ඔවුන් බැලීමට පාර දෙපස පන්දහසක පමණ ජනයා රැුඳීසිටි බවත්, ඉංග‍්‍රීසීන්ට අයත් ‘‘ඇග්සැමිනර්’’ පත‍්‍රයේ කියා තිබේ. සරදියෙල්ගේ සහ මම්මලේගේ ද ශරීර සිතියම්වී තිබෙන බව ආරංචිය. කොළඹ සමහර මහත්වරු වෙත ඒවා තිබෙන බව අපි දනිමු.’’ යැයි ද එහි සඳහන්වී තිබුණි.
සරදියෙල් අත්අඩංගුවට ගැනීමේ සටනේදී වෙඩිකා මියගිය කොස්තාපල් සබාන්ගේ වැන්දඹු බිරිඳට ජීවිත කාලය දක්වා මසකට පවුම් 02 ක් හා සිලින් හයක විශ‍්‍රාම වැටුපක් ගෙවීමට ඔහුගේ බාලවයස්කාර පුත‍්‍රයාගේ මතු දියුණුව උදෙසා පවුම් 30 ක් ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කිරීමට, වෙඩිවැදී තුවාල ලද සැරයන් මුන්තුසාමිට පවුම් 20ක් ද, සැරයන් අමාන්ට පවුම් 35 ක් ද, මියගිය කොස්තාපල් ක‍්‍රිස්ටියන් අප්පුගේ බිරිඳට විශ‍්‍රාම වැටුපක් ද ගෙවන්නට ඉංග‍්‍රීසි ආණ්ඩුව තීරණය කළේය.
අධිකරණ තීන්දුවෙන් පසුව සරදියෙල් හා මම්මලේ සිර කුටියෙන් ඉවතට රැුගෙන යාමට සැරසුණහ. එහිදී දෙපා බිම තබා ඇවිදීමට නොහැකි තත්ත්වයක සිටි සරදියෙල් පුටුවක හිඳුවා ඉංග‍්‍රිසි සොල්දාදුවන් විසින් ඔසවාගෙන යන ලදී. මම්මලේ මහත් අපහසුවෙන් ගාටමින් මෙන් ගමන් කළේය.
සිරකරුවන් දෙදෙනා රැගත් සොල්දාදුවන් පිටුපසින් පෙරහරක් මෙන් ජනයා පපුපස පැමිණියහ. සරදියෙල් අවසන්වරට දකිනු රිසියෙන් බොහෝ දෙනා වැල නොකැඞී පැමිණෙමින් සිිටියහ.
මේ අවස්ථාවේ කිසිදු කලබලයක් ඇති නොවූ නමුත් රැුස්ව සිටි ජනතාව අතුරින් මහා ඝෝෂාවක් නැගිණි. සිරගෙදරට ළංවත්ම රැුස්ව සිටි පිරිස අමතා සරදියෙල් යමක් ප‍්‍රකාශ කළ ද එය ජනතාවගේ මහා ඝෝෂාව නිසා යටපත්ව ගියේය. සිරගෙදර දොරවිවරවී සරදියෙල්ගේ ඡුායාව ඒ තුළින් මැකීගොස් දොර වැසුණු පසුව ද රැුස්ව සිටි මහා ජනකාය බලාපොරොත්තු සුන්ව ගිය අයුරින් එදෙස බලා සිටිනු දක්නට ලදී.
සරදියෙල් හා මම්මලේ පෝරකය කරා ගෙන යනතුරු මසකට වඩා කාලයක් සිරගෙයි ළැඟ සිටිය යුතුවිය. කිසිදු පිටස්තර පුද්ගලයකුට ඔවුන්ව හමුවිය නොහැකි පරිදි තහංචි පනවා තිබුණි. කෙසේ නමුත් සරදියෙල් හා මම්මලේ මරික්කාර් හමුවීමට එම සිරමැදිරියට දේවගැතිවරයකු පැමිණියේය. ඒ වෝල්ඩොක් නමැති බැප්ටිස් නිකායික දේවගැතිවරයෙකි. ඔහු සමග ජෙරාඞ් නැමැති දේවගැතිවරයකු පසුව එහි ගියේය. මුලින්ම දේවගැතිවරුන් විසින් සරදියෙල්ට තම ආගමට අයත් පැරණි පොත් කිහිපයක්ම කියවන්නට දුන්හ. මුලින්ම සරදියෙල් ඒවා ප‍්‍රතික්‍ෂේප කළ ද ඔවුන් අඛණ්ඩව දින ගණනාවක් පැමිණ සරදියෙල් හා කතාබහ කිරීමෙන් පසුව සරදියෙල් ඒ පොත් භාරගත්තේය. මේ පොත් අතර සාන්තුවර දිවි තතු ගැන අවසන් සතර ස්මෘති පිළිබඳ පොත් කිහිපයක්ම විය.
මේ පොත් ඔහු වෙත පිළිගන්වා දින කීපයකට පසුව පැමිණි දේවගැතිවරුන්ගේ ඉල්ලීම මත සරදියෙල් ඒවා කියවා ග‍්‍රහණය කරගත් දෑ සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කළ ආකාරය දේවගැතිවරුන් මවිත කරවන සුළුවිය. මෙසේ දින අටක් තුළ නොකඩවා පැවැති සමීප ඇසුරෙන් පසුව වෝල්ඩොක් නමැති දේවගැතිවරයා සිය ආගමිකවතාවත්හි පිහිටුවීමට පැමිණ ඇත. එහිදී ඔහුට ශාන්ත ජෝන්ගේ ශුභ ආරංචිය පිළිබඳ පිටපතක්ද දී ඇති නමුත් කලින් කී පියතුමන්ලා විසින් දෙන ලද පොත් ප‍්‍රමාණවත් යැයි පවසා ඒවා ආපසු හාරදීමට සරදියෙල් සූදානම් විය. එය භාරනොගත් පූජකවරයා දිනපතා සරදියෙල්ව බැලීමට ඒම නතර කළේ නැත. ඒ නිසා සරදියෙල් දේවගැතිවරයා සමග තරමක කේන්තියකින් පසුවිය.
එහෙත් සරදියෙල්ගේ විරෝධය නොතකා පැමිණි දේවගැතිවරයා ඔහුට යාඥාකිරීමටත් කුරුසිය සලකුණ කිරීමත් උගන්වා ඔහුව කි‍්‍රස්තු භක්තිකයෙක් බවට පත්කළේය. සරදියෙල්ගේ නම ජෝශප් යනුවෙන් වෙනස් කර ඔහුව බෞතීස්ම කළ බව ද කියැවේ.
සරදියෙල් හා මම්මලේව එල්ලා මැරීමට ඉංග‍්‍රීසි ආණ්ඩුව යොදාගත් දිනය වූයේ මැයි මස 5 වැනිදාය. ජනතාව දහස්ගණනින් එදින මහනුවරට රැුස්වීම නිසා ඉංග‍්‍රීසි ආණ්ඩුව සලිත කිරීමට සමත් වූයේය. ඔවුන් රැුස්වී කැරලිගසා සරදියෙල්ව පැහැරගනු ඇතැයි බියවූ ඉංග‍්‍රීසි පාලකයෝ ඔවුන්ව එල්ලා මැරීම දින කීපයකට කල් දැමීය. ඒ අනුව ඉන් දින දෙකකට පසුව මැයි 7 දින ජනතාවට හොර රහසේ එම කාර්යය කිරීමට දින යොදාගෙන තිබුණි.
හත්වැනි දින සෙනසුරාදා දිනයක් විය. සරදියෙල් එල්ලා මැරීමට නියමිත බව ආරංචිය ප‍්‍රදේශය පුරා පැතිර ගියේය. මේ නිසා එදින උදේ සිටම මහනුවර අලූත් පාර තිබෙන ස්ථානයේ තිබෙන එල්ලා මරණ ස්ථානයට ජනතාව එක්රැුස්වූහ.
වෙනදාට මිනිසෙක් එල්ලා මරාදැමීමට රැුගෙන යනවිටදී එම පෙරහරේ ගමන් කරන හේවායන්ට වඩා කිහිප ගුණයකින් විශාල හේවාභට පිරිසක් ද, හේවා මුලාදෑනියෙක්. පිස්කල්වරු හා පොලිස් නිලධාරිහු කිහිපදෙනෙක් ද කතෝලික පූජකවරු කිහිප දෙනෙක් ද එල්ලා මරන ස්ථානය දක්වා ගමන් කළහ.
මේ අවස්ථාව වනවිට සරදියෙල් හා මම්මලේ දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිටියහ. කෙසේ නමුත් තම ජීවිතයේ අවසන් මිනිත්තු කීපය මෙය බව දැනසිටි සරදියෙල් එල්ලූම් ගහ දක්වා පැමිණියේ බයිබලය අතින්ගෙන කියවමිනි. මම්මලේ හිස ඔසවාවත් වටපිට බැලූවේ නැත. එල්ලූම් ගහට නැගි සරදියෙල් අවසන්වරට අවට සිටි පිරිස ඇමතීය. ඔහු එහිදී කීවේ තමා අවසන් දින කිහිපය තුළ ඉගෙනගත් ආගම දහමට අනුව කථාවකි. නමුත් ඔහු කිසිවිටෙක ඉංග‍්‍රීසින්ගේ අනුකම්පාව හෝ සමාව ඉල්ලා නොසිටියේය. මම්මලේ කථා කළත් ඒ කී කිසිවක් පිටතට නොඇසිණි.
සරදියෙල්ගේ බෙල්ලේ ලණුව දමා එල්ලෙන තුරු කතෝලික පාදිලිතුමා එල්ලූම් ගස අසලටවී යාඥා කළේය.
සරදියෙල්ගේ මරණය ඇසින් දුටු ඩුනෝ පියතුමා පසුව ඔහුගේ වාර්තාවේ මෙසේ සඳහන් කර තිබිණි.
‘‘බලාසිටියවුන් හැමෝම පුදුමයට පත්කරවමින් අවසාන පව් සමාව සඳහා සරදියෙල් දණගසා ගත්තේය. ඒ අතර ඔහුගේ ගෙල වටා මළපුඩුව සකස් කෙරිණි. ඔහුගේ දෑත මෙන්ම දෙපය ද එක්කොට දැඩිව බඳින ලදී. සියල්ල අමතක කොට කුරුසියේ දිවිපි¥ ගැළවුම්කාරයාණන් සමග එක්වීමට සැරසෙන ලෙස මම ඔහුට දැනුම් දුනිමි.
එසේ කිරීමට තමා ඉතා සතුටින් ඉදිරිපත්වන බවත් ගෙලවටා ඇති කඹය රනින් කළ එකක් සේ තමාට හැඟී යන බවත් කී ඔහු ස්වර්ගයේ දොර ඇත්තෙන්ම තමාට විවර වෙනවාදැයි ඇසූ බවත් සඳහන් කර තිබේ.
එල්ලා දැමීමෙන් පසුව ඉතාමත්ම සුළුවේලාවකදී සරදියෙල්ගේ හා මම්මලේ මරික්කාර්ගේ දේහවල ප‍්‍රාණය නිරුද්ධ වූ අතර එම මළසිරුරු දෙක එකට එක තබා බැඳ කරත්තයකින් ගෙන ගොස් මහයියාව සොහොන් පිටියේ එකම තැනක වැළලූ බව ද කියැවේ.
එංගලන්තයේ නොටින්හැම් හි ජීවත් වූ ෂර්වුඞ් වනය තම රජදහන කරගෙන ජීවත් වූ ‘‘රොබින් හුඞ්’’ නමැති සමාජ අසාධාරණයට එරෙහිව කැරලි ගැසූ පොදුජනතාවගේ නායකයා පිළිබඳව ද ලියැවුණු පොත් රාශියකි. ඒවා පරිශීලනය කිරීමෙන් පසුව හැඟීයන්නේ ලංකාවේ සරදියෙල් ද ‘‘රොබින් හුඞ්’’ ගේ චරිතයට බෙහෙවින් සමානත්වයක් දක්වන බවය. රොබින් හුඞ් ද කළේ සමාජ අසාධාරණයට එරෙහිව රදළයන් අසාධාරණ ලෙස හම්බකරගත් ධනය දුප්පතුන් අතර බෙදාදීමය. ඔහු ජීවත්වූවායැයි සැලකෙන්නේ දහසය වැනි සියවසේ අගභාගයේදීය.
ඉංග‍්‍රිසි පාලකයන්ගේ කෲර පාලනයට එරෙහිව කැරලි ගැසූ සරදියෙල් හොරෙකු, මංපහරන්නකු වූයේ ඉංග‍්‍රීසි පාලකයින්ටය. සිංහල ජනතාවට ඔහු සදාතනික වීරවරයෙකි. සරදියෙල්ගේ නාමය අපේ රටේ ජාතික වීරවරයින්ගේ ලේඛනයේ අගභාගයටවත් වැටිය යුතුයැයි අප කියන්නේ ඒ නිසාය.සබාන් නැමැති ‘‘ජා’’ ජාතික විදේශීය පොලිස් නිලධාරියා සරදියෙල් හා මම්මලේ අතින් වෙඩිකා මියගිය දිනය අදටත් අපේ ජාතික පොලිස් දිනයයි.
එය කොතෙක් දුරට නිවැරදි තීරණයක්දැයි සිතා බලන්නට බලධාරින්ටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් කාලය පැමිණ ඇති බව ද ලියා තැබිය යුතුය. රාජකාරිය කිරීමට යාමේදී සබාන් නැමැති පොලිස් නිලධාරියා මියගිය බව සැබෑවකි. එහෙත් සරදියෙල් වැනි ජාතික වීරවරයකු ලෙස සැලකෙන අයකුට අවි අමෝරා පැමිණි විදේශීය පොලිස් නිලධාරියා අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ‘‘ජාතික වීරයකු’’ ලෙස ඇදහීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.
(විශේෂ ස්තුතිය විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ, කැලිස්ටස් පෙරේරා, පාඨශාලාචාර්ය එල්.ආර්. වීරවර්ධන යන මහත්වරුන්ට)