සරල සත්‍යයට පිටුපෑම


හදිසියේම පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ඉහළ යාම හෙවත් අධිප්‍රමාණය වීම මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ.

ඒ සමඟම පසුගිය මාස හයක් තිස්සේ අදිමදි කරමින් සිටි චිනය ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දීමට පසුගිය සඳුදා (6) රාත්‍රියේ ශ්‍රී ලංකාවට සිය එකඟතාව පළ කළේය. ඒ අනුව ලබන විසි වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විධායක සභාව එම අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාවට දෙන්නට එකඟවූ ඩොලර් මිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම අනුමත කිරීම සලකා බලනු ඇති බව පසුගිය අඟහරුවාදා වාර්තා විය.

මෙම මූල්‍ය  පහසුකම පිළිබඳව ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර මෙම එකඟතාව ඇතිවූයේ ඉකුත් වසරේ සැප්තැම්බර් 1 වැනිදාය. එහෙත් එම එකඟතාව ප්‍රධාන කොන්දේසියකට යටත්ව මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කෙරෙන බව එම එකඟතාවේම සඳහන්  විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවිය යුතුය යන්න එම කොන්දේසියයි.

චීනය හැර අනෙක් ණය හිමියන් සති කිහිපයකට පෙර ඊට එකඟතාව පළ කොට තිබිණි. චීනයද දැන් එකඟතාව පළ කොට ඇති තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට වසර හතරකට ඩොලර් මිලියන 2.9ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසය තුළ අනුමත කෙරෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වියදම් හා ණය ගෙවීම් ප්‍රමාණය හා සසඳන කල මූල්‍ය අරමුදලෙන් ලැබෙන මෙම ණය මුදල සැලකිය යුතු මුදලක් නොවේ. මෙම මුදල ලැබෙන්නේ වසර හතරකටය. එය සමාන වාරිකවලින් ලැබෙන්නේ යැයි අනුමාන කළහොත් වසරකට ලැබෙන ණය මුදල ඩොලර්  මිලියන 725කි. ශ්‍රී ලංකාව වසරකට ගෙවිය යුතු විදේශ ණය හා පොලිය එමෙන් අට ගුණයක් පමණ වේ. ශ්‍රී ලංකාව වසරකට ඉන්ධන සඳහා  එවැනිම මුදලක් (ඩොලරි බිලියන හයක්) වැය කරයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඉන්දියාව දුන් ණයවල ප්‍රමාණය ඩොලර් බිලියන 3කට වැඩිය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල සාපේක්ෂව සුළු වුවද වඩා වැදගත් වන්නේ එම ණය මුදල නොව අනෙකුත් ණය හිමියන්නේ ලබාගෙන ඇති ණය මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව ලැබීමය. මෙමඟින් අපේක්ෂා කෙරෙන්නේ ශ්‍රී ලංකාව ගෙවන්නට ඇති ණය මුදල හෝ පොලිය හෝ ඒ දෙකම හෝ යම් ප්‍රමාණයකින් ණය හිමියන් ලවා  කපා හැරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා යු ටියුබ් නාලිකාවකට පසුගිය 7 වැනිදා පවසා තිබිණි. මෙය ණය බරින් මිරිකී සිටින  රටකට අවශ්‍යතාව ඇත්නම් රට ගොඩ  දැමීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලැබෙන හුස්ම ගැනීමේ අවකාශයකි.

දැන් හදිසියේ රුපියල අධි ප්‍රමාණය වීමට පටන් ගැනීමත් මූල්‍ය අරමුදලේ සහන පැකේජය අනුමත වීමට යාමත් පිළිබඳව රට තුළ සංවාදයක් ඇති වී  තිබේ. එහිදී එක් පිරිසක් පෙන්වන්නට යන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් සියලු ආර්ථික ප්‍රශ්න විසඳී රට සුඛිත මුදිත වන්නට යන බවය. තවත් පිරිසක් විශේෂයෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම කෘතිම ප්‍රෝඩාවකැයි කියන්නට උත්සාහ කරති.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අපට මතක ඇති කාලයක සිට පහළ යමින් තිබිණි. ආර්ථික අර්බුදයකැයි කිව නොහැකි  කාලවල ද රුපියලේ අගය නොකඩවා කඩා වැටිණි. එහෙත් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මැද රට බංකොලොත් භාවයට පත්ව තිබිය දී හදිසියේම දැන් රුපියලේ සාපේක්ෂ අගය සතියකට වැඩි කාලයක් තිස්සේ දිනපතාම ඉහළ යයි.

 මෙය ආරම්භ වූ දිනය මෙය තේරුම් ගැනීමට පහසු කරනු ඇත. පසුගිය පෙබරවාරි 27 වැනිදා ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් හා සම්පත් යන මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු තුනකට ආහාර ද්‍රව්‍ය, ඖෂධ  වර්ග හා පොහොර ආනයනය කිරීම පිණිස වසරක කාලයකට ඩොලර් මිලියන 400ක මූල්‍ය  හුවමාරු පහසුකමක් දෙන බව නිවේදනය කළේය.

ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ ගියේ ඊට පසු දිනයි. එය ඩේලි මිරර් පුවත්පතේ මිරර් බිස්නස් අතිරේකයේ වාර්තා කොට තිබුණේ මෙසේය.‘‘අත්‍යවශ්‍ය ආනයනය සඳහා වාණිජ බැංකු තුනකට ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු පහසුකමක් දෙන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිවේදනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා රුපියල ඊයේ අධි ප්‍රමාණය විය.’’

මෙම සිද්ධියෙන් පසු මෙරට ආර්ථික විශේෂඥයන් හා බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පළ කළ අදහස් පදනම් කරගෙන රුපියල නොකඩවා අධි ප්‍රමාණය වීම පිළිබඳ මෙම ලිපියට අවශ්‍ය තොරතුරු අපි රැස් කර ගත්තෙමු.

මූල්‍ය වෙළෙඳපළේ ඩොලර් සැපයුම ඉහළ යනවිට ඩොලරයේ රුපියල් වටිනාකම පහත වැටීමත් සැපයුමට  වඩා ඩොලර් ඉල්ලුම ඉහළ යනවිට ඩොලරයේ අගය ඉහළ ගොස් රුපියලේ අගය පහත වැටීමත් තේරුම් ගැනීමට විශාල ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍ය නොවේ.

ඒ අනුව පසුගිය සතියේ සිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගියේ මූල්‍ය වෙළෙඳපොළේ ඩොලර් සැපයුම ඉහළ යාම නිසාය. ඩොලර් සැපයුම ඉහළ නොගිය ද ඉහළ යාමේ හැකියාව ඇති විටද මේ ප්‍රතිඵලයම ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඩොලර් මිලියන 400ක් දෙන්නට පෙර එය නිවේදය කිරීමත් සමග  රුපියලේ අගය ඉහළ යන්නට පටන් ගත්තේ එහෙයිනි.

මෙසේ වාණිජ බැංකු තුළ ඩොලර් සැපයුම ඉහළ ගොස් රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීමට ආචාර්ය විජේවර්ධන තවත් කාරණා තුනක්ද හේතු වශයෙන් ඉදිරිපත් කරයි. අපනයන ආදායම වශයෙන් වාණිජ බැංකුවලට ලැබෙන විදේශ විනිමයෙන් සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු යැයි ආර්ථික අර්බුදය උග්‍රවත්ම මහ බැංකුව එම බැංකුවලට නියම කොට තිබිණි. මහ බැංකුව එම ප්‍රමාණය පසුගිය  පෙබරවාරි 27 වැනිදා සියයට 15 දක්වා අඩු කළේය.  මෙමඟින් ද සංසරණය සඳහා වාණිජ බැංකු සතු විදේශ මුදල් ප්‍රමාණය වැඩි විය.

දෙවැනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ණය මුදල ද ඉක්මනින්ම ලැබෙන බව පෙනී යයි. එම මුදල් ලැබුණු පසු වෙළෙඳපොළේ විදේශ මුදල්වල අගය අඩුවන හෙයින් බොහෝ දෙනා තමන් සතු ඩොලර් දැන්ම විකිණීමට පෙළඹී සිටිති. එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 400ක් රට තුළට එන්නට යන බව දැන ගත් විට ඇතිවූ තත්ත්වයට සමානය.

තුන්වැනුව, පසුගිය මාසවල සංචාරක හා අපනයන කර්මාන්තවලින්ද විදේශ ශ්‍රමිකයන්ගෙන් ද ලැබෙන විනිමය ප්‍රමාණය ඉහළ ගොස් තිබිණි. ඉකුත් 2 වැනිදා මිරර් බිස්නස් අතිරේකය ද මෙම කරුණුම රුපියල අධි ප්‍රමාණය වීමට හේතු වශයෙන් දක්වා තිබිණි.

මෙය හොඳ තත්ත්වයක් බවට කිසිදු තර්කයක් නැත. රුපියලේ අගය ඉහළ  යෑමට බලපෑ ඉහත හේතු ද නරක තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අනුව රුපියලේ අගය ඉහළ ගියේ උප්පරවැට්ටියකින් නොවේ.

එහෙත් මෙය ස්ථාවර තත්ත්වයක් ද නොවේ. එසේම මෙය සිදුවන්නේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයෙන් පවතින විටෙක ද නොවේ. මෙය සිදුවන්නේ ආනයන සීමා කොට, පොලී අනුපාතිකය ඉහළ දමා ආර්ථිකය හකුළුවා ඇති තත්ත්වයකය. එනම් ආර්ථික ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අඩු කොට ඇති තත්ත්වයකය. රට බංකොළොත් වූ තත්ත්වය යටතේ බලධාරීන්ට වෙන කළ හැකි දෙයක් නොවීය. අනෙක් අතට මෙය සිදුවන්නේ විදේශ ණය නොගෙවන තත්ත්වයකය.

ආර්ථිකය හකුළුවා ගෙන සැමදාම සිටිය නොහැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු අලුතින් එකඟ වූ පරිදි ණය ද ගෙවිය යුතු වනු ඇත. ආර්ථිකය සක්‍රිය කිරීම සඳහා ආනයන සීමා ඉවත් කළ යුතු වනු ඇත. කලින් මසකට ඩොලර් මිලියන 1900ක් වූ ආනයන වියදම ඉකුත් ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 1400 ක් විය. එනම් ආර්ථිකය සක්‍රි කිරීමේ දී මසකදී වැඩිපුර ඩොලර් මිලියන 500 ක් ආනයන නිසා පමණක් රටින් පිටවනු ඇත. එහෙයින් ආර්ථිකය සක්‍රිය කිරීම ඉතා පරිස්සමෙන් කළ යුතු යැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

රුපියල අධි ප්‍රමාණය වන්නේ විදේශ වෙළෙඳපොළට රටේ භාණ්ඩ හා සේවා සැපයීම නිසා විදේශ විනිමය ලැබීම් වර්ධනය වී ඩොලරයට ඇති ඉල්ලුම අඩුවීම නිසා නොවේ. දැන් ඩොලරයට ඇති ඉල්ලුම අඩු වී රුපියල අධි ප්‍රමාණය වන්නේ ආර්ථිකය කඩා වැටී ඇති නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන වැඩපිළිවෙළේදී සිදුවන්නේ එක් පැත්තකින් ණය හිමියන් යම් ණය හා පොලී ප්‍රමාණයකි කපා හැරියද තව තවත් ණය ගැනීමට හැකියාව ලැබීමය. මූල්‍ය අරමුදලෙන් ද ලැබෙන්නේ ණයකි. ආසියානු සංවර්ධන අරමුදල, ලෝක බැංකුව හා ජපානයෙන්ද ඉදිරියේ දී තවත් ඩොලර් බිලියන තුනක් ලැබීමට නියමිත යැයි ආචාර්ය විජේවර්ධන පවසයි. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන්  තවත් ඩොලර් බිලියනයක ණයක් ගන්නට සාකච්ඡා කරගෙන යන බව ඉකුත් බදාදා වාර්තා විය.

 මේ සියල්ල ඉදිරියේ දී ගෙවිය යුතුය. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ද ශ්‍රී ලංකාවේ ණය වාර්ෂිකව වැඩි විය. දැන් තවත් වැඩිවනු ඇත. අප කර ඇත්තේ ප්‍රශ්නය විසඳීම නොව කල් දැමී දැමීමය. මේ තත්ත්වයට ඇති එකම පිළියම ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමයි. ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ආකාරයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඒ සමඟම දේශීය අවශ්‍යතා  හඳුනාගෙන ඒ සඳහා ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුතුය. මෙය ගැඹුරු ආර්ථික විද්‍යාත්මක සොයා ගැනීමක් නොව සරල සත්‍යයකි. එහෙත් ඒ සඳහා සැලැස්මක් ඇති බවක් නම් පෙනෙන්නේ නැත.

 

(*** එම්.එස්.එම්. අයුබ්)