සරසවි ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසුවිය


 

ශෂිපබා රන්මලී

 

ඒ ඉකුත් 17 වැනිදා උදෑසනයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යනාංශය ඉදිරිපිට බිම වැටී සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සිසුවියක සොයා ගැනීමෙන් මුළු විශ්වවිද්‍යාලයම කැළැඹී ගියේ නිමේෂයෙකිනි. යා හැකි උපරිම වේගයකින් ඇයව රෝහල් ගත කළේ ඇයගේ දිවි ගලවා ගැනීමේ අරමුණිනි.
උසක සිට වැටීමෙන් සිදුවිය හැකි ආකාරයේ අසාධ්‍ය බවක් ඈ තුළින් දිස් විය. ඒ නිසාම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට යොමු කළ ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු ඉමහත් වෙහෙසක් ගත්හ. මූලික ප‍්‍රතිකාරවලින් පසුව සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයක් සිදු කළේ ශල්‍යකර්මයක් සිදු කිරීමටය. ඒ ඇයගේ හිසට සහ උදරය තුළට නොකඩවා ගලන රුධිර වහනය නවතා ගැනීමටය. ඇගේ සිහිමූර්ජාවීම මේ තත්ත්වය තව තවත් බරපතළ කරවූ නිසා මුලින්ම හිසට ශල්‍යකර්මයක් සිදු කිරීමට හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු තීරණය කළහ.

හිසෙහි ශල්‍යකර්මය කරන අතරතුරදී වරක් ඇයගේ හෘදය වස්තුව නතර වූයේ ශල්‍යකර්මය සිදු කරන වෛද්‍යවරුන්ගේත් හෙදියන්ගේත් සිත් සතන් මඳකට කම්පිත කරවමිනි. ඒ මොහොතකට පමණි. ඉතාම ඉක්මණින් කෘත‍්‍රීම ස්වසනය ලබාදී ඇගේ හෘදය යළි ක‍්‍රියා කරවා ගැනීමට වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් හැකිවූයේ ඔවුන්ගේ අපරිමිත ධෛර්යය නිසාය.

පියා
 
මව

හිසෙහි ශල්‍යකර්මය සිදු කර ඇගේ සිහි මුර්ජාවෙන් ගලවා ගත්තද ජීවිතය පිළිබඳ අවදානම පහව ගියේ නැත. ඒ උදරයේ රුධිර වහනය දිගින් දිගටම සිදුවෙමින් තිබූ නිසාය. රාත‍්‍රි 10.30 පමණ උදරයේ ශල්‍යකර්මය ආරම්භ කළේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අතරට රුධිර වහනය නොකඩවාම සිදුවන නිසාය. උදරයෙන් රුධිරය ඉවත් කරන ගමන්ම ඇයට අවැසි රුධිර ප‍්‍රමාණය ලබා දුන්නද පාන්දර 2.30 පමණ ජීවිතයෙන් සමුගත්තේ වෛද්‍යවරුන්ගේ අපරිමිත වෙහෙස මධ්‍යයේය. ඒ වනතුරුම ඇයට නොකඩවා පැය 17 මුළුල්ලේ කෘත‍්‍රීම ස්වසනය ද ලබා දී තිබිණි.

ලූණුගම්වෙහෙර, නව නගරයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ ජීවත් වූ තිළිණි ශෂිපබා රන්මලී ගුණවර්ධන එලෙස මිය ගියේ රටට කුකුසක් ඉතිරි කරවමිනි. සරසවි මව් තුරුල්ලට වැදී තුන් හාර මසක් ගතවන්නටත් පෙර ඇය මෙලෙස අකාලයේ මිය ගියේ ඇයි දැයි යන්න මේ ලියන මොහොත වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ජීව විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනගත් රන්මලී ගුණවර්ධන ශාක විද්‍යා අධ්‍යනාංශය ඉදිරිපිට වැටී සිටියේ ඇයි ද? කෙසේ ද? යන්න තවමත් අබිරහසකි. විශ්වවිද්‍යාල පාලනාධිකාරියත්, පොලිසියත් අනුමාන කරන පරිදි ඇය පස්මහල් ශාක විද්‍යා අධ්‍යානංශයේ උඩු මහලේ සිට පහතට පැන හෝ වැටී ඇත. ගොඩනැගිල්ලේ සිට අඩි 15ත් 20ත් අතර දුරක තිබියදී ඇය සොයා ගෙන තිබූ නිසා ඇය පස් වැනි මහලෙන් වැටෙන්නට හෝ පනින්නට ඇතැයි සැක පහළ වී තිබේ. එම අනුමානය තහවුරු වනුයේ පස් වැනි මහලේ කෙටි බිත්තිය අසල මේසයක් ද තිබීමෙනි. අඩි තුනක් උසැති බිත්තිය අසලට මේසයක් ගෙන ආවේ කවුරුන්ද යන්න තවම අනාවරණය වී නැත. එය ඇය විසින් ගෙනවිත් තබා ඒ මතට නැග පහතට පැන්නාද? නැතහොත් වෙනයම් නොදන්නා හේතුවක් මත ඇය වැටුණා ද? යන්න ගැන තවමත් පරීක්‍ෂණ සිදු කෙරේ.

පරීක්‍ෂණ සිදු කරන කුරුඳුවත්ත පොලිසිය පවසනුයේ ඇය ගොඩනැගිල්ලෙන් පහතට පැන මිය යන්නට ඇති බවට සාධක ලැබෙමින් තිබෙන බවය.රන්මලීට දිවි තොර කරගන්නට තරම් හේතුවක් නොවූ බව ඇගේ මව්පියෝ පවසති. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන රන්මලීගේ පියා වූ අමරසිරි ගුණවර්ධනත් හෙදියක වන ඇගේ මවත් තම දරු දෙදෙනාට කිසිදු අඩුපාඩුවක් නොවන්නට කටයුතු කළහ. රුහුණු විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාළ රන්මලීගේ අක්කා රැකියාවක් අපේක්‍ෂිතව නිවසට වී සිටිද්දී රන්මලී කොළොම්තොටට එන්නේ ජීව විද්‍යා අංශයෙන් වැඩිදුර ඉගෙනීමටය.

එහෙත් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන ආකාරයට රන්මලී වෛද්‍ය පීඨයට ඇතුළත් නොවීම නිසා යම් කණස්සල්ලකින් සිට ඇත. ගුණවර්ධන මහත්මියගේ එකම පැතුම වූයේ සිය දියණිය වෛද්‍ය පීඨයට තේරී පත් වනු දැකීමටය. ඇය වෛද්‍යවරික කිරීමට ඇය බොහෝ උත්සාහ කළාය. මවගේ පැතුම සඵල කරවන්නට ඇය තෙවරක්ම අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටියාය.

තෙවැනිවරද තම වෑයම අසාර්ථක වූ නිසා ඇය අවසානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට ඇතුළත් වූවාය. එහි මාසයක් දෙකක් ඉගෙන ගනිද්දී රන්මලී කිසි දින නොසිතූ පරිදි කොළඹ සරසවියට ඇතුළත් වීමට සිදු විය. ඒ ජයවර්ධන පුර සරසවියේ විද්‍යා පීඨයේ වැඩි සිසුන් ප‍්‍රමාණයක් සිිටි නිසා ඉඩකඩ ප‍්‍රශ්නයක් මත සිසු හුවමාරු ක‍්‍රමයක් යටතේ රන්මලීටත් තවත් කිහිප දෙනෙකුටත් කොළඹ සරසවියට යෑමට සිදු වීම මතය.

කොළඹ සරසවියට ඇය තේරීපත් වුවද නුගේගොඩ ඇය නැවතී සිටි බෝඩිමෙන් දුරස් නොවී එහි සිටම සිය යෙහෙළියන් හා බසයෙන් සරසවියට ගියාය. ඇය කොළඹ සරසවියට එන විට එහි සම්ප‍්‍රදායිකව සිදු කෙරෙන සිසුන් හඳුනාගැනීමේ වැඩසටහන් සියල්ල අවසන් වී අධ්‍යයන කටයුතු ද ආරම්භ වී තිබිණි.

සරසවි ජීවිතයේදී හෝ පෞද්ගලික ජීවිතයේදී යම් සිසුවකුට හෝ සිසුවියකට මුහුණ දීමට සිදුවන ආර්ථික දුෂ්කරතා, මානසික පීඩන, ශාරීරික දුර්වලතා ආදි නේක ප‍්‍රශ්න සිසුන් තුළම සිරකරගෙන තබාගන්නට කොළඹ සරසවියේ පාලනාධිකාරිය ඉඩ තබා නැත. ඒ සඳහා ඔවුන් ‘‘අත්වැල’’ නමින් අත්පොතක් භාෂා තුනෙන්ම මුද්‍රණය කර සෑම සිදු සිසුවියකටම ලබා දෙන්නේ අධ්‍යයන කටයුතු ආරම්භයටත් පෙර පැවැත්වෙන හඳුනා ගැනීමේ වැඩසටහන්වලදීය.

එක් එක් විෂය භාර ආචාර්ය මහාචාර්ය වරයාගේ පටන් ඒ ඒ පීඨය භාර ආචාර්ය මහාචාර්යවරුන්ගේත්, ශිෂ්‍ය උපදේශක විනය භාර උපදේශකවරුන්ගේ පටන් උප කුලපති දක්වා වූ සෑම තනතුරකම අයගේ කාර්යාල හා ජංගම දුරකථන අංකත්, එම අත්පොතට ඇතුළත් කර තිබේ. පැය 24 පුරාම සෑම ආචාර්යවරයකුම තම ජංගම දුරකතනය විවෘතව තබා ගන්නේ නවක සිසු සිසුවියන්ට පමණක් නොව දෙටු සිසු සිසුවියන්ට ද එළැඹෙන නේක ගැටලූවලට විසඳුම් ලබා දීමේත් මානසික සෞඛ්‍ය ඉහළින්ම පවත්වා ගැනීමේත් අරමුණිනි. ඒ සෑම දෙයක් සම්බන්ධවම ගුරු සිසු හඳුනා ගැනීමේ වැඩසටහන්වලදී සිසුන්ව දැනුවත් කළද රන්මලීලාගේ කාණ්ඩයට එම පණිවිඩය ගලා නොගිය බව කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා පැවසුවේය.

ඒ රන්මලීලා මාස කිහිපයක් පරක්කු වී සරසවියට බැඳුණු නිසාය. ඒ නිසාමදෝ රන්මලීගේ සිතට උපන් කරදරකාරී හැඟීම් එළි දක්වන්නට නිසි කෙනෙක් සිටියේ නැත. ඉඳහිට තම මිතුරියන්ගෙන් ‘‘කෝච්චියට පැන්නොත් එක පාරම මැරෙයිද?, වස බීවොත් මැරෙයිද?’’ යනාදී වශයෙන් විමසුවේද ඒ කරදරකාරී හැඟීම් තව දුරටත් ඇයට කරදරයක් වූ නිසාම විය හැකිය.

ඇයගේ සිතට මේ තරම්ම කරදරකාරී ලෙස මානසික පීඩනය උග‍්‍ර වූයේ ඇයිදැයි? යන්නද විමසිය යුතු කරුණකි. ජයවර්ධනපුර හා කොළඹ සරසවියේ අධ්‍යයන ක‍්‍රමයට හා විෂයමාලා වෙනස්කම් ඇයට බරපතළ පීඩාවක් එල්ල කළා විය හැකිය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වඩා කොළඹ සරසවියේ විෂය මාලාවන් ‘‘අමාරු’’ බැව් ඇය කිහිප විටක්ම යෙහෙළියන් හා පැවසුවාය.

ඇය කොළඹ සරසවියට විත් කෙටි කළකින්ම පළමු සෙමෙස්තර විභාගයට මුහුණ දීමට සිදුවීම නිසා ඇගේ මානසික ව්‍යාකූලත්වය තව තවත් වැඩි වූවා විය හැකිය. පාඩම් වැඩකටයුතු නිසි පරිදි කළද ඇගේ හිතට එය කරදරකාරී වූවාට නිසැකය. ඒ නිසාමදෝ ඇය නිරන්තර හිසරදයකින් පෙළුණු බවත් මිතුරියන්ට කියා ඇත. මිතුරියන්ද ඇගේ දැඩි මානසික ව්‍යාකූලබව නිසි ලෙස අවබෝධ කර නොගත්තා විය හැකිය. මන්ද ඔවුන්ද රන්මලී පත්වූ ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි නිසා එය සාමාන්‍ය දෙයකැයි සළකන්නට ඇතිවාට සැක නැත. රන්මලීට මෙන් ඔවුන්ට ද විභාගය අමාරු විය. එහෙත් රන්මලී එය පමණට වඩා සිතන්නට යෑම නිසා ඇගේ ව්‍යාකූලබව තව තවත් උග‍්‍ර වන්නට ඇත.

කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. විසිතුන් වසරක් ජීවිත ගමනේ පියමන් කළ රන්මලී ජීවිතයේ පැන නැගුණු ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගත නොහැකිව මෙලොව හැර ගොස් ඇත. ඇගේ නිසල දේහය දකින අහස උසට බලාපොරොත්තු දරා හැදු වැඩූ මව්පියන්ට ඇතිවන දුක්ඛ සන්තාපයන් ගැන විස්තර කිරීමට වචන නැති තරම්ය. තමන්ගේ ප‍්‍රශ්නයක් කිසිවකුට හෝ නිසි ලෙස කියා උපදෙසක් විසඳුමක් ලබාගනු වෙනුවට ජීවිතයෙන් පලා යෑමට සිතන්නට තරම් තරුණ ජීවිත මේ තරම් අකාරුණික වන්නේ ඇයිදැයි සිතෙන්නේ ඔවුන්ගේ වියෝවින් පීඩා විඳින අය දෙස බලන විටය.

 

 

කෙසේ හෝ රන්මලීගේ මරණය ගැන තවමත් අවසන් තීන්දුවක් ලැබී නැත. මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ හදිසි නාගරික මරණ පරීක්‍ෂක මොහොමඞ් අෂ්රොෆ් රූමි මහතාත්, පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන්.එම්. රාහුල් හක් මහතාත් මරණය ගැන අවසන් තීන්දුව දීම ලබන 25 වැනිදා දක්වා කල් තබා ඇත. හිසට හා උදරයටත්, කොඳු ඇට පෙළට හා ඉල ඇටවලට සිදු වූ බරපතළ හානී හේතුවෙනුත් සිදුවූ රුධිර වහනයෙන් රන්මලී මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ.

කොළඹ දකුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමලාල් රණගල මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති කපිල පේ‍්‍රමදාස මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක ජානක සමන් කුමාර, උ.පො.ප. කරුණාරත්න හා සැරයන් පේ‍්‍රමතිලක (1210) යන නිලධාරීන් රන්මලීගේ මිය යෑම ගැන තව දුරටත් පරීක්‍ෂණ පවත්වති.

මේ වන විට අනාවරණය වී ඇති සාක්‍ෂිවලින් බහුතරයකින් හෙළිව ඇත්තේ ඇය සිය දිවි නසා ගත් බව යැයි පොලිස් ස්ථානාධිපති කපිල පේ‍්‍රමදාස මහතා පවසයි. ඇයගේ යෙහෙළියන් නිසිලෙස සාක්‍ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා පරීක්‍ෂණ කටයුතුවලට බාධා වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් දැනට ලැබී ඇති සාක්‍ෂි අනුව එළැඹෙන 25 වැනිදා ඇගේ මරණය ගැන නිශ්චිත තීන්දුවක් ලැබෙනු ඇත.

 

සටහන පුෂ්පා වීරසේකර