පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවසට කඩා පැන මහාචාර්යවරයාට සහ ඔහුගේ පුතාට ද පහර දී නිවසට ද අලාභ හානි කර තිබූ ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
එකී සිදුවීමේ ම්ලේච්ඡ ස්වභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වා තිබුණි. ඒ අතරම හෝමාගම පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් තිස්එකක් නවක වදය හේතුවෙන් සරසවිය හැර ගොස් ඇති බවත් එම විශ්වවිද්‍යාලය මුදානොගත් පෙදෙසක් බවට පත්ව ඇති බවත් උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. විශ්වවිද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර තිබුණි.
පේරාදෙණියේ පහර දීමට විරෝධය පා එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මණ්ඩලය දින හතරක් දේශනවලින් වැළකී සිටීමට තීරණය කර තිබේ. මේ අතරම, උපකුලපති හිමිපාණන්ගේ හෙළිදරව්වෙන් පසු පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇති අතර නවක වදය සම්න්ධයෙන් සිසුන් සැලකිය යුතු පිරිසකට දඬුවම් පමුණුවා ඇත. පේරාදෙණිය සිද්ධිය ඇති වූ වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව වාර්තාවක් කැඳවා ඇති අතර පසුගිය සතියේදී පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිදුව ඇතැයි කියන නවක වද සිද්ධි සම්බන්ධයෙන්ද වාර්තාවක් කැඳවා තිබේ. ඒ අතර මෙම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලුම මහානායක හිමිවරු සමඟ සාකච්ඡා කළ යුතු බවටත් එතෙක් එම විශ්වවිද්‍යාල වසා දැමීමටත් තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්වය, සිසුන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ආකල්ප පිළිබඳව මෙන්ම රටේ උසස් අධ්‍යාපන ආයතනවල විනය සම්න්ධයෙන් පවත්නා අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව වටහා ගැනීමට මෙම සිද්ධි උපකාරී වනු ඇතැයි සිතමි. විශ්වවිද්‍යාල තුළ නවක වදය නමින් හඳුන්වනු ලබන ම්ලේච්ඡ, තිරිසන් සහ කෲර වදහිංසා නතර කර දැමීම පිළිබඳ මීට පෙර බොහෝ අවස්ථාවලදී සාකච්ඡා ඇතිව තිබේ. නවක වදය හේතුවෙන් සරසවි සිසුන් සැලකිය යුතු පිරිසක් ඝාතනය වී හෝ සිය දිවි නසාගෙන හෝ ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් ආබාධිත තත්ත්වයෙන් දිවි ගෙවති. ජ්‍යේෂ්ඨ සිසුන්ගේ සාහසික ක්‍රියාදාම හමුවේ මානසික ආබාධවලට ගොදුරු වී ඇති අයද විශ්වවිද්‍යාලය හැර ගිය අයද බොහෝ වෙති.
ලොව කිසිදු විශ්වවිද්‍යාලයක මෙයාකාරයේ ජුගුප්සාජනක සහ නින්දිත ක්‍රියාදාම සිදු නොවන අතර ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් දක්නට ලැබේ. අලුතින් විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන්ට වද හිංසා පමුණුවන නවක වදය නමින් හඳුන්වන මෙම ක්‍රියාවලිය සමහර පිරිසක් විසින් සමානතාව ඇති කිරීම සඳහා ගනු ලබන සමාජානුයෝජන ප්‍රයත්නයක් ලෙස හඳුන්වනු ලබයි. පසුගිය දශක කිහිපය තුළම එය විශ්වවිද්‍යාල ජීවිතය තුළ ස්ථානගත වී ඇති සංස්කෘතික පිළිවෙතක් ලෙසද එයට බඳුන් වූ තරුණ පිරිස් මතකය පුබුදුවමින් ඒ තුළින් දැඩි ආශ්වාදයක් ලැබූ බව ප්‍රකාශ කිරීමට ද සමහරු උත්සාහ කරති. තවත් පිරිසකගේ අදහස වන්නේ විශ්වවිද්‍යාලය යනු උප සංස්කෘතියක් සහිත වෙනම ආයතනයක් බවත් නවක වදය යනු එම උප සංස්කෘතිය තුළට බද්ධ වී ඇති සංස්කෘතිකාංගයක් බවත්ය. නවක වදය සාධාරණීකරණය සඳහා මෙවන් අදහස් ප්‍රකාශ කරන්නන්ගෙන් වැඩි දෙනෙක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන පිරිස් බවට වඩා හොඳින් පරීක්ෂා කර බැලුවොත් ඔබට පැහැදිලි වනු ඇත.
අලුතෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වන සිසුන්ගේ බිය සැක දුරු කිරීම සඳහාත් නව ආයතන පද්ධතියට හුරු පුරුදු කරවීම සඳහාත් ගී ගැයීම, කතා පැවැත්වීම, සුළු අංග චලනයකින් ඉරියව්වක් පෙන්නුම් කිරීම වැනි ප්‍රියජනක සහ විනෝදාත්මක වැඩසටහන් ඔස්සේ මුලදී නවක සිසුන් පිළිගැනීම ක්‍රියාත්මක වූවා විය හැකිය. පසුව ඒවා විවිධ මනෝභාවයන්ගෙන් යුත් පුද්ගලයන් විසින් තම හීනමානය, ඉච්ඡාභංගත්වය, මානසික විකෘති බව, කැපී පෙනීමේ අවශ්‍යතාව වැනි හේතු මත නවක සිසුන්ට කෲර වද හිංසා පැමිණවීමෙන් විකෘති ආශ්වාදයක් ලබා ගැනීමේ තත්ත්වයකට එය පත්වී ඇත.
එහි අවසන් අදියර වූයේ එයට දේශපාලනය සම්බන්ධ වීමයි. මුල් අවස්ථාවලදී රටේ ප්‍රධාන වාමාංශික පක්ෂවල විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් තම සාමාජිකත්වය ඉහළ නැංවීමේ පියවරක් ලෙස නවක වදය යොදාගත් අතර අද වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් තම පක්ෂවලට ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා නවක වදය ප්‍රධාන උපක්‍රමය ලෙස යොදා ගනී.
ශ්‍රී ලංකාවේ පවුල් සංකල්පය සහ සමාජ සම්බන්ධතාද විශ්වවිද්‍යාල ආරම්භ කළ මුල් අවස්ථාවලට වඩා දැන් වෙනස්ව ගොස් තිබේ. එකල විශ්වවිද්‍යාලවල සිසුන් වැඩි පිරිසක්, සාමාජිකයන් හත්අට දෙනකු සිටි පවුල්වල සාමාජිකයන් වූ අතර දෙමව්පිය සබඳතාවලදී අදට වඩා වෙනස් වූ පරිසරයක ඔවුහු ජීවත් වූහ. සාමාජිකයන් වැඩි පිරිසක් පවුලේ සිටීම නිසා තමන්ගේ ගමන් බිමන්, වෙනත් අවශ්‍යතා ආදිය සඳහා දෙමව්පියන් මත නොයැපුණු අතර ග්‍රාමීය ප්‍රදේශවල කටුක පරිසරයට ඔරොත්තු දෙන ජීවන රටාවකට හුරු වී සිටීම නිසා ඔවුහු සැලකිය යුතු මට්ටමකින් ශාරීරිකව මෙන්ම මානසිකවද ශක්තිමත් තත්ත්වයක සිටියහ. ඔවුන්ගෙන් සමහරෙකුට කුමනාකාරයේ හෝ නවක වදයක් විඳීම ප්‍රශ්නයක් නොවීය. තරමක ආශ්වාදයකින් යුතුව ඒවා සිහි කිරීමට ඔවුන් පුරුදුව සිටින්නේ ඒ නිසායැයි සිතමි.
ඒත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. පවුලක දරුවන් පිරිස අඩු වී ඇති අතර ඒ නිසාම දෙමව්පිය රැකවරණය යටතේ තරුණ වියට පිවිසෙති. ඔවුන් සහ දෙමව්පියන් අතර හැම විටම සංවර බස් වහරකින් සංවාද සිදුවන අතර ඇතැම් සිසුන් කටුක සහ විෂම වදන් භාවිතයට කිසිසේත්ම හුරු පුරුදු වී නැති බවක් පෙනේ. අනෙක් අතට වර්තමාන ශිෂ්‍යයා තමන්ගේ ස්වාධීනත්වය රැකගැනීම පිළිබඳව මෙන්ම තවකෙකුට වහල්කම් කිරීමේ පුරුද්දෙන් බැහැර වීමේ අවශ්‍යතාවද හඳුනාගෙන සිටී. එම නව ශිෂ්‍යයා තමන්ට සම්පූර්ණ අමුත්තන් වූ ඇතැම් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබන නින්දිත සහ අසභ්‍ය වදන්වලට සහ භාෂාවට සවන්දීමට හෝ නියෝග පිළිගැනීමට සූදානම් නැත. එබැවින් ඔවුහු නවක වදය ආරම්භ වීමත් සමඟම විශ්වවිද්‍යාල හැර යති. තවත් සමහරෙක් ජීවිතයේ කිසිදාක අත් නුදුටු ආකාරයේ විධානයන්ට යටත් වීමට සිදුව තිබීම හේතුවෙන් මානසික අවපීඩනයට ලක්ව ජීවන පැවැත්මේ සැලකිය යුතු බිඳවැටීමකට හසු වේ. තවත් සමහරු සිය දිවි නසා ගනිති.
අද වන විට නවක වදය සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. සෑහෙන කලක් ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලය අල්ලාගෙන සිටියද දැන් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතට පත්ව තිබේ. සමහර විශ්වවිද්‍යාලවල සමහර අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ශිෂ්‍ය සංගම් බලය ලබාගන්නා අවස්ථාද දැකගත හැකිය. ලංකාව සඳහා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද මහජන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා සුපිරි ඡන්ද ක්‍රමයක්ද පැවැත්විය යුතුයැයි උද්ඝෝෂණය කරන මෙම පක්ෂ දෙක විශ්වවිද්‍යාල තුළ අනෙක් දේශපාලන පක්ෂයක ශිෂ්‍ය සංගම් පිහිටුවීම සඳහා ඉඩ ලබා දෙන්නේ නැත. වෙනත් කිසිදු ශිෂ්‍ය සංගමයකට ඡන්දය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබා දෙන්නේද නැත. ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍යයන් බලයට පත්වී සිටින ආයතනයක අඩුම තරමින් පෙරටුගාමීන්ටවත් තරග කිරීමට ඉඩ නොදෙන අතර පෙටුගාමීන් බලයට පත්වී සිටින ආයතනවල ජනතා විමුක්ති පෙරමුණ සඳහා අවස්ථාවක් ලබා දෙන්නේද නැත. තමන්ගේ සාමාජිකත්වය ඉහළ නැංවීම සඳහා මෙම පක්ෂ දෙකම විශ්වවිද්‍යාලවල නවක වදය දරුණු අන්දමින් පවත්වාගෙන යනු ලබයි.
විශ්වවිද්‍යාල තුළ කවරාකාරයක හෝ නවක වදයක් ක්‍රියාත්මක වූ විට දැඩි දඬුවම් පැමිණවිය හැකි නීති රීති බොහෝ කලකට පෙර රටේ නීති පද්ධතියට එකතු කර තිබේ. 1998 අංක 20 දරන උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් හිංසා තහනම් කිරීමේ පනතට අනුව ඒ සඳහා ක්‍රියාත්මක විය හැකිය. ඒත් අවස්ථා කිහිපයකදී හැර කිසිදු විශ්වවිද්‍යාලයක් නවක වදය නැවතීම සඳහා නවක වද පනත උපයෝගී කරගත් බවක් නොපෙනේ. එසේ වුවද මෑතක සිට විශ්වවිද්‍යාල ආචාර්යවරු නවක වදය තුරන් කිරීම සඳහා පෙරමුණ ගැනීම මෙම තිරස්චීන ක්‍රියාදාමය විශ්වවිද්‍යාලවලින් මුලිනුපුටා දැමීම සඳහා හේතු වනු ඇතැයි සිතිය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ ආචාර්යවරු එම පීඨයේ නවක වදයට එරෙහිව ඉතා දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීම මෑත කාලීන උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවසේ දොරගුළු කඩා ඇතුළු වී ඒ මහතාට පහර දීම තුළ පැහැදිලි වන්නේ උගත් සිසු පිරිසක් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට දරන උත්සාහයයි. පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ කිසිදු නීතියකට යටත් නොවී විශ්වවිද්‍යාල පාලනය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන ආකාරයයි. රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තවත් ආයතන රැසක් මුදා නොගත් කලාප වශයෙන් පවත්වාගෙන යන බව ඉන් පැහැදිලි වේ.
මුදා නොගත් කලාප ප්‍රචණ්ඩකාරීන්ගෙන් මුදාගෙන උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සුවහසක් පිරිස්වලට සාමකාමී සහ නිදහස් පරිසරයක අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර දීම විශ්වවිද්‍යාල පාලනාධිකාරියේත්, ආචාර්යවරුන්ගේත්, රජයේත් වගකීම බව පෙන්වා දිය යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර