රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේෂම්
න කුරු නිතම්බිනි ගමන විලම්බන මනූසර තං හෘදයේෂම්
ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන චංචල කර යුග ශාලී
අනුප්‍රාසයෙන් අලංකෘත වූ, එනිසාම, ශ්‍රවණ රමණීය වූ මේ ගීතගෝවින්ද පද්‍යය ශ්‍රී ජයදේවයන්ගේ වාග් අමෘතයක් වැනිය. මේ පද්‍ය කියවන කල හෝ අසන කල සිංහල රසිකයෙකුට එය සංස්කෘත භාෂාවෙන් රචිත වූවක් බව වහා වැටහෙයි.
එහෙත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත මේ සරස්වතී අභිනන්දන ගීතය කියන විට හෝ අසන විට සිංහල අපට හැඟෙන්නේ එය සිංහල භාෂාවෙන්ම රචිත වූවක් ලෙස නොවේද?
ජගන්මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
අමර භූෂිණී - මන්ද හාසිනී
විජය රංජනී - ශාස්ත්‍ර ධාරිණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූර්ති ධර සුරකුලවර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මුද්‍රා
මේ ගීතය සංස්කෘත ව්‍යාකරණානුකූලව විරචිත වූවක් බව බොහෝ අය නොදන්නා කරුණක් යැයි සිතමි. හුදෙක්, මෙමගින් ප්‍රකට වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සතුව පැවති උභය ශූරත්වයකි. එකක් නම් ඔහු තුළ වූ සංස්කෘත භාෂා ඥානයයි.
අනික වූ කලී මිශ්‍ර සිංහලයේ නිතර ව්‍යවහාර වන සංස්කෘත වාංමාලාව සිංහල ස්වරූපයට ගැළපීමයි. අපට මෙය සිංහල ගීතයක් ලෙස හැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇතුළත් සංස්කෘත ව්‍යාකරණ ප්‍රයෝග වටහා ගත හැක්කේ ඒ බස දත්තන්ට පමණි. ඒ ප්‍රයෝග කවරේදැයි දැන ගැනීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සංස්කෘත භාෂා ඥානය අවබෝධ කර ගැන්මට රුකුලක් වෙතියි සිතමි.
මේ ගීතයෙන් උපුටා පහත දැක්වෙන සියලු යෙදුම් සංස්කෘත ව්‍යාකරණානුකූලව ගළපා ඇති බව දත යුතුය.
ජගන්මෝහිනී
මෙය ‘ජගත්’ සහ ‘මෝහිනී’ යන වචන දෙක සන්ධි වී සෑදී ඇත. විසන්ධි වූ කල ජගත්+මෝහිනී ලෙස සිටියි. මෙහි පළමු පදයේ අග ඇත්තේ ‘ත්’ ශබ්දයයි. දෙවැනි වචනයේ මුල ඇත්තේ ‘මෝ’ ශබ්දයයි. ‘ම’ නාසික්‍ය ශබ්දයකි. නාසික්‍ය ශබ්දයක් සන්ධි විය යුත්තේ තවත් නාසික්‍ය ශබ්දයක් සමගය. එය සංස්කෘත සන්ධි නීතියකි. පළමු පදයේ ‘ත්’ ශබ්දයට අයත් නාසික්‍ය ශබ්දය ‘න’ කාරයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ජගත්+මෝහිනී විසන්ධිය ජගන්මෝහිනී ලෙස සන්ධි වූයේ එකී සන්ධි නීතිය අනුවය.
වන්දේ
මෙය සංස්කෘතයේ උත්තම පුරුෂ, ඒක වචන, වර්තමාන කාල ආඛ්‍යාත පදයයි. ‘වඳිමි’ යනු එහි අර්ථයයි.
පාද සරෝජේ - කටී තටාකේ - වර දායක හස්තේ
සංස්කෘතයේ සත්තමී විභක්තියෙහි (ආධාර විභක්තියෙහි) වැටෙන යෙදුම් තුනකි මේ. පිළිවෙළින් ඒවායින් ‘පා පියුමෙහි’ - ‘උකුළු විලෙහි’ - ‘වරම් ලබා දෙන අතෙහි’ යන අර්ථ ප්‍රකාශ වෙයි.
කූජිත – කම්පිත - අංකිත
මේ සංස්කෘතයේ අතීත කෘදන්ත පද තුනකි. පිළිවෙළින් ඒවා ‘හැඩැවුණු’ - ‘සෙලවුණු’ - ‘ලකුණුවුණු’ යන අර්ථ ප්‍රකාශ කරයි.
පූර්ණකුම්භමිව
මෙය විසන්ධි වූ කල ‘පූර්ණකුම්භං + ඉව’ ලෙස සිටී. ‘පූර්ණකුම්භං’ යනු පුන්කලසයි. ‘ඉව’ යනු ‘වැනි’ යන අර්ථය දෙන නිපාත පදයකි. ඒ දෙපදය සන්ධි වූ කල ‘පූර්ණකුම්භමිව’ යන සංස්කෘත සන්ධි පදය සෑදේ. එහි අර්ථය ‘පුන්කලස් වැනි’ යන්නයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එය යොදා ඇත්තේ පීනපයෝධර (පුන් පියයුරු) යන්නට උපමා වශයෙනි.
පූරිතාමෘත ධාරා
මෙය විසන්ධි වන්නේ ‘පූරිත+අමෘතධාරා’ ලෙසය. ‘පූජිත’ යනු ‘පිරුණු’ යන අර්ථය දෙන අතීත කෘදන්ත පදයකි. එය අන්ත වන්නේ ‘අ’ ස්වරයෙනි. ‘අමෘතධාරා’ යන සමාස පදයේ මුල ඇත්තේ ‘අ’ යන ස්වරයයි. එසේ ‘අ’ ඇති දෙපදයක් සන්ධි වෙද්දී අග මුල ‘අ’ ස්වර දීර්ඝ වෙයි. සංස්කෘතයේ මේ සන්ධිය හැඳින්වෙන්නේ ‘ස්වර්ණදීර්ඝ’ (සමාන ශබ්ද දික්වීම) යන නමිනි. මානවසිංහයන් අතින් ‘පූරිතාමෘතධාරා’ (අමාදහර පිරුණු) යන අනුප්‍රාස, සහිත සමාස පදය යෙදුණේ ඒ අනුවය.
දේහි දේහි
සංස්කෘතයේ ‘දෙන්න’ යන අර්ථය දෙන විධි ක්‍රියාව ‘දේහි’ යන්නය. මානවසිංහයන් මෙය දෙවරක් යොදා ඇත්තේද සංස්කෘත ආලංකාරිකයන්ගේ උපදේශයක් අනුවය. “අධික වචනමධිකාර්ථං ගමයති” යනු ඒ උපදේශයයි. “වැඩි වචන යෙදීමෙන් වැඩි අර්ථයක් හැඟවෙයි” යනු එහි අර්ථයයි.