සර්ව පාක්ෂික බාලගිරි දෝෂය


පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට දේශපාලනඥයන් අතර ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබූ ‘‘සර්ව පාක්ෂික ආණ්ඩුව’’ මේ වනවිට අවලංගුවට පත්වී ඇති බවක් පෙනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් දේශපාලන පක්ෂ නායකයන් කිසිවෙක් දැන් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැත.

මෙම යෝජනාව මුලින්ම මෙරට දේශපාලන කරළියේ සංවාදයට ලක්කළ පක්ෂ එකොළහේ නායකයන් ද එය දැන් අත්හැර දමා ඇත. එම පක්ෂවලින් එකක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මේ බව ඉකුත් බදාදා ජනමාධ්‍ය හමුවේ  ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.

මෙම පක්ෂ එකොළහෙන් ප්‍රධාන පක්ෂ දෙකක් වන ජාතික නිදහස් පෙරමුණේ හා පිවිතුරු හෙළ උරුමයේ නායකයන් වන  විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා ඉකුත් මාර්තු  2 වැනිදා තලවතුගොඩ හෝටලයක පැවැති රැස්වීමක දී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් ඔවුහු ඊට පසුදින හිටපු ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ  මහතා විසින් ඔවුන් දැරූ අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූහ.

එහෙත්  ආණ්ඩුව ඔවුන්ගේ විවේචනයට ලක්වූ ක්‍රියාමාර්ග  වෙනස් කිරීමට හෝ ඔවුන්ගේ විවේචනයට ලක්වූ බැසිල් රාජපක්ෂ මහතා දරන තත්ත්වය වෙනස් කිරීමට හෝ සුදානම් නැති තත්ත්වයක් යටතේම ඔවුහු අප්‍රේල් 1 වැනිදා පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු  ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත් වූහ. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහස මුල්වරට ඉදිරිපත් වූයේ මෙම සාකච්ඡාවේදීය. එය ඉදිරිපත් කළේ මෙම කුඩා පක්ෂවල නායකයන්ය.

මෙම සාකච්ඡාව පැවැත්වූ දිනය වනවිට රට මුහුණ පා සිටියේ අතිශයින් අවුල් සහගත  තත්ත්වයකටය. ආර්ථික අර්බුදය නිසා සමාජයේ සෑම තරාතිරමකම පිරිස් දැඩි පීඩාවකට ලක්වී සිටි අතර ගෑස්, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආදිය ලබා ගැනීම සඳහා ජනතාවට දින ගණනක් දිවා රෑ පෝලිම්වල රැඳි සිටින්නට සිදුවී  තිබිණි. ඒ වනවිට දිනකට පැය අටකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වෙමින් තිබිණි.

ඒ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තත්ත්වයට විසඳුම් සොයා ගත නොහැකිව ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටියේය. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවකින් එම ප්‍රශ්නය විසඳන්නේ කෙසේද යන්න පැහැදිලි නොවුව ද ඔහු එම යෝජනාව පිළිගත්තේය. ඔහු කොතරම් අසරණව සිටියේද  යත්  එවැනි පැහැදිලිබවක් නැතිව තිබියදී වුවද ඔහු සර්ව පාක්ෂික  ආණ්ඩුවකට ඉඩ දී ඉල්ලා අස්වන ලෙස අප්‍රේල්  3 වැනිදා අගමැතිවරයා හැර තම ඇමැති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්හට දැනුම් දුන්නේය.

එහෙත් ඉහතකී සාකච්ඡාව පැවැති දිනට පෙර දින රාත්‍රී මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිට හදිසියේම විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. අප්‍රේල් 3 වැනිදා කොළඹදී හදිසි නීති, ඇඳිරි නීති නොතකා තවත් උද්ඝෝෂණයක් පැවැත්විණි. අප්‍රේල් 9 වැනිදා සිට ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණයක් ආරම්භ විය.

අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ  අදහසට ඒ අතර වෙනත් බොහෝ  පක්ෂවල හා සංවිධානවලට කැමැත්ත පළ විය. මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ගේ ආශීර්වාදය ද ඊට ලැබිණි. තමන්ටද ඇමැති ධූර ලැබෙන්නට ඇති ඉඩකඩ නිසා සුළු පක්ෂ මීට දැක්වූ කැමැත්ත තේරුම් ගත හැකිවිය. එහෙත් පසුව අරගලය නමින් පොදුවේ  හඳුන්වනු ලැබූ මහජන උද්ඝෝෂණ නිසා ඇතිවූ දේශපාලන අවුල් සභාගත බව හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ පක්ෂ හෝ එවැනි ආණ්ඩුවක් ගොඩනැංවීම සඳහා ඉදිරිපත් වූයේ නැත.

අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් පළමුව ඉකුත් මැයි 12 වැනිදා අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම මහජන නැඟිටීම උච්ඡස්ථානයට පත්වීමේ අතුරුඵලයක් වශයෙන් ජූලි 21වැනිදා ජනාධිපති ධුරයට ද පත්විය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහස ඉදිරිපත් වූ මුල් දිනවල ඒ පිළිබඳව තම ස්ථාවරය එතරම් පැහැදිලිව ඉදිරිපත් නොකළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් ඒ ගැන උනන්දුවක් දක්වයි.

 කෙසේ වෙතත් ඔහුගේ එම උත්සාහය එක්තරා දුරකට අපැහැදිලිය. මන්දයත් ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමට  එක් වන්නැයි විවිධ පක්ෂවලට ආරාධනා කළද දැන් එම පක්ෂ විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හා ජාතික නිදහස් පෙරමුණ ඒ සඳහා ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසිය සම්බන්ධයෙන් නිහඬය.

එම පක්ෂ පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟිය යුත්තේ පවතින සමාජ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ සාමූහික වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමෙන් පසුව බවය. එසේම එය සය මසක් වැනි කෙටි කාලීන වැඩ පිළිවෙළක් විය යුතු බවය. එසේම එය සය මසක් වැනි කෙටි කාලීන වැඩ පිළිවෙළක් විය යුතු බවය. මෙය සාධාරණ මෙන්ම නිවැරැදි ඉල්ලීමකි. මන්දයත් වැඩ පිළිවෙළක් නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක අවසාන ප්‍රතිඵලය විශාල  ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම පමණක් විය හැකි හෙයිනි.

කෙසේ වෙතත් වත්මන් තත්ත්වය යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් වැඩිම ප්‍රයෝජනය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. මන්දයත් එජාපයට පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි තත්ත්වය යටතේ ජනාධිපතිවරයා කොටුකර තමන්ගේ ප්‍රාණ ඇපකරුවකු කර ගැනීමට පොදුජන පෙරමුණට දැන් හැකියාව ඇති හෙයිනි.

පාර්ලිමේන්තුවේ එක් ආසනයකට පමණක් හිමිකම් කී එජාපයේ නායකයා මුලින් අගමැති ධුරයටත් පසුව ජනාධිපති ධුරයටත් පත්කර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ අනුව ජනාධිපතිවරයා එක්තරා ආකාරයකට එම පක්ෂයට සදාචාරමය වශයෙන් ණය ගැතිය. අනෙක් අතට අයවැය ද ඇතුළුව ජනාධිපතිවරයාට අවශ්‍ය කිසිදු යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් පොදුජන පෙරමුණේ සහයෝගය නැතිව පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොහැකිය. එම පෙරමුණ තුළ කොතරම් මතභේද තිබුණ ද රාජපක්ෂවරුන් එතුළ ඉතා බලවත් බව ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී පැහැදිලි විය.

එහෙත් විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගය ද ඇතුළුව වෙනත් පක්ෂවල සහයෝගයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වුවහොත් ආණ්ඩුව තුළ පොදුජන පෙරමුණේ බල සාන්ද්‍රණය අඩුවේ. පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ උදහසට හෝ නොසලකා හැරීමට ලක් වූ පොදුජන පෙරමුණේ කණ්ඩායම් ද තමන් වෙතට නම්මා ගත හැකි නම් ජනාධිපතිවරයාගේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

සමගි ජනබලවේගයද ඇතුළු එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ජනාධිපතිවරයාට ලැබිය හැකි තවත් වැදගත් වාසියක් නම් 2019 අවසානය දක්වා තමන්ගේ නායකත්වය යටතේ සිටි සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ට යළිත් සමීපවීමයි. ඔවුන් එජාපය වෙතට යළි දිනා ගැනීමේ අවස්ථා වැඩි වීමය. එම මන්ත්‍රීවරුන් එජාපයෙන් කැඩී ගියේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න නිසා නොව එජාප නායකයා යටතේ මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි නිසාය. දැන් එජාප නායකයා සිටින්නේ බලයේ උපරිම තලයේය.

එජාප  හා පොදුජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන් මූලික වෙනසක් නැත. පක්ෂ දෙකම පිළි ගන්නේ විවෘත වෙළෙඳ​ෙපාළ ආර්ථික ප්‍රතිපත්තියයි. වෙනසකට ඇත්නම් පොදුජන පෙරමුණේ නායකයන් මෙන් නොව වික්‍රමසිංහ මහතා එම ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඇතිව සිටීමයි. නිදහසින් පසු ගතවූ වසර 74ක කාලය පුරා මේ රට පාලනය කළේ මෙම පක්ෂ දෙකයි. පොදුජන පෙරමුණේ නායකයෝ 1951 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පෙනී සිට 1994 දී පොදුජන එක්සත් පෙරමුණේ නායකයන් ලෙසත් 2003 සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසත් පෙනී සිටියහ. ඉන්පසු 2016 දී පොදුජන  පෙරමුණ පිහිටුවා ක්‍රමයෙන් ශ්‍රීලනිප අත්හළහ. ඒ අනුව එම පෙරමුණ ද ප්‍රායෝගිකව සලකා බලන කල අලුත් පක්ෂයක් නොවේ.

එහෙයින් මේ රට වත්මන් තත්ත්වයට පත් වූයේ එජාප පොදුජන පෙරමුණ යන පක්ෂවල නායකයන්ගේ පාලනය හේතුවෙනි. ඒ පක්ෂ දෙකේම විවිධ මට්ටමේ නායකයන්ට මහා පරිමාණ දූෂණ පිළිබඳ චෝදනා එල්ල වී ඇත. පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පසුගිය කලාපයට පවසා  තිබුණේ ‘‘මා ඇතුළු සියලු දෙනා සහ පසුගිය ආණ්ඩු රටේ වත්මන් තත්ත්වයට වගකිව යුතු’’ බවයි.

එසේ මෙම පක්ෂ දෙකම සෑම අතින්ම සමාන වුව ද බල තරගයේ දී ඔවුන් අතර එකඟතාවක් නැත. දැනට පක්ෂ දෙක අතර ඇති වී තිබෙන සහයෝගීතාව පසුගිය දා ඇති වූ මහජන නැඟිටීම හමුවේ දෙපාර්ශවයේ ඵල ප්‍රයෝජන ආරක්ෂා කරගැනීම සඳහා ඇතිකර ගන්නා ලද එකඟතාවක් පමණි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව උත්සන්න කළ ආර්ථික අර්බුදයත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූ අසරණභාවයත් නිසා වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ අනෙකුත් තරගකරුවන් පරදා ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු අත්පත් කර ගැනීමට මඟ පෑදීනි. අනෙක් අතට මහජන විරෝධය හමුවේ පොදුජන පෙරමුණ තමන්ගේ ආරක්ෂාව සඳහා වූ පළිහක් ලෙස වික්‍රමසිංහ මහතා යොදා ගත්තේය.

 දැන් දෙපාර්ශ්වයේ එම අරමුණ ඉටුවී හමාරය. එහෙයින් බල තරගය  ඉතා සෙමෙන් මුත් හිස පොවන්නට පටන් ගන්නා බවක් පෙනේ. ජනාධිපතිවරයා බලයට පත්වූ සැණින්ම තම පක්ෂයේ නායකයන්හට උපදේශක තනතුරු වැනි තනතුරු දෙමින් පක්ෂය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. අනෙක් අතට පොදුජන පෙරමුණ ද තම සාමාජිකයන්ගෙන් සමන්විත විශාල ඇමැති මණ්ඩලයක් පත් කිරීමට හදිසි වන  බවක් පෙනේ. ඔවුන් සර්ව පාක්ෂික  ආණ්ඩුව ගැන එතරම් තැකීමක් කරන්නේ නැත. කෙසේ වෙතත් විශාල ඇමැති මණ්ඩලයකට ජනාධිපතිවරයා කැමැත්තක් නොදැක්වූ බවද ඇතැම් ප්‍රවෘත්තිවලින් කියවේ.

මේ අතර ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ආණ්ඩුව විදේශගත දෙමළ සංවිධාන 6කට හා පුද්ගලයන්  316 දෙනකුට පසුගිය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබූ තහනම ඉකුත් අගෝස්තු 1වැනිදා ඉවත් කළේය. මෙය නිතරම දෙමළ, මුස්ලිම් විරෝධතාව මත දේශපාලනය කරන පොදුජන පෙරමුණ අසීරුවට පත් කරන්නකි.

ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර මතභේදයක් මතුව තිබේ. (දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 20ක්  ඉදිරිපත් කරනු ලැබ ඇති තත්ත්වය යටතේ මෙම 22 වැනි සංශෝධන කෙටුම්පත් සම්මත වුවහොත් එය ඉන්පසු හැඳින්වෙන්නේ 21 වැනි සංශෝධනය වශයෙනි) එම කෙටුම්පතේ ඇතැම් වගන්ති වෙනස් නොකළහොත් තමන් එය  සම්මත කිරීමට සහාය නොදෙන බව පොදුජන පෙරමුණ පවසා ඇති බවක් ද ජනමාධ්‍යවල වාර්තා විය.

මේ සියල්ලටම වඩා දෙපාර්ශ්වය අතර මත භේදයක් විය හැකි විශේෂිත වූ කරුණක් ඉකුත් 14 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කරනු ලැබ තිබිණි. 2015-2019 අතර යහපාලන ආණ්ඩුව යටතේ ‘‘දේශපාලන පළිගැනීම්වලට’’ලක් වූ බව කියන රාජ්‍ය නිලධාරීන් පිරිසකට රුපියල් මිලියන ගණනක වන්දි ගෙවීම සඳහා වූ  කැබිනට් පත්‍රිකාවක් අගමැති කාර්යාලය මඟින් ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවක් එම පුවතින් කියවිණි.

මෙහි ඇති විශේෂත්වය නම් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වී ක්‍රියාත්මක වුවහොත් යහපාලන ආණ්ඩුව යතේ දේශපාලන පළිගැනීමට ලක්වූවා යැයි කියන පිරිසකට එම ආණ්ඩුවේම නායකයන් දෙදෙනාගෙන් කෙනකුගේ ආණ්ඩුවක් වෙතින් වන්දි ලැබීමය. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුවහොත් එය ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර සම්බන්ධයේ ස්වභාවය ද එක්තරා දුරකට පෙන්වන්නකි.

මේ සියල්ල සලකා බලන කල ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර ප්‍රබල සීතල යුද්ධයක් ක්‍රියාත්මක වූ පසුගිය යහපාලන ආණ්ඩුව වැනි තත්ත්වයක් කරා රට ගමන් කරන්නේ දැයි සැක සිතේ. මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට ද ජනාධිපතිවරයාට සර්ව පාක්ෂික ආණ්ඩුවක වටිනාකම දැනෙනවා විය හැකිය.

එහෙත් තාවකාලිකව හෝ දැන් තෙල් ගෑස් පෝලිම් නැත. පැය 10ක් පමණ වූ විදුලි කප්පාදුව දැන් පැය තුනට බැස ඇත. එයද බොහෝ දෙනකුට හුරු වී තිබේ. මේ නිසා ජීවිතය දුෂ්කර වුවත් රටට පෙර මෙන් පීඩනයක් නොදැනෙන හෙයින් රට තුළ ද එවැනි ආණ්ඩුවක් පිළිබඳ උනන්දුවක් දැන් දක්නට නැත.

(*** එම්.එස්.එම්.අයුබ්)