සසර වසන තුරු ඔහු අප සමගය


ඩෝල්ටන් අල්විස් කිවිඳුන්ගේ ගුණ සමරු දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඩෝල්ටන් අල්විස් කිවිඳාණන් හා අපගේ සැබැඳියාව 1970 දශකය දක්වා දිවෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත විචිත්‍රාංග සහ යෞවන සමාජය අද ලියැවෙන කවි, පද්‍යාවලි ආදී වැඩසටහන් සඳහා සහභාගී වන අප හා ඒ මහා සාහිත්‍යධරයා ඇසුරට අවස්ථාව සැලසීම සිහිපත් කරන සිද්ධියකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසුය.

එදා නාඩගම් ගී වැඩසටහනක් සඳහා පැමිණ සිටි ඉතා ප්‍රකට ගායකයකු වූ නෝමන් ගුණසිංහ මහතා සමග ඩෝල්ටන් අල්විස් මහතා කතාබහ කරමින් සිටින අතරේ මමද ඒ අවස්ථාව  සඳහා සහභාගී වූයෙමි. අපි තිදෙනාම එම නාඩගම් ගී ගායනා වැඩසටහන වෙතට ඒ මැදිරියට පැමිණියෙමු. ඒ වනවිට එම මැදිරිය තුළ සංගීත ශිල්පියෝද පැමිණ සිටියහ. සංගීත වැඩසටහන ආරම්භ වූයේය.

‘‘අද නාඩගම් ගී වැඩසටහනේ ගායකයා ශ්‍රාවක ඔබ ඉතා හොඳින් දන්නා ප්‍රවීණ නාඩගම් ගී ගායක නෝමන් ගුණසිංහ ගායකයාණන්ය.’’

ඩොල්ටන් අල්විස් මහතා පැවසූ ඒ වචන ටික අවසාන වනවාත් සමගම නෝමන් ගුණසිංහ ගායකයාණන් සිය ගායනය ආරම්භ කළේය. විනාඩි 15 තිස්සේම එම වැඩසටහන පටිගත කළේ යැයි මම සිතුවෙමි. එහෙත් ඒ සංගීත වැඩසටහන එදා සජීවීව කළ නාඩගම් ගී ගායනා වැඩසටහනක් බව මා දැනගත්තේ එය අවසානයේදීය.

සැබැවින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දෙවැනි විශ්වවිද්‍යාලයකි. ඩෝල්ටන් අල්විස් කිවිඳු වැනි ශිල්පීන්, ලේඛකයන්, කවියන්, චිත්‍රපට ගායක, ගායිකාවන් හා නළු නිළියන්ද හමුවන ඒ ස්ථානයේ මේ මහ ගීත රචකයාණන්ට අමතරව මඩවල එස්. රත්නායක, එච්.එම්. ගුණසේකර (එවක සිංහල සේවා අධ්‍යක්ෂ) ලලිත් එස්. මෛත්‍රීපාල, අසෝක තිලකරත්න, මෙකල සභාපති හඩ්සන් සමරසිංහ, තිලක සුධර්මන් සිල්වා, රාජා ධර්මපාල ආදී ප්‍රවීණයන් නිසා විශ්වවිද්‍යාලයකින් ලබන දැනුම ඒ අය හා ඇසුරෙන් ලැබීම අප වැන්නන්ට එය ඉතා අගනා අවස්ථාවකි.

මේ අතරේ ප්‍රමුඛ පෙළේ ගීත රචකයකු (මෙකල භාවිත වන ගේය පද රචකයකු) කවියකු හා භාවපූර්ණ නිවේදකයකු විශේෂයෙන් සංගීත වැඩසටහන් සඳහා නිවේදකයකු, නිෂ්පාදකවරයකු වන ඩෝල්ටන් අල්විස් මහ කිවිසුරාණන්ගේ ගී පද රචනාවලට පැමිණීමට පෙර මා මේ විස්තරය කළේ ඒ මහා කිවිඳුන්ගේ ආභාසය හා උපදෙස් අපගේ ගීත රචනය බලපෑ බැවිනි. එපමණක් නොව ඔහු විසින් මෙහෙයවන ලද පද්‍යාවලිය, අද ලියැවෙන කවි ආදී කාව්‍ය වැඩසටහන් වලින් ඒ කාලයේ තරුණ තරුණියන් රැසක්ම කවි ලිවීමටත් ගීත ලිවීමටත් පිටුබල වූ මහා කිවිසුරාණන් වූ ඩෝල්ටන් අල්විස් සිංහල සාහිත්‍යය පමණක් නොව ඉංග්‍රීසි සාහිත්‍යයද ඉතා මැනවින් හදාළ විද්වතෙකි.

‘‘උඩඟුලියන් ගොතා බඳින නීල වරළ සරසන්නට’’ ලෙසින් ඇරඹෙන  ආචාර්ය නන්දා මාලනී ප්‍රවීණ ගායිකාව ගයන එම ගීතය ඩෝල්ටන් අල්විස් කිවිඳුන් ලියා ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කාව්‍යයක් ආශ්‍රයෙනි. ‘‘සසර වසනතුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා’’ නම්වූ එම ගීතය ඩෝල්ටන් අල්විස් කිවිදාගේ සුරතින් ලියැවුණු ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහා ගායකයාණන්ගේ සංගීතයෙන් ඔහු විසින්ම ගායනා කරන ලද ඉතා ජනප්‍රිය ගීතයකි.

බුලත් විටකින් බොහෝ අවස්ථාවල සප්පායම් වී සිටින ඩෝල්ටන් අල්විස් නම් ගුවන් විදුලියේ ප්‍රමුඛ පෙළේ නිලධාරියෙකු වුවද නිහතමානී ගුණයෙන් බොහෝ ශිල්පීන් ඔහු හා සුහදතාවයෙන් ක්‍රියා කළ බව අපට පසක් වූ කරුණකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී ඩෝල්ටන් අල්විස් කිවිඳු ඇසුර නිසා අපටද ගීත රචනයට මෙන්ම සිංහල ගීත නාටක සඳහාද ගුරුහරුකම් ලැබුණේ ඔහුගේ සමීප ඇසුරෙනි.

මෙම සංගීත වැඩසටහන්වලදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි සංගීත අංශවල අධ්‍යක්ෂ අප සමීප හිතමිත්‍ර ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායකයාණන් සහ මෑතකදී අභාවයට පත්වූ සිංහල සංගීත ක්ෂේත්‍රයේ මහාචාර්යවරියක වූ අමරා රණතුංග ප්‍රවීණ ගායිකාව විසින්ද ගායනා කර ඇය විසින්ම සංගීතවත් කළ ‘චාමර පවන් සළා නීල වරළ මුහුල සලා ඔබ එන මන්සලයේ බලා හිඳින්නම්’ ගීතයද ශාස්ත්‍රීය සංගීතය මුසු වූ ඉතා ජනප්‍රිය ගීතයකි. එයද අප කිවිසුරු ඩෝල්ටන් අල්විස්ගේ සුරතින් ලියැවුණකි.

අප රටේ ගීත රචනා කලාව කෙරෙහි සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ආනන්ද සමරකෝන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක ගේ පරපුරටම අයත් වූ ප්‍රවීණ ගීත රචකයෙකු ලෙසින් ඩෝල්ටන් අල්විස් කිවිසුරාණන් සදා කල්හිම සසර වසන තුරුම අපගේ මේ දේශයේ සිය පිය සටහන් තබා ගොස් ඇති බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

‘‘කවුරුදෝ අර කවුළුවෙන් - සිනාසී එබිකම් කළේ

ඒ සිනාවෙන් මා වෙළන්නද - මා වෙළාගෙන මට තලන්නද

ඈ සිනාසෙන්නේ’’ මේ ගීතයේ තනුව යෙදුවේ මාගේද සගයෙකු වන ශාන්ති ගීතදේවය. සනත් නන්දසිරි එම ගීතය ගායනා කළේය. ශාන්ති ගීත දේවයන් ඩෝල්ටන් අල්විස්ගේ එම ගීතයට කොතරම් ඇලුම් කළේද යත් ඔහුද එම ගීතය ගායනා කළේය.

‘‘නිසංසල රෑ’’ ගීතයට සංගීතය මුසු කෙරුණේ ප්‍රවීණ ගායක ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසිනි. ගායනය ආචාර්ය නන්දා මාලනී ගායිකාව විසිනි. එය ඩෝල්ටන් අල්විස් කිවිඳුගේ පෞද්ගලික ජීවිතය හා බැඳුණු ගීතයක් බව අප හා කතාබහ කළ අවස්ථාවකද ඔහු පැවසූ අන්දම මගේ සිහියට නැගේ. නන්දා පතිරණ ගායිකාව ගයන ‘‘මගේ දෑස ඔබේ කියා’’ ගීතය ද, ‘‘නිවහල් සිතුවිලි සිතක් සිතක් උදාරයි’’ අපට ඇසේ. ‘‘තුං තුඹ මල් තුන් තුඹ මල්’’ චන්ද්‍රාණි ගුණවර්ධන ගායනා කළ ගීතයද ඩොල්ටන් අල්විස් කිවිඳුන්  ලියූ ගීත අතර වේ.

ගුවන් විදුලි සංස්ථාවේ  ඔහුගේ රැකියාවට අමතරව කළ මේ සේවාව නිසාම ඩෝල්ටන් අල්විස් යන නාමය ජනතා හදවත් තුළ රැඳී පවතී. ගුවන් විදුලියේ හැටේ දශකයේදී හඳුනා ගත් මේ මහා කිවිඳු 1987 තෙක් දශක දෙකක් තිස්සේම ඇසුරු කිරීමට ලැබීම භාග්‍යයක් ලෙසින් සඳහන් කළ යුතුය.

ජන හදවත් තුළ සදාකල්හිම ස්ථාපිත වූ ඩොල්ටන් අල්විස් කිවිඳු දවසක්දා මා සමග පැවසූ වදනකින් මෙම ලිපිය අවසන් කරන්නේ ‘‘සසර වසන තුරු නිවන් දකින තුරු අපි යළි යළි හමුවේවා’’ යන පැතුම සමගය.

ඔහු දවසක්දා මෙසේ මා සමග පැවසුවේ මේ අදහසයි. ‘‘මං හරිම ආසයි ඔබත් සමග ඈත වන්නි වනාන්තරේ ගසක් උඩ සාදා ඇති පැල් පතක රාත්‍රියේ කතා කරමින් ඉන්න යනුවෙනි.  

එසේ වුවද ඒ පැතුම ඉටු කිරීමට මට නොහැකි විය. 1987 අගෝස්තු 1 වැනිදා අප හැමට උරුම ඒ වෙන්වීම කායිකව සිදු වුවද ඩෝල්ටන් අල්විස් නාමය සදා රසික හදවත් තුළ සදා සුරැකේ.

 

(***)

- සිරි සමන් විජේතුංග