ආගමික හා ශාසනික වශයෙන් නොමැකෙන මෙහෙවරක් ඉටුකළ පිඹුරේ උදිත ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක මාහිමිපාණෝ අවුරුදු 73 ක් ආයු වළඳා ඉකුත් (11) වැනිදා අපවත්වූහ.
මහා නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අගලවත්ත මිහිඳු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (15) සවස 2.00 පැවැත්වේ.
මේ ලිපිය ඒ නිමිත්තෙන්.
1948 ජනවාරි මස 11 වැනි දින පිඹුර මහගෙදර නම් වූ කුටුම්භයෙහි වලකඩ අප්පුහාමිලාගේ චාර්ලිස් අප්පුහාමි පියාණන්ට හා කන්නන්ගර රාළලාගේ දෝන චාලට් කන්නන්ගර මෑණියන්ටදාව වලකඩ අප්පුහාමිලාගේ දොන් විල්මට් සුමනසිරි නමින් පින්වත් කුමරෙක් උපන්නේය. දෛවෝපගතව හා පූර්වකෘත පුණ්‍ය කර්මයන්ගේ හේතුවෙන් මෙම පින්වත් කුමරා ජන්මයෙන්ම උපරිසම්පත්තියෙන් පරිපූර්ණ වූ කුමරෙක් විය. ඉගෙනුමට අත්පොත් තැබූ තැන් සිට නෙකවිධ ශිල්පීය ශාස්ත්‍රයන්හි කුසලතා ප්‍රකට කළ අප මහානායක හිමියෝ මූලික අධ්‍යාපනය සඳහා පිඹුර කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් වූහ. එම විද්‍යාලයෙහි තෙවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලද මහානායක නාහිමියෝ සංසාරිකව ප්‍රගුණ කරන ලද කුසලාර්ථ ධර්මයන්ගේ බල මහිමයෙන් පිඹුරේ ගුණරතන බලුරලියේ සිලරතන තුඩුගල ජීවානන්ද යන මහාස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායෙන් ක්‍රි.ව. 1957 ක් වූ ජනවාරි මස 26 වැනි දින පිඹුරේ උදිත යන නමින් සසුන් කෙතට පිළිපන්හ.
ශාසනික ප්‍රවෘජාවෙන් අනතුරුව අප මහා නාහිමියෝ කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර භික්ෂු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව භික්ෂූත්වයට අත්‍යවශ්‍ය වූ මූලික ධර්ම ශාස්ත්‍රයන් ප්‍රගුණ කළහ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය ඉතා සාර්ථකව නිමකළ අප නාහිමියෝ ක්‍රි.ව. 1974 වර්ෂයේ විදුදය විශ්‍වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. ඉන් අනතුරුව අප නාහිමියෝ ක්‍රි.ව. 1968 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවා වර්ෂ 150 ක් පරිපූර්ණත්වයට පත් වීම නිමිති කොට ගෙන එදින උන්වහන්සේගේ උපසම්පදා විනය කර්මය කැලණි විහාරය ආසන්නයේ ඉදි කළ උදකුක්ඛේප සීමා මාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.
විදුදය විශ්‍වවිද්‍යාලයෙන් උපාධියලත් අප නාහිමියන් ස්වකීය ගුරු වෘත්තියෙහි ප්‍රථම රාජකාරිමය කටයුතු ආරම්භ කරන්නේ වර්ෂ 1974 දීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුපොත්දෙණිය විද්‍යාලයෙන් ප්‍රථම රාජකාරි කටයුතු ආරම්භ කළ අප නාහිමියෝ රිටිගහයාය කනිෂ්‍ඨ විද්‍යාලය, අතුබෝදේ කනිෂ්‍ඨ විද්‍යාලය, කළුතර කනිෂ්‍ඨ විද්‍යාලය යන පාඨශාලාවන්හි ස්වකීය ශාස්ත්‍ර දානය සිසු දරුවන් සඳහා ඉතා කැපවීමෙන් ලබා දුන්හ. වර්ෂ 1988 දී විහාරස්ථානයට වැඩම කළ අප නාහිමියෝ අගලවත්ත පතිරාජ මහ පිරිවෙණෙහි පරිවෙණාධිපති ධුරයට පත්වූ අතර වර්ෂ 2008 දී ඉසඹුලන තෙක් නොවක් ගිහි පැවැදි ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපනික මග පෙන්වීම සිදුකළහ.
අප මහානාහිමියෝ ස්වකීය ජීවන ගමනෙහි බොහෝ තනතුරු ලැබුණද ඉන් කිසිම උද්දාමයකට පත් නොවූහ.
2012 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩ බලන මහානායක ධුරය සඳහා පත්වූ අප නාහිමියෝ වර්ෂ 2013 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහනායක ධුරයට පත්වූහ.
පිඹුරේ උදිත නාහිමියෝ මත්තභාණි හා අනුද්ධත ගුණයන්ගෙන් පිරිපුන් භික්ෂුවක් වූහ. ස්වකීය විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූවද කිසිදු අවස්ථාවක එම තනතුරෙන් අනිසි උද්දාමයකට හෝ බලයකට පත් නොවූහ. ඉතා නිහඬ ප්‍රතිපදාවක් අනුගමන කළ අප නාහිමියෝ බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ නොවක් ප්‍රසාදයට හා ගෞරවයට නිරන්තරයෙන් පාත්‍ර වූහ. ශාසනික වශයෙන් සමාජයට ප්‍රයෝජනවත් වන ශ්‍රමණ ගුණ ධර්මයන්ගෙන් හා උගත් බවින් අනූන වූ බොහෝ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් මෙම සමාජයට දායාද කළහ. අප මහානාහිමියෝ කිසිදු අවස්ථාවක දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවූ අතර ස්වකීය මහානායක ධුරයෙන් වුවද කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂ නොවූහ. මහානායක ධුරයට පත් වීමෙන් පසුව වුවද සතර පේරුවේ ඕනෑම නිවසකට ආගමික කටයුතු සඳහා වැඩම කළහ. උන්වහන්සේ තුළ පැවැතියේ අපමණ කාරුණික දාරකසෙනේහය එනම් පිය පුතු බැඳීම් ශාසනික වශයෙන් අප නාහිමියන්ගේ ජීවන චරිතයෙහි කැපී පෙනුනු ලක්ෂණයක් විය. බොහෝ විට සංඝයාගේ කායික හා මානසික සුවතා අපේක්ෂා කළ අප නාහිමියෝ ස්වකීය මහානායක ධුරයෙන් ලත් බලයෙන් තවකෙකු කිසිදු අවස්ථාවක සුළු හෝ අපසුතාවකට පත් නොකළහ.
ප්‍රදේශයෙහි ප්‍රත්‍ය පහසුකම්වලින් ඌන විහාරස්ථාන හා ඇතැම් නිවෙස් සඳහාද උදිත හිමියෝ ආධාරෝපකාර කළහ. අප නාහිමියන් බොහෝ දුෂ්කර පාසල්වල සේවය කරන සමයෙහි ස්වකීය ගුරු වැටුප පවා ඇතැම් අවස්ථාවන්හි අගහිඟකම්වලින් යුතු දරුවන් සඳහා ලබා දුන් අවස්ථා බොහෝමය. උදිත නාහිමියන් අල්ප වශයෙන් කථා කළ නිහඬව ස්වකීය ශාසනික හා ආගමික කාර්යයන් ඉෂ්ට කළ යතිවරයෙකි.
අප මහ නා හිමියන්ට උතුම් වූ නිර්වාණ සුඛය අත්වේවා.
(***)
ජඳුරේ චන්දරතන හිමි