ස්වභාවික හේතු පුද්ගල ප්‍රාර්ථනා බොඳ කරවයි


පුද්ගල ස්වභාවය පිළිබඳ තථාගත දහමෙහි කියැවීම වන්නේ නානත්ත සඤ්ඤා නානාත්ථ කායා යන්නයි. ඉන් ප්‍රකාශ වන්නේ පුද්ගල අපේක්ෂාවල හා පුද්ගල හැසිරීම්වල දක්නට ලැබෙන විෂමතාව මතු නොව තම ජීවිතය පිළිබඳ බලාපොරොත්තු හා ජීවිතවල පවතින අසමානතා පිළිබඳවයි. විශේෂිත වශයෙන්ම මින් ප්‍රකාශ වන්නේ සෑම පුද්ගලයකුටම ආවේණික වූ තමා සතුව පවතින සුවිශේෂතා පමණක් නොව එම විශේෂතා හේතුවෙන් පුද්ගලාන්තරව එක හා සමාන පුද්ගලයන් හඳුනාගත නොහැකි බවයි.

‍තම පෞද්ගලිකත්වය වෙනුවෙන් පොදු දේපළ වශයෙන් සැලකෙන වන විනාශය පමණක් නොව වැව් කෙත්වතු ආදිය යොදා ගැනීම මහත් සමාජ ගැටලු‍වක් බවට පත්ව ඇති අයුරු පෙනේ. එමෙන්ම විවිධ මත්ද්‍රව්‍ය මත්පැන් හා වස විස යොදන ලද ආහාර පාන ආදිය සාමාන්‍ය ජන සමාජය තුළ අලෙවි කිරීමෙන් සිදුකරන සමාජ ව්‍යසනය සාමාන්‍ය වූවක් නොවේ.

එමෙන්ම පොදු සමාජ සංස්ථාව තුළ කාම සම්පත් අපේක්ෂාවෙන් සිදුකරන අසම්මත ක්‍රියාවන් ශිෂ්ට සම්පන්න සමාජයක නොතිබිය යුතු ඉතා පහත් හැසිරීම් බවට පත්ව ඇත. සමාජය තුළ සාමකාමීව සුශික්ෂිතව සුන්දරත්වයෙන් ගෙවාලන පවුල් ජීවිත විනාශ කරන කාමෝන්මාදයෙන් පෙළන පුද්ගලයන් පිළිබඳ ඕනෑ තරම් තොරතුරු අසන්නට දකින්නට ලැබේ. මෙසේ පංච කාම සම්පත් අසීමාන්තිකව වින්දනය කිරීම සඳහා යොමු වන පුද්ගලයා සන්තානගතව අප්‍රමාණ පසුතැවීම්වලට ලක්වීමද වළකා ලිය නොහැක.

පුද්ගල සමාජය සුවිශේෂී වශයෙන්ම පස්කම් සැප පසුපස හඹා යාම අහඹු සිදුවීමක් නොවේ. එය පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවයයි. මෙසේ විවිධාකාර ක්‍රමෝපාය ඔස්සේ තම අභිප්‍රායන් සඳහා වෙහෙස දරන පුද්ගලයන් ඉන් කිසිඳු සෑහීමකට පත්නොවන ආකාරය පිළිබඳව ද දහමින් පැහැදිලි කරනු ලැබේ. එමෙන්ම වියපත් නොවී සිටීම සඳහාත් දීර්ඝායුෂ විඳීම සඳහාත් සමාජගත පුද්ගලයාගේ ඇති කැමැත්ත කොතෙක් දැයි ප්‍රමාණ කළ නොහැකි තරම්ය.

විවිධ රෝග පීඩාවන්ගෙන් අත්මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා විවිධ ඖෂධ නිපදවා ඇත්තේ වැඩි කලක් ජීවත්වීම සඳහාත් ශාරීරික ශක්තිය හා වර්ණය රැක ගැනීම සඳහාත් විවිධ ඖෂධ නිෂ්පාදනය කොට ඇති බව නොරහසකි.

ඖෂධ ව්‍යාපාරය ලෝකයේ ඉතා ප්‍රබල ව්‍යාපාරයක් බව බොහෝ දෙනා දන්නා කරුණක් වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ශරීරයේ පැහැය හා වියපත් බව යටපත් කිරීම සඳහා භාවිත කරන නිෂ්පාදන බව සඳහන් කිරීම නිවැරැදිය. ඇතැම් විට ආලේපන විලේපන මෙන්ම පානය කරන බෙහෙත් ද්‍රව්‍ය වශයෙන් ද භාවිත කරන අතර සාමාන්‍ය පුද්ගලයකු වුවත් දිනකට භාවිත කරන බෙහෙත් ප්‍රමාණය ඉතා බහුල බව බොහෝ දෙනා දන්නා කරුණකි. සැබැවින්ම මෙම ව්‍යායාමය දීර්ඝ කාලයක් ප්‍රියමනාපව සවිමත්ව ලෙඩ දුක්වලින් තොරව ජීවත්වීම සඳහා බව ප්‍රකට වන්නේ මතු නොව උපන් සත්වයාට අනිවාර්ය වූ ජරා මරණ දෙකින් අත්මිදීම සඳහා කරනු ලබන සටනකි.

එහෙත් අපි අපේක්ෂා කරන ජීවිතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු සිඳ බිඳ දමනු ලබන්නේ ජරාව හා මරණය නම් වූ ස්වාභාවික ක්‍රියාදාමය විසින් බව ධම්මපද පාලියෙහි දණ්ඩ වග්ගයට අයත් මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි කරනු ලැබේ.

“යථා දණ්ඩේන ගෝපාලෝ -

ගාවෝ පාචේති ගෝචරං

ඒවං ජරාඡ මච්චූච -

ආයුං පාචෙන්ති පාණිනං”

පුද්ගලයාගේ ආයු ශක්තිය මෙහෙයවීම පිළිබඳ දහමින් කෙරෙන මෙම ප්‍රකාශනයෙන් පෙන්වා දෙනුයේ ගොපල්ලා ගව රැල කෙවිටෙන් ගොදුරු බිමට ගෙන යන ආකාරයෙන් ජරා මරණ දෙක විසින් සත්ත්ව පුද්ගලයන්ගේ ආයු ශක්තිය ගෙවා ලන බවයි. භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන් වහන්සේගේ දේශනා වඩාත් පැහැදිලිව අවබෝධ කරදීම සඳහා උපමා භාවිත කොට ඇති අයුරු ඉතා ප්‍රකට කරුණක් වන්නේ මතු නොව ගොපල්ලන් හා ගවයන් බොහෝවිට ඒ සඳහා උපයෝගි කොට ගන්නා ලදහ. ඇතැම් විට මග තොට වැඩමවන අවස්ථාවල බහුල වශයෙන් දක්නට ලැබෙන්නට ඇත්තේ ගවයන් බලාගන්නන් හා සමූහ වශයෙන් තණබිම් කරා රැගෙන යන ගව පන්ති විය හැකිය.

එම දසුන සාමාන්‍ය භාරතීය ජන සමාජයට අහඹු දසුනක් නොවන්නේ පමණක් නොව අසන්නාට ඉතා හුරුපුරුදු උපමාවක් වන නිසා දේශිත ධර්මය තේරුම් ගැනීම ඉතා පහසු වනු ඇත. මෙහි “ගෝපාලෝ” යන පාලි වචනයෙහි අදහස හරකුන් රැකබලාගන්නා යන්නයි. ඔහුගේ අතෙහි කෙවිටක් හෙවත් කෝටුවක් ඇති අතර එය භාවිත කරමින් ගවයන් ක්‍රමානුකූලව තණ බිම් කරා ගෙන යාම හා ආරක්ෂා සහිතව නැවත දක්කා ගෙන ඒම ඔහුගේ වගකීමයි. “ජරා” යන වචනයෙහි අදහස වන්නේ වයස් ගතවීම වන්නේ මතු නොව සිරුර දිරාපත්වීම ඉන්ද්‍රිය දුබලතාව කෙස්, ලොම් පැසීම්, දත් වැටීම් සමෙහි දුර්වර්ණය මෙන්ම රැලි වැටීම ද ප්‍රකට ලක්ෂණ වේ. “මච්චු” යන්නෙන් දැක්වෙනුයේ මරණය පිළිබඳව වන අතර එක් භවයකට අයත් ජීවිතයක අවසානය මින් ප්‍රකාශ වේ.

ආයුෂ උණුසුම හා සිත එකවිට සිරුරෙන් ඉවත්වීම මරණය ලෙස දැක්වෙනුයේ මතු නොව කිනම් ප්‍රබල පුද්ගලයකු වුවද ඉන්පසු දිරාගිය දර කැබැල්ලකට සමාන බව දහමින් විස්තර කෙරේ.

භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් දේශනය සඳහා පාදක වී ඇති සිදුවීමද ඉතා රසවත් වූවක් වන්නේ මතු නොව ප්‍රතිපත්ති පූජාමය පින්කමකදී වුවද මූලික පරමාර්ථවලට පටහැනි ලාමක අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කිරීම බුදුරදුන් ධරමාන සමයෙහි ද නොවෙනස්ව පැවති බව මින් පැහැදිලිව දැකගත හැකිය.

බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සමයක පුර පොහෝ දිනක උපාසිකාවෝ පන්සියයක් පමණ පිරිසක් පෙහෙවස් සමාදන්ව විසූහ. විශාඛා උපාසිකාව සිල් සමාදන්ව සිටි වැඩිහිටි උපාසිකාවන් සමීපයට ගොස් සිල් සමාදන් වීමෙන් ප්‍රාර්ථනා කරන්නේ කුමක් දැයි විමසුවාය. මහලු‍ වූ මම දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරන්නෙ මැයි පිළිතුරු දුනි. අනතුරුව මැදිවියේ උපාසිකාවන් සමීපයට ගිය විශාඛාවන් ඇයගේ ප්‍රාර්ථනය විමසනුයේ පිළිතුර වූයේ සැමියාගේ අනියම් බිරියන් පිළිබඳ ඇති කෝපයෙන් මිදීම සඳහා යන්නයි.

ඉන්පසු ඉතා තුරුණු වියේ පසුවන උවැසියන්ගෙන් අසන්නට ලැබුණේ කුළුඳුලේ පිරිමි පුතුන් පිළිබඳ ප්‍රාර්ථනාවන් වූයේ මතුනොව විශාඛාවන්ගේ ඊළඟ විමසීම තුරුණු වියට එළැඹෙමින් සිටි නව යොවුන් වියේ පසුවූ උපාසිකාවන් ගෙනි. ඔවුන්ගේ පිළිතුර වූයේ ඉතා තුරුණු වියේදීම විවාහවීම පිළිබඳ ප්‍රාර්ථනාවක් ඇති බවය. සිල් සමාදන්ව සිටින කිසිවෙකුත් සිල් රැකීමේ පරමාර්ථය හඳුනා නොගැනීම පිළිබඳ කණස්සල්ලට පත් විශාඛාවන් එම සියලු‍ උපාසිකාවන් බුදුරදුන් හමුවට පමුණුවා සියල්ලන්ගේ‍ ප්‍රර්ථනාවන් ද ප්‍රකාශ කළාය.

මෙම සිදුවීම මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුරදුන් ජීවමාන සමයෙහි සිදු වී ඇති සිදුවීමකි. එදා විසූ විශාඛාවන් ජීවතුන් අතර නැති වර්තමානයෙහි සිල් සමාදන් වන බොහෝ උවැසියන්ගේ ප්‍රාර්ථනාවන් ද මීට නොවෙනස් වනු ඇත.

එහෙත් විමසීමට කෙනෙක් නැතිවා සේම විමසුවහොත් මහත් කලබැගෑනියක් වීමද වැළැක්විය නොහැකි වන්නේය. කෙසේ නමුත් බුදුරදුන් ජීවමාන සමයෙහි විශාඛාවන් වැනි වරද නිවැරදි කර යහපතෙහි පිහිටු විය හැකි මඟ ඵල ලාභී උපාසිකාවක් නිසා බුදු මුවින් ජරාවත් මරණයත් සත්වයන්ගේ ආයුෂ කෙළවර කරනුයේ ගොපල්ලා කෙවිටෙන් ගව රැළ තණ බිම කරා රැගෙන යන ආකාරයට බව ප්‍රකාශිත දම් දෙසුමෙන් බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගපලවලට පැමිණීම කෙතරම් පුණ්‍යවන්ත අවස්ථාවක් දැයි සිතා සැනසිය හැකි වේ.

වස්සානයෙහි ප්‍රථම පුර පොහෝ දිනය වූ නිකිණි පුර පසළොස්වක් දිනය අද දිනයේදී උදාවී තිබේ. මෙදින ශාසනික වශයෙන් වැදගත් වීමට හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. පෙර වස් සමාදන්වීම පසුගිය ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු වූ අතර කිසියම් හේතුවක් නිසා එය මග හැරී ගියේ නම් නිකිණි පොහෝ දිනයෙහි පසුවස් එළැඹිය යුතු බව බුද්ධ නියමයයි.

වස් විසීම් පිළිබඳව වූ නියමය කොතරම් වැදගත් වන්නේද යන්න මින් පැහැදිලි වනවා මතු නොව ඊට අදාළ දිනය අද වන්නේය. ප්‍රථම සංගායනාව ඇරැඹීමේ දිනය ලෙසත් අද දිනය වැදගත් වන අතර ඊට සමගාමීව අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට එළැඹි දිනය ලෙසද නිකිණි පුර පොහෝ දිනය වැදගත් වේ.

එමෙන්ම මෙම වකවානුවෙහි එළැඹි ප්‍රථම පුර පොහෝ දිනය වශයෙන් නිබඳ ගිහි පැවිදි සබඳතා සවිමත් වන දිනයක් ලෙස සමාජීයමය වූ සුවිශේෂී බවක් ද දක්නට ලැබේ. මෙම විශේෂිත ආගමික පරිසරය තුළ රැකගන්නා සිතින් නිරාමිස සැපය සඳහා එළැඹීමට උත්සාහවත් විය යුතුව ඇත.

(***)