සාගත අනතුර නොදුටු පණ්ඩිතයෝ


දැනට පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන්ම රට මුහුණ දී සිටින දරුණු විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවත් මාස කිහිපයක දී සාගතක් වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටටම අනතුරු අඟවමින් සිටී. එය සැබැවින්ම අනතුරු ඇඟවීමක් වන්නේ වත්කම් හා පහසුකම් ඇති ධනවතුන්ට වඩා  අඩු ආදායම් ලබන රටේ අති බහුතරයක් වූ ජනතාවටය.

ඔහු අනතුරු ඇඟවූයේ නැති වුවද දැනට බඩු මිල ඉහළ යන වේගය අනුව රටේ ආහාර ද්‍රව්‍ය තිබුණ ද ඒවා මිලදී ගත නොහැකිව තමන් සාගින්නට මුහුණ දීමට සිදුවේදෝයි බොහෝ දෙනා බියෙන් සිටිති.

මේ අතර වත්මන් තත්ත්වය සොරකම්, කොල්ලකෑම්වලට හා ආහාර සඳහා  ගහ මරා ගන්නා තත්ත්වයක් ඇතිවේදෝයි ද විටෙක බිය දැනේ. ඒ දැන් රටේ සොරකම් වැඩි වී ඇතැයි පළවී ඇති තොරතුරු අනුවය. එම  තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ජනතාව විඳින දුෂ්කරතා අනුව එවැනි  තත්ත්වයක් ඇතිවීම තර්කානුකූලය.

මෑතකදී කළ විශේෂ ප්‍රකාශ දෙකක දී  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ එන දරුණු ආහාර අර්බුදයක් ගැන සඳහන් කොට තිබිණි. රකිමුජයතු ලංකා සංවිධානය සහ තවත් වෘත්තිකයන්ගේ සංවිධානයක් විසින් පසුගිය 3 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයක දී කතා කරමින් ඔහු  පවසා තිබුණේ දේශීය වශයෙන් බලපෑ කරුණුවලට අමතරව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම නිසා ලෝකය පුරා ඇති වී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපා ඇති බවත් එය 2024 වසර දක්වා පවතිනු ඇති බවත්ය.

යුක්රේනයේ ඇති වී තිබෙන තත්ත්වය ලෝකයේම ආහාර හිඟයකට මඟ පාදනු ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය යටතේ නුදුරේදීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවනු ඇති බවත් පැවසීය.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කළේය. දැනට ශ්‍රී ලංකාව සතුව  ඇති විදේශ සංචිතයේ ප්‍රමාණය ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයවල ප්‍රමාණය මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරීගෙන යන සාකච්ඡාවල ස්වභාවය හා දැනට ශ්‍රී ලංකාවට ක්ෂණිකව ලබාගත හැකි විදේශ ආධාරවල ස්වභාවය හා ප්‍රමාණය  ආදිය විස්තර කළ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලෝක ආහාර වැඩ පිළිවෙළ විසින්  කරන ලද සමීක්ෂණයක් අනුව එම සමීක්ෂණයට සහභාගි වූ ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 73ක්ම මේ වනවිටත් තමන් ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකොට ඇති බවය.

ඒ අනුව තවත් මාස දෙක තුනක දී මෙරට බොහෝ දෙනාට ආහාර වේල් දෙකකින්  සෑහීමකට පත් වීමට සිදුවනු ඇතැයි අගමැතිවරයා ප්‍රකාශ කළ ද දැනටමත් ඒ තත්ත්වයට රටේ බොහෝ දෙනා පත්ව ඇති බව පෙනේ.

අගමැතිවරයා මේ අනාවැකිය පළ කරන්නේ රටේ ඇති සමස්ත ආහාර ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි. එය සමාජයේ විවිධ කොටස්වලට බලපාන්නේ විවිධ ආකාරයට බව ද මෙම තොරතුරුවලින් පෙනේ. රටේ ආහාර සංචිතය අනුව තවත් මාස දෙක තුනකින් සිදුවිය හැකි දේ ආදායම් විෂමතාව නිසා රටේ විශාල පිරිසකට දැනටමත් සිදුවී ඇති බව එම තොරතුරුවලින් කියවේ.

මෙම තත්ත්වය  ජනතාව ගන්නා ආහාර ප්‍රමාණයට පමණක් නොව ඒවායේ ගුණාත්මක භාවයට ද නියත වශයෙන්ම බලපෑමක් ඇති කරයි. මන්දයත් අඩු ආදායම්ලාභී ජනතාව කුමක් හෝ ආහාරයට ගෙන කුසගින්න නිවා ගැනීමට පෙළඹෙන හෙයිනි. පසුගිය දා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයකු ජනමාධ්‍යයට පවසා තිබුණේ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන එනු ලබන දරුවන් අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය දිනෙන් දින වර්ධනය වන බවය.

එය පුදුම වීමට කරුණක් නොවේ. පොල් සම්බෝලයක්  සමඟ පාන් ආහාරයට ගෙන කුසගින්න නිවා ගත හැකි මුත් එය පෝෂ්‍යදායි ආහාරයක් නොවේ. එහෙත් සෑම ආහාර ද්‍රව්‍යයක්ම මිල තුන් ගුණයකින් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩිවී ඇති හෙයින් මේ තත්ත්වය වැළැක්විය හැකි දෙයක් නොවේ. මිල වැඩි වුවද ව්‍යාපාරිකයන් වැනි සුළු පිරිසකගේ ආදායම හැර අන් සියලු දෙනාගේම ආදායම විශාල වශයෙන් පහත වැටී ඇත. සංඛ්‍යාත්මක වශයෙන් බොහෝ දෙනකුට ලැබෙන ආදායම අඩු නොවී තිබිය හැකි වුවත්  එහි සැබෑ වටිනාකම මේ වනවිට විශාල වශයෙන් අඩුවී ඇත. බොහෝ  දෙනාගේ ඉතිරි කිරීම් ද පලක් නොවන තත්ත්වයකට පත්වෙමින් තිබේ.

ආහාර අර්බුදය ගැන අගමැතිවරයා අනතුරු අඟවන විට ඇතැමුන් එය දකින්නේ අනවශ්‍ය ලෙස ජනතාව බිය ගැන්වීමක් ලෙසය.  පවතින තත්ත්වය අතිශයෝක්තියෙන් ගෙන හැර දක්වන බවය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු එවැනි අනතුරක් දකී නම් රටේ අගමැතිවරයා වශයෙන් පමණක් නොව මුදල් ඇමැතිවරයා වශයෙන් ද ඔහු එය කල් තබාම ජනතාවටත් ආණ්ඩුවේ අනෙක් බලධාරීන්ටත් කියා අනතුරු ඇඟවීම කළ යුතුම දෙයකි.

ඔහු පවතින තත්ත්වය අතිශයෝක්තියෙන් ගෙන හැර දක්වන්නේ නම් ඊට හේතු වශයෙන් දැක්විය හැක්කේ බිය ජනක තත්ත්වයක් මවා පා දැනට ආරම්භ වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සහයෝගයෙන් කෙරෙන වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත් එහි පූර්ණ සම්මානය තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමය. එසේ නොවේනම් එම වැඩ  පිළිවෙළ අසාර්ථක වුවහොත් ඊට වගකිව යුත්තේ තමන් නොව රට වර්තමාන තත්ත්වයට ගෙන ආ පුද්ගලයන් යැයි පවසා තමන් ආරක්ෂා වීමටය.

එහෙත් දිනෙන් දින ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන වේගය අනුව හා කෘෂිකාර්මික ප්‍රදේශවලින් ලැබෙන වාර්තා අනුව දැනට ක්‍රියාත්මක යල කන්නය අවසාන වනවිට ඉතා නරක තත්ත්වයක් ඇති වීම පුදුම වීමට කරුණක් නොවේ. පසුගිය වසරේ යල හා මහ යන කන්න දෙකටම පොහොර නොලැබූ ගොවීන් බොහෝ දෙනකු දැන් පවසන්නේ පොහොර හිඟය නිසා තමන්ගේ පවුලේ පරිභෝජනය සඳහා පමණක් සුළු වශයෙන් මෙම කන්නයේ වගා කටයුතු කරන බවය. එහෙයින්  දේශපාලනඥයන් හා කෘෂි විද්‍යාඥයන් දක්වන අදහස් අනුව ආහාර අර්බුදයක් ඇති වීමේ දින වකවානු වෙනස් වුවද එවැනි අර්බුදයක් ඇති වීම නියතය.

පසුගිය සෙනසුරාදා ඩේලි මිරර් පුවත්පතේ  ප්‍රධාන ප්‍රවෘත්තිය අනුව පොහොර අර්බුදය නිසා පසුගිය මහ කන්නයේ ආහාර භෝග  අස්වැන්න ඊට පෙර වසරේ මහ කන්නය හා සමඟ සන්සන්දනය කරන විට හරි අඩකින්ම අඩු වී ඇත. එම පුවත පළ වී තිබුණේ පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා උපුටා දක්වමිනි. වත්මන් යල කන්නයේ අස්වැන්න ද එම හේතුව නිසාම එවැනිම ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි ද මහාචාර්යවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබිණි.

ආණ්ඩුව රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කළේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ඒ අනුව එම වසරේ යල කන්නයට ද බොහෝ ගොවීන්ට රසායනික පොහොර නොලැබිණි. ඒ කන්නය ඇතැම් ගොවීන් කෙසේ හෝ පිරිමසා ගත්තද  මාස් කන්නයේ දී එම ගොවීන් ද පත්වූයේ දැඩි දුෂ්කරතාවකටය. ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන විට ජනාධිපතිවරයාත් එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි මහන්දානන්ද අලුත්ගමගේ මහතාත් පැවසුවේ විපක්ෂය විසින්  අවුස්සනු ලැබ ගොවීන් උද්ඝෝෂණය කරන බවය.  ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නොනගින බවද අලුත්ගමගේ මහතා පවසා තිබිණි.

දැන් රට පත්වී ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය. සාගින්නෙන් ජනතාව බේරා ගන්නට උපකාර කරන්නැයි විවිධ රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලන්නට රටේ නායකයන්ට සිදුවී තිබේ. පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට සහල් ටොන් දෙදහසක් පරිත්‍යාග කරන බව චීන රජය නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය ටොන් 6500ක් පමණ වන හෙයින් මෙය එක  වේලකට සෑහෙන සහල් ප්‍රමාණයකි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව ක්ෂණික ආධාර ලබා ගැනීමේ අරමුණෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ එ.ජා. සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් එක්සත් ජාතීන්ගේත් සංවර්ධන වැඩසටහනේත්  මෙරට නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබිණි. එසේම පසුගිය  7 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේදී ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 9 වැනිදා (බ්‍රහස්පතින්දා) ලෝකයට විශේෂ ආයාචනයක් කරන්නට නියමිත බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර  සැපයීම සම්බන්ධයෙන් එ.ජා. සංවිධානය සහාය ඉල්ලා  සිටින බව මෙහිදී වික්‍රමසිංහ මහතා පවසා තිබිණි.

මේ අතර ආහාර අර්බුදය වළක්වා ගැනීම සඳහා වගා කළ හැකි සෑම ඉඩමකම ආහාර භෝග වගා කිරීමට ආණ්ඩුව අදහස් කරන බව ද වාර්තාවේ. මේ අතර ගෙවතු වගාව ද විවිධ ජනාමාධ්‍ය මගින් ප්‍රවර්ධනය කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් වැවිලි සමාගම්වලට අයත් දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් හෙක්ටෙයාර 9000ක් වගාවට යොමුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පැවසීය.

මෙහිදී ද පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට ප්‍රමාද වූවාසේම බලධාරීන් සෑම වැදගත් තීරණයක්ම ප්‍රමාද වී ගන්නා බවය. පසුගිය වසරේ යල හා මහ කන්න සඳහා ගොවීන්ට පොහොර නොලැබුණු තත්ත්වය යටතේ බලධාරීන් ආහාර අර්බුදයක් ඇතිවීම  පසුගිය වසරේම පුරෝකතනය කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ එවැනි තත්ත්වයක් ඇති වේයැයි විපක්ෂය පෙන්වා දුන් විට හිටපු කෘෂිකර්ම ඇමතිවරයා එය ප්‍රතික්ෂේප කිරීමය.

කෙසේ වෙතත් දැන්  හෝ  එම  තත්ත්වය  දැක  ඊට දේශීය වශයෙන් පිළියම් යෙදීමට උත්සාහ කිරීම අගය කළ යුතුය. වත්මන් තත්ත්වය වළක්වා ගන්නට උත්සාහ නොකිරීම නිසා ආණ්ඩුව එම තත්ත්වයට වගකිව යුතු වුව ද වත්මන් පිළියම් සාර්ථක වුවහොත් ඒ සියල්ල අමතක කොට ආණ්ඩුව දේශපාලන වාසි ගනු ඇතැයි විපක්ෂය සිතනනේ නම් එයද සාධාරණය. එහෙත් ඒ නිසා ජනතාව සාගතයකට යොමු කොට දේශපාලන වාසි ගන්නට විපක්ෂයට ද අයිතියක් නැත.

කෙසේ වෙතත් ජනතාව හැකි ආකාරයකට වගා කිරීමට යොමු කරන්නට ගන්නා උත්සාහයද්‍ බොහෝ දුරට ගැටලු සහගතය. දැනටමත් වගා කරනු ලබන ඉඩම්වලටවත් පොහොර නැති තත්ත්වය යටතේ වැවිලි සමාගම්  සතු හෙක්ටෙයාර 9000 පමණ අක්කර 23000ක ආසන්න ප්‍රමාණයක් වූ ඉඩම් වගා කිරීමට ආණ්ඩුව පොහොර සොයා දෙන්නේද යන ගැටලුව ඉන් එකකි. ගෙවතු වගාව සඳහා ද මෙම ගැටලුව පැන නඟී.

මෙම ඉඩම් වගා කිරීම සඳහා පොහොර බෙදා දෙන බව නිවේදනය කළහොත් දැනට ඒවායේ වගා කිරීමේ අපේක්ෂාවක් නැතිව වුව ද බොහෝ දෙනා එම ඉඩම් ලබා ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් එම ඉඩම් බෙදා දීමේ වැඩ පිළිවෙළක් ඉක්මනින් සකස් කෙරේද යන්න ද රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අනුව  සැක සහිතය.

ජනතාව වගා කිරීම වෙතට යොමු කිරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී  අගමැති ඩඩ්ලි සේනානානායක මහතාත්, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් ආරම්භ කළ ‘‘වගා සංග්‍රාම’’ අසාර්ථක වීම අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ දී ආර්ථික පීඩනය මගින් ජනතාව වගාවට පෙළඹවීමේ උත්සාහයක් දක්නට ලැබිණි. එහෙත් එම ‘‘වගා සංග්‍රාමය’’ ආසාර්ථක වූයේ උඩරට ගොවීන් බහුතරයක් පෙළෙන ඉඩම් හිඟය, වියළි කලාපයේ ගොවින් බොහෝ දෙනකුට නිසි ලෙස ජලය ලබා දීමේ වැඩ පිළිවෙළක් නොතිබීම, ප්‍රාග්ධන පහසුකම් නොතිබීම හා නිසි වෙළෙඳපොළ ක්‍රමයක් නොමැතිවීමෙන් ගොවින් අතරමැදියන්ගේ  දැඩි සූරා කෑමට ලක්වීම වැනි විවිධ හේතු නිසා ගොවීන් හා තරුණයන් අධෛර්යයට පත්වීම නිසාය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද ගෙවතු වගාව සඳහා ජනතාව පෙළඹවීමට උත්සාහ කළේය. ඒ සඳහා නාගරික ජනතාව අතර විවිධ බීජ වර්ග ද බෙදා හැරිණි. එහෙත් එයද අසාර්ථක වූයේ සැලැස්මක්  හා අඛණ්ඩ මෙහෙයවීමක් නැතිවීම  නිසාය. මෙම අතීත අත්දැකීම් ජනතාව වගාව සඳහා යොමුකිරීමේ වර්තමාන උත්සාහයට ද ප්‍රයෝජනවත් විය හැකිය.

(*** එම්.එස්.එම්.අයුබ්)