සටන් උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර එකක් පසුපස එකක් වශයෙනි. දහවල් සිදු කළ උද්ඝෝෂණය මැඬලීමට එරෙහිව කල් නොයවා රාත්‍රියේම උද්ඝෝෂණය කිරීමට තරමට උද්ඝෝෂකයෝ පෙරමුණේ වෙති. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් 8 වැනිදා රාත්‍රියේ ඇවිළීගිය උද්ඝෝෂණය එක් නිදසුනකි.
සටන කවරකුට එරෙහිව කවරකට එදිරිව සිදු වුවද ඒවාට මුහුණදීමට සිදුවන්නේ ආරක්ෂක අංශවලටය. එයිනුත් පොලිසිය ඉදිරියෙන්ය. විරෝධතාකරුවන්ගේ දහසක් බලපෑම් තර්ජන හා අවලාද හා උපහාස මැද රාජකාරි කටයුතු කිරීමට පොලිසියට සිදුවේ. ඇතැම්විට අරගලකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ගොදුරුවීමටද පොලිස් නිලධාරීන්ට සිදුවේ. එය එසේ වුවද වෘත්තීය ගරුත්වය රැකගනිමින් සංයමයෙන් හා උපේක්ෂාවෙන් යුතුව රාජකාරියේ නියැළීමට පොලිසියට සිදුවේ.
පොලිසියේ රාජකාරිය නීතිය හා සාමය ආරක්ෂා කිරීමය. එහිදී අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ වගකීමද පොලිසිය වෙත පැවරේ. එහිදී මූලික වශයෙන් ‘අවම බලය’ පාවිච්චි කිරීමට පොලිසියට සිදුවේ. එවැනි නියමයන් පනවා ඇත්තේ ‘අතුරු අනතුරු’ අවම කිරීම සඳහාය. මහා ගැටුමක් මැද එවැනි ශිෂ්ට නිතිගරුක නියමයන් එයට හිමි අර්ථයෙන්ම ආරක්ෂා කිරීම අතිශයින්ම දුෂ්කර හා අභියෝගාත්මක විය හැකිය. එහෙත් දුෂ්කර හා අභියෝගාත්මක යැයි කියා එයට පිටු පෑමේ හැකියාවක්ද නැත.
දීර්ඝ පෙරවදන අප පුවත්පතේ මුල් පිටුව ඉකුත්දා සැරසූ සේයාරුවක් හා එයට අදාළ සටහන සම්බන්ධයෙනි. එම සේයාරුවෙන් දැක්වුණේ පොලිසියේ මෙන්ම අරගලකරුවන්ගේ අවධානය එකලෙස යොමු කළයුතු කාරණයක් සම්බන්ධයෙනි. පොලිසිය කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවී සිසුන්ට හා විරෝධතාකරුවන්ට පහර දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යලයේ සිසුහු හා ආචාර්යවරු පිරිසක් ඉකුත් 8වැනිදා පෙරවරුවේදී කොළඹදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එම විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ කුඩා සිසුන් පිරිසක්ද එම කඳුළුගෑස් ප්‍රහාරයට ගොදුරුවූ අතර එයින් බේරීම සඳහා එම සිසුන් ආරක්ෂිත ස්ථාන කරා දුවයන අයුරු සේයාරුවෙන් දැක්විණි.
‘ලොව හොඳම දේ දරුවන්ට’ යැයි කියැවුණද අපගේ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත් වෙති. ඒ සම්බන්ධ සිදුවීම් ගණනය කළ නොහැකි තරමට වාර්තා වේ. කොළඹ රාජකීය විද්‍යාලයේ කුඩා දරුවන් පිරිසක් කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වීමේ අනුවේදනීය සිදුවීම තුළ තැන්පත්ව ඇත්තේද එම ඒකාන්ත සත්‍යය වේ.
පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ හොඳ වෙලාවටය. තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවන්නේ වෙඩි තැබීමෙන් යැයි එතැන සිටි අඥාන උසස් පොලිස් නිලධාරියකුට සිතුණේ නම් විරෝධතාකරුවන්ට එල්ලවන්නේ වෙඩි ප්‍රහාරයකි. එබඳු අත්දැකීම් මෙරට සටන් ව්‍යාපාරවල ඉතිහාසයේ ඕනෑතරම් දක්නට ලැබේ. එසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ නම් කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ආරක්ෂාවීම පිණිස දිවයන කුඩා දරුවන්ගේ ඉරණම කෙසේ ලියවෙනු ඇද්ද යන්න සිතාගැනීමට අසීරු නැත.
ඉහත සිදුවීමේදී වෙඩි ප්‍රහාරයක් එල්ල නොවුවද ඒ හා සමාන තුවාල කැළලි එම කුඩා දරුවන්ගේ හදවත් තුළ ඇතිවන්නට ඇතැයි යන්න බැහැර කළ හැකි නොවේ. ඇල්මෙන් අකුරු ඉගෙනගන්නට පැමිණි තමන්ට මෙසේ අකාරුණික ලෙස සැලකීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මනසට ඇතිවන බලපෑම සුළුපටු නැත. මේ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජයට වෛර කරන අනාගත පරම්පරාවක් බිහිවීමය. එම ඉරණමෙන් රට මුදා ගැනීමේ වගකීම පොලිසිය සතුව මෙන්ම විරෝධතාකරුවන් සතුව තිබෙන බව අපි අවධාරණය කරමු.
(***)