මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට මෑත කාලයේ දී තරම් නරක නපුරු අභාග්‍යසම්පන්න යුගයක් ඉතිහාසයේ නොමැත යන්න සත්‍යයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූයේ කොවිඩ් මාරාන්තික වයිරසයෙනි. එහිදී වසරකට ආසන්න කාලයක් පාසල් වසා දැමිණි. පළමු වසරට ඇතුළත් වූ දරුවන්ට එම පංතියේ එක දවසක් හෝ වාඩි වීමට වරම් නොලැබ දෙවැනි වසරට යාමට සිදුවිය.
පාසල් වසා දැමීමෙන් පසු මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියක් ආරම්භ වුව ද එය සාර්ථක නොවීය. මෙම අයහපත් පරිසරය තුළ දරුවෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගයටත්, අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් මුහුණ දුන්හ. ඒ එතෙක් පැවැති නියමිත මාසවල නොව ඉඩක් ලද අවස්ථාවලය. එම තත්ත්වය දරුවන්ගේ මානසිකත්වයට යහපත් නොවන බව ඒකාන්ත සත්‍යයකි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.
මෙම කාල සටහනට දරුවාත් ගුරුවරයාත් දෙමව්පියෝත් හුරුවී සිටියහ. කොවිඩ් වසංගතය හමුවේ මෙම තත්ත්වය බිඳ වැටිණි. මෙම පරිසරය තුළ ඒ ඒ විභාග කුමන මාසයක නිශ්චිතව පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත භාවයකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවී ඇති බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහායවීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිතව ප්‍රකාශයට පත් කරන මාසය වෙනස් කරනවා නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවත් අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකිවන අන්දමින් නීති සකස් කරන බවත්ය.
වසර 13ක කාලයක් ළමයින් පාසල් අධ්‍යපනයේ රඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමුකළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගයේ අවශ්‍යතාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ වූ කලි අතිශයින්ම වැදගත් තීරණයකි. පළමුව අවධාරණය කළ යුත්තේ අධ්‍යාපනයට වැය කරන මුදල ‘වියදමක්’ නොව ආයෝජනයක් බවය. දරු පරපුර නිසි පරිදි හැඩ ගස්වා නොගෙන රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත නොහැක. මන්දයත් රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේ අද දරුවා වීමය.
රටක උසස්ම සම්පත මානව සම්පතය. එය විනයානුකූලව මෙන්ම නීතිගරුකවත් සදාචාරාත්මකවත් පෝෂණය කළ යුතුය. දැනුමෙන් මෙන්ම කුසලතාවෙන් පරිපුන් මානව සම්පත රටකට මහා නිධානයකි.
‘සිඟිති පාතාලය’ නමින් අලුත් සඳහනක් මතුව තිබේ. ඒ සඳහන මතු වූයේ අහේතුකව නොවේ. කුඩා වයසේ පසුවන දැළි රැවුලවත් නොවැවුණු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුවන් යැයි හැඳින්විය හැකි පිරිසකගේ මදාවි හැසිරීම් නිසා එම සඳහන මතුවිය.
දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වගකීම එම දරුවන්ට අපි බාර නොදෙමු. සමාජයත් එයට වගකිව යුතුය. එමෙන්ම ඉකුත් සමයේ පාසල් වැසීම, විභාග නියමිත කාලවල පැවැත්වීමට නොහැකිවීම ආදි කාරණා ද දරුවන්ගේ මනස විකල් කිරීමට හේතුවිය. එම පරිසරය තුළ දරුවා ප්‍රචණ්ඩ හා විනාශකාරී මාවතකට යොමුවීම ද වැළැක්විය නොහැක.
කරුණු කාරණා එපරිදි වුවද මෙම විනාශකාරී මාවත වසා දැමිය යුතුය. ඒ සඳහා අධ්‍යාපනයට නිශ්චිත විධිමත් පැහැඳිලි වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුය. උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අතිශයින්ම වැදගත්ය. මෙම නිශ්චිත බව පහ වසර ශිෂ්‍යත්ව විභාගයටත් සාමාන්‍ය පෙළ විභාගයටත් ඉක්මනින් හඳුන්වා දිය යුතුය.
(***)