සාහිත්‍ය කලා ප්‍රබෝධය උත්සවයකට සීමා කරමුද?


ශ්‍රී ලාංකික පාඨකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සාහිත්‍ය මාසය එළැඹ තිබේ. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන කොළඹ මහා පොත් දැක්ම ද ආරම්භ වී ඇත. සාහිත්‍ය දිනය, සාහිත්‍ය මාසය, සාහිත්‍ය සම්මාන ආදී මෙකී නොකී යෙදුම් මගින් සිංහල සාහිත්‍ය සන්දර්භයේ විවිධ පැතිකඩ නියෝජනය කෙරේ. අද අප සාහිත්‍ය ලෙස ලඝු කොට ප්‍රකාශ කරන යෙදුමෙන් ශිල්පයක් කලාවක් මෙන්ම කර්මාන්තයක් ද නියෝජනය වන බව සැලකිය යුතුය.

අතීත කාලයේ සාහිත්‍ය කටයුතු බෙහෙවින් සිදු වූයේ ලේඛකයන්ගේ පෞද්ගලික ව්‍යවසායකත්වයෙනි. වෙනත් වචනවලින් කිවහොත් සාහිත්‍ය කෘති බිහි කිරීම හුදෙක්ම ලේඛකයාගේ පෞද්ගලික වුවමනාව හා කැපවීම මත සිදු වූවකි. සිංහල රජ කාලයේ ඇතැම් රජවරුන්ගේ අනුග්‍රහය සාහිත්‍ය කලා කටයුතුවලට ලැබුණි. එසේම අතීතයේ බොහෝ සාහිත්‍ය කෘතීන්ට නිර්මාණ දායකත්වය සැපයුවේ මහා යතිවරුන් විසිනි.

එදා පන්සල් ආශ්‍රිතව සාහිත්‍ය කේන්ද්‍රගතවීම කැපී පෙනුණු ලක්ෂණයකි. එහෙත් යටත් විජිත පාලන සමය එළැඹුණු විට සිංහල සාහිත්‍යයට නිතරම ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලයි. එකල ඉතා සීමිත මට්ටමින් පුවත්පත්, සඟරා හා ප්‍රකාශ නිකුත් වුව ද ඒවා බහුතරයක් ඉංග්‍රීසි බසින් පළවීම කැපී පෙනුණි. 1948 මෙරටට නිදහස ලැබුණ ද සාහිත්‍යයට විධිමත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළ ආකාරයට බමුණු කුලය බිඳ වැටීමත් සමගය.

1956 වසරේ බලයට පත් බණ්ඩාරනායක රජය විසින් සාහිත්‍යයේ උන්නතිය උදෙසා සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ කළ අතර සංස්කෘතික අමාත්‍යංශය ද බිහි කළේය. ලේඛකයන් බුහුමනට පාත්‍ර කරන සාහිත්‍ය උත්සව ආරම්භ කළේ ද ඒ කාලයේදීය. මෙරට ප්‍රථම සාහිත්‍ය දින උළෙල 1957 වසරේ සැප්තැම්බරයේ පැවැත්වුණේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදීය. ඉන් අනතුරුව සෑම වසරකම සැප්තැම්බරය සාහිත්‍ය මාසය ලෙස නම් කෙරුණි.

රාජ්‍ය සාහිත්‍ය උළෙල මෙහි ප්‍රධානම ඉසව්වය. එහි දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම මගින් ලේඛකයන් දිරි ගැන්වීමට ආණ්ඩුව අනුග්‍රහය දැක්වීය. එදා සිට අද දක්වා එම රාජ්‍ය සාහිත්‍ය උත්සවය හා සම්මාන උළෙල පැවැත්වෙයි. වර්තමානයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව ස්වර්ණ පුස්තක සම්මාන උළෙලත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි සාහිත්‍ය උළෙලත් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලත් පැවැත්වෙයි. මේ සියලු‍ කටයුතු සාහිත්‍යයේ කාර්ය සාධනය සඳහා බෙහෙවින් උපනිශ්‍රය වෙයි.

මෙලෙස උත්සව සැරසිලි සම්මාන ප්‍රදාන ආදී සියල්ල සිදුවුවත් අද අපේ සාහිත්‍ය කිසියම් ඛේදජනක ඉරණමකට මුහුණ දෙන බව සඳහන් කළ යුතුය. එයට හේතුව වන්නේ මෙරට ළමා හා තරුණ පරපුර ශීඝ්‍රයෙන් සාහිත්‍යයෙන් ඈත්වීමය. වත්මන් ළමා පරපුර හා තරුණ පෙළ ඩිජිටල් සාහිත්‍යයට සහ ජංගම දුරකතන මෙවලමට ඇබ්බැහිවීමත් සමග ඔවුහු සාහිත්‍ය ඉදිරියේ දුහුනන් බවට පත් වූහ.

පාසල් අධ්‍යාපනය ලබන සමයේ හදාරණ පතපොත හැර වෙනත් පොත්පත් ආශ්‍රයට මෙම තරුණ සමාජයට ඉස්පාසුවක් නැතුවා සේය. එහෙත් බටහිර සමාජයේ ප්‍රකට එක්තරා කියමනක සඳහන් වන්නේ තාක්ෂණයට ශික්ෂණය ලැබෙන්නේ සාහිත්‍ය පරිශීලනයෙන් වගයි. එහෙත් ඊට හුරුකමක් නැති ඩිජිටල් සමාජය දැනුමින් පොහොසත් වුණත් හැඟීම් අතින් දුප්පත් බවට පත්ව තිබේ. ඒ අනුව වර්තමානයේ සාහිත්‍ය හා ග්‍රන්ථ පරිශීලනය වැඩිහිටියන්ගේ කාර්යයක් පමණක් වී ඇත.

අපේ තරුණ සමාජයේ බහුතරය අද මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, ඩබ්ලිව්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක ආදී ප්‍රකට නිර්මාණවේදීන්ගේ නම් ගම් පවා නොදනිති. එවන් පරපුරක් අත අපේ අනාගතය නැලවෙද්දී වැඩිහිටියන්ගේ තොටිල්ල පැද්දෙන්නේ සාහිත්‍ය රිද්ම රටා අනුවය. එනිසා අනාගත පරපුර ද සාහිත්‍ය කෙරේ නැඹුරු වන්නට කිසියම් වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍යය.

එහි දී පාසල්, විශ්ව විද්‍යාල මට්ටමින් මෙන්ම සමාජයක සිවුවැනි ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍යයට ද පුරෝගාමී මෙහෙවරක් කළ හැකිය. සැබෑ අභිවෘද්ධිය යනු හුදෙක් භෞතිකව පමණක් මිනිසා හෝ සමාජය හෝ ගොඩනැංවීම පමණක් නොවේ. ඊට සාපේක්ෂව ආධ්‍යාත්මික වටිනාකම්වලින් ද සාරධර්ම අතින් ද මිනිසා හා සමාජය ගොඩනැංවීය යුතුය. ඒ උදෙසා සාහිත්‍යයේ කාර්යභාරය මැනවින් තේරුම් ගැනීම කොතරම් දැඩි සමාජ අවශ්‍යතාවක් ද යන්න වත්මන් සමාජයේ නලියන ප්‍රශ්න ඇසුරින්ම පෙන්වා දිය හැකිය.

(***)