ළහිරු කිතලගම මෙරට තරුණ කවි පරපුර අතර සිටින සම්මානනීය ප්‍රතිභාසම්පන්න කවියෙකි. ඔහු ලියූ ‘කවුළු ඇස පාමුල’ කාව්‍ය සංග්‍රහය 2018 වසරේ රජක පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම කෘතිය එම වසරේම රාජ්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලවල ද අවසන් වටය නියෝජනය කිරීමට සමත් විය. කළු සමනලයා (තීරු ලිපි 2021 ගොඩගේ සම්මාන නිර්දේශ), පිනිදිය වැස්ස (කාව්‍ය) ආදී කෘති ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනේ. ඔහුගේ නවතම කෘතිය ‘චුට්ටා’ නමින් පසුගියදා එළි දැක්වුණ අතර එය යොවුන් නවකතාවකි. මතු දැක්වෙන්නේ ඔහු සමඟ අප කළ සංවාදයක සටහනකි.
• ඔබ පාඨකයන් රසිකයන් අතර වඩාත් ප්‍රකටව සිටින්නේ කවියකු ලෙසයි. ඒත් මෙවර ඔබ ලියන්නේ යොවුන් නවකතාවක්. කවිය සහ කතාවේ වෙන් වෙන් අනන්‍යතා ඔබ කොහොමද හඳුනාගන්නේ?
ඉතාම සරල පිළිතුරක් දෙනව නම් මට හිතෙන්නෙ කවියට වඩා කතාවෙදි අත දිග ඇරලා වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. කවිය තුළ ඒ තරම් නිදහසක් ලැබෙන්නෙ නෑ. කවිය කියන්නෙ වඩාත් සියුම් සාහිත්‍ය ශානරයක්. වඩාත් සංක්‍ෂිප්ත ස්වරූපයකින් සූක්‍ෂමාර්ථ සොයා ගැනීමටයි අපි කවියෙදි උත්සාහ දරන්නෙ.
කවියා සතු සියලු දේ දිග හරින්න අවසරයක් මෙහිදී හිමිවන්නේ නැහැ. භාෂාව බොහොම පරෙස්සමින් පරිහරණය කරන්න මෙහිදී සිදු වෙනවා. එසේම බොහෝ වස්තූන් එකිනෙක හප්පලා යම් පුළුල් සංවාදයක් වෙත පාඨකයා රැගෙන යන්න උත්සාහ කිරීම තමයි මෙහිදී වෙන්නෙ. ඒත් කතාවෙදි ඒ දේවල් කරන්න කවියට වඩා යම් නිදහසක් තියනව කියලා මට හිතෙනවා. හැබැයි ඒ නිදහස අවබෝධයකින් පරිහරණය කළ යුතුයි.
ඒ වගේම කතාව ලියන්නෙක් යම් ප්‍රබන්ධමය ලෝකයක හිඳිමින් වැඩ කරන්න ලැබීම වාසියක්. හැබැයි ප්‍රබන්ධ ලෝකයක ගොඩනගන දේවල් යථාර්ථය හා සම්බන්ධ කරන්නේ කොහොමද කියන කාරණා ගැන කවියෙදි වගේම පරෙස්සම් වෙන්න වෙනවා.
• අපේ යොවුන් නවකතා බොහොමයක දක්නට ලැබෙන්නේ යොවුන් සමාජය අතුරින් මතුව එන වීරයා බිහිකර ගැනීමයි. ඒත් ඔබේ මේ කතාවේ තමා තුළ සිටින අභ්‍යන්තර වීරයා සොයාගන්නවා. මේ ගොඩනැගීම ගැන කතා කරමු.
අපට ඉතිහාසයේ ඉඳලා වීරයන් හමුවන්නේ කොහොමද? ඉතිහාස කතාවල කතන්දර පොත්වල හෝ ජනප්‍රවාදයේ ගොඩනැගුණු වීරයන් යම් යම් කාලවල යම් යම් මාධ්‍ය මගින් බිහි කෙරුණු වීරයන් බවයි පෙනෙන්නේ. ඒත් මේ අය ඇත්ත වීරයන් නොවෙයි. අප නොදැන අප අවට සැබෑ වීරයන් බොහෝ දෙනකු ඉන්න පුළුවන්. ඇතැම් විට ඒ වීරයන්ගෙ කතා රූපාවාහිනියේ, පුවත්පත්වල පළ නොවෙන්න පුළුවන්. විභාග සමත් වන, තරු වැඩසටහන්වල ඉන්න වීරයන් ගැන ජනමාධ්‍ය ඔස්සේ අධි නිශ්චය කරමින් විකාශය කරන විට විභාග සමත් නොවුණු පිරිස් අතර තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්, යහළුවන් වෙනුවෙන්, සමාජයේ අනෙකා වෙනුවෙන් ජීවිතය කැප කරපු වීරයෝ ඉන්න පුළුවන්. මම හිතන්නෙ අන්න ඒ වීරයන් තමයි අපි හොයාගන්න ඕනෙ.
මේ අධ්‍යාපන ක්‍රමය තුළ ‘ඒ’ සාමාර්ථ නවයක් ගන්න දරුවා වීරයෙක් වෙනවා වගේම විභාගය අසමත් වුණ දරුවකු තුළ පුළුවන් ඊට වඩා වීරයෙක් ජීවත් වෙන්න. ලංකාවේ බොහොමයක් නවකතාවල හමුවන්නේ වීර වික්‍රමාන්විත වැඩ කරන ‘නිධන් හොරු අල්ලන’ ජාතික වීරයන් විතරයි. ඒ වීරයන් ගැන ලියන දේවල් සැබෑ ජීවිතයට මුහුණ දෙන වීරයන් සම්බන්ධව ලියන්න බැරිද? ඇත්තටම මට ඕනෑ වුණේ ‘ගැටලු නවකතාව’ (Problem novels) කියන යොවුන් ශානරයට යන්න.
• කවිය තුළ ජීවත් වන කෙනෙක් ගද්‍ය නිර්මාණයක් කළත් එහිද යම් කාව්‍යමය ගුණයක් පැතිර පවත්නා බව පෙනෙනවා. කවියකුට ලැබෙන මේ භාෂාත්මක වාසිය ගැන මොකද හිතෙන්නේ?
කවියෙක් කියන්නේම භාෂාවෙන් වැඩ ගන්න කෙනෙක්. භාෂාවේ වාලෙක් නොවී භාෂාව තමාගේ වාලෙක් කරගන්නා කෙනෙක්. කාව්‍යකරණයට පිවිසෙන්නෙම මේ භාෂා සෙල්ලම ගැන යම් අවබෝධයකින්. කවියේ වැඩ කරන විට භාෂා භාවිත කෙතරම් සියුම්ව කරන්න ඕනෑද කියන එක අවබෝධ වෙනවා. ඉතින් ඒ ගුණය කවියාට ගද්‍ය නිර්මාණයක දී වාසිදායක ලෙස යොදාගන්න පුළුවන්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා වගේ අයගේ සිට මේ සඳහා උදාහරණ ගන්න පුළුවන්. ඉතාම මෑත කාලයේ උදාහරණයක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ප්‍රබන්ධ රචනා ගන්න පුළුවන්.
• අප අතර අද පවත්නා අභියෝගය වන්නේ අපේ දරු පරපුර අතරින් නව පාඨක සමාජයක් බිහිකර ගැනීමයි. යොවුන් කතා රචකයන්ට මේ වෙනුවෙන් පැවරී ඇති වගකීම් මොනවාද?
මගේ අවබෝධය අනුව මම හිතන්නේ යොවුන් කතා රචකයන් යෞවනයා යනු කවුදැයි හරියාකාර තේරුම් ගැනීමකින් ලිවීම ඉතා වැදගත් බවයි. අපි ඇතැම් අවස්ථාවල දැකල තියනවා ලේඛකයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් මුලින්ම ළමා පොත් ලියන්න උත්සාහ ගන්නවා. මොනව හරි ටිකක් ලියලා පොතක් ගැහුවම ලේඛකයෙක් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒත් ළමයින්ට, යෞවනයන්ට ලියද්දි වැඩිහිටියන්ට ලියනවාට වඩා පරිස්සම් විය යුතුයි. ඇත්තටම එය අමාරු වැඩක්.
විශේෂයෙන්ම ළමා මනස වැඩ කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. අනෙක් පැත්තෙන් අපේ ඇතැම් යොවුන් නවකතා බැලුවම හිතෙනවා ඒවා යෞවනයන්ට වඩා දරුවන් වෙනුවෙන් ලියූ ඒවා බව. ඇත්තටම ඒ පොත් වැඩිහිටියන්ගෙ මනසෙ ඉන්න දරුවන්ට ලියපුවා මිස ඇත්ත ළමයින්ට ලියපුවා නොවෙයි. ළමයා කියන්නෙ ළමයෙක් මිස ආකෘතියක් නොවෙයි. යෞවනයාගේ සැබෑ ස්වරූපයට වඩා වැඩිහිටියන් හිතන ජාතියේ ඒව තමයි ඒ පොත්වල තියෙන්නෙ. ඒවයෙ තියෙන්නෙම ‘හොඳ ළමයෙක් වෙන්න’ කියන ආකෘතිය, කොටිම්ම ඒවා දඟ වැඩ කරන්නේ නැති, ඇට්ටර වැඩ කරන්නේ නැති, උඹ බං බොලං කියන්නේ නැති. හොඳ ළමයි වෙන්නෙ කොහොමද කියල ලියපුවා.
මේකෙන් තේරෙන්නේ මොකද්ද? වැඩිහිටියන් ළමයින් ගැන අර්ථකථනය කරන්නේ ඔවුන් දාගත්ත පාට කණ්ණාඩිවලින් ඒ විදිහට ළමයින්ට, යෞවනයන්ට ලියලා වැඩක් තියනවද? කොටිම්ම කතාව ඉවර වෙනකොට යෞවනයට ගන්න දෙයක් තියෙන්න ඕනෑ. ගන්න දෙයක් කියන එකෙන් අදහස් කරන්නේ හොඳ - නරක, ආදර්ශ නෙවෙයි. ජීවිතය ගැන අලුත් පරිකල්පනය අවුළුවන යමක්, අපේ බොහෝ ලේඛකයන් යොවුන් නවකතාවල වීරයන් ගැන, හොඳ ළමයි ගැන ලියල තියනව තමයි. ඒත් බොහෝ දෙනෙක් බයයි සමහර කාරණා යොවුන් නවකතාවල ලියන්න.
විශේෂයෙන්ම අපේ හොඳ රොමෑන්ස්, ෆැන්ටසි යොවුන් නවකතා ඇත්තේම නැති තරම්. ජීවිතයේ සංකීර්ණතා, ලිංගික විපර්යාසවලට මුහුණ දෙන, ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණය එක්ක සිතුම් පැතුම් වෙනස් වෙන ලෝකය වෙනස් ආකාරයෙන් තේරුම් ගන්න යෞවනයා ගැන ලියවෙන්නෙ හරිම අඩුවෙන්. හැබැයි මේ ගැන සාවධාන වුණ ලේඛකයන් කිහිප දෙනෙක් අපේ සමාජයේ නැතුවාම නොවෙයි.
• ඔබ කියන එබඳු නූතන ලේඛකයන්ගේ නිර්මාණ පාඨකයා අතරට රැගෙන යෑම සඳහා වත්මන් විචාරකයන්ගෙන් ලැබෙන දායකත්වය ගැන සතුටුවෙන්න පුළුවන් ද?
ඇත්තටම සතුටු වෙන්න බෑ. ඒකෙන් කියන්නෙ විචාරකයන් නෑ කියලා නෙවෙයි. මේකට හේතුවන කාරණා කීපයක් තියනවා. එකක් තමයි විචාරකයන්ට තම මතය ප්‍රකාශ කර ගැනීමට හරි හමන් අවකාශයක් නැතිකම. විශේෂයෙන් පුවත්පත්වල සාහිත්‍ය අතිරේකවල එදා විචාරකයන්ට තිබූ ඉඩ කඩ අද වන විට ඉතාම සීමා සහිත වෙලා තියෙනවා. හැබැයි අපට පුළුවන් අලුත් තාක්‍ෂණික භාවිතයන් වෙත යන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වගේ තැන්වලින් මේකට ඉඩක් හදන්න පුළුවන්.
සාහිත්‍ය ගැන නව සංවාද ඇති කිරීම, නව දැනුමක් නිෂ්පාදනය කිරීම වගේ කාරණා මූලික කරගෙන ලියන, සංවාද කරන සීරියස් විදිහට වැඩ කරන විචාරකයන්ට වඩා දැන් ඉන්න බොහොමයක් අය කරන්නෙ තමන් වටේ ඉන්න අය ගැන මොනව හරි ලියන එකයි. නැතිනම් සාහිත්‍ය ගැන තදින් එළඹීගෙන ඉන්න මොකක් හෝ ‘කොන්ක්‍රීට්’ වැනි මතයක් තවදුරටත් තහවුරු කරමින් පවත්වාගෙන යාමයි. සාහිත්‍ය සංවාදවල පවා නොබියව තව කෙනෙක් ප්‍රශ්න කරන, වෙන මතයකට අභියෝග කරන නව ප්‍රවාද ගොඩනගන අය නැති තරම්. අහවලා කිව්ව නම් හරි කියලා ඇතැම් දේවල් වන්දනාමාන කරගෙන යන ස්වභාවයකුත් තියනවා. එබඳු වන්දනා නඩ සාහිත්‍යයට උවමනා නෑ. මේ තත්ත්වය වෙනස් වීමෙන් තමයි සාහිත්‍යයේ ඉදිරි දියුණුවක් ඇතිවන්නේ.
• සාහිත්‍ය්‍ය වගේ විෂයකට අපේ රටේ ලැබී ඇති තැන ගැන මොකද හිතන්නේ?
සාහිත්‍යය විතරක් නෙවෙයි. අපේ රටේ මිනිසුන්ගේ දැනුමට, නිර්මාණශීලිත්වයට නිසි තැනක් තිබෙනවාද? මනුස්සකම්වලට තැනක් තියනවාද? අධ්‍යාපන ක්‍රමය තුළ සාහිත්‍යයට තියෙන තැන මොකක්ද? සාහිත්‍යය උගන්වනවා කියලා කරන්නේ පේපර් එකට උත්තර ලියන්න මොනව හරි දෙයක් උගන්වන එක විතරනේ. එතැනින් එහාට යමක් නෑ.
ඇතැම් විෂය නිර්දේශවලට ඇතුළත් කරල තියෙන නිර්මාණ දිහා බැලුවම පේනවා අදාළ නිර්මාණකරුවන්ගේ ඊට වඩා හොඳ නිර්මාණ තිබෙන බව. අනික් පැත්තෙන් සාහිත්‍යය කියන්නේ උසස් පෙළ හෝ විශ්වවිද්‍යාල කලා විෂය ධාරාව කරන අයට පමණක් සීමා වුණ විෂයක් වෙලා. කලා විෂය ධාරාවෙන් පරිබාහිර විෂයයන් කරන අය සාහිත්‍යය සමග සම්බන්ධ කරන ක්‍රමයක් නැහැ.
එසේම මාධ්‍ය තුළ සාහිත්‍යයට ඇති තැන ක්‍රමයෙන් වියැකෙමින් යනවා. රූපවාහිනී මාධ්‍යවල නම් සාහිත්‍ය සඳහා ඉඩක් ඇත්තේම නැති තරම්. සාහිත්‍යයේ සුපෝෂණය සඳහා රාජ්‍ය මැදිහත්වීම්, අනුග්‍රහය ලැබිය යුතු තැන්වල පවා සාහිත්‍යයට තියෙන්නේ උදාසීන කුඩම්මාගේ සැලකිල්ලක්. මෙවැනි තත්ත්වයක් හමුවේ වුවත් ලියන කියන සංවාද කරන ගමන් ගම සාහිත්‍ය පිළිබඳ ප්‍රබෝදය ඇති කරන ලේඛක පාඨක සමාජයක් සිටීම ගැන සතුටට පත්වෙන්න පුළුවන්.
ප්‍රවීණ කිවියර ළහිරු කිතලගම
සංවාද සටහන ගාමිණි කන්දේපොළ