සෑම කවියක්ම දේශපාලනිකයි


ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී කාව්‍ය සංග්‍රහය සහ කවි මිහිර පස්වැනි කාණ්ඩය එළිදැක්වීමේ අවස්ථාව මෙම මස 03 වැනිදා සවස 4.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී පැවැත්වේ.

මෙම කෘතිය පිළිගැන්වෙන්නේ 70 දශකයේ පුරෝගාමී කවියා වන පරාක්‍රම කොඩිතුවක්කු මහතා වෙතය. මහාචාර්ය සරත් විජේසූරිය සහ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මෙහි කෙටි දෙසුම් පවත්වති. නදීක ගුරුගේ තෝරාගත් කවි කිහිපයක් ගායනයෙන් එක් වේ. ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් උත්සව සභාව මෙහෙයවයි. මතු දැක්වෙන්නේ ගලප්පත්ති මහතා සමග අප කළ කතාබහක සටහනකි.

 

සමුදුර අසා සිටී කාව්‍ය සංග්‍රහයට මෑත කාලීන සමාජ දේශපාලන අත්දැකීම් ඔබට වැඩි වශයෙන් බලපා ඇති බව පෙනෙනවා. මේ අනුභූතීන් ඔබට කවියට විෂයය වූයේ කොහොමද?

මේ කවි පොත මම කවි ලියන්න අරගෙන ඉතාම කෙටි විරාමයක් ඇතුළත රචනා කළ කවි පොතක්. මම මීට පෙර සෑම කවි පොතක්ම ලිව්වෙ දිගු විරාමවලට පස්සෙ. ඒත් සමුදුර අසා සිටී වසරක කාලයකටත් පෙර පළ කරන්න කටයුතු යෙදෙනවා. මීට පෙර රචනා කළ ගිරිහිස සිට කාව්‍ය සංග්‍රහයට ලැබුණු ඉහළ පාඨක ප්‍රතිචාරත් මේ සඳහා මා උනන්දු කරන්න ඇති. ඊටත් වඩා දිගු කාලයක් මගේ හිතේ තවදුරටත් රඳවාගෙන ඉන්න අපහසු අත්දැකීම් මේ කවි පොතට පදනම් වුණා. විශේෂයෙන්ම ඉතා මෑත කාලයේ මේ රටේ සිදුවූ ජන අරගලය ඊට වඩාත් බලපෑම් කළා.

 

ඔබ අඛණ්ඩව පළ කළ කවි මිහිර පොත් පෙළ මෙරට නූතන කවියන්ට නිසි මග පෙන්වන හා නව කවියන් දිරිගන්වන අවස්ථාවක් වුණා. මෙවර එහි පළවන්නේ පස්වැනි කාණ්ඩයයි. එම කාණ්ඩයේදී ඔබේ අවධානය යොමු වූ කරුණු කාරණා කෙබඳුද?

කවි මිහිර පළමු වැනි කාණ්ඩය සුරස පොතක් හැටියට පළ කෙරෙන්නේ 2012 වසරේදී. මෙය පස්වැනි කාණ්ඩය. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙතෙක් පළ වූ කවි මිහිර සංග්‍රහ එකකවත් පළ නොවුණු අලු‍ත්ම කවි කිවිඳියන්ගේ නිර්මාණ මෙහි ඇතුළත් වීම. බොහෝ නිර්මාණ රචකයන් සිටියත් කවියේ සාධනීය ලක්ෂණ මතු කළ කවි කිවිඳියන් හැත්තෑ දෙනෙක් මේ සංග්‍රහයට තෝරාගත්තා. වෙනත් සංග්‍රහවලට වඩා වැඩි නිර්මාණ ගණනක් මේ සඳහා ඇතුළත්.

 

කවියා යනු හදවතෙහි උල ඇනුණු ඇත්තෙක් බවට ප්‍රකට කියමනක් තිබෙනවා. ඔහු අසන දකින පුද්ගල සමාජ ප්‍රකම්පනයන් කවි බවට පත් කරමින් පොදු අත්දැකීම් ලෙස සමාජගත කරනවා. සමුදුර අසා සිටී කාව්‍ය සංග්‍රහයට ඔබට පාදක වන්නේත් මෑත ඉතිහාසයේ පොදු ජනයා විඳි කම්පනයද?

ඔව්. පොදු ජනයාට දැනෙන කම්පනය කවියකුට නොදැනෙන්න විදියක් නෑ. කවියා කියන්නේ මේ සමාජයේම පංගුකාරයෙක්. ඔහු ජීවත් වන්නේත් පොදු මානව සමාජය සමග ගැටෙමින්. ගැහැනු මිනිසුන් විඳින සුඛ දුක්ඛ වේදනා වේවා, වෙනත් පාරිසරික වේදනා කවියාට වඩා සංවේදීව දැනෙනවා. මේ කියන පොදු සමාජ පුද්ගල අනුභූතීන්වලින් තොරව කවියකු බිහිවන්නේ නෑ. කවියා සමාජයේ හරස්කඩ යථාර්ථවාදීව දකින්නෙක්. කවි මිහිර පස්වැනි කාණ්ඩයේ නව කවියන්ගේ නිර්මාණ පරීක්ෂා කර බැලු‍වත් ඒ බොහෝ ඒවායේ දකින්නට තිබෙන්නේ මේ කියන ප්‍රකම්පනයයි.

 

සාහිත්‍ය නිර්මාණකරුවකුට පක්ෂ දේශපාලනයට එහා ගිය ගැඹුරු සමාජ දේශපාලනයක් තිබෙනවා. මේ කවිවලින් ඔබ මතු කරන්නේ මේ කියන දේශපාලන ප්‍රකාශනයද?

ඔව්. මගේ කවි හොඳින් කියවා බලන කෙනකුට ඒ කවියේ දේශපාලනය හමු වේවි. ඒ තුළ තිබෙන්නේ මම විශ්වාස කරන දේශපාලනයයි. පොදු සමාජයේ ජීවත් වන කෙනෙක් හැටියට මම ඇතැම් තැන්වලදී පොදු ජන අරගලවලට සමීපව සම්බන්ධ වී තිබෙනවා. ඇතැම් විට දුර තබා නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ කියන දේශපාලනය කවියකු විවිධ පරිකල්පන රටාවන් එක්ක මුහු කරනවා වෙන්න පුළුවන්. විවිධ මූලාශ්‍ර හරහා ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්.

මගේ අලු‍ත් කවි පොතෙත් එබඳු අවස්ථා තිබෙනවා. මෙහි එන එක් කවියකට මම මූලාශ්‍ර කරගන්නේ සාම්ප්‍රදායික ජන සාහිත්‍යයේ එන මේවර කෙළිය. ඒ මූලාශ්‍රය සමග වත්මන් සමාජයේ මිනිසුන් සසල කළ අලු‍ත් අත්දැකීම් මාලාවක් මුසු කරනවා. අවසානයේ කවියා සිටගන්නේ පොදුජන පදනම තුළ බව පැහැදිලියි. කවිය පවත්නා සමාජයේම ප්‍රකාශනයක්. සෑම කවියක්ම දේශපාලනිකයි.

 

ඒත් ලාංකික සමාජයේ සාහිත්‍යකරුවාගේ දේශපාලනය සමාජයට දැනෙන බලපෑමක් කරනවාද?

මම හිතන්නේ අඩු වැඩි වශයෙන් සාහිත්‍යකරුවා ඊට දායක වෙනවා. ඒත් ඒ දේශපාලන මතය සමාජගත වන්නේ කුමන අන්දමින්දැයි යන්න ප්‍රශ්නයක්. අපි අරගලයේ අත්දැකීම් නිර්මාණ බවට පත් කරලා තියෙනවා. ඒත් ඒ ගැන සමාජ අවධානය යොමුවෙන්නෙ කොහොමද කියන එක බලන්න ඕනෑ. අවධියෙන් සිටින සාහිත්‍යකරුවකුට මේ සමාජ කම්පනයන් මගහැර යන්න බෑ. පොදු සමාජ දේශපාලනයෙන් ඈත්වෙලා හුදෙකලාව සාහිත්‍ය නිර්මාණ කිරීමෙන් පොදු ජන ප්‍රකාශනය නිරූපණය වෙන්නේ නෑ.

 

කිසියම් උඩු මහලක පැවැති කවිය පොදුජනයා නියෝජනය කරන බිම් මහලට රැගෙන ඒමට ඔබ ඇතුළු 70 දශකයේ කවියන් සමත් වුණා. ඒ ගමන් මග අද වන විට නූතන කවියන් භාවිතයට ගෙන තිබෙන්නේ කොහොමද?

70 දශකයේ ඇතිවූ මේ නැඹුරුව 80 දශකයේදී තවදුරටත් වර්ධනය වුණා. මේ වනවිට ගතවී ඇති දශක කිහිපය තුළ ඊටත් වඩා දැඩි ලෙස පරිණාමයට පත් වූ කවියක් අද අපට දකින්න පුළුවන්. ඇතැම් විට නූතන කවියන් ඉදිරිපත් කරන විරෝධාකල්පය ඉතාම ප්‍රබලයි. එසේම ඒ කවි දේශපාලනිකයි. සමහර කවියන් තම ප්‍රකාශන සීමා ඉක්මවා යන මට්ටමින් නිර්මාණවල දේශපාලනය කතා කරනවා. අලු‍ත්ම රැල්ල හැටියට කතාවෙන අමු කවි තුළ පවා මේ දේශපාලනය තිබෙනවා. ඒත් මම කියන්නෙ නෑ කවියේ ප්‍රකාශනය අමු වෙන්න ඕනෑ කියලා.

ඒත් නන්දන වීරසිංහ කවියා අප සමග සංවාදයකදී ප්‍රකාශ කළේ සාර්ථක කවි බිහිවන අතරේ කවි ලෙසින් පළ කෙරෙන ඍජු ප්‍රකාශන නූතනයේ බහුල වී ඇති බවයි.

නන්දන වීරසිංහ කවියාගේ මතයට අපට එකඟ වෙන්න පුළුවන්. වත්මන් ප්‍රවණතාවක් විදියට තිබෙන ෆෙස්බුක් කවිය පොදුවේ සාර්ථක කවි හැටියට සලකන්න ඉක්මන් වෙන්න ඕනෑ නෑ. අළු යට ගිනි පුපුරක් වගේ ඉතාම කලාතුරකින් තමයි මේවායේ හොඳ කවියක් හමුවෙන්නේ. වක්‍රෝක්ති නැති ධ්වනි ශක්තීන් නැති ඍජු ප්‍රකාශන නූතන කවියේ බහුල වී තිබෙන බව ඇත්තක්. ඒ නැඹුරුවෙන් ඈත් වුණොත් නූතන කවියන් බොහෝ දෙනකුට හොඳ නිර්මාණ ශක්තියක් තියෙන බව අප අමතක කළ යුතු නෑ.

 

පසුගිය දශක කිහිපයට වඩා නූතනයේ කිවිඳියන් බිහිවීමේ සාධනීය නැඹුරුවක් අප දකිනවා. මේ තත්වය ඔබ කොහොමද දකින්නේ?

එය ඉතාම සුබවාදී යහපත් ප්‍රවණතාවක්. මෙතෙක් කවියන්ට විෂය නොවූ ඇතැම් මානුෂීය නව අත්දැකීම් ඉතාම නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට මේ කිවිඳියන් සමත් වී සිටිනවා. කවි මිහිර නව කාණ්ඩයේ පවා නව කිවිඳියන් වැඩි පිරිසකගේ නිර්මාණ මගේ අවධානයට යොමු වුණා. ඒත් නව කවියකුට හෝ කිවිඳියකට කවි පොතක් මුද්‍රණය කර ගැනීම තවමත් දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. බොහෝ පොත් ප්‍රකාශකයන් කවි පොත් පළ කිරීමට තවමත් මැලිකමක් දක්වනවා. ඒ සීමා මැද වුවත් නව කිවිඳියන් කවිය සමග සිටීම කවියේ නව ප්‍රවණතාවක්.

 

ඒත් මේ ප්‍රවණතා පිළිබඳ පුළුල් සමාජ කථිකාවක් ඇතැයි ඔබ සිතනවාද?

මේ සමාජ කථිකාව තව පුළුල් විය යුතුයි. වැඩිහිටි පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ බහුතරයක් නව කවි කිවිඳියන් තබා පැරැණි කවි කිවිඳියන් ගැනවත් දන්නෙ නෑ. මම හිතන්නෙ රටේ සාහිත්‍ය සංවාදයට මුල්වෙන්න ඕනෙ පාසල් සහ විශ්වවිද්‍යාල. මීට දශක කිහිපයකට ප්‍රථම විශ්වවිද්‍යාල සාහිත්‍ය සංවාදයට සක්‍රීයව දායක වුණත් වර්තමානයේ විශ්වවිද්‍යාල යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි පෙනෙන්නේ. කිහිප දෙනෙක් මේ සඳහා යම් ප්‍රයත්නයක් දැරුවත් එය ප්‍රමාණවත් වන්නේ නෑ. මාධ්‍යයේ දායකත්වයත් මේ සඳහා අවශ්‍යයි. පුවත්පතක සාහිත්‍ය අතිරේකයක් දැකලවත් නැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා. ඒකෙන් පෙනෙන්නේ ඔවුන්ගේ අවධානය ඉතාම මද බවයි. තරුණ පරපුර සාහිත්‍යයෙන් ඈත්වීමේ අනාගත ප්‍රතිඵල ඉතාම කනගාටුදායක වෙන්න පුළුවන්.

 

(*** සංවාද සටහන - ගාමිණී කන්දෙපොළ)