සිංහල බෞද්ධයා රැක ගැනීමට දිවි හිමියෙන් කැපවූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා


(චන්දන උපාලි පෙරේරා)

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 142 වන  ගුණ සමරුව අදට (9) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

මහහුණුපිටියේ විසූ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ වලිසිංහ හෙන්දික් සිල්වා මහ මුදලිතුමාගේ හා ප්‍රේන්ද්‍රි මර්තනා ද සිල්වා ගුණසේකර මාතාවගේ පුත්‍ර රත්නය ලෙස 1876 ජුලි 09 වැනිදා එඞ්වඞ් ද සිල්වා වලිසිංහ කුමරු උපත ලැබුවේය. 
මෙතුමාට අත්පොත් තබා ඇත්තේ මහා හුණුපිටිය සුගතාරාමාධිපති ධම්මරතන හිමියන් විසින් 1881/2/26 වැනිදාය. ගමේ මූලික පාසලින් අධ්‍යාපනය ලබා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත්ව සිටිද්දී පියාගේ ඉල්ලීම පිට අධිනීතිඥ විභාගය සඳහා ඉගෙන ගනිමින් කොළඹ නැවතී සිටියදී අනගාරික ධර්මපාල තුමාගේ වැඩ කටයුතු පිළිබඳව දැන ගන්නට ලැබී එතුමා හමු වී එතුමා සමග වැඩ කරන්නට කැමැත්ත ප්‍රකාශ කළත් මවුපිය අවසරය ගෙන එන ලෙස දැන්වූමුත් මවුපියන් ද කැමැත්ත පළනොකළ බැවින් පියාගේ ඕනෑකමට 1895 වෙස්ලි විදුහලින් ඉවත්ව එච්.ජේ.වී. ඒකනායක නීතිඥතුමා යටතේ නීතිඥ විභාගය සඳහා පුහුණු වන අතර විද්‍යොදය පිරිවනට ගොස් සිල් සමාදන් වීම පෝය දිනවල කරගෙන ගිය අතර දිනපතාම තම කාමරයේදී ආනාපාන සති භාවනාව වැඩීය. 

ධර්මපාලතුමා 1898 රාජගිරිය ස්වභාෂා පාසල ආරම්භ කරන ලද අතර එහි ගුරුවරයකු ලෙස වලිසිංහ හරිස්චන්ද්‍රතුමා කටයුතු කළේය. ධර්මපාලතුමා අනුගමනය කරමින් එතුමාගේ දේශනා අසමින් මනා පුහුණුවක් ලබමින් සිටි වලිසිංහ තරුණයා 1898/04/16 වැනිදා මහා හුණුපිටිය සුගතාරාමයේදි තම ප්‍රථම දේශනය පැවැත්වීය. එදිනම ධර්මපාලතුමා රාජගිරිය ආශ්‍රමය විවෘත කිරීමේ උත්සවය ද පැවැත්විණි. 

රන්දොඹේ මහ චේතිය පරිවේනාධිපති තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්ස නායක හාමුදුරුවෝ එඞ්වඞ් සිල්වාට දිනක් දන්වා ඇත්තේ තමන් ධර්මපාලතුමා එක්ව වැඩ කරන නිසාත් සිංහල බෞද්ධ නාමයක් භාවිත කිරීම වඩා උචිත බවත් ඒ අනුව මින් ඉදිරියට වලිසිංහ හරිශ්චන්ද්‍ර ලෙස භාවිතයට ගන්නා ලෙසය. එම මස 16 වැනිදා ධර්මපාලතුමාගේ දේශනයක් හුණුපිටිය පන්සලේ සූදානම් කළ මෙතුමා ගිහි ගෙයින් නික්ම වෙන්නට පියාගෙන් අවසර ඉල්ලා සිටියත් එයට ඉඩක් නොලැබුණි. එනමුත් මර්තනා ද සිල්වා ගුණසේකර මෑණියන් ධර්මපාලතුමාට පැවසුවේ තම පුතා එතුමාගේ අනුගාමිකයෙකු කර ගන්නා ලෙසය. 

1898/11/1 වැනිදා විද්‍යොදය පිරිවෙනේ පැවැති මහා බෝධි සමාගමේ රැස්වීමේදී වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා ද රැගෙන ගිය ධර්මපාලතුමා ඔහු සභාවට හඳුන්වා දෙමින් තමාගේ ප්‍රධාන අනුගාමිකයා මොහු බවත් ලෞකික ජීවිතයෙන් ඈත්වී ධර්මානුකූල ජීවිතයක් ගතකිරීමට තීරණය කර ඇති බවත් දැන්වීය. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාට මහා බෝධි සංගමයේ සාමාජිකත්වය ලබාදීමටත් සහකාර ලේකම් තනතුරට පත් කර ගැනීමටත් තීරණය කෙරිණි. 

1899 ජනවාරි 1 දා පැවති මහා බෝධි සමාගමේ නව සභා වාරයේදී හික්කඩුවේ සුමංගල නාහිමියන් සභාව ඉදිරියේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පිළිබඳව ප්‍රකාශයක් කරමින් එතුමා බඹසර රකිමින් ශාසනික වශයෙන් සේවය කරන බැවින් ලංකාවේ කිසිවෙකුට මේතාක් භාවිත කර නැති බ්‍රහ්මචාරී ගෞරව නාමයෙන් හැඳින්වීම ඉතා උචිත බවත් යෝජනා කළ අතර සියල්ලෝම ඒ අදහස අනුමත කළහ. 

1899 ඔක්තෝම්බර් 28 වැනිදා පැවති මහා බෝධි සංගමයේ සංවත්සර සභාවේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විශේෂ ප්‍රකාශයක් කරමින් මහා බෝධියේ ප්‍රධාන ලේකම් තනතුරට හරිශ්චන්ද්‍රතුමා පත් කර ගන්නා ලදී. 
වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මහා බෝධි සමාගමේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර අනුරාධපුර නගරයට සිද්ධවේගෙන යන විනාශය දැන ගන්නට ලැබී එහි ගොස් රුවන්වැලි මහ සෑය විහාරාධිපති හිමිවරුන් හා ප්‍රදේශයේ ප්‍රභූවරුන් සමග සාකච්ඡා පවත්වා අධිරාජ්‍යවාදීන්ගෙන් අනුරාධපුරය බේරා ගැනීම සඳහා 1902 දී රුවන්වැලි චෛත්‍යවර්ධන සමිතිය ආරම්භ කර එහි සභාපති තනතුරත් මිහින්තලා සංවර්ධන සමිතිය අරඹා එහි ලේකම් තනතුරත් දරමින් බෞද්ධ ජනතාව දැනුම්වත් කරමින් ජනතාව එකතු කරමින් උද්ඝෝෂණ විරෝධතා පෙළපාළි පවත්වමින් සිරබත්කමින් අතීත ශ්‍රී විභූතිය වෙහෙර විහාර සංරක්ෂණය කරමින් ඒ සඳහා පොත් ලියමින් ජනතාව දැනුම්වත් කිරීම නිසාම අද තිබෙන තත්ත්වයට අනුරාධපුරය රැක ගැනීමට හැකි විය. 

සිංහල ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව ඉතිහාසය, නීතිය හා අධිකරණ කටයුතු පිළිබඳවද මනා දැනුමක් තිබීම එතුමාගේ වැඩ කටයුතුවලදී බෙහෙවින් උපකාරී විය. 

මේ කටයුතු අතරේ විද්‍යොදය පිරිවෙනේ මහ බෝධියේ වැඩ කටයුතු ද කරගෙන යන අතරේ එවකට නැවතී සිටි ධර්මපාලතුමාගේ කොම්පඤ්ඤවීදියේ බීමාර් බංගලාවේය. ඒ 1913 සැප්තැම්බර් මස මුලදී අසනීප ගතියක් ඇතිවුණ නිසා වෛද්‍ය නිගමනය වූයේ අප පරක්කු වූවා වැඩිය යන්නයි. 

අනතුරුව ධර්මපාලතුමාගේ මව පදිංචිව සිටි කොල්ලුපිටිය නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කළ මුත් එතුමාට හටගෙන තිබුණු බලවත් අසනීපය නිසා 1913 සැප්තැම්බර් 13 වැනිදා උදේ 6 ට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අපට සදහටම අහිමි විය. 

එතුමා කෙතරම් රටට වැඩ කළා ද යත් එක් ප්‍රකාශයකින් පමණක් ගෙන හැර දැක්විය හැකිය. බුදු දහම වෙනුවෙන් තම දිවිය කැපකළ අනුරාධපුර නගරය බේරා ගත් සිංහලයාගේ කල්‍යාණ මිත්‍ර බ්‍රහ්මචාරි වලිසිංංහ හරිස්චන්ද්‍රතුමා ජීවත්ව මම මරුණා නම් කෙතරම් හොඳද? මේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ වදන්ය. ගුරුවරයකු සිසුවෙකු කෙරෙහි තැබු විශ්වාසය ගෞරවය කොතරම්ද රටට බුදු දහමට මහ මෙහෙයක් කළ සිංහලයාගේ කල්‍යාණ මිත්‍ර බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා බැතියෙන් සමරමු.