සිංහල සාහිත්‍යයේ මානවසිංහ ආදර්ශය


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 110 වැනි ජන්ම දිනය ජූනි මස 19 වැනිදාට (ඊයේ) යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

මීට වසර 110කට පෙර ආසියාවට නොබෙල් සම්මානය  ලැබිණි. ඒ ඉන්දියාවේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ‘ගීතාංලිය’ ය. ඒ වසරේදීම අපට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලැබුණේය. ඒ දකුණු ලද ගිරුවාපත්තුවේ  පුවක්දණ්ඩාවේදීය. සමස්ත ලෝකයම සාමය ශාන්තිය සහ භක්ත්‍යාදරය ආදී මානුෂීය  ගුණාංග පිළිබඳව සරල නිරවුල් වංග භාෂාවේ මහිමය පාමින් තාගෝර්තුමන් නිර්මාණය කළ නිර්මාණ සුගන්ධය ලොව දස දෙස පැතිර ගියේය. මානවසිංහයන්ගේ  නිර්මාණ සුගන්ධයද අද වනතුරුත් සිරිලක සිසිරා පැතිර පවතී. 

මානවසිංහ ජ්‍යෙතිෂ  ශාස්ත්‍රය  මැනවින් දැන සිටියේය. එහෙත් ඔහු  පසු කාලයේදීවත් තවත් ජන්මලාභය ලත් නැකැත කෙබඳු එකක්දැයි සෙවූ බවට සාක්ෂියක් නැත. කෙසේ හෝ එය බලගතු නැකැතක් වූ බව  නම් නිසැකය. 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගමේ උපන් ගැමියෙකි. ගැමිකමේ අව්‍යාජ බව උරාගත්, ගැමිකමේ සාරාර්ථ උරුම කරගත් ප්‍රාචීන භාෂා උගතෙකි. ගමේ පාසලෙන් පන්සලෙන් පිරිවෙනින් ඔහු භාෂා ශාස්ත්‍ර ජන්දෝලංකාර හදාළේය. සිංහල පාලි සංස්කෘත, හින්දි වංග ආදී භාෂා ශාස්ත්‍ර දැන සිටියේය. 

සිංහල කවිය පිළිබඳ ප්‍රාමාණිකයකු වන මහාචාර්ය ආරිය රාජකරුණා  ස්වකීය නූතන සිංහල කාව්‍ය - 2  කෘතියේ මානවසිංහගේ කවිය විශ්ලේෂණයට ලක් කළේය. ඔහු එම පරිච්ඡේදය ආරම්භ කරන්නේ ‘කෝමල රේඛා සකස් කිරීමේදී මානවසිංහ තාගෝර්ගේ රචනාවලින් ආභාසයක් ලබා ගැනීමට තැත් කරයි.

එම තැත සාර්ථක වූ බවක් නොපෙනේ යන්න අවධාරණය කරමින් මානවසිංහගේ ‘සිනාරැල්ල’ නම් කවි පෙළ ‘The sleep that flirts on baby’s eyes’ යනුවෙන් ඇරඹෙන ‘ගීතාංජලී’ උධෘතයත් උපුටා දක්වමිනි. පිටු 38කින් සමන්විත මානවසිංහ අධ්‍යයනය පුරා මානවසිංහගේ තාගෝර් ආභාසය අසාර්ථක බව කියන්නට දක්වා ඇත්තේ එම වාක්‍යය පමණි. ඉන් ගම්‍ය වන ප්‍රමුඛ කාරණය නම් මානවසිංහ තාගෝර් ආභාසය ලබා ඇති බවයි. 

සිංහල, පාලි, සංස්කෘත, හින්දි භාෂා දැන සිටි ඔහු වංග භාෂාවද දැන සිටියැයි අපට සිතාගත හැකිය. ඔහු උපදින වසර වනවිටත් තාගෝර්තුමා නොබෙල් සම්මානය ලබා ලෝක පූජිත වී සිටි හෙයින් තාගෝර්තුමන්ගේ ලංකා ගමන ඔහු මෙරටදී පැවැත්වූ දේශනාදිය ආශ්‍රය කරන්නට ඇත. පාලි ගීයට සකු ගීයට පෙම්බැඳි ඔහු වංගගීයට පෙම් නොබැන්දා යැයි අදහන්නේ කෙලෙසද? ලංකාවේ උපවිඥානය එහි ජාතික චින්තනය ඉන්දියාව සමග අඛණ්ඩව බැඳී තිබෙන බව රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ප්‍රකාශ කර ඇත. ඒ අනුව බලන විට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් තාගෝර් ආභාසය ලබන්නට ඇත්තේ වංග බසින්ම ඔහු හැදෑරීමෙන් විය යුතුය. 

‘‘වැවෙන්, වෙලෙන්, රුප්පාවෙන් වන පඳුරු අස්සෙන් බඩවැටි ඔස්සේත් හේන්වලින් වන මලින් කුරුල්ලන්ගෙන්  මා එකතු කරගත් ළමා සිතිවිලිවල නෑඹුල් ගතිය කවරදාවත් නොමැකෙයි. මේ අතර පන්සලේ හා ගෙදර පින්කම් පොළේ කඩ පිලේත් කතා බහින් ඇසුණු හැම දෙයක්ම මගේ හිතේ තැන්පත්වී තිබේ. ගෙදර මිදුලේ හඳපානේ ගස් සෙවණේ වාඩිවී ඈත කැලුම් නටන තරු වැල් දෙස බලා අසාගෙන සිටි රාක්ෂයන්ගේ හා රජ කුමරියන්ගේ කතාවලින් පමණක් නොව හොල්මන් අවතාර හා පල් හොරුන් ගැන කී කතා පුවත්වලින් ලැබුණු රසය කවරදාවත් අමතක නොවේ. රෑ හඳපානේ තරගයට කී ගැමි සිව්පදවල හැම පදයක් ගානේ මගේ නොමේරූ සිතෙහි ඇඳී ගිය සිත්තම එසේම නොමැකී පවතී. ’’

මේ මානවසිංහ සිය පළමු කාව්‍ය සංග්‍රහය වන කෝමල රේඛා පෙරවදනෙහි දක්වන සිය කවිත්වයේ පදනමයි. ශ්‍රී චන්ද්‍රරත්න  මානවසිංහ කොළඹ කවියන්ගේ  කුලකයට ඇතුළත් කළත් ඔහුගේ කවිය වස්තු විෂයයෙන්ද විරිතෙන් රිද්මයෙන් ද බස් වහරින්ද කොළඹ කවියෙන් බොහෝ ඈතය. 

මොකටද අම්මේ - අම්මට ගැහුවේ 
මාමල දෙන්නකු වට කරලා 
ඇඟපත තැලිලා - රිදෙනව ඇතිනේ 
කොච්චර ගැහුවද බැඳ දමලා 
     (ඇත්ගාලේ දරු පෙම)

 
අකුරට යනවයි කියලා 
ටිකිරි අයිය බැදිවලමයි 
ඉන්නකො මම ගුරු ගෙදරට 
ගිහින් කියන්නම් 
ගිහින් කියල 
මේ බැද්දෙදි අල්ලල දෙන්නම් 

පඳුරු අස්සෙ කුරුල්ලන්ට 
ඔමරි කරනවා විතරයි 
සිළිඳු ඉතින් දර කැඩුවද 
මමත් කියනවා 
ගිහින් කියලා 
පොඩි නැන්දට අල්ලල දෙන්නම් 
       (ගුරු ගෙදරට යන අතරමග) 

මේ කොළඹ කවියන් අත නොගැසූ විරූ විරිත්ය. බසද කොළඹ කවියට වඩා නෑකම් කියන්නේ ජන කවියටය. අත්දැකීමද වෙනස්ය. 
‘‘මේ ලෝකයට කලාව ආවේ මක් නිසාද? බොහොම දෙනා නොසිතු ප්‍රශ්නයක්. අප විසින් උගතයුතු දැනගත යුතු ජීවිතයේ අත්හදා බැලිය යුතු වැදගත්  විනිශ්චයක්. මොකක්ද ඒ? කලාව ලෝකයට ආවේ සැනසිල්ල පිණිසයි. ජීවිතයේ අලංකාරය පිණිසයි. සාහිත්‍ය කලාව අප දන්නා තරමින් ජීවිතයට ඉතාමත් කිට්ටු ජීවිතයේ සැනසීමට ඉතාමත් ළංවී ඇති වැදගත් එකක්.

එයට සමාන අන් කිසිම කලාවක් නෑ. ජීවිතයේ සිතුම් පැතුම් ගොඩනැංවීමට වාගේ හැසිරවීමට සාහිත්‍ය අපට උදව් වෙන්නේ අන් කිසිම කලාවකට  වැඩියෙන්. ඒ නිසයි සාහිත්‍ය කලාව අන් සියලුම කලාවන්ගෙන් ඉස්මතුවී පෙනෙන්නේ. ධර්ම න්‍යායත් නීති පද්ධතියත් ගුණ සන්තතියත් පිළිබඳ විනිශ්චයක් ඇතිව සිතේ පැලපදියම් වී අරා සිටින්නේ සාහිත්‍ය නිසයි. ’’

මේ සෞන්දර්යවාදී විවරණය වඩාත්ම සමීප වන්නේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාගේ සාහිත්‍ය දර්ශනයට බව මගේ වැටහීමයි. 

‘‘ජීවිතයට ලෝකය රසවත් නූනොත් මොකද වෙන්නෙ? මුලින්ම ආත්ම පරාජයට පත්වෙනවා. ඊට පස්සේ ජීවිතයේ එදිනෙදා ප්‍රශ්නවලට මුහුණපෑමේ ශක්තිය නැති වෙලා යනවා. ආත්ම ධෛර්ය පිරිහෙනවා. ලෝකය දෙස ඔහු බලන්නෙ කෲර ඇහැකින්. ඊට පස්සේ ඔහු ලෝකයට කරදරයක් වෙන්න පුළුවනි.’’ 

ඉතාමත් සරල බසින් ඔහු කියන්නේ සාහිත්‍ය ඔස්සේ ජීවිතය නොවිඳින පුද්ගලයා සමාජ විරෝධියකු වන බව නොවේද? 
තාගෝර් මහා කවියාගේ කවි මඟ තෝරාගෙන අපේ සිංහල කවිය සෞන්දර්ය නිකේතනයක් බවට පත් කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අපේ සංස්කෘතික මුල්වලින් ඇදී නොඑන කිසිවක් ජාතික ස්වරූපයට මුසු නොවන බව තරයේ ඇදහූ කෙනෙකි. 

මුළු  ලොව පිබිදේවා 
සාමය පැතිරේවා 
මනුවග එකමයි - එක මනු වගමයි 
එය නම් සාමයටයි 
පිබිදෙන ලොවටයි - මුළු මනු වගටයි 
පිළිසරණය එයටයි 

පටු අදහස් නම් පවුරින් ලෝකය 
කැබලි වලට නොබෙදී 
ඥානය නිවහල්වී 
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන 
සිටිනට හැකි කොහිදෝ 
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට 
මාගේ දේශය අවදි කරනු මැන 
මහගමසේකර පරිවර්තනය ගීතාංජලියේ රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ දැක්මත් මනු වග එකමයි එක මනු වගමයි යන්න කියන්නේත් එකම දහමක් නොවේද? 

ආනන්ද සමරකෝන්ගේ ගීයට වශීවී ගීත ප්‍රබන්ධ කලාවට පිවිසි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, සමරකෝන්ගේ ගැමි ගීතය පෘථුල පරාසයට ගෙන ගියේය. විෂය විසින් ද ගීත ආකෘති විසින් ද භාෂා භාවිතය විසින්ද විශ්‍රැත කරනු ලැබූ ගීතාවලිය ඔස්සේ මහගම සේකර නම් ගීත ප්‍රබන්ධකයා බිහිවිය.

අද සිටින ප්‍රතිභාන්විත ගීත රචකයෝ සියල්ලෝම මානවසිංහ – සේකර ආභාසය ලද්දෝ වෙති. මෙරට පුවත්පත්  කලාවේ භාෂා භාවිතයද තීරු ලිපි කලාවද ඊට අනන්‍ය ලක්ෂණ සමුදායකින් පෝෂණය කළේ මානවසිංහය. විශ්වවිද්‍යාල විසින් ප්‍රචලිත කරන්නට යෙදුණු මුල් සිඳුණු සාහිත්‍ය කලාවේ නිස්සාරත්වය පෙන්වා දෙමින් ඊට ආදේශ කළ හැකි ප්‍රාචීන සාහිත්‍ය සංකල්ප ප්‍රචලිත කළේද මානවසිංහය.

 මෙනයින් බලන කල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානයේ බලපෑම අසීමිතය. 1947 ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ  කරනු ලැබූ ‘ලංකාදීප’ පත්‍රයට සමාරම්භයේදීම දායක වූ මානවසිංහ, සාගර පලන්සූරිය මුල පිරූ වගතුග තීරු ලිපිය පුරා වසර 17ක් තිස්සේ ලිව්වේය. මේ ලිපි මාලාව වූ කලී.

අනියමින් ලියැවුණු සමාජ වංශ කතාවක් බඳුය. ආරම්භයේ සිටම නිර්නාමිකව ලියූ වගතුග මානවසිංහගේ නිබන්ධයක් බව රටම දැන සිටියේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ඔහු වගතුග ගද්‍යයෙන් ලිව්වේය. පද්‍යයෙන් ලිව්වේය. ගද්‍ය පද්‍ය දෙකම මිශ්‍ර කර ලිව්වේය. මේ හැම ලිපියක් හුදී ජනයාගේ පහන් සංවේගය  පිණිස විය. සරල සුගම ශෛලියත් යකෙකුටවත් බය නැති නිර්භීතභාවයත් වගතුගේ මුද්‍රාව විය. එය අදත් සිංහල තීරු ලිපි කලාවේ මාහැඟි පූර්වාදර්ශය වශයෙන් සැලකේ. 

ඔහු කෙටිකතා නිර්මාණ සංග්‍රහ දෙකක් පළ කළේය. හදවත් නැත්තෝ සහ ගොළු දැරිය යනුවෙනි. 

‘‘කලාවෙන් අපට වියැකෙන මිහිරක් වුවමනායි. ඒ කියන්නේ අපට වින්දනයක් මගින් අපේ ආධ්‍යාත්මය කරා ගෙන යෑමට එසේ ගෙන යෑමට සුදුසුකම් ඇති මිහිරක් වුවමනා බවයි. අපේ ආහාරය රසවත් වෙන්නට ඕනෑ. ඒ වගේම එයින් ලැබිය හැකි ඕජෝගුණය ආදියත් ලැබෙන්න ඕනෑ. එය ඔරොත්තු දෙන ආහාරයක් වන්නටත් ඕනෑ.

ඒ වගේම අප ලබන මිහිරත් අපේ ජීවිතය සාරවත් වන අප ඔදවත් කරන අපට විඳ දරා ගත හැකි වියැකෙන  මිහිරක් වන්නට ඕනෑ. එවිටයි ඒ අප ලබන මිහිර මගින් යම්යම් සාරවත් දේ තැන්පත් වෙන්නේ. ඒ කරුණු උඩයි අපේ එදිනෙදා ජීවිතයේ විනිශ්චයන් අප කරා එළඹෙන්නේ.’’ 

මානවසිංහයන් නවීන විචාරකයන් පාරිභාෂික පද හරඹයෙන් කියන්නට හදන සාහිත්‍යයේ උත්තම පරමාර්ථය සරල බසින් විවරණය කරන අපූරු විලාසයයි ඒ. 

ගොළු දැරිය හැඳින්වීමේ ඔහු කියන්නේ නොයෙක් යුගයන්හි විවිධ ජාතීන් විසින් මනුෂ්‍යත්වය ගොඩගැනීමට මේ මිහිපිට මෙතෙක් හෙළු කඳුළු බිඳු කිහිපයක් එක් කිරීමක් ලෙසිනි. අහිංසක ගොළු දැරියක හා ඇගේ අයියා සිරිපාල ඇසුරින් සහෝදර ප්‍රේමයේ බැඳීමත් මනුෂ්‍යත්වයේ මහිමයත් කියන මේ සුන්දර කෙටිකතාව තාගෝර්තුමාගේ සෞන්දර්ය ගබඩා වුණු කෙටිකතා සිහියට නඟයි. මෙහි එන මිදෙල්ල මල් නවකතාවද අපූරු සිත්තමක් මවන්නකි.

මීට වසර 110කට පෙර මේ සුන්දර දිවයිනේ උපත ලැබ අපේ රටේ සෞන්දර්ය නෙත් දහසකින් දැක පරම්පරා ගණනාවක සුවහසක් ජනතාවගේ සිත් පහන් කර ජන්මාන්තරගතවීම යළි යළි සිහිපත් කළ යුතු වන්නේ අපේ ඇස් පනාපිටම මියැදෙන මනුසත් බවට තව මඳ කලක් හෝ ජීවන හුස්ම පිඹිය යුතු බැවිනි. 

(***)