සිමෙන්ති හිඟයේ බරපතළකම වගකිව යුත්තන්ට නොතේරේද?


ඉදිකිරීම් ක්ෂේත්‍රය යනු ගොඩනැගිලි ඉදිකිරීම් පමණක් නොවේ. එය මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය වේ. එම ක්ෂේත්‍රයෙහි යම් බිඳ වැටීමක් සිදු වුවහොත් එය මුළු රටේම පැවැත්මට තීරණාත්මකව බලපායි. අවාසනාවකට දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

පසුගිය වසර සඳහා මෙරටට සිමෙන්ති මෙට්‍රික්ටොන් ලක්ෂ 70 ක් පමණ ලබා ගැනීමට නොහැකි විය. එම නිසා වෙළෙඳපොළහි සිමෙන්ති මෙට්‍රික්ටොන් ලක්ෂ 36ක පමණ හිඟයක් ඇති විය. ඉතා අසීරුවෙන් හා දුෂ්කර කොන්​දේසිවලට යටත්ව කුඩාවට හෝ නිවෙසක් තනා ගැනීමට සූදානම් වූ අහිංසක පුරවැසියාගේ සිට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට මෙම සිමෙන්ති හිඟය තදින් බලපා තිබේ. ඉදිකිරීම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය සිමෙන්ති නොමැතිව ඉදිකිරීම් කරන්නේ කෙසේදැයි යන්න අමුතුවෙන් විමසිය යුත්තක් නොවේ.

ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ඉකුත් දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රට තුළ මතුව ඇති සිමෙන්ති හිඟය නිසා රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ද අත්හිටුවන තත්ත්වයට පත්ව ඇති බවය. මධ්‍යම අධිවේගී මාර්ගය මොරටුව වෙරළබඩ මාර්ගය, පාලම් 8,000ක ව්‍යාපෘතිය, සහ මහනුවර, බත්තරමුල්ල මෙන්ම කොළඹ නිවාස ව්‍යාපෘති ආදී දේශීය ඉදිකිරීම් සමාගම් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති රැසක ඉදිකිරීම් මේ වනවිටත් මන්දගාමි වී ඇති බව ද ඒ මහතා පෙන්වා දී තිබිණි.

මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතුය. ඕනෑම ඉදිකිරීමක දී එය ඇස්තමේන්තු කිරීමක් සිදුවේ. අදාළ අමුද්‍රව්‍යවල ඒ මොහොතේ වෙළඳ පොළ මිල සේවක වැටුප් මෙන්ම ගතවන කාලය ද එම ඇස්තමේන්තුවට ඇතුළත්ය. සිමෙන්ති හිඟය වේවා වෙනයම් හේතුවක් වේවා එම ඉදි කිරීමේ කාලය දිස්ගැස්සුණු විට ඒ සඳහා අමතර වියදමක් දැරීමට සිදු වේ. එය ඇතැම්විට එම ව්‍යාපෘතියට වියදම් කළ මුදලට වඩා වැඩි මුදලක් විය හැකිය. මිල ගණන් වැඩිවීම ආදිය එයට බලපායි.   

යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලබන්නේ අපේක්ෂිත ඉලක්ක සහිතවය. එනම් ප්‍රතිලාභ සැලසුම් කරය. එම සංවර්ධන ව්‍යාපෘතිය පමාවීමෙන් ප්‍රතිලාභ ලැබීම ද ප්‍රමාද වේ. එහි  නියත ප්‍රතිඵලය වන්නේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමය.

සංවර්ධන ව්‍යාපෘති පමාවීමේ අනෙක් භයානක ප්‍රතිඵලය වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය පිරිස් බලය හිඟවීමය. ශ්‍රමිකයන් එම ක්ෂේත්‍රයට සම්බන්ධ වනුයේ තම දරු පවුල් රක්ෂා කිරීමටය. තමන් රැඳී සිටින ක්ෂේත්‍රයෙන් තමන්ට යැපීමට නොහැකි බව පෙනෙන විට ඔවුන් වෙනත් රැකියා සඳහා යොමුවීම ස්වභාවිකය. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමික වැටුප් ඉහළ යාමය. දුප්පත් මිනිසාගේ ඉදිකිරීම් සිහිනය විසුණුව බිඳ වැටෙන්නේ මෙම පරිසරය තුළය.

ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රුපියල් 1575 ක් ලෙස මිල සටහන් කර තිබෙන සිමෙන්ති කොට්ටය මේවනවිට රුපියල් 1900ත් 2100ත් අතර මිලකට කළුකඩෙන් ගැනීමට සිදුවී ඇති බවය. ගාල්ල, මාතර සහ හම්බන්තොට ප්‍රදේශවල එම මිලට හෝ සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බව ඔහු කියයි.

සිමෙන්ති සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වයට ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා විසඳුමක්ද ඉදිරිපත් කර තිබේ. ඔහු පවසන්නේ මෙම සිමෙන්ති මාෆියාව පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවය. ඒ සඳහා සිමෙන්ති වෙනුවෙන් පාලන මිලක් ඇති කළ යුතු බවය

ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඉතා බිහිසුණු කාරණාවක් ද අනාවරණය කර තිබේ. එනම් ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය කිසිදු ආයතනයක් පරීක්ෂා නොකිරීම නිසා ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳව ද ගැටලුවක් ඇති විය හැකි බවය.

අප රටේ ජනයාට ප්‍රශ්නවලින් අඩුවක් නැත. පත්තු කරන ළිපේ සිට කන බත්වේල දක්වා ද ප්‍රශ්න පෝලිමේ වේ. ගෑස් ප්‍රශ්නය විසඳී නැත. කිරිපිටි ප්‍රශ්නය විසඳී නැත. ඉහළ යන බඩුමිලට විසඳුමක් ද නැත.

කොවිඩ් මාරක වසංගතයෙන් ගැලවුමක් ද නැත. කොයි මොහොතේ විදුලිය විසන්ධිවේදැයි දෙගිඩියාවකි. ඉන්ධන ගෙන්වීමට නොහැකි වුවහොත් ප්‍රවාහනයට කවර ඉරණමක් අත්වේදැයි ප්‍රශ්නයකි. අමතර වශයෙන් සිමෙන්ති ප්‍රශ්නයක් ද පැමිණ තිබේ. බරපතළම ප්‍රශ්නය මෙම ප්‍රශ්නවල වගකීම බාර ගැනීමට කිසිවකු නොමැතිවීමය.

(***)