බණ්ඩාරගම අටුලුගම ගම්මානය ඉකුත් කොවිඩ් වසංගත සමයේ දී බොහෝ කතාබහට ලක් වූවකි. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශන නොතකා ඇතැම් පිරිස් හැසිරීම හේතුවෙනි. අද ද එම ගම්මානය දෙසට මුළු රටේම අවධානය යොමුවී තිබේ. ඒ පාතිමා අයිෂා නැමැති නව හැවිරිදි දියණියගේ අකල් මරණය සම්බන්ධයෙනි. නිවෙස අසල වෙළඳසැලකට ගිය එම දියණියගේ නිසල සිරුර හමු වූයේ නිවස ආසන්නයේම වගුරු බිමකිනි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලිස් භාරයට ගත් බවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවන බවත් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාතිමා අයිෂා දියණියගේ අකල් මරණයෙන් කම්පිත ජනී ජනයා අතරට ලංකාදීපය ද අපමණ සංවේගයෙන් මෙසේ එක්වේ.
සූ සැට බරණින් සැරසුණ යුවතියකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූ ඉතිහාසයක් මෙරට තිබිණි. සැබැවින්ම අතීතය මෙකල මෙන් සංකීර්ණ වූයේ නැත. නෑදෑකම් පිරිවරාගත් මිනිස් ආශ්‍රය තුළ අනතුරු බවක් තිබුණේ ද නැත. ‘‘කාගෙ වුණත් දරුවෙක්නේ’’ යන මානසිකත්වය වැඩිහිටියන්ගේ හදවත්වල ගැඹුරින්ම සටහන් වී තිබිණි. ආදරය ඒ සමාජය පුරා දෝර ගලා ගියේය.
වර්තමානය බෙහෙවින්ම සංකීර්ණය. මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍ය මිනිසාගේ මනස වියරු වට්ටවා තිබේ. අතරැඳි ජංගම දුරකථනයෙන් අසැබි දසුන් නැරඹීමට ඇති පහසුකම් නිසා ජනයා කාමයෙන් මුසපත් වී සිටිති. මිනිසා විසින්ම මිනිසාට අනතුරු සහගත පරිසරයක් නිර්මාණය කරදී තිබෙන්නේ එසේය. මෙම ශාපලත් පරිසරය තුළ කවරකුගේ ජීවිතවලට ආරක්ෂාවක් සැලසෙනු ඇද්ද යන්න පුරෝකථන හැකියාවෙන් එපිට පිහිටියකි.
සේයා සදෙව්මිණි ඝාතනය පාතිමා අයිෂා ඝාතනය මෙන්ම මුළු රටම කැළඹුවේය. දුවා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට එම ඝාතනය හේතු විය. එහෙත් ප්‍රශ්නය අනිකාගේ වනතුරු පිළිතුර දාර්ශනික යැයි කියමනකි. ඒ අනුව සේයා සදෙව්මිණි දියණියගේ ඝාතනයේ උණුසුම මැකීයාමත් සමග සියලු දාර්ශනිකයෝ වේදිකාවෙන් බැස ගියහ. පාතිමා අයිෂා දියණිය සිය ජීවිතයෙන් වන්දි ගෙවනු ලැබුවේ ඒ වරදටය. දූ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානයක් පවත්වාගෙන යා යුතුවුව ද සියල්ල ඉක්මනින් අමතක කිරීම ජාතික සිරිතක්ව වර නගන සමාජයක අපේ දූ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්වෙති. ඒ ලොව හොඳම දේ දරුවන්ට යැයි ළමා දින සැමරුම්වල උද්වේගකරව ප්‍රකාශ කරමින් තිබියදීය.
අප සමාජයක් වශයෙන් බොහෝ සෙයින් කඩා වැටීමකට ලක්ව තිබේ. මුළු සමාජයම බරපතළ ආර්ථික පීඩනයකය. ඉන්ධන ලබා ගැනීමට, ගෑස් ලබා ගැනීමට නොවිඳිනා දුක් විඳීමට ජනයාට සිදුවී තිබේ. ඒ අතරවාරයේ ජනයා නීතිය අතට ගෙන ක්‍රියාකරන බවක් ද පෙනේ. ගෑස් නැතැයි ඉන්ධන නැතැයි කියමින් ජනයා මහ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කරති. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පුතකු රැගෙන ගිය පියකු හැඟුම්බර හා හැඬුම්බර හඬින් ඉල්ලා සිටියේ පුතු රැගෙන යන්න ඉඩදෙන ලෙස ඉල්ලමිනි. ඒ පියා එසේ ඉල්ලා සිටියේ විභාග ප්‍රවේශ පත්‍රය ද ඉදිරිපත් කරමිනි. එහෙත් ඒ විරෝධතාකරුවන්ගෙන් කිසිදු පිහිටක් නොලැබුණි. සමාජයෙන් මනුස්සකම අතුරුදන් වෙමින් පවතින්නේ එසේය. පාතිමා අයිෂා දියණියගේ ඉරණම තීන්දුවන්නේ ද මෙම පරිසරය තුළය.
සමාජය සංස්කෘතික කාන්තාරයක් දක්වා ගමන් කරනවිට සභ්‍යත්ව බලය දියවී යයි. එම පරිසරය තුළ තව දූපුතුන් කොපමණ ප්‍රමාණයකට තම ජීවන ඉරණම ලෙයින් කඳුළෙන් ලියා ගැනීමට සිදුවේ ද? වෙනස් කළ යුතුවන්නේ මෙම ශාපලත් ඉරණමය. ඒ වෙනුවෙන් මුළු සමාජයම ප්‍රවාහයක්ව නැඟී සිටිය යුතුය. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවන බව ඒකාන්ත සත්‍යයකි. අපගේ දූ පුතුන්ට මෙසේ වගුරු බිම් තුළ ජීවන ඉරණම ලියා ගැනීමට ඉඩ දෙනවාද යන ප්‍රශ්නය සෑම පුරවැසියකුම තමන්ගේ හෘදය සාක්ෂියෙන් විමසිය යුතුය.
පාතිමා අයිෂා දියණියගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ. විය යුත්තේද එයය. මෙයට සම්බන්ධ සියලු පාපතරයන්ට ඉහළම දඬුවම් දිය යුතුය. ස්වයං විනයක් නිර්මාණය කර ගැනීමට අසමත් පුරවැසියා නීතියේ යදමින් බැඳ තැබිය යුතුය. පාතිමා අයිෂා දියණියගේ පරපුරට හා අනාගත පරපුරට යුක්තිය ඉටුවන්නේ එමගින් පමණි.
(***)