සිරිපා හිමේ නවාතැන ඩුබායි ව්‍යාපාරිකයාට නවාතැන් ගන්නයි


   05-Page-20-M-08  

 

 

ශ්‍රී පාද පුදබිමේ තරු පහේ හෝටලයක් ඉදිවන බවට ඉකුත් සතියේ ආරංචි පළවිය. මේ පිළිබඳ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් ඉරිදා ලංකාදීප කළ සොයා බැලීමකදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වුණි. අන්තර්ජාලයේ පළවූ හෙලිකොප්ටර් යානයකින් කිසියම් විදේශිකයන් පිරිසක් ශ්‍රීපාද පුදබිමට පැමිණෙන ඡායාරූපයක් පාදක කරමින් මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය විය. අන්තර්ජාලවල පළ වූ එම හෙලිකොප්ටරය සහිත ඡායාරූපය ශ්‍රී පාද පුදබිම ආසන්නයේ හෝ නල්ලතන්නිය පොලිස් බල ප්‍රදේශයේ හෝ ගත් ඡායාරූපයක් නොවන බව නල්ලතන්නිය පොලිසිය සනාථ කළේය. එම ඡායාරූපය නුවරඑළිය ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් බවට කරුණු සනාථ වුණි.


ශ්‍රී පාද පුදබිමේ සංචාරක හේටලයක් හෝ සංචාරක නිකේතනයක් හෝ ඉදිනොවන බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝද පැවසූහ. උන්වහන්සේ ඒ බැව් පැවසුවේ 2016-2017 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භවීම නිමිත්තෙන් ඉකුත් දා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවේදීය


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රීපාදස්ථාන භූමියට පහළින් පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා අදාළ වගකිව යුතු ආයතනවලින් අවසර ලබා ගෙන ඉදිකරන බවට තමන්ව එම නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි. 
එයට විරුද්ධවීමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ මෙම රැස්වීමේදී අවධාරණය කර සිටියහ.

 

05-Page-20-M-01

හෙලිකොප්ටර් අංගනය හා යෝජිත නිවාඩු නිකේතනය ග-ුවනින් ගත් ඡායාරූපයක්

 


ශ්‍රීපාදස්ථානයට අක්කර අනූනවයක ඉඩම් ප්‍රදේශයක් නීත්‍යනුකූලව හිමිව ඇති බවත් හෝටල් ඉදිකිරීමට ඉඩම් කැබලි ලබා දීමට ශ්‍රීපාදස්ථානයට ඉඩම් නොමැති බවත් නායක හිමියන් පැවසුවේ තවද ශ්‍රීපාද මළුවේ සංවර්ධන කටයුතුවලට වැලිකැටයක්, ගල්කැටයක්, සිමෙන්ති කොට්ටයක් රැගෙන යාමට දායක නොවූ එක්තරා කණ්ඩායමක් ‘ශ්‍රීපාදස්ථානය රැක ගනිව් යන පාඨය මුල්කර ගනිමින් අන්තර් ජාලය හරහා ‘මහා සෝනා’ කණ්ඩායම වශයෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකරමින් ජාතීන් අතර අසමගියක් ඇති කර ශ්‍රී පාදස්ථානය අපකීර්තියට පත් කිරීමේ පරමාර්ථයෙන් රටේ නායකයන්ද ඈඳා ගනිමින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.


මෙම රැස්වීමේදී අදහස් දැක්වූ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් මහතා කියා සිටියේ මස්කෙළිය මරේ වතුයායට ඉහළින් පීක්ෆීල්ඞ් හිල් නැමැති අක්කර අසූතුනක ඉඩමක් හිමි දේශීය සමාගමක් සියලුම හිමිකම් සහිතව අනෙකුත් ආයතනවල අනුමැතිය ද ඇතිව එම ඉඩමේ සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා තම සභාවෙන් ඉල්ලා තිබූ ඉදිකිරීම් අනුමැතියකට තමන් අවසර ලබා දුන් බවයි. එම සංචාරක නිකේතනයට අමතරව එම ඉඩමේ කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට අවස්ථාව නොලැබෙන බවද අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මෙම රැස්වීමේදී පැවසීය.


 නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට අත්හිටුවා ඇත. පසුගියදා 31 වැනිදා එම වතුයායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන් බවයි. එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනෙවිරත්න මහතා ඉරිදා ලංකාදීපයට කියා සිටියේ. 


1මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අංගසම්පූර්ණ අලුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බවයි වතු අධිකාරිවරයා පැවසුවේ.


ඩුබායි ජාතිකයකුට අයත් තම වතුයාය  අයිතිවන සමාගමේ විවිධ ජාතීන් නියෝජනය කරන පිරිසක් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ද සිටින බවත් එම අයිතිකරු දිවයිනට පැමිණෙන අවස්ථාවල ඔහුට රැඳීසිටීමට දිවයිනේ ඔහුට අයත් වෙනත් නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර අසූදෙකකින් යුත් මෙම වතුයායේ සුන්දර පරිසරයක නිවාඩු නිකේතනය ඉදිකිරීමට ඔහු සැලසුම් කර ඇති බවයි වතු අධිකාරිවරයා පැවසුවේ. ඔහු දිවයිනට පැමිණෙන සෑම අවස්ථාවකම හෙලිකොප්ටරයක් මගින් පැමිණෙන නිසා එම වතුයායේ ගුවන් පථයක්ද මීට වසර ගණනාවකට ප්‍රථම ඉදිකර කළ බවත් සමාජ වෙබි අඩවිවල පළවන පරිදි එහි නිවාඩු නිකේතනයක් හැර වෙනත් කිසිවක් ඉදිනොකරන බවත් ශ්‍රීපාද රක්ෂිතයේ හේ ශ්‍රීපාදස්ථානයට ආසන්නයේ හෝ තම වතුයාය පිහිටා නොමැති බවද වතු අධිකාරිවරයා වැඩිදුරටත් ඉරිදා ලංකාදීපයට පැවසුවේය.


මෙම ඉඩම සම්බන්ධයෙන් නල්ලතන්නියේ වනජීවි කාර්යාලයේ නිලධාරිණියන්ද එම වතුයායට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එම වතුයායේ සිට වනජීවි කලාපයට හෝ වන රක්ෂණ කලාපයට අයත් නොවන බවත් එම වතුයායේ සිට ශ්‍රීපාදස්ථානය නොපෙනෙන බවත් වනජීවි නිලධාරීහු කියති.
2016-2017 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමා සහ පූජා භාණ්ඩ රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්සේත්, රත්නපුර, අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රීපාද මළුව දක්වා වඩම්මවන බවත් බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කීහ.


මෙවර ශ්‍රීපාද වන්දනා වාරයෙහිදී පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට මෙම රැස්වීමේදී එකඟතාවකට පැමිණ ඇත. එමෙන්ම නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ සංයුක්ත තැටි අලවිය සපුරා තහනම් කර ඇති අතර වන්දනාකරුවන් පැමිණෙන මාර්ගවල පිහිටි ජලාශවල දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ද මෙම රැස්වීමේදී එකඟ වුණි.


තවද රක්ෂිතය තුළ දර කැපීම තහනම් කළ අතර විශේෂ සෞඛ්‍ය පහසුකම් සහ පරිසර වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට ද මෙම රැස්වීමේදී එකඟවූණි.


මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එම්.එස්. ප්‍රේමවංශ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.

 

05-Page-20-M-09

වතුයායේ හෙලිකොප්ටර් අංගනය

 


ලෝපුරා බෞද්ධ ජනතාව මුදුන්මල්කඩක් සේ සලකන ශ්‍රීපාදස්ථානයේ උඩමළුව රත්නපුර දිස්ත්‍රික්කයටත් ශ්‍රීපාද නල්ලතන්නිය මාර්ගයේ ඉදිකටුපාන දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයටත් අයත් වන අතර ශ්‍රීපාදස්ථානය වසර මාස හයක කාලයක් වැඳපුදා ගැනීමට ලෝපුරා බෞද්ධ ජනතාව මෙන්ම ලෝපුරා අන්‍ය ආගමිකයන්ටද අවස්ථාව ලැබී ඇත. ලෝක උරුමයක් ලෙස සැලකෙන ශ්‍රී පාද පරිසරය ජෛව විවිධත්වය අතින් ඉහළ අගයක් ගන්නා අතර මෙම සුන්දර පරිසරය දැක බලා ගැනීමට ශ්‍රීපාද වන්දනා වාරයේ මෙන්ම ආවාරයේද විදේශිකයන් විශාල පිරිසක් පැමිණෙති.


උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් සෑම වසරකම වන්දනා අවසන් වන අතර එම කාලය තුළ ශ්‍රීපාදස්ථානය වැඳපුදා ගැනීමට හා සංචාරය කිරීමට ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් හැටන් මාර්ගය ඔස්සේත් රත්නපුර පළාබද්දල ඔස්සෙත් පැමිණෙති. ගෞතම බුදුරජාණන් වහන්සේ දිවයිනට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන්ගේ ආරාධනාවක් අනුව එම වැඩම කිරීම සිහිකිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ පා සටහන් තැබූ බවයි බෞද්ධ ඉතිහාසයේ කියවෙන්නේ. ශ්‍රීපාදස්ථානය නිශ්ශංකමල්ල රජතුමන් වැඳපුදා ගත් බවට වූ සෙල්ලිපියක් ගිනිගත්හේන අඹගමුවේද පිහිටා ඇත. අන්‍යආගමිකයන් ශ්‍රීපාදස්ථානය ඔවුන්ගේ ආගම්වල නායකයින්ගේ පා සටහන බවට විශ්වාස කරමින් ශ්‍රීපාදස්ථානය සංචාරය කරයි. ශ්‍රීපාද පද්මය දිවයිනේ විවිධ ස්ථානවලට දිස්වන අතර ශ්‍රීපාද කඳුවැටියේ වූ පරිසර පද්ධතිය තුළ මෙරටට පමණක් ආවේණික වූ ඖෂධීය පැළෑටි වර්ග ගණනාවක් ඇති බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. ශ්‍රීපාදස්ථානයේ නායකත්වය ඡන්දයකින් තේරී පත්වන මහානායක හිමිනමකට හිමිවන අතර එම හිමිනම අපවත්වන තෙක්ම එහි නායකත්වය එම හිමියනට පැවරෙනු ඇත.


රාජ්‍ය අනුග්‍රහය, පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත ශ්‍රීපාද වන්දනා වාරයක් ක්‍රියාත්මක වන අතර ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග දෙකටම විදුලි බලය විදුලි බලමණ්ඩලය මගින් නොමිලේ ලබාදෙනු ලබයි. ශ්‍රීපාද සංචාරය කරන විදේශීකයන් විශාල පිරිසක් ඉරසේවය නැරඹීමේ පරමාර්ථයෙන් ශ්‍රීපාදය කරුණා කරන අතර ශ්‍රීපාද කඳුවැටියට නොදුරින් සමනළ කන්ද හා සප්තකන්‍ය කන්ද පිහිටා තිබීම සුවිශේෂී සිද්ධියකි. 

 

05-Page-20-M-03

වතුයායේ කාර්යාල

 


හෝටලය හදන්න ගිය ඉඩම ඩුබායි හිමිකරුවකුගේ


නල්ලතන්නි පොලිස් වසමට අයත් පීක්ෆීල්ඞ් වතුයාය මස්කෙළිය වැවිලි සමාගමට අයත් මරේ වතුයායට ඉහළින් ශ්‍රීපාදස්ථාන මළුවට කිලෝ මීටර් හයක් පමණ පහළින් බෑවුමක පිහිටා ඇති අතර එය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් ගාඞ්මෝර් දියඇල්ල හා මරේ දිය ඇල්ලට ආසන්නයේ සුන්දර පරිසරයක පිහිටා ඇත. අක්කර අසූතුනක් පමණ වූ මෙම වතුයායේ වත්මන් හතර වැනි අයිතිකරු මුස්ලිම් ජාතිකයකු වන අතර ඔහු ඩුබායි රාජ්‍යයේ පදිංචිකරුවකු වේ. මීට වසර පහකට ප්‍රථම ඔහු මෙම ඉඩම මිලදී ගෙන ඇති අතර මීට ප්‍රථම එම ඉඩම අයිතිකරුවන් කිහිපදෙනකු අතරේ තිබී ඇති බවයි අඹගමුව ප්‍රාදේශීය සභාව පවසන්නේ. 


ශ්‍රීපාද රක්ෂිතය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වන අතර එම රක්ෂිත දෙකෙහි සිට ද එම පීක්ෆීල්ඞ් වතුයායට කිලෝ මීටර් පහක පමණ දුරක් තිබේ. නල්ලතන්නියේ සිට මරේ වතුයාය හරහා ගමන් කිරීමේදී එය කිලෝ මීටර් දහයකට ආසන්න බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.


එම ඉඩමේ දැනට තේ වගාව සිදුකරගෙන යන අතර එහි පවුල් සීයකට ආසන්න සංඛ්‍යාවක් ජීවන උපාය වශයෙන් තේ දලු නෙළීම සිදුකරගෙන යන අතර එහි නෙළන තේ දලු එම වතුයායට ආසන්නයේම පිහිටි මරේ වතුයායට අලෙවි කරනු ලබයි. එම වතුයාය පිළිබඳව මීට ප්‍රථම කිසි දිනක කිසිවකු කතා නොකළ අතර ශ්‍රීපාදස්ථානයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට සමාජ වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තියත් සමග එම වතුයායට රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීමත් සියලුම මාධ්‍යවල එම වතුයාය පිළිබඳව පළවීමත් සමගම එම වතුයායට විශාල ජනඅවධානයක් හිමිවී ඇත.

m