සුද්දා ගල විද්දත් නොහෙල්ලුණ කඩුගන්නාවට වින කටින ජල ටැංකි


(සැකසුම - විනීතා එම් ගමගේ)

ශී‍්‍ර ලංකාවේ මාර්ග පද්ධතියේ සුවිශේෂී මෙන්ම ඓතිහාසික මාර්ගයක් වන මහනුවර කොළඹ  (A-1) ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප‍්‍රදේශයට පස් කඳු කඩාවැටී නාය යෑමේ තර්ජනයට ලක්ව ඇත. මාර්ගයේ කොටසක් මගී ප‍්‍රවාහනය සඳහා හෙට (12 වැනිදා උදෑසන යළි විවෘත කරන්නට බලධාරින් තීරණය කර ඇතත් එම ප‍්‍රදේශය යළි විවෘත කිරීමට පෙර ගිරිදුර්ගයේ විශේෂ අධ්‍යයනයක් සිදුකළ යුතු බව භූ ගර්භ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය එක්ව ඉක්මණින් අධ්‍යයනයක් සිදුකළ යුතු බවත් අවශ්‍ය නම් ඒ සඳහා සහය දීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශය ද සූදානම් බවත් ය.   

මෙම අධ්‍යයනය කෙටි කාලයකින් සිදුකළ හැකි යැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

”පස්කඳු කඩාවැටී ඇති ස්ථානයට මම ගියා”
”එතන පාරට ඉහළින් පස් කඩාවැටිලා තිබුණා. පාරට පහළින් මඩ සහිත දියපහරක් ගලාගෙන යනවා. ඒ වගේම පාරට පහළින් ප‍්‍රදේශයේ ගස් ඇලවී තියෙනවා නිරික්ෂණය කළා.” යැයි ද මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.
    
කඩුගන්නාව දුර්ගයේ මහාමාර්ගයට ඉහළින් නොයෙක් ප‍්‍රමාණවල ජල ටැංකි බැඳ තිබේ. මාර්ගයේ ගමන් ගන්නා වාහන සේදීම සඳහා එම ජල ටැංකිවලින් ජලනල ඔස්සේ ගන්නා ජලය උපයෝගී කරගනී. එය සුළු මුදලකට සිදුවන්නක් බැවින් ඒ සඳහා ඉහළ ඉල්ලූමක් ඇත. යන එන ගමන් වාහනය සෝදාගන්නට කවුද අකමැති?
වාහන සේදීම සඳහා උපරිම ජල පීඩනයක් ලබාගැනීමේ අරමුණ ඇතිව, කඳු මුදුනට ආසන්න වන්නට බැඳ ඇති ජල ටැංකි නිසා කන්දේ පස තෙත බරිතව පවතින බවත් අධික වර්ෂාව නිසා මෙම පස්තට්ටු පහළට ලිස්සා ඒම සිදුවිය හැකි බවත් මහාචාර්ය සේ්නාරත්න මහතාගේ මතයයි.  

”විශේෂයෙන්ම කඩුගන්නාවේ කඳුමත ඇති පස් ස්ථරය ඉතා තුනියි. වැඩිපුර ඇත්තේ ගල්. ඒ පස් නිරන්තර පෙඟීමෙන් අස්ථාරව පැවැතීමත් තුනී පස් තට්ටුවක් එහි තිබීමත් හේතුවෙන් නායයාම් සිදුවිය හැකියි.  ඇත්තටම මේ වාහන සෝදන අයට ඒ සඳහා ජලය එක්රැස් කළ යුතු නම් ඒ සඳහා ප්ලාස්ටික් ටැංකිවල ජලය රැස්කිරීමට මිස පොළවේ ටැංකි බැඳීමට ඉඩ නොදිය යුතුයි. එම ජල ටැංකි ගැන අධ්‍යයනයක් කළ යුතුයි. තාක්ෂණය ඒවාට උපයෝගි කරගත යුතුයි”.
 
”ඒ විතරක් නොවෙයි, ඉහළ පිහිටි දුම්රිය මාර්ගයෙන් මෙන්ම පහළ පිහිටි ප‍්‍රධාන මාර්ගයෙන් ද කඩුගන්නාව කන්දේ ස්ථායිතාවට හානි සිදුවෙනවා”

”මේ මාර්ගය හදන කාලෙ ගියේ අද ධාවනය වන අන්දමේ බර වාහන නොවෙයි. එදා ගියේ අශ්ව කරත්ත, ගැල් වගේ ඒවා පමණයි. ඒත් ක‍්‍රමානුකූලව ගමන් ගන්නා වාහන වැඩිවුණා. වාහන වල බර වැඩිවුණා”

”එදා ගිය දුම්රියවලට වඩා අද දුම්රිය වේගවත්.  බර වැඩියි. එයින් පොළවට ඇති කරන තෙරපුම වැඩියි”

”ඇත්ත වශයෙන්ම මේ ගැන මේ වනතුරුත් කිසිම අධ්‍යයනයක් සිදුව නැහැ. ටැංකියක් ගහන්න ඇරෙන්න කිසිකෙනෙක් කන්දේ ඉහළට නගින්නේ නැහැ. මේ කඳු වැටියේ අධ්‍යයනයක් සිදුවිය යුතුයි” යයි ද මහාචාර්යවරයා කියයි.

සැබැවින්ම අද වාහන අධික සවස්යාමයේ, හිඟුල සිට කඩුගන්නාව දුර්ගය පසුකරන තෙක් යන්නට, පැය භාගයකටත් වඩා ගතවෙයි. ඒ අධික වාහන තදබදය නිසාය.

එවන් මොහොතක ඉහළින් පස් තට්ටුවක් තල්ලු වී පැමිණියහොත් සිදුවන ඛේදවාචකය කෙබඳු වනු ඇත්ද?

ඒ-1 මාර්ගය හෙවත් කොළඹ - නුවර මහා මාර්ගය ශී‍්‍ර ලංකාවේ පළමු මහා මාර්ගය (Great Road)  සේ සැළකේ. අද ඒ ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 4000 ක් ඉක්මවා පැවැතියත් දශකයක පමණ අධික කාලයක් තිස්සේ හැදුණු ශී‍්‍ර ලංකාවේ පළමුවන මහා මාර්ගය වන කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීම් ඇරඹුණේ සර් එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවර සමයේ දීය.

1820 දී ඉදිකිරීම් ඇරඹූ එම මාර්ගයේ ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද්දේ එවකට බි‍්‍රතාන්‍යයේ පුරෝගාමී මාර්ග ඉංජිනේරුවකු සේ සැළැකෙන කැප්ටන් විලියම් ෆැන්සිස් ඩෝසන් මහතා විසිනි.

ගිරි දුර්ගයක් මැදින් ඉදිකරගෙන ගිය මහා මාර්ගය කඩුගන්නාවේ දී ගලක් සිදුරු කරමින් ඉදිරියට ගෙනයන ලදී. එසේ නොකර දැනට පවතින අන්දමින් ඉදිකරන්නට ඩෝසන් ඉංජිනේරුවරයා කටයුතු නොකලේ එයින් එහි යම් හානියක් එම ප‍්‍රදේශයට වේය යන බියෙන් බව පැවැසේ.

මාර්ගයේ ඉදිකිරීම් කරගෙන යන අතරතුර ඔහු සර්ප දශ්ඨයකින් මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ 1929 මාර්තු 8 වැනිදාය. කඩුගන්නාව දුර්ගය පසුකල විට තනා ඇති ඩෝසන් කුළුණ ඔහු වෙනුවෙන් ඉදිකරන ලද්දේ ඔහුගේ අද්විතීය සේවාව සිහිකරනු සඳහාය.

කෙසේ වෙතත් මේ පළමු මහා මාර්ගය කිහිප වතාවක් ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේය. එහි දී කර ඇත්තේ මාර්ගය පුළුල් කිරීම හා වඩාත් පහසු ගමනක් සඳහා සකස් කිරීමය. කඩුගන්නාව ගල විද ඇති ස්ථානයට ඉහළින් වෙනත් මාර්ගයක් ඉදිකරන්නට පසුකාලිනව පැවැති ආණ්ඩු කටයුතු කළේ බරවාහන ධාවනයට එම ස්ථානයෙන් ගමනාගමනය බාධා සහිතවූ බැවිනි.

කෙසේ වෙතත් ඒ ගල විදමින් මාර්ගය තැනූ තැන තවමත් කිසිදු හානියකින් තොරව පවතින අතර එම ස්ථානය ස්ථායි බව භූ විද්‍යාඥ මතයයි.  

භූ විද්‍යාඥයන්ගේ අදහස් අනුව නම් මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කළ කිසිදු අවස්ථාවක එහි දෙපස ඇති කන්ද හා බෑවුම ගැන නිසි අධ්‍යයනයක් සිදු කර නැත.  එදා බි‍්‍රතාන්‍ය පාලන සමයේ ප‍්‍රභූවරුන්ටත් රාජ්‍ය නිලධාරින්ටත් අසුන් පිට හෝ අශ්ව කරත්තවල ගමන සඳහාත්, භාණ්ඩ ප‍්‍රවාහනයේ දී යොදාගත් කරත්ත ගැල් සඳහාත් පමණක් වූ මේ මාර්ගය අද නානාවිධ වාහන සඳහා යොදාගැනේ. එහි ඇත්තේ ද අසීමිත භාවිතාවකි.  

එහෙත් කඩුගන්නාව ඔස්සේ දිනක දී ධාවනය වන වාහන ගණන මෙතෙක් ගණන් බලා නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමක දී හෙළි විය.

කොළඹ - නුවර මාර්ගය (ඒ-1) ඓතිහාසික මාර්ගයකි. එය රැකගත යුතුය. එමෙන්ම විශාල පිරිසකට ගමනාගමන පහසුකම් මෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනය ද ඉහළ දායකත්වයක් දෙන මාර්ගයක් වන ඒ-1 මාර්ගය දියුණු හා ශක්තිමත් කළ යුතුය.

දර්ශනීය පරිසරයකින් හෙබි කඩුගන්නාව  කඳු පියසේ සියලූ අන්දමේ ඉදිකිරීම් නැවැත්වීමටත් එහි පවතින මහා මාර්ගය හා දුම්රිය මාර්ගය පිළිබඳවත් කන්දේ ස්ථායි භාවය පිළිබඳවත් වහා පුළුල් අධ්‍යයනයක් ආරම්භ කළ යුතුව පවතී. ඒ අතර ඉක්මන් අධ්‍යයනයකින් පසු මාර්ගයේ වාහන ධාවනයට සුදුසු පරිසරයක් සකසා යලි වාහන ධාවනයට අවසර දිය යුතුව තිබේ.