සුදු අලින්ගෙන් රට බේරාගනිමු


මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැදූ දා පටන් බොහෝ ප්‍රවෘත්ති මවා තිබේ. ඒ බොහොමයක් ප්‍රවෘත්ති හොඳට වඩා නරකට බර වූ ඒවා විය. එම  ගුවන් තොටුපොළ විවෘත කර මේ වනවිට වසර 10කි.  වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළ ආකාරයට මත්තල ගුවන් තොටුපොළ මේ වසරේ මුල් මාස 08 තුළදී රුපියල් කෝටි 16ක ආදායමක් ලබද්දී එම කාල සීමාවේ ගුවන් තොටුපොළ පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 102ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එය නිසැකවම ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් නරක ප්‍රවෘත්තියකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වසරේ මාර්තු මාසයේදී විවෘත කරන ලද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැයකර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 243.7කි.

එතරම් මුදලක් වැයකර තැනුවද වසර 10ක් ගෙවෙද්දී එම ගුවන් තොටුපොළ වාර්ෂිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබමින් සිටීම කොතැනක හෝ බරපතළ වැරැද්දක් සිදුවී ඇති බව පෙනේ.

රජයට වැය බරක් නොවන ආකාරයට ගුවන් තොටුපොළ පවත්වාගෙන යාමට සැලැස්මක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණත් එය විශ්වාස කිරීමට අපහසු බව කිව යුතුය. වාර්ෂිකව කෝටි සියයක් පමණ පාඩු ලබමින් සිටින ආයතනයක් සඳහා එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් නොවේ.

එවැනි සැලසුම් තිබුණේ නම් ගුවන් තොටුපොළට මෙවැනි ඉරණමක් අත්වීමට ඉඩක්ද නැත. අනෙක් අතට අමාත්‍යවරුන් ප්‍රකාශ කරන මේ ආකාරයේ ආයතන නංවන සැලසුම් බොහෝවිට කඩදාසි කොළ කිහිපයකට පමණක් සීමාවන බවද අපට අතීත ආදර්ශ මගින් පෙන්වා දී තිබේ.

ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය වූ මුදලින් ඩොලර් මිලියන 189ක් චීනයේ එක්සිම් බැංකුවෙන් සියයට දෙකේ පොලියට ලබාගත් ණයකි. එම මුදල වසර 15කින් එනම් ඊළඟ වසර 05 තුළදී ගෙවා නිමකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. වාර්ෂිකව ලබන පාඩුව රුපියල් කෝටි 100ක් වන ආයතනයක් එවැනි ණයක් ගෙවා දමන්නේ කෙලෙසකදැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නම් අපි වඩාත් සතුටු වෙමු. එහෙත් අවසානයේ මේ ණයද රටේ ආර්ථිකය මත කඩා වැටී තිබෙන මරාල අතරට එක්වන තවත් එක් අතිරේක මරාලයක් පමණක් බව අපගේ විශ්වාසයයි. මත්තල ගුවන් තොටුපොළ සුදු අලියකු වන්නේ ඒ අයුරිනි.

මත්තල ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් නඩත්තු කරනු ලබන එකම ‘‘සුදු අලියා’’ නොවේ. මෙවැනි සුදු අලි ගණනාවක් මේ රටේ ආර්ථිකයේ සාරය උරා බී එය හපයක් බවට පත් කර දමා තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයද ඇතුළු 400කට අධික රාජ්‍ය ව්‍යවසාය අතුරින් 50කට අධික සංඛ්‍යාවක් විශාල වශයෙන් පාඩු ලබන ආයතන වෙයි.

මේ සුදු අලින් නඩත්තුව සිදුවන්නේ රටේ මහජනතාවගේ බදු මුදලින් වීම ලොකුම ඛේදවාචකයයි. මේ සුදු අලින්ගෙන් වැඩි කොටසක් රටේ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොව එක් එක් දේශපාලනඥයන්ගේ මනදොළ සපුරා ගැනීම සඳහා ඇති කෙරුණු ඒවා බවද කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු වෙයි. මත්තල ගුවන්තොට එයට කදිම උදාහරණයකි.

මේ රටට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක්ම තිබියදී මත්තලට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලැබුණේ දේශපාලන අවශ්‍යතාවක් මත බව ප්‍රසිද්ධ රහසකි. විශාල මුදලක් වැයකර ඉදිකළත් වසර 03ක් ගත වනවිට එනම් 2016 වසර වනවිට එම ගුවන් තොටුපොළ ශූන්‍ය භූමියක් බවට පත්විය.

ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව මගින් එය හඳුන්වා දී තිබුණේ ‘ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ වශයෙනි. විශාල ඉඩ ප්‍රමාණයක ඉදිකර තිබුණද එය භාවිතයට ගන්නා ගුවන් යානා සංඛ්‍යාව ඉතා අල්ප බවද සංඛ්‍යා ලේඛන සමඟ ඔවුන් පෙන්වා දී තිබිණි.

එහෙත් බලධාරීන් එය පිළිගැනීමට සතුටු වූ බවක් නොපෙනිණි. ඒ හේතුවෙන් මේ සුදු අලියා තවමත් රටේ ජනතාව විසින් නඩත්තු කරමින් සිටී. අමාත්‍යවරයා කියන ආකාරයට මත්තලට නව සැලැස්මක් තිබේ නම් එය අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතු යැයි අපි කියමු.

(***)