සුදුස්සන් තේරීමට න්‍යායක්


මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා මේ මස (දෙසැම්බර්) අගදි නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා නිල නිවේදනයක් නිකුත් කොට තිබියදීත් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එම මැතිවරණ පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කොට තිබේ.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමඟි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා මෑතක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ‘‘නිදහස ජනතා  සභාව’’ යන නමින් වෙනම කටයුතු කරන කණ්ඩායමේ සාමාජිකයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන් එක් පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේතුවේ ස්වාධිනව කටයුතු කරන තවත් කණ්ඩායමක සාමාජිකයකු වන අනුර ප්‍රියදර්ශන යාපා යන සිව් දෙනා අනෙක් පෙත්සම ඉදිරිපත් කළ අය වෙති.

නාමයෝජනා කැඳවීම මේ මස අගදී කෙරෙන බවට මැතිවරණ කොමිසම නිවේදනය කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම මැතිවරණය පැවැත්වෙනු ඇතැයි සහතිකයක් තිබේ නම් මෙම පෙත්සම්වලට කොහෙත්ම පදනමක් නැත. ඇත්ත වශයෙන්ම එම නිවේදනය නීතියෙන් නියම කරන ලද නිවේදනයකි. එය ඒ වනවිට මැතිවරණ කල් දමන්නට මැතිවරණ කොමිසමටද ආණ්ඩුවට සහාය දෙන බවට විරුද්ධ පක්ෂවලින් එල්ල වූ චෝදනාවට පිළිතුරු වශයෙන් නිකුත් කරන  ලද්දකි.

මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවූවාට පසුව වුවද විවිධ හේතු මත මැතිවරණ කල් යා හැකිය. 2013 පළාත් පාලන මැතිවරණ සඳහා  නාමයෝජනා කැඳවුවද මුලතිව් දිස්ත්‍රික්කයේ මැරිටයිම්පත්තු හා පුදුකුඩිඉරුප්පු යන ප්‍රාදේශීය සභා සඳහා මැතිවරණ පැවැත්විය නොහැකි විය. එම නාම යෝජනා අවලංගු කරන ලද්දේ 2017 දී පළාත් පාලන මැතිවරණ පනත   සංශෝධනය කිරීමෙනි. මැතිවරණ කොමිසමේ නිවේදනයෙන් පසුවද විරුද්ධ  පක්ෂ මැතිවරණය ඉල්ලා  අධිකරණයට යාම අප වටහා ගත යුතුව ඇත්තේ මේ පසුබිම තුළය.

මීට  පෙර මෙම තීරුවෙන් අප දැක්වූ පිරිදි ආණ්ඩුව මෙම මැතිවරණ කල් දමනු ඇතැයි විරුද්ධ පක්ෂ සිතන්නේ මෑතකදී ආණ්ඩුව හා ආණ්ඩුවේ නායකයන් කළ ඇතැම් කටයුතු හා ප්‍රකාශ පදනම් කර ගනිමිනි.

මෙම සැකය පදනම් කරගෙන විරුද්ධ  පක්ෂ ආණ්ඩුවට චෝදනා කරන්නට පටන් ගත්තේ පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ජනාධිපතිවරයා  කළ ප්‍රකාශයක් සමඟය. වෘත්තිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000  දක්වා අඩු කරන බව  ඔහු ප්‍රකාශ කොට  තිබිණි. සභික සංඛ්‍යාව අඩු කරන්නට නම් පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්ඨාස අඩු කරන්නට සීමා නිර්ණය කළ යුතුයැයිද ඒ සඳහා වසරක්වත් ගතවනු ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය දේශපාලනඥයන් කරන හිස් ප්‍රකාශයක්  නොවීය. එම ප්‍රකාශය අනුව යමින් පළාත් පාලන ඇමැති වශයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නොවැම්බර් මුලදී පස් දෙනකුගෙන් යුත් සීමා නිර්ණය කමිටුවක් පත් කළේය.

එම කමිටුව සිය වාර්තාව ලබන පෙබරවාරි මස 28  වැනිදාට පෙර ඇමැතිවරයාට ඉදිරිපත් කළ යුතුය. එය කල් යාමටද ඉඩ තිබේ.එහෙත් මැතිවරණය මාර්තු 19 ට පෙර පැවැත්විය යුතුය. වැඩිපුර කාලය නොගෙන සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව පෙබරවාරි 28 වැනිදා ඇමැතිවරයාට භාර දුනහොත් එය පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගෙන ඒ ඒ පළාත් ආයතනවල අලුත් ආසන ගණන දේශපාලන පක්ෂවලට දැනුම් දී ඒ අනුව එම පක්ෂ අපේක්ෂකයන් නම් කොට ප්‍රචාරක කටයුතු කර මැතිවරණය පැවැත්වීමට ලැබෙන්නේ  දින 19ක් පමණි.

එහෙත් සීමා නිර්ණය කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍යයකට පවසා තිබුණේ සභික සංඛ්‍යාව අඩු කිරීමේ මෙම ක්‍රියාවලිය නොතකා මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්විය හැකි බවයි. එය වෙනස් වන්නේ ආණ්ඩුව ඒ අතරතුර මැතිවරණ පනත සංශෝධනය කළහොත් පමණකැයි ඔහු පවසා තිබිණි.

මෙයම මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නිමල් පුංචිහේවා මහතාද මේ මස මුලදී ඩේලිමිරර් පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි. නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නට පෙර නීතිමය හෝ ව්‍යවස්ථාමය බාධාවක් ඇති වුයේ නැත්නම් මැතිවරණය නියමිත පරිදි මාර්තු 19  වැනිදාට පෙර පවත්වන බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

එවැනි නීතිමය වෙනසක් කරන්නට අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යැයි පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. එම පුවත්පත් වාර්තාව අනුව ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන සභික සංඛ්‍යාව අඩුකිරීම ඇතුළු වෙනස් කම් ගණනාවක් පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට ආණ්ඩුව අදහස් කරයි. මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමගද සාකච්ඡා කොට ඇත. කෙසේ වෙතත් මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට හැකිවන අයුරින් තේරීම් කාරක සභාව සති දෙකක් තුළ වාර්තාව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පුවත්පතට පවසා තිබිණි.

එම ප්‍රකාශය අනුව නම් අදාළ පනත වෙනස් කළද මැතිවරණය කල් යාමත් සිදු නොවේ. කෙසේ වෙතත් එම තත්ත්වය විපක්ෂය විශ්වාස නොකරන බව පෙනේ. එම පක්ෂ මැතිවරණය නිසි කලට පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

එසේ වුවද ආණ්ඩුවේ නායකයන් පවසන අන්දමට මැතිවරණය කල් නොදැම්මේ නම් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර අගය කළ යුතුය. එහෙයින් මෙහිදී විරුද්ධ පක්ෂ කළ යුත්තේ ආණ්ඩුව කෙරෙහි වූ සැකය මත්තේ දැඩිව සිට මෙම නීති සංශෝධන වළක්වා සභිකයන් 8000ක් තෝරා ගන්නා අයුරින් මැතිවරණය පවත්වන්නට සැලසීම නොව එම සංශෝධන මගින් සභික සංඛ්‍යාව අඩුකර ගෙන මැතිවරණය ද නියමිත කලට පවත්වා ගැනීමට හැකියාවක් තිබේදැයි සොයා  බැලීමය.

දැන් එම පක්ෂ මෙම කාරණය සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ඇති හෙයින් මැතිවරණය කල් නොදමා සභික සංඛ්‍යාව අඩුකළ හැකි යැයි ආණ්ඩුව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන්ට අධිකරණය ඉදිරියේ ආණ්ඩුවෙන් සහතිකයක් ගත හැකිය.

වත්මන් ආර්ථික අර්බුදය නිසා ජනතාව පීඩා විඳින තත්ත්වය යටතේ ආණ්ඩුව මැතිවරණවලට මුහුණ දීමට අකමැති වීම තේරුම් ගත හැකිය. එසේම ජනතාව පීඩා විඳින තත්ත්වය යටතේ මැතිවරණයක් ලබා ගැනීම විරුද්ධ පක්ෂයේ වුවමනාවයි. මෙතැන දී ජනතාවට වැදගත් වන්නේ මැතිවරණයෙන් ජය ගන්නේ කුමන පක්ෂය ද යන්න නොව මේ තරම් දරුණු ආර්ථික අර්බුදයකින් පසුව හෝ දැන උගත් දක්ෂ හා ප්‍රතිපත්ති ගරුක පිරිසක් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ සිතට ගෙන තිබේද යන්නයි.

නිදහසින් පසු සෑම මැතිවරණයකදීම පාහේ සෑම පක්ෂයක්ම පාහේ ජනතාවගේ ඡන්දය කෙසේ හෝ ලබා ගැනීමට කටයුතු කළේය. ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් ප්‍රකට පුද්ගලයන් ධනවත් පුද්ගලයන් ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කළේය.

ඔවුන් අපේක්ෂා කළ පරිදිම ජනතාව ද ඔවුන්ගේ උපක්‍රමවලට හසු වූහ. එම උපක්‍රමය කෙතරම් සාර්ථක ද යත් 2010 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ ජනප්‍රිය නිළියක වන ‘පබා’ යනුවෙන් ප්‍රකට උපේක්ෂා ස්වර්ණමාලි එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට වඩා මනාප ඡන්ද ලබා ගත්තාය.

උතුරේත් දකුණේත් නැගෙනහිරත් ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයන්ට වඩා වාර්ගික හැඟීම්වලට ආමන්ත්‍රණය කරන අපේක්ෂකයෝ විශාල වශයෙන් ඡන්ද ලබා ගනිති. අධ්‍යාපනික සුදුසුකම් කෙනකුගේ අවංක බවට හෝ ප්‍රතිපත්ති ගරුක බවට හෝ සහතිකයක් නොවේ. දූෂණය හා තාන්න මාන්න සඳහා අවස්ථා ඇති විට මෙම තත්ත්වය වඩාත් සත්‍ය වේ. නීති විශාරදයන් පවා එකිනෙකට පටහැනි අරමුණු රැගත් 17 වැනි 18 වැනි, 19 වැනි, 20 වැනි හා 21 වැනි ව්‍යවස්ථා සංශෝධන සියල්ලටම පාර්ලිමේන්තුවේදී ඡන්දය දී ඇත්තේ ඒ නිසාය.

මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනයක් ඇති නොවේ යැයි මහ බැංකු අධිපතිවරුන් පවසද්දීත් විධායකය ආර්ථිකය විනාශ කරන තීරණ ගනිද්දීත් ආර්ථික විද්‍යා ආචාර්ය මහාචාර්යවරුන් කටත් හැර වචනයක් පිට නොකළේත් ඒ නිසාය. කොවිඩ් පැවැති කාලයේ ආණ්ඩුව රට අපකීර්තියට පත් කරන තීන්දු ගනිද්දී පාර්ලිමේන්තුවේ සිටි වෛද්‍ය විශේෂඥයන් ඊට තීරණාත්මක ලෙස මැතිහත් නොවූයේ ඒ නිසාය.

ප්‍රතිපත්ති ගරුක මැතිවරණ ව්‍යාපාරයක් සඳහා මාර්තු 12 ව්‍යාපාරය 2015 දී සකස් කළ ප්‍රඥප්තියට සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ අස්සන් කළහ. එතෙක් ඇතැම් පක්ෂ එම වසරේ පැවැති මහ මැතිවරණයේ දී මිනීමැරුම් චෝදනා ලැබූ අය ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළහ. එම පක්ෂවල පක්ෂ නායකයන්ගේ තර්කය වූයේ එම චෝදනා අධිකරණයක දී ඔප්පු නොවීය යන්නයි. රටම හෙල්ලු දූෂණ සාධාරණය කළ පුද්ගලයෝ ද එම මැතිවරණයේ දී අපේක්ෂකත්වය ලැබූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මහා පරිමාණ දූෂණ ක්‍රියා හා මහජන මුදල් ගසාකෑම සම්බන්ධයෙන් පමණක් නොව රට පාවාදීම සම්බන්ධයෙන්ද පසුගිය මැයි මාසය දක්වා එකිනෙකාට චෝදනා කරමින් සිට දැන් සන්ධානයක් ගොඩ නගන්නට යාම ප්‍රතිපත්ති විරහිත ක්‍රියාවකැයි ද ජනතාවගේ බුද්ධියට කරන නිගාවකැයිද විරුද්ධ පක්ෂවල නායකයෝ කියති. එය සැබෑවකි. එසේම වත්මන් පාර්ලිමේන්තුවෙන් සැබෑ ජනමතය නියෝජනය නොවන බවද පවසති. එයද සැබෑවකි.

එසේ නම් එම විරුද්ධ පක්ෂ සතුව මෙවැනි තත්ත්වයන් නිවැරැදි කළ හැකි කණ්ඩායමක් සිටිය යුතුය. ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්ට නාම යෝජනා දී තමන් සතුව එවැනි පුද්ගලයන් සිටින බව ඔවුනට මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඔප්පු කළ හැකි විය යුතුය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)