සුළඟේ යන මැතිවරණ පොරොන්දු


හරියටම තව සතියකින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ ඉන් කිහිප දෙනකු පමණි. අපේක්ෂකයන්ගෙන් වැඩි දෙනකු එකදු රැස්වීමක් හෝ පවත්වා නැති බව කියවේ.

එම අපේක්ෂකයන්ගේ අරමුණු විවිධාකාර විය හැකිය. ඒවා කුමක් වුවද එසේම ඔවුන් නාම යෝජනා දීම නීත්‍යානුකූල වුවද ඔවුන් කරන්නේ  සදාචාර විරෝධී ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අතර ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ජනමාධ්‍ය විසින් සලකනු ලබන අපේක්ෂකයන් සිව් දෙනකුගේ මැතිවරණ ප්‍රකාශන බොහෝ දෙනකුගේ සාකච්ඡාවට ලක්වී තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන සිවුදෙනාගේ මැතිවරණ ප්‍රකාශනයයි.

ඇත්ත වශයෙන්ම මේවා මැතිවරණ ප්‍රකාශන යැයි හැඳින් වුවද ඒවා මැතිවරණ පොරොන්දු වට්ටෝරුය. ඒවායේ එම පොරොන්දු ඉටු කරන ආකාරය විශේෂයෙන්ම එම පොරොන්දු ඉටු කරන්නට මුදල් සොයා ගන්නා ආකාරය සඳහන්ව නැත. එය මැතිවරණ ප්‍රකාශනයක් වැනි කෙටි ලියවිල්ලකින් පැහැදිලි කිරීම ද කළ නොහැකිය. එවැනි විස්තර ඇතුළත් ලියවිල්ලක් අනිවාර්යයෙන්ම පිටු දහස් ගණනක් හෝ අඩු තරමින් සිය ගණනක් හෝ වනු ඇත. එවැන්නක් සමාන්‍ය ඡන්දදායකයා කියවනු ඇතැයි සිතිය නොහැකිය. කී දෙනකු දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති මැතිවරණ ප්‍රකාශන කියවා ඇති ද කියවනු ඇති ද යන්න ද ප්‍රශ්නයකි. කිය වූ බොහෝ දෙනකුගේ විග්‍රහයන් ද පක්ෂග්‍රාහීය, ද්වේශ සහගතය සර්ව නිගමනයන්ගෙන්  යුක්තය.

ජනතාව මැතිවරණ ප්‍රකාශන කියවුවද ඒවා තේරුම් ගත්තද, ඒවා පිළිගත්ත ද ඔවුන් තුළ මතුවන ප්‍රශ්නය නම් මේවා අදාළ පක්ෂ බලයට පත් වූ පසු ක්‍රියාත්මක වේද යන්නයි. ඊට හේතුව වන්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට විවිධ දේශපාලන පක්ෂ ජනතාවට විවිධ පොරොන්දු දී බලයට පත්වී එම පොරොන්දු ඉටු නොකිරීමයි, අමතක කිරීමයි. මෙය එක් පක්ෂයකට පමණක් අදාළ වන ප්‍රශ්නයක් නොවේ. එය මෙතෙක් බලයට පත් වූ සියලු පක්ෂවලට අදාළ ප්‍රශ්නයකි.

එහෙත් බලයට පත් වූ පක්ෂවල ජාතික මට්ටමේ නායකයන් හා ප්‍රාදේශීය නායකයන්ට නම් අයහපතක් වූයේ නැත. බලයට පත් වූ සෑම පක්ෂයකම පාහේ නායකයෝ එසේ බලයට පත්වී ඉතා සුළු කලෙකින්ම ධනකුවේරයන් බවට පත් වූහ.

එම නායකයන් කිසිවක්ම කළේ නැතිදැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරති. සැබෑවකි. ඔවුන් කිසිවක්ම කළේ නැතැයි කිව නොහැකිය. ඇතැම් නායකයෝ දැවැන්ත ජලාශ ඉදිකළහ. තවත් ඇතැම්හු ගුවන් තොටුපොළවල් ඉදි කළහ. තවත් සමහර නායකයෝ කර්මාන්ත  ආරම්භ කළහ.

එහෙත්  තවමත්  මේ රටේ නිවාස නැති කී දහසක් සිටිත් ද? අපොස සාමාන්‍ය පෙළට යන්නට පෙර ළමයින් කී ලක්ෂයක් පාසල් හැර යන්නේද? එදිනෙදා ආහාර වේලක් සපයා ගන්නට නොහැකි කී ලක්ෂයක් දෙනා මේ රටේ සිටිත් ද? රැකියා විරහිත තරුණයෝ ක්‍ී ලක්ෂයක් සිටිත් ද? එසේම රටක් වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් තත්වයට ද පත්වී තිබේ. එහෙයින් අතීතයේ නායකයන් කුමක් හෝ ප්‍රයෝජනවත් දෙයක් කිරීම හෝ නිදහසට පෙර තිබුණාට වඩා ජනතාවගේ ජීවන රටාව වෙනස් වී තිබීම හෝ දියුණුවක් ලෙස සැලකිය නොහැකිය.

තමන් බලයට පත්වූ පසු හඳෙන් හෝ හාල් ගෙනැවිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කපා දැමූ හාල් සේරු දෙක දෙන බවට 1970 මහ මැතිවරණයේ දී සිරිමා බණ්ඩාරනායක මහත්මිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණේ නායකයන් දුන් පොරොන්දුව මැතිවරණ පොරොන්දු ඉතිහාසයේ ප්‍රධාන තැනක් අත්කර ගෙන ඇත.

1960 ගණන්වල දී සමුපකාර සමිති සමගින් සෑම පවුලකම සෑම පුද්ගලයකුටම සතියකට සහන මිලට සහල් සේරු දෙකක් සලාක ක්‍රමයට ලබා දෙනු ලැබීය. 1965 දී බලයට පත් ඇමැති ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව මෙම සහනය අහෝසි කොට එක් පුද්ගලයකුට සතියකට සහල් සේරුවක් පමණක් බෙදා දුන්නේය. එයදෙනු ලැබුවේ නොමිලේය. අනෙක් සහල් සේරුව අවශ්‍ය අයට වෙළෙඳපොළ මිලට  ගන්නට සිදුවිය. අදට වඩා සුබ සාධනය සමාජයේ පහළ ස්ථරවලට අත්‍යවශ්‍ය වූ ඒ කාලයේ මෙය රටේ වැඩි දෙනකුට විශාල පීඩාවක් විය.

සමගි පෙරමුණ හඳෙන් හෝ ගෙනැවිත් දෙන බව ක‌‌ීවේ මෙසේ නැති කළ සහල් සේරු දෙකයි. එහෙත් එම සන්ධානය බලයට පත්වී එම සහල් සේරු දෙක ලබා නොදුන්නා පමණක් නොව රටේ විශාල ආහාර අහේනියක් ඇති විය.  සාමාන්‍ය ජනතාව යන හෝටල්වල සතියට දින දෙකක් බත් විකිණීම තහනම් කෙරිණි. සහල් සේරු දෙකකට වඩා එක් දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට ගෙන යෑම තහනම් විය. ගම්වල ජනතාව කෙසෙල් අල පවා ආහාරයට ගත්හ.

එක්සත් ජාතික පක්ෂය 1977 මහ මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගත්තේ මේ තත්වයයි. එහි නායකයෝ තමන් බලයට  පත්වී සෑම පුද්ගලයකුටම මාසයකට ධාන්‍ය රත්තල් අටක් සහන මිලට ලබාදෙන බව පොරොන්දු වූහ.

1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ සමුළුවක දී වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ සුප්‍රකට වට්ටුක් කෝට්ටයි යෝජනාව සම්මත කළේය. ඒ අනුව වට මේස සාකච්ඡාවක් පවත්වා ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වී 1977 දී එජාප බලයට පත් වුව ද එම මැතිවරණය අවසානයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව එජාප දියත් කළ ප්‍රචණ්ඩක්‍රියා ඉතා සුළු කලෙකින්ම දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයක් බවට පත්විය.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යැයි කියමින් පිහිටුවනු ලැබූ දිස්ත්‍රික් සංවර්ධන සභා සඳහා එම වසරේම මැතිවරණ පැවැත්විණි. එහිදී එජාප විසින් දකුණේන් ගෙන යනු ලැබු මැරවරයෝ යාපනයේ මැතිවරණය කඩාකප්පල් කළහ. ඒ දිනවල යාපනයේදී අතුරුදන් වූ ඡන්ද පෙට්ටි හයක් කිසිදා සොයා ගනු ලැබුවේ නැත. දකුණු ආසියාවේ වටිනාම පුස්තකාලයක් ලෙස සැලකුණු යාපනය පුස්තකාලය ගිනි තබනු ලැබීය.

1983 කළු ජූලිය ද එජාප ආණ්ඩුවට වළක්වා ගත හැකිව තිබූ එකකි. ආණ්ඩුවේ දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයට අනුලෝමීව දෙමළ සන්නද්ධ සංවිධානවල ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගියේය. 1983 ජුලි 23 වැනිදා යාපනයේ දී හමුදා සොල්දාදුවෝ 13 දෙනකු ඝාතනය කරනු ලැබූහ. එය එදා විශාල  සංඛ්‍යාවක් විය. එහෙයින් පසු කාලයේ දී යුද්ධය හුරුවී අලිමංකඩ හා  මුලතිව් කඳවුරුවල සොල්දාදුවන් දහස් ගණන් එකවර විනාශ වෙද්දී නිහඬව සිටියද දකුණ එම 13 දෙනාගේ ඝාතනයෙන්  දැඩි ලෙස කෝපයට පත්විය.

එම 13 දෙනාගේ සිරුරු වෙන් වෙන්ව ඔවුන්ගේ ගම් ප්‍රදේශවලට නොයවා ආණ්ඩුව ඒ සියලු දෙනාගේ කටයුතු කොළඹ කනත්තේ දී කරන්නට කටයුතු කළේය. කොළඹ නගරය ගිනි ගත්තේය. එම ගින්න රටපුරා පැතිරිණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතාව ඇමතුවේ  දින හතරක් පුරා රට ගිනි ගැනීමෙන් පසුය. ඔහුගේ කතාව ද ප්‍රකෝපකාරී විය.

88/89 යනුවෙන් මේ දිනවල සංවාදයක් කෙරේ. වර්තමාන තරුණ පරපුර එම කාලයෙන් පසුව උපන්  පරපුරක් හෙයින් ඒ ගැන ඔවුනට අවබෝධයක් නැත. මේ නිසා දැන් එවක සිටි චුදිතයන් පැමිණිලිකරුවන් බවටත් පැමිණිලිකරුවන් චූදිතයන් බවටත් පත්ව සිටිති.

1971 කැරැල්ල සම්බන්ධයෙන් ජවිපෙ නායකයන් බන්ධනාගාර ගත කෙරුණේ අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත යටතේය. එම පනත යටතේම එජාපයේ ප්‍රබල ආධාරකරුවන් කිහිප දෙනෙක් විදේශ විනිමය වංචා පිළිබඳ චෝදනා යටතේ බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ. මේ නිසා 1977 දී එජාප ආණ්ඩුව මෙම පනන අහෝසි කළෙන් කැරැලිකරුවෝ ද නිදහස් වූහ.

එසේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්වූ ජවිපෙ 1981 දිස්ත්‍රික්ක සංවර්ධන සභා මැතිවරණයට  හා 1982 ජනාධිපතිවරණයට තරග කළේය. එම පක්ෂය වේගයෙන් ජනප්‍රිය වන බවක් පෙනෙන්නට තිබිණි. මේ අතර 1982 දී එජාපයේ අවශ්‍යතාව අනුව පාර්ලිමේන්තුවේ නිලකාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැති අතර එය ඉතිහාසයේ දූෂිතම  ඡන්ද විමසීම ලෙස සැලකෙන බව කලින් සඳහන් කළෙමු. එම ජනමත  විචාරණයේදී මැරවරයෝ ඇතැම් ඡන්ද පොළවල් අත්පත් කර ගත්හ. ඔවුනට තම ඡන්ද පත්‍රිකාව පෙන්වා ඡන්දය දැමීමට  ඡන්දදායකයන්ට සිදුවිය. මෙම ජනමත විචාරණයට එරෙහිව ජවිපෙ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

මේ හේතු නිසා ජවිපෙ මර්දනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඔවුහු 1983 කළු ජූලිය ඒ සඳහා යෙදා ගත්හ. එම ප්‍රචණ්ඩත්වයට ජවිපෙ සම්බන්ධ යැයි චෝදනාවක් යටතේ ඔවුහු ජවිපෙ තහනම් කළහ. ඉන් සිදු වූයේ තම දේශපාලන මතය ප්‍රකාශ කරන්නට මාවත් ඇහිරී වසර තුනකට පසු ජවිපෙ යළි ප්‍රචණ්ඩත්වයට යොමු වීමයි.

එහෙත්  ආණ්ඩුවේත්  ආණ්ඩුවට හිතවත්  සන්නද්ධ කල්ලිවලත්  භීෂණය  හා කෲරත්වය සමඟ ජවිපෙ භීෂණයට හා කෲරත්වයට හැරෙන්නට නොහැකි විය. අවසානයේ දී කැරැලිකරුවන් අතින් හත් දහසක් පමණ දෙනා ඝාතනය කෙරෙද්දී  ආණ්ඩුවේ හමුදා හා ආණ්ඩුවට හිතවත් කල්ලි කණ්ඩායම් අතින් හැට දහසකට වැඩි පිරිසක් ඝාතනය කරනු ලැබ සිටියහ. ඒ හැට දහසම කැරලිකරුවන් වූයේ නම් එදා ඔවුන් ජයගත යුතුව තිබිණි.

එයින් පසු බලයට පත් වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේත්, මහින්ද රාජපක්ෂ මහතාගේත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් නායකත්වය යටතේ දුන් ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ඔවුන් ඒවා ඉටු නොකළා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා එම ක්‍රමය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තව තවත් ශක්තිමත් කළේය.

යහපාලනය අණ්ඩුව ද ඇතුළු මේ සියලු පාලන කාලය අතිශයින් දූෂිත විය. ඒ සියලු  පාලකයන් බලයට ඒමේ දී දූෂිණය නැවත්වීම ද ඔවුන්ගේ පොරොන්දුවලින් එකක් විය. ජයවර්ධන, ප්‍රේමදාස නායකත්වයක් යටතේ වූ එජාප පාලන කාලයේ දූෂිතයන් ගාලු මුවදොරට ගෙනැවිත් හම ගසන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 මැතිවරණයේදී කීවාය. දූෂණය හා භීෂණය යන වචන ඇගේ සෑම කතාවකම ඇතුළත් වීමේ අවශ්‍යතාවක් නොවුවා සේම    එසේ බලයට පත් වූවෝ ද මහා පරිමාණ දූෂණ චෝදනාවලට ලක් වූහ. මේ වනවිට රුපියල් කෝටි දහස ඉක්ම වූ වංචාවක් වුවද නොතකා හරින තත්වයට දූෂණය සාමාන්‍ය දෙයක් වී තිබේ.

මේ නිසා මේ දිනවල සිදුවන පිල් මාරුවීම්වලදී ජාතික ජනබල වේගය හැර අනෙක් ප්‍රධාන පක්ෂ ඕනෑම දූෂිතයකු භාර ගන්නට සූදානම්ය. දූෂණයට එරෙහි තම පොරොන්දු විශ්වාස කරන ලෙස එම පක්ෂවල නායකයන් ජනතාවට කියන්නේ එවැනි වටපිටාවකය. සෑම පක්ෂයක්ම පාහේ රට සුඛිත මුදිත කරන ලෙස මැතිවරණවල දී පොරොන්දු දුන්නේය. අවසානයේ දී ජනතාවට  ඉතිරි වූයේ බංකොලොත් රටකි.

 

(*** එම්.එස්.එම්. අයුබ්)