දෙකෝටි විසි ලක්ෂයක් වූ ලාංකික ජනතාවගෙන් බහුතරය රාත‍්‍රි සමාජ ශාලා ජීවිතයකට ඇබ්බැහි නොවූවන් බව ඇත්ත කතාවයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ආගමික පදනම මෙන්ම රටේ හා ජනතාවත් ආර්ථිකයද ඉහළ සමාජ පන්තියට අයත් සුළුතරයක් හැරෙන්නට වැඩිමනක් පිරිස සමාජ ශාලා සංස්කෘතියට නැඹුරු නොකිරීම කෙරේ බලපා ඇති කරුණුය. කොටින්ම කැසිනෝ ශාලා, රාත‍්‍රී සමාජ ශාලා, ජන ජීවිතය හා පොදුවේ බැඳුණු කාරණා නොවන අතර සූදු කෙළින ඩිස්කෝ නටන, මත්පැන් හා මත් පෙති බොන සිරුරට වාරු වෙන ඕනෑම ගැහැණියකගෙන් පිරිමියකුගෙන් ලිංගිකාස්වාදය සොයන අරුතක් නැති විකාර රූපී යැයි අප අපට අනුව සිතන සමාජශීලී ජීවිතය බහුතරයක් ලාංකිකයන්ට උරුම හෝ අනන්‍ය ජීවිතය නොවේ.
කොළඹ නගරයේ පමණක් කැසිනෝ ක්ලබ් සහ ඩිස්කෝ ක්ලබ් විස්සකට අඩු ප‍්‍රමාණයක් ස්ථාපිත අතර හිරු අවරට හැරී සඳ මෝදුවන යාමයේ ඒවායේ සරණ මිනිස් නිශාචරයන් බහුතරය වන්නේද විදේශිකයන්ය. මැති ඇමැතිවරුන් හා ඇමැති දු පුතුන් ධනවත් ව්‍යාපාරිකයන්, සුපිරි ක‍්‍රීඩකයන්, නිරූපණ ශිල්පීන් නිළියන් හා ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් හැරෙන්නට මොණර කොළ මත දුවන මේ සිහින ලෝකයන්හි සරන්නට යන ශ්‍රී ලාංකිකයන් නැති බව අත්දැකිය හැකි සත්‍යයයි.
ඕස්ටේ‍්‍රලියාවේ කෝටිපති ජේම්ස් පැකර්ගේ කැසිනෝ ක්ලබ් එකකට කොළඹ දොරගුලූ ඇරෙන පසුබිමකදී කැසිනෝ පනතට එරෙහිව ඉකුත් කාලය පුරා නැගුණු හඬෙහි වේගය වඩාත් ප‍්‍රබල විය.
අතීතය හා වර්තමානයද යාකළ ඉසව්වකදී ඔට්ටු සූදු කැසිනෝ මේ සියල්ල පිළිබඳව කතා කළ හැකි මානයක සිට කතාකරන්නට අපි අදහස් කළේ එබැවිනි.
ඔට්ටු හා සූදු මුල් පනත
1988 අංක 40 දරන ඔට්ටු හා සූදු මුල් පනතට 2005 අංක 9 දරන සංශෝධිත පනතින් හා 2013 අංක 19 දරන සංශෝධිත පනතින් නිර්වචනය වූ ආකාරයට 2013 ජනවාරි පළමු වැනිදා සිට පහත නිර්ණායකයන් ක‍්‍රියාත්මක වෙයි.
යම් පුද්ගලයෙක් ඔට්ටු සහ සූදුවලින් ලබන ආදායමින් 5% බදු ලෙස ගෙවිය යුතුය. ඔහු එකතු කළ බද්ද හෝ ජාතිය ගොඩනැගීමේ බද්ද යන බදුවලට යටත් නොවේ. ලැබූ මාසික ආදායම රුපියල් මිලියනයකට වඩා අඩුනම් එම පුද්ගලයා බද්දට යටත් නොවේ.
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත
මෙම පනතේ අංක 2 යටතේ කිසියම් පුද්ගලයෙක් 2012 ජනවාරි 01 වැනිදා සිට කැසිනෝ ව්‍යාපාරයේ යෙදීමට නීත්‍යානුකූල බලපත‍්‍රයක් ලබාගත යුතු අතර එය නිකුත් කිරීමේ බලය ඇමැතිවරයා සතුය. එමෙන්ම අදාළ ප‍්‍රදේශය නිර්දේශ කිරීමද ඇමැතිවරයා සතු බලතල අතර වේ.
අමාත්‍යංශ ලේකම්වරයා අදාළ මගපෙන්වීමේ නිවේදනය සියලූම සිංහල දෙමළ හා ඉංග‍්‍රීසි පුවත්පත්වල කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම පිළිබඳව සුදුසුකම් දක්වා පුවත්පත් නිවේදන නිකුත් කරනු ඇත.
බලපත‍්‍රයක් නොමැතිව යම් කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහොත් අදාළ දිනයෙන් පසු අධිකරණය ඉදිරියේ නඩු පවරා වසර 5 ක සිර දඬුවමක් හෝ ලක්ෂ 50 ක දඩයකට යටත් කරනු ලැබීමක් හෝ එම දඬුවම් දෙකම ක‍්‍රියාත්මක කළ හැකිය.
ඉතිහාසය
1988 අලූත් පනතක් ලෙස ඔට්ටු හා සූදු මුල් පනත නීතිගත වුවත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමටත් පෙර සිට ලංකාවේ රේස් බුකී හරහා ඔට්ටු බාර ගැනීම සිදුවූ අතර ඒවායින් රජය බදු අය කරගත්තත් ඒවා නීතිය ඉදිරියේ බලලත් ව්‍යාපාර නොවීය. අද දක්වාද ලංකාවේ විශේෂයෙන් රේස් බුකී ආශ‍්‍රිත ඔට්ටු බාර ගැනීම් සිදුවන අතර ඒවා නීත්‍යානුකූල නොවේ. නමුත් රජයේ බදු ආදායම් ලැබීමේ මූලාශ‍්‍රයක් ලෙස භාවිත කරයි.
මෙතෙක් කැසිනෝද බදු ආදායමට යටත් වුවත් එහිද නීත්‍යානුකූල බවක් නොතිබුණි. නව පනත යටතේද කරනුයේ එතෙක් ලැබෙමින් තිබූ රජයේ බදු ආදායම අහිමිකර ගනිමින් ආයෝජනයන් දෙස බලා කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉඩදීමය. කැසිනෝ නියාමන පනතින්ද බලාපොරොත්තු වනුයේ මෙතෙක් රටෙහි විසිරී පැවතුනු කැසිනෝ ව්‍යාපාර එක්තැනකට එකතු කර නියාමනය කිරීමය. එහෙත් අද වනතුරු කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ අඩංගු කරුණු මත නීත්‍යානුකූල භාවයක් ලබානොදී ඇත.
සූදු කෙළියේ ඉතිහාසය වසර 8000 ක් පමණ ඉපැරණිය. කැනඩාවෙන් හමුවූ ක‍්‍රි.පූ. 6000 දී සාදන ලස දාදු කැට මෙන්ම සෘග්වේදයෙහි එන සූදු කෙළින්නන්ගේ විලාපය නම් මැයින් වන දේවස්තූති ගීතය, කෞටිල්‍යයන්, අර්ථ ශාස්ත‍්‍රඥයන් ගෙනහැර දක්වන තොරතුරු ඒ ඓතිහාසිකත්වයට විධිමත් සාක්ෂි සපයයි.
කැසිනෝව යන සුවිසල් රාජධානියට තරු හෝටල්, කාමර, සාප්පු, දිය තටාක ඇතුළු සුපිරි අංග රාශියක් ඇතුළත්ය. මුහුදේ පාවෙන නැව් මත ඉදිවූ කැසිනෝ ශාලාද ලොව පවතී. මේ සියල්ලෙහි පදනම මුදල්ය. ඒ වෙත ඇදී එන්නෝ මුදල් ජීවිතය බවට පත්කර ගත් මහා ධනකුවේරයන්ය. තවත් අතෙකින් කැසිනෝ යනු බත් ඇටයකට මිනී මරාගන්නට තරම් දුප්පත්කම පිළිකාවක් ලෙස ජීවිත මත ඔඩුදුවාලූ මිනිසුන්ද සිටින ලෝකයක අතපිස දමන්නටත් නෝට්ටු ඇති තරමට වත්කම් සපිරි මිනිසුන්ගේ මහා රාජධානියකි.මොනවද මේ සෙල්ලම් මුදල් ඔට්ටුවට තබා කරන ඕනෑම ආකාරයක ක‍්‍රීඩාවක් සූදුවක් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. කුකුළන් කෙටවීම, බූරුවා ගැසීම, අශ්ව රේස් සිට මුදල් ඔට්ටුවට තබා කරන ඕනෑම ක‍්‍රීඩාවක් ඔට්ටු හා සූදු ලෙස ගිණිය හැකිය.
කැසිනෝවලදීbaccarat, Puntobanco, big six, black jack boule, Chemin - de - fer, chuck - a - luck, Crown and anchor, faro, faro bank hazard, Pokerdice, pontoon, American frcanch roulette, trenteet - quarnte, vingt - et - um වැනි ක‍්‍රීඩා කැසිනෝ ශාලා මැද ක‍්‍රියාත්මකය. කැසිනෝ සංස්කෘතියට එරෙහිව නැගුණු හැම හඬක් තුළින්ම ධ්වනිත අරුත වූයේ එය අපේ රටට නොගැළපෙන්නක් බවයි. එයට පක්ෂව නැගුණු හැම හඬක් පිටුපසමද බොහෝ කරුණු සාධක ගැබ්ව පවතී. එහෙත් එකී කරුණු කාරණා අතදිගහැර සාධනීය ලෙස විස්තර කරන්නට තරම් නිදහස් ස්වෛරී වාතාවරණයක් අහිමි රටක අවසන් වශයෙන් ලියා තබන්නට සිත්වන්නේ රටේ ප‍්‍රධාන ඇමැතිවරයද කැසිනෝ පිළිබඳ කීවේ මේ කතාවය.
”කැසිනෝ ගැන එක එක උදවිය එක එක කතා කීවත් එය හොඳ සූදුවක්. මේ වසරේ මුල් කාලයේදී ඇමෙරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා. අපේ මිනිස්සු කැසිනෝ ක‍්‍රීඩාවට හුඟාක් කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමෙරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ.
හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්ටු දාන්න කියලා. ඒ ගැටවලට මා අහුවුණේ නැහැ.
කැසිනෝ සූදු ක‍්‍රීඩා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්ද. අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්. කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා අදහස් උදහස්වලටත් අපි තැනක් දෙන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ උදවියට පමණක් කැසිනෝ තහනම් කිරීමේ වරදක් නැහැ.”
මේ ඒ ඇමැතිවරයා කළ කතාවයි.
ජේම්ස් පැකර් කැසිනෝ පිළිබඳව තීරණයකට ඔබට ඉඩ ඇති වුවත් ශ්‍රී ලංකාව පිළිබඳ තීරණයකට යාමට ඉඩ හසර නැති බව පමණක් අපි අවසන් වශයෙන් ලියා තබමු.