හංස විලක් ඝාතනය කළා


ප්‍රවීණ චිත්‍රපට හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාගේ කලා භූමිකාව විමර්ශනයට ලක් කරමින් සිනමා ලේඛකයකු හා විචාරකයකු වන ජීවන්ත දයානන්ද රචිත ‘වම් ඉවුරේ තුන්වැන්නා ධර්මසිරි සිනමාවලෝකනය’ කෘතිය එළිදැක්වීමේ උත්සවය මෙම මස 15 වැනි දින පස්වරු 3.00ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

ලහිරු ඉන්දිකගේ ‘නබෝ ප්‍රකාශන’ ආයතනයේ කුළුදුල් ප්‍රකාශනයක් ලෙස කලඑළි දකින ‘ධර්මසිරි සිනමාවලෝකනය’ කෘතිය පිළිබඳව ජීවන්ත ‘රසවින්දන’ට මෙසේ අදහස් දැක්වීය.

‘ධර්මසිරි කලාවට අත්පොත් තබන්නේ වේදිකාවෙන්. එවකට වේදිකාවේ දැවැන්තයෙක් වූ දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ දීගේ’ නමින් සිනමාවට නැගෙද්දී ධර්මසිරි නළුවෙක් වුණා. එතැනින් පස්සේ ඔහු ‘බඹා කෙටු හැටි, සතර පෙරනිමිති, පුරන්අප්පු, මුහුදු ලිහිණි, සෙවණැලි ඇද මිනිස්සු, බොරදිය පොකුණ’ වගේ චිත්‍රපට පෙළක රඟපෑවා. ඔහුගේ රූපණයන් අතර බෙහෙවින්ම විචාරක ඇගැයීමට ලක්වුණේ ඔහුගේම අධ්‍යක්ෂණය යටතේ රඟපෑ ‘හංස විලක්’ චිත්‍රපටයේ නිශ්ශංක හා වසන්ත ඔබේසේකරගේ ‘පළගැටියෝ’ චිත්‍රපටයේ සරත්ගේ යන චරිත ද්විත්වයයි. රූපණවේදය නඩත්තු කිරීමේ අවශ්‍යතාව ධර්මසිරිට නොතිබූ නිසා එය අතහැර දැමූ බව මගේ අදහසයි. ඒත් 70 දශකයේ නිර්ධන පංතියේ තරුණයාගේ භූමිකාව ඔහු බහුලව රඟපෑ බවත්, ඒවා ඉතා සාධනීය මට්ටමක තිබූ බවත් අද හැරී බලන විට අපට පෙනෙන කරුණක්.

රඟපෑමෙන්  තරමක් දුරස් වූ ධර්මසිරි චිත්‍රපට අධ්‍යක්ෂණයට එළැඹෙන්නේ ‘හංස විලක්’ චිත්‍රපටයෙන් ‘හංස විලක්’ සිට ‘බව කර්ම’ දක්වා වෘතාන්ත චිත්‍රපට 5ක් ඔහු අතින් නිර්මාණය වුණා. මෙරට ප්‍රකට රූපවේදීන්ගේ හා රූපණවේදිනියන්ගේ ප්‍රබල රඟපෑම් පෙළක් ධර්මසිරිගේ සිනමාවේ දකින්න පුළුවන්. ධර්මසිරි වෘත්තීය සිනමාවේදියෙක් නොවෙයි.  කලකට ඉහතදී ධර්මසිරි රූපණය අතහැර දැමූ විදිහටම අද වනවිට වෘතාත්න  සිනමාකරණයද අතහැර දමා ඇතැයි මට සිතෙනවා. එවැන්නකට හේතු ශ්‍රවය දෘශ්‍ය මාධ්‍යවලින් ධර්මසිරිගෙන් විමසූ අවස්ථාවලදී ඔහු හෙළිකළ තොරතුරුවලට පරිබාහිරව මෙතෙක් හෙළි නොකළ තොරතුරු නැතැයි කාට කියන්න පුළුවන්ද?

වෘතාන්ත චිත්‍රපටකරණයට සමගාමීව ධර්මසිරි වාර්තා චිත්‍රපටකරුවකු ලෙසත් කටයුතු කළා. ඒවා ඉතා වෙහෙසකර තත්ත්ව යටතේ තමයි ඔහු නිර්මාණය කළේ. ඒ ‘පාරාදීසය සොයා’ හා ‘පාරාදීසයක කදුළු’ යන වාර්තා චිත්‍රපට ද්විත්වයයි. විජයාවතරණයේ සිට නුතන දේශපාලනය දක්වා දිගු කාල පරාසයක් පුරා දිගේලි වූ මේ සිනමා කෘති යුගළය ජාතියේ ඉතිහාස කතාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක රැඳවූවා වැනි යැයි මට සිතේ. ධර්මසිරි මේ වෙනුවෙන් රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපටවල ඛණ්ඩ හා නිශ්චල ඡායාරූප දස දහස් ගණන් භාවිත කළා. ඒත් මේ වෙහෙසකර ව්‍යායාමයෙන් මෙරට පුරවැසියන්ට නිසි ප්‍රයෝජනයක් අත්කර දුන්නේ නෑ. මෙතනදී කළ යුතුව තිබුණේ මෙරට අධ්‍යාපන රටාව තුළ යෙදී සිටින පරපුරට රජයක් විසින් මේ වාර්තා චිත්‍රපට යුගළය නැරඹීමට ඉඩහසර පාදා දීමයි.  මට සිතෙන්නේ ධර්මසිරි දරන්නා වූ දේශපාලන ආස්ථානයන්ට මෙරට දේශපාලන ක්‍රමයේ ඇති නොපෑහීම සහ නොතකා හැරීම නිසා මේ වාර්තා චිත්‍රපට යුගළය ඉතිහාසයේ සැඟවී ගියා වගේ කියලයි. ‘ධර්මසිරි සිනමාවලෝකනය’ නමැති විස්තරාත්මක හා විචාරාත්මක කෘතියෙන මා කළේ ධර්මසිරිගේ මෙම කලා භූමිකාවන් සැකෙවින් සටහන් කළ ඉසව් දිගු විමසීමකට ලක් කිරීමයි.’’  

ජීවන්තගේ කතාබහෙන් පසු මේ පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන්ද මෙවැනි කෘතියක් එළිදැක්වීම ඔහුට කොතරම් බලපාන්නක්ද යන්න විමසීමට අදහස් කෙළමු. මන්ද ඔහු වැනි නිර්මාණකරුවකු ඇගැයීමට ලක්කළ යුතුව තිබුණේ මීට ගොඩක් පෙර කාලයේ බවත් ඔහු බොහෝ නිර්දය චිචාරවලට ලක්වූ  කලාකරුවකු බවත් අප දන්නා නිසාවෙනි. මෙරට විදග්ධ, ප්‍රවීණ සාහිත්‍යකරුවන් අතින් සිදුවිය යුතු දෙයක්. නව පරපුරේ ජීවන්ත වැනි කෙනෙකු අතින් හෝ සිදුවීම අප අගය කළ යුතු වන්නේ ධර්මසිරි වැනි කලාකරුවකු මෙරටට සම්පතක් වන නිසාවෙනි. මේ ඔහුගේ කතාවයි.

‘‘ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ මගේ නිර්මාණවලට බොහෝ සේ මහන්සි වූ නිර්මාණකරුවෙක් විදිහට තමයි මම මාව දකින්නේ. පාසල් වියේ සිටම බොහෝ හැදෑරීම් සිනමාව වෙනුවෙන් මා සිදුකළා. එහි ප්‍රතිඵලයක්  විදිහට තමයි ප්‍රථම වතාවට මම ‘හංස විලක්’ චිත්‍රපටය සිදු කළේ. එයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි. එය අද දක්වා ප්‍රේක්ෂක මනසේ ඇඳිලා තිබෙනවා. ඒක සිනමාකරුවකු ලෙස මට ලොකු ශක්තියක්  ගෙනදුන් කරුණක්.  ‘හංස විලක්’ චිත්‍රපටයේ ගීත අදටත් ජනප්‍රියයි. නව පරපුරේ අයත් මේ ගීත ගයන්න ලොකු අත්සාහයක් ගන්නවා. එය ඉතා වැදගත්. ඒ වගේම ඒ චිත්‍රපටයත් එක්ක බැඳුණු හැම දෙනාම සදාකාලික මතකයේ පවතිනවා. ඒ එක්කෙනෙක්වත් ප්‍රේක්ෂක  මනසින් බැහැර වෙලා නෑ. කේමදාස මාස්ටර්ගේ මෙහි සංගීතය කොයිතරම් මිනිසුන් තුළ රැඳිලා තිබෙනවාද? ප්‍රථම වරට සිනමාකරුවකු ලෙස කළඑළියට ආ ‘හංස විලක්’ චිත්‍රපටය ඇත්තටම මා ලැබු ලොකු භාග්‍යයක් ලෙසටයි සලකන්නේ.

මේ කාරණයත් කිව යුතුමයි. සම්මාන උත්සවවලදී ‘හංස විලක්’ට ලැබුණේ මොනවාද? විදග්ධ, විද්වත් අය සම්මාන ජූරිවල ඉඳන් එකතුවෙලා මේ චිත්‍රපටය ඝාතනය කළා. ඔවුන් ඇත්තටම එහෙම කළේ ඇයි කියලා පස්සේ මට සොයා ගන්න පුළුවන් වුණා. ඒ මම විශ්වවිද්‍යාලයකින් ආවේ නැති එක තමයි. ඒක තමයි මට ලැබුණු හෙණය. අද ඒ හෙණය පෙරළා ඔවුන්ටම ලැබී තිබෙන බව මා දන්නවා.

මොකද ‘හංස විලක්’ අදටත් මිනිසුන්ගේ මතකයේ රැඳිලා තිබෙනවා. එදා ගුරුකුළවාදීන් එල්ල කළ ප්‍රහාර නිසා තමයි ‘හංස විලක්’ චිත්‍රපටයට නිසි තැන නොලැබුණේ. මගේ වේදිකා නාට්‍යවලටත් ඔය තත්ත්වමයි උදාවුණේ. ඒ සියල්ල අද පුපුරලා ගිහින් ඉවරයි.  මගේ අනෙක් නිර්මාණත් ප්‍රේක්ෂකයන් එලෙසම භාර ගත්තා. මට ඒ ගැන සතුටුයි. මා පිළිබඳව මෙසේ හෝ කෘතියකින් එළිදැක්වීම පිළිබඳව ජීවන්ත දයානන්දටත්. නබෝ ප්‍රකාශන අධිපති ලහිරු ඉන්දික ඇතුළු සියලු දෙනාටත් මෙය අවස්ථාවක් කර ගන්නවා ස්තුතිය පුද කිරීමට.’’

(- *** සමන්ත යහම්පත්)