හදිසි ප්‍රශ්න කොතෙකුත් තිබියදී 21 වැනි සංශෝධනය දැන්ම මොකටද?


අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයාගත නොහැකි පසුබිමක ආර්ථික අර්බුදය පාලනයෙන් ගිලිහෙමින් තිබේ. අනාගතය ගැන දුර දැකීමත් කළ නොහැකි සැටියට ඒ සියල්ල වසාගනිමින් සිටින ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය දැවැන්ත සෙවණැල්ලක් පමණක් ලෙසින් පෙනෙන්නට තිබේ.

වාහන ධාවනය කිරීමට අවැසි ඉන්ධන සපයා ගැනීමේ සිට, බොහෝමයක් නිවාසවල සහ අවන්හල්වල ආහාර පිසීමේ කටයුතුවලට යොදාගන්නා ගෑස් සපයා ගැනීම දක්වා සියලුම දේ අතිදුෂ්කර වෙමින් ඇත. සම්පත් සීඝ්‍රයෙන් ක්ෂයව යමින් ඇත.

ඩීසල් හිගය බස් සේවාවන්ට දැඩිව බලපා තිබෙන අතර, පිට පළාත්වල සිටි කොළඹට එළවලු රැගෙන ධාවනය වූ ලොරි රථ ප්‍රමාණය ද, ඉතාම අල්ප විය. එහි ප්‍රතිඵලය දෙයාකාරය. එක් පසෙකින් දේශීය වශයෙන් සපයාගත හැකි එළවලුවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර, අනෙක් පසින් නැවුම් එළවලු නාස්තිව යමින් ඇත්තේ ඒවා වෙළදසැල්වලට ප්‍රවාහනය කරගත හැකි ක්‍රමයක් නොමැතිවීම නිසාය.

තක්කාලි කිලෝවක මිල මේ වන විට රුපියල් 900 ත් රුපියල් 1000ත් අතර වේ.

දියවැඩියාවට බහුලව භාවිතා කෙරෙන ඉන්සියුලින් ඇතුලු ඖෂධ බොහෝමයක් සොයාගන්නට නැත. තිබුණත්, සැපයුම ඉතාම සීමා සහිතය.

මාතර වැනි ඇතැම් ප්‍රදේශවල සහල් හිඟය. මිල අහස උසට නැගෙමින් ඇත. ගෙවුණු සෙනසුරාදා දිනයේ දී, පමණක් සියලුම සහල් වර්ගවල මිල රුපියල් 30 කින් ඉහළ ගියේය. රටේ සියලුම දෙනාට සමාන බෙදාහැරීමක් සිදුවන බව සහතික කරනු වස් සලාක ක්‍රමයක් හඳුන්වාදීම කෙරේ රජයේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.


එක්සත් ජාතීන්ගෙන් ප්‍රමුඛතා සැලැස්මක්
බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමූහයක් එක්ව ඒකාබද්ධ මානවවාදී සහ ප්‍රමුඛතා සැළැස්මක් ක්‍රියාවට නැංවූ අතර, ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙසම බැටකා සිටින ලක්ෂ 17 ක් වන ජනතාව ඉලක්ක කරගත් ජූනි සිට සැප්තැම්බර් දක්වා දිවෙන සිව් මාසික සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එයින් යෝජිතය. ඒ සඳහා ආධාර ලෙස ඩොලර් මිලියන 47.2 ක මුදලක් සපයාගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටී. මෙය ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීමකට ලැබුණු ප්‍රතිචාරයකි. මින් පෙර කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආහාර ආධාර ඉල්ලා නැත.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක හනා සින්ගර් මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා දැක්වූ අදහස් මෙවැනිය,

“දිනාගත් බොහෝමයක් දේවල් මේ ආර්ථික අර්බුදය නිසා ආපස්සට තල්ලුවන තර්ජනයක් පවතිනවා. බොහෝ දෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් (ආහාර සපයා ගැනීමට සහ ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට) තිබෙන්නේ අනතුරේ. මේ නිසාම සමාජ අර්බුදයක් ඇතිවීමේ ඉඩක් පවතිනවා”

“ඒ නිසා අපි මේ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාව සමග සිටින බව ලොවට පෙන්වීමට අවශ්‍යයි. අර්බුදයෙන් දරුණු ලෙසම බැටකා සිටින කාන්තාවන්ගේ, පුරුෂයින්ගේ සහ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට මානවවාදී අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට අප සහාය ලබා දිය යුතුයි. අපි දැන්ම ක්‍රියාත්මක වුනේ නැත්නම්, ශ්‍රී ලංකාව මානවවාදී අර්බුදයක් කරා තල්ලුවනවා සියැසින්ම දැකබලා ගැනීමට අපට හැකි වේවි” යයි ඇය කීවාය.

පවත්නා තත්ත්වය කරපින්නාගෙන අතිශය දරුණු ලෙසම බැටකමින් සිටින ජනතාව, ඒ සියල්ලෙන් යම් සහනයක් බලාපොරොත්තුවෙන් සිටිය දී, ඔවුන්ගේ අවධානය වෙනතක යොමුකරවමින්, මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය නොවන කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් කරා අනවශ්‍ය පරිමානයේ තොරතුරු සමුදායක් කඩා වැදීමට ඉඩ සළස්වා තිබේ. එය නම්, ව්‍යවස්ථාවට සිදුකිරීමට ඉඩ තිබෙන 21 වෙනි සංශෝධනයයි.


ජනතාවගේ මොළ සේදීම යළිත්
මේ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම වුවමනාවටත් වඩා තොරතුරු, විවිධ සන්දර්භයන් යටතේ ජනතාවගේ හිස්වලට පිරවීමටත්, 21 යනු මේ සියලු අවුල් විසඳන යතුර යැයි විශ්වාසය ගොඩගැනීමටත්, ඇතැම් පණ්ඩිතයන් උත්සාහ කරමින් සිටින බවක් ද පෙනේ.

මෙම දිගහැරුමේ කතුවරයා වන්නේ අධිකරණ සහ ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය.

පෙර අවස්ථාවක අදහස් දැක්වූ ඔහු, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස පත්වීමට තිබෙන අවස්ථාව අහිමිවන බව ප්‍රකාශ කළේ ය. විජයදාසට අනුව, මේ අවස්ථාවේ විධායක ජනපතිධූරය අහෝසි කිරීම යනු වියදම් අධික ක්‍රියාවලියක් වන අතර, එසේ කිරීමෙන් රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු කියයි. නමුත්, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නා හෝ නැතා, රටේ වර්තමානයේ පවතින තත්ත්වය, එනම් අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයාගත නොහැකිව ජනතාව පීඩාවට පත්ව සිටින තත්ත්වය, රටේ අර්බුදකාරී තත්ත්වයකට මගපාදනු නැතිද? යන්න ගැන ඔහුට පැහැදිලි කිරීමක් නැත.
 
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ජනපති වනු ඇතැයි විජයදාස පළකළ හුඹස් බිය, එයින්ම කෙළවර කර දැමීමට බැසිල් රාජපක්ෂම පියවර ගත්තේය. බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් ඇමතූ ඔහු, තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූවේ යැයි නිවේදනය කළේ ය. එහෙයින්, ඔහු ජනතිවරයා ලෙස පත්වීමේ ගැටලුවක් දැන් මතු වන්නේ නැත.

මේ සියලු කාරණා මධ්‍යයේ, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගෙවුණු සතියේ ප්‍රකාශයක් කරමින් මේ ආකාරයට කොටසින් කොටස ව්‍යවස්ථාවට සිදුකරන සංශෝධනයන්ට ඔහු අකමැති බව පවසා සිටියේය.

ජනපතිවරයෙක්ට සම්පූර්ණ බලය තිබිය යුතු බවත්, එසේ නොමැති නම් විධායක ජනපතිධූරය සම්පූර්ණයෙන් අහෝසි කර වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් ප්‍රමුඛ පාලනයකට රට යා යුතුව තිබෙන බවත්, බ්ලූම්බර්ග් නාළිකාව සමග පසුගිය සඳුඳා පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ඔහු කියා සිටියේය. එහිදී, ඔහු සඳහන් කළ ඉතාම වැදගත් කාරණය නම්, ඉදිරි වසර 2ක කාලයෙත් ජනපතිධූරය හොබවා මිස නික්ම යන්නේ නැත යන්නය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පස් අවුරුදු ජනපතිධූර කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඇත. ජනපතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි බලපෑම් කරමින් සිටින විරෝධාකරුවන්ට, තමා ඉල්ලා අස්වන්නේ නැතැයි ඔහු නිල වශයෙන්ම පිළිවදන් දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

එසේ නම්, නිවාගත නොහැකි ලෙස ඇවිලෙමින් ශ්‍රී ලංකා ජනතාව පෙළමින් සිටින ගැටලු ගොන්නක් මධ්‍යයේ, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට මේ සා ප්‍රමුඛතාවයක් ලබාදී තිබෙන්නේ මන්ද?

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු මතුවූ බවට සැකයක් නැත.

ගෙවුණු සෙනසුරාදා උදැෑසනම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය හමුවූ අතර, ඔහු සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අමාත්‍යධූරයක් භාරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිධූරයත් අතහැර පැමිණ සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා ද වූහ.

ජනපතිවරයා සමග මෙම දූත පිරිස පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවතිණ. ඒ සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචි මාර්ගයක් සඳහන් කළ ආකාරයට, ඔවුන් ජනපතිවරයා හමුවීමෙන් පසු පිටව ගොස් ඇත්තේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහාය හිමි යැයි අදහසක් ඇතිවය. නමුත් ඉන් අනතුරුව ජනපතිවරයා දක්වා තිබෙන අදහස් අනුව, ඔහු 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්තක් දක්වා නැත.


අයියා - මලෝ හමුව
ගෙවුණු සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වූ අනෙක් සිදුවීම් ද, සැළකිල්ලට ගත්විට, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකිවේදැයි යන්න සැක සහිතය. එපමණක් නොව, දේශපාලනයේ වත්මන් දිශානතිය වෙනස් කරවිය හැකි නව දේශපාලන සිදුවීම් සහ ප්‍රවණතාවයන් ද, ඉදිරි කාලයේ දී සිදුවීමට ඉඩ හැකි බව ද, එම සිදුවීම්වලින් ගම්‍ය කරගත හැකිය.

මේ සියල්ල ආරම්භ වූයේ ගෙවුණු 04 වැනි ඉරිදා දින සන්ධ්‍යාවේදීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ සොයුරු සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවූ අතර, හමුව පැවැතියේ ජනාධිපති මන්දිරයේදීය. දෙදෙන සාකච්ඡා කළේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි සම්පූර්ණ තොරතුරු දැනගැනීමට හැකියාවක් නොමැත. කෙසේවුවත්, මෙම සංවාදය ගැන දැනුවත් අයට අනුව නම් දෙදෙන අදහස් හුවමාරු කරගෙන තිබෙන්නේ යෝජිත 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ බැසිල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයත්, ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමත් සම්බන්ධයෙනි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත සක්‍රීය කිරීමටය. එම පක්ෂයේ බිම් මට්ටමේ සමිති සහ ශාඛා නැවත ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් රැස්වීම් කැඳවීමට ඔහු උත්සාහ ගත්ත ද එම කැඳවීම්වලට ලැබුණු ප්‍රතිචාරයන් ඉතා අල්ප සහ දුර්වල මට්ටමක තිබිණ. එය ශ්‍රී ලංකා fාදුජන පෙරමුණේ පදනම සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින්නේය යන්න අඟවන්නකි.

ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයන්, බිඳවැටී ගොස් තිබෙන එක්සත් ජාතික පක්ෂ බිම් මට්ටමේ සමිති සහ සංවිධාන ගොඩනැංවීමට මැදිහත්ව සිටින්නේ යැයි කියැවේ. දේශපාලනිකව බලන කල්හි, මෙය සමගි ජනබලවේගයට හොද පුවතක් නොවේ. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ පවතින ජාතික ජන බලවේගය වටා රැස්වෙමින් සිටී.

සහෝදරයන් දෙදෙනා අතර හමුව පැවැත්වෙමින් තිබෙනා අතරතුර, ජනාධිපති මන්දිරයේ දුරකතන ක්‍රියාකරු ඇමතූ ජනපති ගෝඨාභය, තමන්ව අමාත්‍ය විජයදාස රාජපක්ෂට සම්බන්ධ කරන්නැයි දැනුම් දුන්නේය. අධිකරණ සහ ව්‍යවස්ථා සංශෝධන අමාත්‍යවරයා දුරකතනයට පැමිණි පසුව ඔහු ඇමතූ ජනපතිවරයා සඳුඳා (6) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් නොකරන්නැයි ද, ඒ සම්බන්ධයෙන් එදිනට සාකච්ඡා නොකරන්නැයි ද, දැනුම් දුන්නේය. ඒ වෙනුවට රැස්වීම අවසානයේ දී කෙටුම්පතෙහි පිටපත් අමාත්‍යවරුන්ට ලබාදෙන ලෙසටත්, සාකච්ඡාව ලබන සතියේ එනම් ජූනි 13 සඳුඳා සිදුකරන ලෙසටත්, ජනපතිවරයා වැඩිදුරටත් අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍ය රාජපක්ෂ, තමන්ට ජනපතිවරයාගෙන් ලැබුණු නියෝග ප්‍රකාරව කටයුතු කළේය. එදින පැවති කැබිනට් රැස්වීම අවසන්වනවා හා සමගම, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි පිටපත් පැමිණ සිටි අමාත්‍යවරුන්ට ලැබිණ.


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර