හන්තානේ වල් වැදුණු සරසවි සිසුන්


සුන්දර හන්තාන කන්ද එක් වරක් හෝ තරණය කිරීම ලක්දිව  ඕනෑම සරසවියකට යන සිසුවකුගේ සිසුවියකගේ එක් සිහිනයකි. පොතපතින් කියවා හෝ කාගෙන් හෝ අසා දැනගෙන ඇති හන්තාන කන්දේ සුන්දරත්වය සිය දෙනෙතින් දැක ගන්නට මේ කෝඩුකාරයෝ සිය පළමු වර්ෂයේදීම උත්සාහ කරති. සරසවියේදී විෂය කාණ්ඩ වශයෙන් හෝ මිතුරු කාණ්ඩ ලෙස මේ සුන්දර අඩවිය දැක බලා ගන්නට යන්නට ඔවුන් නොතිත් ආසාවකින් සිටී. ඒ අවිහිංසක ආසාව සන්සිඳුවා ගන්නට ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ කොළු නඩයකට පසුගිය සතියේ මහත් වූ ඇබැද්දියකට ලක්වන්නට සිදුවිය. හන්තානයට කෝඩුකාරයන් අට දෙනෙක් රැගෙන ගිය නඬේ ගුරාටත් පාර වැරදුණි. දුරකතන නඬේ ගුරන් හා ගූගල් සිතියම්වල ආධාරයෙන් හන්තානට ගිය ඔවුහු ලක්වූයේ කිසිදින නොසිතූ නොපැතූ ඉරණමකටය. ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ දොම්පේ ශෂික ඉද්දමල්ගොඩ, නුගේගොඩ නිපුන් විජේරත්න හා සුපුන් විජේරත්න, මහරගම විදුරංග විජේකෝන්, ඇල්පිටියේ ප‍්‍රමෝද්‍ය කාරියවසම්, මහනුවර ප‍්‍රදේශයේ තවත් මිතුරන් සිවු දෙනෙක් සමග හන්තානේ යන්නට සිටියේ පසුගිය සතියේ ජූලි 5 වැනිදාය. එහෙත් නුවර මිතුරන්ගෙන් කියැවුණේ මහනුවරට වැසි වසින නිසා හන්තානේ ගමන කල් දමමු කියාය. අකමැත්තෙන් වුවත් එය දින කිහිපයකට කල් දැමූ ඔවුහු පස්දෙනා පසුගිය ජූලි නවවැනි දින හන්තානට යන්නට කොළඹ කොටුවෙන් උදේ හතට පිටත් වන සීඝ‍්‍රගාමී දුම්රියෙන් පිටත් වූහ. මග දිගට වසින වැසි නිසා නියමිත වේලාවට වඩා ප‍්‍රමාදව පේරාදෙණියට ගිය දුම්රියෙන් ඔවුන් බසින විට රුචිර නවරත්න, තරිඳු අබේකෝන්, සංජීව පුලස්ති, ධනංජය විජයරත්න යන මහනුවර මිතුරෝ කොළඹ මිතුරන් පිළිගන්නට පැමිණ සිටියහ. අනතුරුව පේරාදෙණි සරසවියේ කිරිහල අසල ඇති පාරෙන් හන්තාන නගින්නට ඔවුහු කතිකා කර ගත්හ. කිරිහල අසලදීම දිවා ආහාරය ගත් ඔවුහු මහනුවරින් පැමිණ සිටි මිතුරන් නිවෙස්වලින් ගෙනා බත් මුල්වලින් දෙකක් පසුවට තබා ගෙන ඔවුහු ගමන පිටත් වූහ. වතුර බෝතල් තුන හතරක්, කුඩ කිහිපයක්, විදුලි පන්දම් දෙකක් හා බිස්කට් පැකැට්ටු දෙකක් ද විදුරංග ගෙනා වැහි කබායෙන් හා අමතර ඇඳුම් පුරවාගත් බෑග් මලූවලින්ද සන්නද්ධව ගමන පිටත්වන විට දහවල් දොළහ පසු වූවා පමණි. ගමනාරම්භ කර පැයක් දෙකක් යද්දී දුරකතනයෙන් උපදෙස් දුන් මිතුරන්ගේ තොරතුරු අනුව මග වැරදී ඇති බැව් අවබෝධ විය. ඒ වනවිටත් ඔවුහු තේවත්ත අවසන් වී කැලේට පිවිසෙන විට හමුවන කුඩා පාරත්, ලොකු පාරත් හමුවන තෙක්ම ඊතල වලින් ලකුණු කල පාරක් දිගේ පැමිණෙමින් සිටියහ. පාරවල් දෙක හමුවන විට ඊතල නොතිබූ නිසා ඔවුහු තෝරා ගත්තේ කුඩා පාර නොව ලොකු පාරය. එහි ටික දුරක් යනවිට තව පාරවල් දෙකක් හමුවිය. එහිදී ද වඩා විශාල පාර තෝරාගෙන ගියද එය අවසන් වූයේ දිය පහරකින් නිසා ආපසු විත් අනිත් පාර දිගේ ගියහ. එය අවසන් වන තුරුම ගමන් කළ ඔවුන්ට අවසානයේදී තේරුම් ගියේ එම මාර්ගය කන්දක සිට පහළට බෑවුම් වන එකක් බවය. පාර වැරදී තිබුණි. මේ වනවිට සවස තුනයි තිහද පසුවී තිබූ නිසා ආපසු ඒමට පෙර කළුවර වැටීමට ද පුළුවන. මිතුරෝ කතිකා කළහ. ඉදිරියටම යන්නට තීරණය විය. මන්ද යත් ඔවුන් පැය තුන හතරක් තිස්සේ ආ ගමන් මාර්ගයේ ලිස්සන තැන්, ගල් ගොඩැලි, දිය පහරවල් මෙන්ම ප‍්‍රපාතද තිබූ නිසාය. මේ වනවිට පිරිසක් ජංගම දුරකතනවල ගූගල්හි සිතියම් බලමින් හන්තානේ සවිකළ දුරකතන කුළුණ ඇති තැනත් තමන් සිටින තැනත් සොයන අතර අනිත් අය මිතුරන්ට දුරකතන ඇමතුම් දී උපදෙස් ගත්හ. අවසානයේදී ඔවුන්ට දුරකතන කුළුණත් තමන් සිටින තැනත් අතර එතරම් දුරක් නොමැති බැව් දැක ගමනාරම්භ කළහ. ටික දුරක් යද්දී දුරකතන කුළුණ දැකගත හැකිවිය. එය දක්වා යන මාර්ගයක් සොයන අතරතුරදී තේවත්තක් දර්ශනය විය. එය අයිනෙන් ඇති පාර දිගේ යද්දී කැලේකට අවතීර්ණ විය. එහි ඇති අඩි පාරක් දුටු ඔවුන්ට සිතුණේ දැන්නම් හරි පාරට ඇවිත් කියාය. ඒ පාර ඔස්සේ මිනිත්තු පහළොවක් පමණ ගමන් ගත් විට විශාල ගස්වල එල්ලූණු සුවිසල් වැල් දැකගත හැකිවිය. එම වැල්වලින් දිය සීරාවන් වැගිරෙමින් තිබුණි. දුටු මනස්කාන්ත දසුනින් සිත් පිනා ගිය ඔවුහු එහිදී ඡායාරූප ගත්තේ පෙර එහි ගිය මිතුරන් ගත් සේයා රූ දැක තිබූ නිසාය. ඒ වනවිටත් තරමක කුඩා වැස්සක් ඇද හැළෙමින් තිබුණද ආපසු යෑමේ අදිටන නිසා වැස්සේ තෙමෙමින්ම ගමන් ආරම්භ කළහ. තරමක මීදුමක් ද වටා පිටාව සිසාරා ආවද සිය ගමන නොනවත්වාම ඔවුහු කැලය දිගේම ගමන් කළහ. එවිට දුටු ගල්තලාව මිතුරන් දුරකතනයෙන් කී ගල් තලාවට සමාන විය. ඒ නිසා ගමනාන්තය ආසන්න යැයි සිතූ ඔවුහු ඉදිරියටම ගියහ. මේ වනවිට දුරකතනවල සංඥා ද කඩින් කඩ වූ නිසා මිතුරන්ගෙන් උපදෙස් ද ගත නොහැකි විය. ගූගල් සිතියම් ද බලාගත නොහැක. මෙහිදී ඔවුහු අධෛර්යට පත් වුවද ඉදිරියටම ගියහ. යද්දී හමුවූ අඩිපාරක් දිගේ යනවිට විශාල කන්දක් හමුවිය. එයට නගින්නට සිතද්දී ගලපාමුල ”නවතිනු” යනුවෙන් ඉංග‍්‍රීසි බසින් කළ සංඥා පුවරුවක් දැකගත හැකිවිය. මේ වනවිටත් එහි තද සුළං තත්ත්වයක් තිබුණි. මිතුරන් කතා කළ දේවල් පවා නෑසෙන තරම්ය. තිබෙන තත්ත්වයෙන් බියක් ඇති වුවද ආපසු යාමටද නොහැකිය. ඉදිරියට යෑමට නම් කන්දට නැග්ග යුතුය. සුළං කපොල්ල නිසා එයද කළ නොහැක. එහෙත් කෙසේ හෝ ඔවුහු මුදුනත උල් හැඩයෙන් යුතු ඒ විශාල කන්ද අවසානයේදී තරණය කළහ. එහි මුදුනත කුඩා තැන්නක් විය. එහි සිට ඉදිරියට යෑමට දෙපසම හෙල් සහිත කුඩා අඩිපාරක් විය. තද සුළං හැමීම නිසා යා නොහැකි බැවින් බිස්කට් පැකැට්ටුවක් කමින් මිනිත්තු පහළොවක් සාකච්ඡා කළහ. තද සුළං හමන නිසා ඔවුන් කතා කළේ එකිනෙකාගේ කන්වලට ඉතා ළං වෙමිනි. අනතුරුව එකා පිටුපස එකා බැගින් ඉතාම ළඟින් ගමන් ගනිමින් දෙපස හෙල් ඇති ඒ ගිරි දුර්ගය ඔවුන් තරණය කළේ කුදු වී ගමන් කරමිනි. දෙපසින් එන සැර සුළං වේගය පහළට ඇද වැටෙන තරම්ය. මීටර දෙසීයක් වූ ඒ මග තරණයට පැය භාගයකටත් වඩා ගත විය. අවසානයේදී ඔවුන් ගිය පාර යොමු වූයේ කැලෑවකටය. එහිද අඩි පාරක් දැකගත හැකිවිය. එම කැලය ඔවුන් එතෙක් පසු කළ කැලෑවලට වඩා බෙහෙවින් ලිස්සන සුළුවිය. ඒ නිසා කොඳු නවාගෙන ගමන් කළද හැම කෙනාම පාහේ ලිස්සා වැටී යම්තම් තුවාලද සිදුවී තිබිණ. යම්තමින් ඇද හැළෙන වැස්සෙන් තෙත බරිත පොළවට ඔවුන් වැටුණු වාර අනන්තය. සියලූ දෙනාටම බියක් ගෙන දුන්නේ ඒ වනවිටත් අඳුර පැතිරෙමින් තිබූ නිසාය. කැලේ අවසන් කර විවෘත භූමියකට පිවිසි ඔවුන් දුටුවේ මානා කැලයකි. එහි කිලෝ මීටරයක් දෙකක් ගමන් කරන විට ලැබුණු දුර්වල දුරකතන සංඥාවල ආධාරයන් 119 හදිසි දුරකතන අංකයට අමතා ඔවුන් අතරමංව සිටින බව හෙළි කළහ. මානා කැලේ අවසන් කරන විට දිස්වූයේ තවත් කැලයකි. එහිද අඩි පාරක් විය. එහි ටික දුරක් ගමන් ගනිද්දී මීට පෙර පසු කළ සෑම කැලයකටම වඩා එය දුෂ්කර බව දුටහ. ඒ නිසා ආපසු හැරී මානා කැලය පියමං කර කලින් ආ කැලයටම ගොස් එහි කුඩා ගල් තලාවක රැය පහන් කරන්නට සිතූහ. එහිදී තෙතබරිතව මඩ වැගිරී තිබූ ඇඳුම් ගලවා ඉවත් කර පිරිසිදු, වියළි ඇඳුම් හැඳ ගෙනා බත් මුල්ද ලිහා කෑහ. කෑම කන අතරතුර දුරකථනයට කතා කළ මහනුවර පොලිීසියේ නිලධාරීන් පිරිසක් තමන් දුරකතන කුළුණ අසල සිට අධිසැර විදුලි පන්දම් එල්ල කරන බවත්, සයිරන් නළා ශබ්ද කරන බවත් කියා සිටියද ඒ කිසිවක් ඔවුන්ට දර්ශනය වූයේවත් ඇසුණේවත් නැත. ඒ වනවිටත් මිතුරන් කවාකාරව වාඩිවී සිටියද ළඟම සිටි කෙනා අඳුනාගත නොහැකි තරම් ඔවුන් වටා ඝන මීදුමක් විය. නගරයේ විදුලි ආලෝක පෙනෙනවාදැයි පොලිසියෙන් විමසුවද කිසිත් පැහැදිලිව නොපෙණින. ඒ වනවිටත් පෙරාදෙණි සරසවියේ මිතුරන් පිරිසක් වෙනත් පාරකින් කන්දට පැමිණෙන බව දැනුම්දී තිබුණි. පොලිසියෙන් අවවාදයක් දෙමින් කීවේ කැලයේ දිවියන් සිටින බැවින් සිටින තැනම පරීක්‍ෂාවෙන් සිටින ලෙසය. සියල්ල කනපිට හරවමින් හවස හයහමාරට පමණ ආරම්භ වුණු වර්ෂාව පාන්දර දෙක හමාර තෙක් පැවතුණි. මහ වැස්සේ කුඩ ඉහළාගෙන සීතලට වෙව්ලමින් සිංදු කියමින් නොනවත්වා කියවමින් රැය පහන් කරන්නට සිතුවද එය සාර්ථක නොවීය. මහා හඬින් කැලය දෙදරවන ශබ්ද ඇසුණද පසුව දැනගත්තේ ඔවුන් එහි සිටින විට සුළි සුළඟක්ද හමා ඇති බවකි. කෙසේ හෝ පොලීසියත්, මිතුරනුත් නිතරම දුරකතනවලින් සම්බන්ධ වෙමින් පාන්දර පහ දක්වා ගත කළහ. ඒ අස්සේ මහ වැස්සේම සජීව මහ හඬින් ගොරවමින් නිදන්ට විය. පාන්දර පහට පමණ පොලීසියත් පේරාදෙණියේ මිතුරනුත් විදුලි පන්දම් එල්ල කරමින් හූ හඬ දෙමින් ඉසව්ව සොයා ගමන් ආරම්භ කර තිබුණි. ඔවුහූද හූ හඬ දෙමින් විදුලි පන්දම් එළිය ආ දෙසට මානා කැලයද පසුකර අනික් කැලයටම ගියහ. එහි ටික දුරක් යද්දී පේරාදෙණියෙන් ආ මිතුරන් හතර දෙනෙක් හමු විය. ඔවුන්ගේ සහායෙන් ලිස්සන සුළු ඒ දුෂ්කර කැලය තරණය කර දුරකතන කුළුණ අසලට ආහ. යුද හමුදාවේ මෙන්ම පොලීසියේද නිලධාරීහු රැසක්ම එතනට පැමිණ සිටියේ ඔවුන් සෙවීමටය. ඇඟ පුරා මඩ තවරාගෙන ලේ පෙරාගෙන පැමිණි ඔවුන්ගේ තත්ත්වය ඉතා ශෝක ජනක විය. හන්තානේ සුන්දරත්වය නැරඹීමට යද්දී හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටි ඔවුන් නව දෙනා ඉන් බැස්සේ සීතලෙන් ගැහි ගැහී ආරක්‍ෂක නිලධාරීන්ගේ ද සහයෙනි. කන්ද බැස එද්දී මහනුවර මිතුරන් ද ඔවුන්ගේ මවුපියෝ ද ආහාර පාන ගෙන හන්තානේ අතරමංවූ මොවුන් බලන්නට පැමිණ සිටියහ.
සටහන හා ඡායාරූප සැපයුම පුෂ්පා වීරසේකර
කඳු හෙල් බාධක තරණය කර හන්තානට නැගීමට ගිය පිරිස හන්තානේ  වල් වැදුණු මිතුරන්