අරගලකරුවෝ අගමැති නිල නිවසට කඩා වදිති. එහි ඇති ඇද පුටුවල සැතපෙති. ආහාර අනුභව කරති. ආපසු යන ගමනේ සිහිවටනයක් ලෙස පුටුවක් දෙකක් කරේ තබාගෙන ගෙදර යාමට අමතක නොකරති..කොටසක් බංග්ලාදේශ රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියට කඩාවදිති. දෙදෙනකු නොව හත් අට දෙනෙක්ම එක්ව වහසි බස් දොඩති. History repeats itself... යනුවෙන් කියමනක් ඇත. එහි සිංහල තේරුම ඉතිහාසය යළි යළිත් පුනරාගමනය වන්නේ ය යන්නයි...
මා කලින් සදහන් කළ දසුන් පෙළ අපට හරිම හුරු පුරුදුය. මේ සියලු දේ අපි මීට වසර 2 කට පෙර මේ විදිහටම අත් දුටුවෙමු. දැන් එය ඒ ආකාරයෙන්ම බංග්ලාදේශයේ සිදුවෙමින් පවතී. වෙනස නම් එදා අප මවුබිම අනතුරේ නොදමා සාර්ථක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවකට යොමූවීමට සමත්වීමයි. ඒ නිසා අප අද බංග්ලාදේශයේ දකින අරාජිකත්වය අපට අත්දැකීමට සිදු නොවූයේ විධායකය අක්‍රිය වෙද්දී ව්‍යවස්ථාදායකය ශක්තිමත්ව පැවතීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බල හුවමාරු සංසිද්ධිය සුමට ලෙස සිදුවීමත් නිසාය... සිද්ධිය බොහෝ දුරට එකමය. ස්ථානය, ක්‍රමවේදය හා ප්‍රතිළුල පමණක් වෙනස්ය.
බංගලි අරගලය
බංග්ලාදේශ අරගලය වේගවත්ය. මාසයක් ගතවීමටත් ප්‍රථම එහි උච්ඡ ස්ථානය අත්කරගත්තේය. එහි තේමා පාඨය “හසිනා ගෝ හෝම්“ නොවීය. එහෙත් ඔවුහු හසිනා ගෙදර යැවූහ. එහි “හසීනා ගෝ ගමක් “ නොවීය. එහෙත් මහජන ඒකරාශීය තුළින් අගමැති හසිනාට තනතුරෙන් ඉවත්වන තත්වයට බලපෑමක් නිර්මාණය කරගැනීමට සිසු ව්‍යාපාරයට හැකිවිය. රැකියා කෝටා ක්‍රමය අහෝසි කර සිසුනට සාධාරණයක් උදාකරගැනීමේ සද් ව්‍යාපාරයෙන් ඇරඹි බංග්ලාදේශ සිසු සටන දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූයේ ඊට විපක්ෂ කණ්ඩායම් වන බංග්ලාදේශ ජාතික පක්ෂය හා ජමාති ඉස්ලාමි වැනි කණ්ඩායම් පසෙකින් සිට සහය දැක්වීමත් සමගයි. කෝටා ක්‍රමය ශේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරනු ලැබුවද උද්ඝෝෂණ රැල්ල වහා අරමුණ වෙනස් කළේ දේශපාලන මුහුණුවර බලවත් වීම මුල්කරගනිමින් හසිනා ගෙදර යැවීමේ නව ව්‍යාපාරයක් නිර්මාණය කරමිනි.
හසීනා ගෙදර ගිය පසු මේ සටහන තබන මොහොත දක්වා බංග්ලාදේශයේ බොහෝ ස්ථානවල දක්නට ඇත්කේ කැලෑ නීතියයි. සිසු සටන් ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් වී මේ වනවිට කඩසාප්පු “සුද්ද කිරීමේ“ ව්‍යාපාරයක් හා සුළුතර හින්දු භක්තිකයන් ඉන්දියාවේ අතකොළුවන් බව පවසමින් ඔවුනට පහරදීමේ හා හින්දු කෝවිල් ගිනිතැබීමේ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී අවසන්ය. අරගලය සියතට ගත් කාඩ්බෝඩ් වීරයන් මහමග සිටින සුළුජාතික කාන්තාවන්ට පොලුවලින් පහරදෙන ආකාරය රූපවාහිනි දසුන් ඔස්සේ දැකගත හැකිවිය. අවශ්‍යවන්නේ වහා නීතිය හා සාමය ස්ථාපනය කිරීමයි. අරගලයේ අරාජික භාවය බංග්ලාදේශය “යක්ෂයාගේ හෝරාව’’ වෙත ඇදගෙන යමින් පවතී. සතියේ දෙවැනි දිනටත් එරට ආර්ථිකයේ කොඳුනාරටිය වන් ඇඟළුම් කම්හල් වසා දමා ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසකට දෛනික ආදායම් අහිමි කරමිනි.
තත්වය පාලනය නොකළ හොත් එරට සියලු ක්ෂේත්‍ර ඉතා බරපතළ ලෙස නායයාමේ අවදානමක පවතී. කෙසේ වෙතත් දැනට පෙනෙන්නට ඇති පරිදි හමුදාව රටේ පාලනයේ භාරකරු ලෙස ක්‍රියාකරමින් සිවිල් පරිපාලනයක් දක්වා රට ගෙනයාමට උත්සාහ දරක බවක් පෙන්නුම් කෙරේ.
දැන් කුමක් වේද?
මේ සටහන තබන මොහොත වන විටත් බංග්ලාදේශයේ තත්වය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. වසර 17කට සිර දඩුවම් ලබා වෛද්‍ය හේතුමත බන්ධනාගාරගතව නොසිටි 78 හැවිරිදි හිටපු අගමැනිති බෙගම් කලිඩා සියා හමුදාවේ මැදිහත් වීම මත වහා නිදහස ලබා ඇත්තේය. ඒ සමගම පසුගිය දිනවල උද්ඝෝෂණවලදී අත් අඩංගුවට පත් සරසවි සිසු සිසුවියෝ දහසකට අධික පිරිසක් වහා නිදහස ලබන්නාහුය. එය ඉකුත් රජය විසින් සිරගත කරනු ලැබ දැනට බන්ධනාගාරවල පසුවන දේශපාලන සිරකරුවන් දසදහසකට අධික සංඛ්‍යාවකට නිදහස ලැබීමේ ඉඩ ප්‍රස්ථා විවර කරන්නකි. පාලන බලය තමන් සතුව තබාගැනීමට කිසිදු අදහසක් නැතැයි හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් උස් සමාන් ජනමාධ්‍යයට පැවසීය. එය සාධනීය තත්වයකි. ඒ මන්ද බංග්ලාදේශ හමුදාව රාජ්‍ය පාලනය තමන් වෙත තබාගැනීමට ඉතිහාසයේ විවිධ අවස්ථාවල පෙළඹීම ගැන උදාහරණ ඇති බැවිනි.
බංග්ලාදේශය මුහුණ දුන් හමුදා කුමන්ත්‍රණ ගණන 29කි. 1975 සිට 1990 දක්වා ඍජු මිලිටරි ආණ්ඩුවක්ද, 2006 සිට 2008 දක්වා හමුදාවේ සහය ලද ආණ්ඩුවක්ද එරට පැවතිණ. එහෙත් වත්මන් හමුදා ප්‍රධානී ජෙනරල් උස් සමාන්ගේ ප්‍රකාශ අනුව පැහැදිළි වන්නේ හමුදාව වත්මන් අරාජකත්වය තුළ රටේ භාරකාර භූමිකාව ඉටුකොට ඉක්මනින් සිවිල් අන්තර්වාර පාලනයකට රට භාරදී කඩිනම් මහමැතිවරණයක් කරා යොමුකරවීමේ අභිලාසයක් පෙන්නුම් කරන බවයි. බංග්ලාදේශ හමුදාව ෂෙයික් හසිනාගේ වසර 15ක පාලන කාලය තුළ පාලන අභිලාශයන්ගෙන් වඩාත් ඈත්වී ඔවුනට හිමි ජාතික ආරක්ෂක මෙහෙවරට කැපවන ස්ථාවරයක් පෙන්නුම් කළේය.
පසුකාලීනව අධිකාරීවාදී ස්වරූපයක් ගත් ෂෙයික් හසීනා පාලනයේ සන්නද්ධ ඕනැ එපාකම් ඉටුකළේ හමුදාව නොව පොලිසිය හා කුප්‍රකට ක්ෂණික විහිදුම් පොලිස් බලකාය වැනි අතුරු පොලිස් බලඇණි මගිනි. එම කාලය තුළ හමුදාව වඩාත් වෘත්තියමය ස්වරූපයක පසුවන ලකුණු පෙන්නුම් කළේය. වත්මන් උද්ඝෝෂණ මැඩලීමද පොලිස් හා අතුරු හමුදා විසින් සිදුකරනු ලැබූ අතර තත්වය වඩාත් නරක අතට හැරෙද්දී පැයක් තුළ ඉල්ලා අස්වී රටින් ඉවත්වන ලෙසට අගමැතිනි ෂෙයික් හසීනාට දැනුම්දීමක් සිදුකරනු ලැබුවේ හමුදාව විසිනි.
සිදුවූයේ කුමක්ද?
බංග්ලාදේශයේ ෂෙයික් හසිනා ගෙදර යැවීමට තරම් බරපතළ ලෙස ඉස්මතුවූ තරුණ ව්‍යාපාරය මූලික වූ හේතු සාධකය වන්නේ විරැකියාව පදනම් කරගත් තරුණ අසහනයයි. වත්මන් විරෝධයේ උල්පත එයයි. බංග්ලාදේශයේ තරුණ විරැකියාව 2022 සංඛ්‍යාලේඛනවලට අනුව 12.54කි. වසරකදී රජයේ පුරප්පාඩු වන තනතුරු 600-700ක් සදහා අයදුම් කරන තරුණ තරැණියන්ගේ ගනන සාමාන්‍යයෙන් ලක්ෂ 6 ඉක්මවන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. සරසවි සිසුන්ගේ මූලික ඉලක්කය රජයේ රැකියාවක් ලබාගැනීමයි. රජයේ රැකියා ලබාදීමේදි කෝටා ක්‍රමයක් අනුගමනය කිරීම බංග්ලාදේශය මුල් යුගයේ සිටම අනුගමනය කළ ප්‍රතිපත්තියකි. 1971 වසරේ පාකිස්ථානයෙන් වෙන්ව නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශයේ නායකත්වය පත්වූ ප්‍රථම අගමැති ෂෙයික් මුජිබර් රහ්මන් හෙවත් වත්මන් අගමැතිනී ෂෙයික් හසීනාගේ පියා විසින් 1972 වසරේදී කෝටා ක්‍රමය හදුන්වා දෙනු ලැබීය. මෙය වරින්වර අභියෝගයට ලක්වුවද පාලක අවාමි ලීගය මෙය පවත්වාගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. මෙම කෝටා ක්‍රමයේදී රජයේ රැකියා වලින් 44%ක් පළමු පන්තියේ හා දෙවැනි පන්තියේ රැකියා ලෙස වෙන්කර තිබේ. එය යොමුවන්නේ කුසලතා පදනම අනුවයි. ඉතිරි 56% පහත සදහන් ආකාරයෙන් බෙදී යයි.
බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ගේ දරුමුණුබුරන්ට - සියයට 30 ක්
කාත්තාවන්ට - සියයට 10 ක්
පසුගාමී දිස්ත්‍රික්කවල ජනතාව සදහා සියයට 10 ක්
සුළු ජාතිකයන් සදහා - සියයට 10 ක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා සියයට 1 ක් වශයෙනි
මෙහිදි මතබේදය හටගෙන ඇත්තේ 30% නිදහස් සටනේ විරුදරුමුණුබුරු කෝටාව සම්බන්ධයෙනි. එය අවාමි ලීගය තම ආධාරකරුවන්ට සැලකීම සදහා තබාගෙන සිටින වරප්‍රසාදයක් බව විපක්ෂ කණ්ඩායම් මෙන්ම සිවිල් සංවිධාන හා සිසු සංවිධානද චෝදනා කරති. මේ නිසා වාසි ලබන්නේ පාලක පක්ෂ දේශපාලනයට සම්බන්ධ පිරිස් බව ඔවුන්ගේ චෝදනාවයි. එහෙත් අගමැතිනි ෂෙයික් හසීනා එය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඇය පවසන්නේ මෙය නිදහස් රණ විරුවන්ට කරන නින්දාවක් ලෙසයි. නිදහස් විරුවන්ට වරප්‍රසාද නොදී එදා බංග්ලාදේශ නිදහසට විරුද්ධව ක්‍රියා කළ පිරිසගේ දරු මුණුබුරන්ට වරප්‍රසාද ලබාදෙන්න දැයි අගමැතිනිය පෙරළා ප්‍රශ්න කිරීම දැඩි ජනතා විරෝධයට හේතුපාදක වූවකි.
කෝටා ක්‍රමයට විරුද්ධව පළමු වෙඩිමුරය පත්තු වූයේ 2018 වසරේදීය. වසර කිහිපයක් පුරා පැවති සිසු නොසන්සුන්තාවල ප්‍රතිඵලයක් ලෙස සරසවි කේන්ද්‍ර කරගනිමින් එදා ද වර්තමානයේ මෙන්ම උද්ඝෝෂණ රැල්ලක් හටගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණය තීන්දු කළේ කෝටා ක්‍රමය නවතා දමන්නටයි. මේ අනුව 2018 වසරේ සිට නිදහස් විරු කෝටාව අත්හිටුවා තිබිණ. එහෙත් එම තීන්දුව අභියාචනාධිකරණය හමුවට ගොස් තිබිණ. එම නඩුවේ තීන්දුව ලෙස ඉකුත් ජුනි 7 වෙනිදා මහාධිකරණය තින්දු කළේ නිදහස් විරු කෝටාව යළි ප්‍රතිස්ථාපනය කිරීමටයි. එය අළු යට තිබූ ගිනි පුපුරු යළි පත්තු කිරීමක් බදු විය. ජනතාව අතර යළි නොසන්සුන් තත්වයක් වර්ධනය විය. විශේෂයෙන්ම සිසු ප්‍රජාව නැවතත් දැඩි සේ කම්පාවට පත්ව තිබිණ. මුලින් ආරම්භ වූ සුළු සුළු විරෝධතා පසුව රට පුරා විහිදී ගිය උද්ඝෝෂණ රැල්ලක් බවට පත්විය. එහි ප්‍රතිළුලය ෂෙයික් හසිනාට අගමැති පුටුව අහිමි කළ වත්මන් අරගල රැල්ලයි.
හසිනාට වැරදුණේ කොතනද?
බංග්ලාදේශය නමැති රට බිහිවන්නේ ඉන්දීය නිදහසේදී නැගෙනහිර පාකිස්ථානය වශයෙන් වෙන්ව ගිය පාකිස්ථානයට භූමිය වශයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති ගංගානම් ඩෙල්ටාවේ පිහිටි භූමිය ඉන්දියාවේ සහය ඇතිව බංග්ලාදේශය ලෙස 1971දී නිදහස ප්‍රකාශ කිරීමෙනි. ෂෙයික් හසිනා බංග්ලාදේශයේ නිර්මාතෘ හා එරට ප්‍රථම ජනාධිපති බංගබන්දු ෂෙයික් මුජිබර් රහමන්ගේ දෙටු දියණියයි. 1975 හමුදා කුමන්ත්‍රණයේදී ජනාධිපති ෂෙයික් මුජිබර් ඇතුළු පවුලම ඝාතනය කෙරුණු අතර දිවි ගලවා ගත්තේ එවකට ජර්මනියට ගොස් සිටි ෂෙයික් හසිනා හා ෂෙයික් රෙහානා යන දියණියන් පමණි. ඔවුනට යළි බංග්ලාදේශයට පැමිණිම තහනම් කෙරුණු අතර ඉන්දියාවේ රැකවරණ හිමිවිය.
දෛවෝපගත ලෙස ඉකුත් සදුදා අගමැති පදවිය හැර යළි ඉන්දියාවට යද්දි ෂෙයික් හසිනා ළගම සිටියේ ඇගේ නැගණිය වන ෂෙයික් රෙහානායි. හසීනා ඉන්දියාවේ ද සහය ඇතිව බංග්ලාදේශයේ නායකත්වය සදහා වන ව්‍යාපාරය ආරම්භ කළේ 1980 දශකයේ මුල භාගයේදීය. 1986දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන තෙක්ම ඇය වරින්වර නිවාස අඩස්සියේ හා අත් අඩංගුවේ පසුවුයේ හමුදා පාලක ජෙනරල් හුසේන් මොහොමඩ් එර්ෂාද්ගේ අධිකාරීවාදි පාලක සමයේදීය. 1990දී එර්ෂාද් ජනතා කැරැල්ලක් මගින් බලයෙන් පහකර එළවා දමන තෙක්ම හසීනා හා ඇගේ අවාමි ලීග පක්ෂය බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා උපරිමයෙන් කැපවිය. ඒ දැන් දරුණුතම ප්‍රතිවාදිනිය වු බෙගම් කලිඩා සියා හා ඇගේ ජාතික පක්ෂය සමග ඉතා සහයෝගයෙන් හා සංහිදියාවෙන් යුක්තවයි. ඉන්පසුව ඇරඹුණේ හසිනා - කලිඩා පාලන බල පොරයයි. හසිනා මුලින්ම අගමැති පුටුව හිමිකරගන්නේ 1996 මහමැතිවරණයේදීය. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් පරාජය ලබන ඇය ඉන් පසුව කලිඩාගේ සියාගේ පාලනය යටතේ මර්දනයට ලක්ව විවිධ අඩම්තේට්ටම් විඳ 2008 වසරේදී යළි පාලන බලය හිමිකරගත්තාය. එදා සිට බලය අහිමිවන තෙක්ම ඇය බංග්ලාදේශයේ ස්වර්ණමය ආර්ථික යුගය නිර්මාණය කළාය.
පසුගාමී ආර්ථිකයට සමුදුන් බංග්ලාදේශය හසිනා ප්‍රතිපත්ති යටතේ ශීඝ්‍ර දියුණුවක් අත්කරගත්තේ වරෙක දකුණු ආසියාවේ වේගවත්ම ආර්ථිකයට හිමිකම් කියමිනි. 2021 වසරේ ලෝකය කොරෝනා වසංගතයෙන් මිදුණු අලුතම බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය 6% ඉක්මවා තිබිණ. එය එකල ඉන්දියාවට වැඩි ආර්ථික වර්ධන වේගයකි. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අභිබවා බංග්ලාදේශය ඇගළුම් කර්මාන්තයේ ගෝලිය වෙළෙදපොළ තුළ ජයකෙහිළි නැංවීය. ලංකාව බංකොලොත්වීමට ඔන්න මෙන්න තිබියදී මූල්‍ය පහසුකමක් ලබාදී සහය දැක්වීමට බංග්ලාදේශය ඉදිරිපත් වූයේ දකුණු ආසියානු සහයෝගිතාව මූර්තිමත් කරමිනි. ලංකාව එපා කියා පයින් ගැසූ සැහැල්ලු දුම්රිය සේවාව ජපාන ආධාර යටතේ බංග්ලාදේශයේ ධකා නුවර ඉදිකෙරුණේ අගමැති හසිනාගේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්කරණයේ සාර්ථක ප්‍රතිඵල පෙන්වා දෙමිනි. ඉන්පසු තවත් දෙවරක් ඇය මැතිවරණ තුළින් පාලන බලය හිමිකර ගත්තාය. තම වසර 15 ක පාලන කාලය තුළ බංග්ලාදේශය දකුණු ආසියාව තුළ ඉහළට ඔසවා තබන්නට හේතු වූ නායිකාවක් ලෙස හසිනා ගෞරවයට පාත්‍ර වන්නීය.
පසුගාමී රටක් ඉහළට ඔසවා තැබූ නායිකාව ජනතාවගේ පා පහරින් එළියට විසිවන තැනට පිරිහුණේ ඇයි? මූලික හේතුව බංග්ලාදේශයේ අධිකාරිවාදී පාලන රටාවයි. මේ වසරේ ජනවාරි මාසයේදී විපක්ෂයේ වර්ජන මැද පැවති මහමැතිවරණයෙන් ෂෙයික් හසීනා පිට පිට සිව්වැනි වතාවටත් අගමැති වුවද ඇයගේ පාලනය ඒ වනවට ජනතාවට ගැටලු සහගත මෙන්ම අප්‍රසාදජනක තත්වයක් නිර්මාණය කර තිබූ බව පැහැදිළිය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී හසීනා
බංග්ලාදේශයේ දැකිය හැකි කනගාටුදායකම තත්වය වන්නේ ආණ්ඩුපක්ෂයට පත්වන දේශපාලන පක්ෂය තම ප්‍රතිවාදීන් පාගා මර්දනය කරමින් අධිකාරීවාදී ලෙස පාලනය ගෙන යාමට හුරුවී තිබිමයි. මේ නිසා කලිඩා ෂියා බලයට පත්වන විට හසිනාද, හසිනා බලයට පත්වන විට කලිඩා සියාද, තට්ටුමාරු ක්‍රමයට සිරගත වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ. මේ දේශපාලන ස්ථාවරය නිසා හසිනා මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වන්නේ සැබෑ ජනතා ප්‍රශ්න පවා හදුනාගත නොහැකි තරමට ඇය අධිකාරීවාදී වී තිබීමයි. ඒ ප්‍රධාන වශයෙන්ම ඇය වටා සිටින වන්දිභට්ට, චක්ගෝල දූෂිත හා ප්‍රචණ්කාරී පාර්ශවවල ආනුභාවයෙනි.
ආර්ථිකය නැංවූ හසිනාට රටේ සැබෑ ප්‍රශ්නයක් වූ විරැකියාව පැහැදිළිව පෙණුනේ නැත. රැකියා ඉල්ලන තරුණ තරුණියන් ඇය දුටුවේ එදා බංග්ලාදේශ නිදහසට විරුද්ධ වූ පාකිස්තානුවන්ගේ දරු මුණුබුරන් ලෙසිනි. තරුණ ප්‍රජාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය යටපත් කොට ඔවුනට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවීමට හසිනාගේ අවාමි ලීගය උත්සුක වූ බව එරටින් ලැබෙන වාර්තා අනුව පෙනේ. එපමණක් නොව ඔවුන් විපක්ෂයේ අතකොළු ලෙස හදුන්වා අතුරු පොලිසිය මගින් දැඩි මර්දනයක් දියත් කරනු ලැබීය. මේ නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නයක් හසීනා රජය පොරවෙන් කැපීමට නොහැකි තරමට බරපතළ කරගත් ආකාරයයි. මේ උද්දච්ඡ උඩගු හා අධිකාරීවාදි ස්ථාවරයේ අවසානය ඇයට දේශපාලන බිමෙන් ඉවත්වීමට සිදුකරලීමයි. ඇයට උපදෙස් දුන් වන්දිභට්ට චක්ගෝල පරපුර අද ඇය වටා නැත. ළග සිටින්නේ නැගණිය පමණි.
අන්තර්ජාතික සාධක
හසීනාට තිබූ ප්‍රධාන චෝදනාව ඉන්දීය ගැති භාවයයි. ඉන්දියාවට රට විකුණන බවට එල්ල වූ චෝදනාව ඇයට එල්ල වී තිබිණ. ඒ නිසාම ආසියානු කලාපීය බල පොරයේ ගොදුරක් බවට ඇය පත්ව තිබිණ. හසිනා ඉන්දීය හිතවාදී වුවද ඉන්දියාවේ ගෝලීය හිතවතා වන අමෙරිකාවට සමීප වූ නායිකාවක නොවේ. ඇය හා අමෙරිකාව අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් බරපතළ පරස්පරතා තිබූ බව වාර්තා වේ. මේ බාහිර ජගත් සාධකද හසීනාගේ ඇදවැටීම ඉක්මන් කරන්නට හේතු නොවුවා යැයි කිසිදු අතෙකින් කීමට නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉපද ඒ තුළින් ශක්තිමත් වූ හසීනා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීම නිසා ඉතිහාසයේ කුණු බක්කියට එක්වූවත් ඇය එසේ විය යුතු නායිකාවක් නොවේ. එරට ඉතිහාසයේ එක් පරිඡේදයක් හසිනාද සමගින් මෙසේ අවසන් වන්නේය.
(*** ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ)