හසීනා රටින් පැන්නූ බංග්ලාදේශ අරගලය


බංග්ලාදේශ දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ෂෙයික් හසීනාය. බංග්ලාදේශය ගිනි ගනිද්දී, අගමැතිනී ෂෙයික් හසීනා පලා ගියාය. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී පලා ගියාය. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, අගමැතිනී හසීනා, බංග්ලාදේශයේ සිට ඉන්දියාවටත් ඉන්පසු එංගලන්තයටත් පලා ගිය බවය.

හසීනා, වසර 20 ක් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. එම කාලයේ ඇයට එරෙහිව විරෝධතා හටගෙන තිබුණි. ඇය නිර්දය ලෙස පොලිසිය පමණක් නොව හමුදාව ද යොදවා එම විරෝධතා මර්දනය කර තිබුණි. එහෙත්, පසුගිය මාස කීපයේ, ඇයට එරෙහිව හටගත් ආකාරයේ විරෝධතාවලට ඇය මීට පෙර කිසි දිනෙක මුහුණ දී තිබුණේ නැත. හසීනා සහ ඇගේ රජයට එරෙහිව පසුගිය මාස කීපය තිස්සේ පැවති විරෝධතාවලින් මියගිය ගණන 300 කට වැඩිය. පෙරේදා (4) දිනයේ පමණක් විරෝධතාවලින් මියගිය ගණන 98 කි.

දිනයේ දස දහස් ගණනින් විරෝධතාකරුවෝ, ඇඳිරි නීතිය ද නොතකමින් කලහකරමින්, අග්‍රාමාත්‍යවරියට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින්, පොලු මුගුරු අතැතිව ඩකා අගනුවර අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණාහ. විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවෙසට කඩා වැදීමට ඔන්න මෙන්න කියා තිබියදී, 76 හැවිරිදි අග්‍රාමාත්‍යවරිය නිල නිවෙසින් පලා ගියාය. ඒ ඊයේ (5) පස්වරුවේ, ඇගේ ආරක්ෂක නිලධාරීන් සහ ඇගේ සමීපයන් කීප දෙනකු ද සමඟය. හසීනා පලා ගියේ හමුදා හෙලිකොප්ටර් යානයකිනි. ඇගේ නැගණිය ෂෙයික් රෙහානා ද ඇය සමග සිටි බව මාධ්‍ය සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරිය පලා ගියේ විරෝධතා හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් ද පසුවය. අග්‍රාමාත්‍ය නිල නිවෙසින් පිටත්වීමට පෙර අග්‍රාමාත්‍යවරියට ජාතිය අමතා කතා කිරීමට අවශ්‍ය වී තිබුණි. ඇය කතාවක් පටිගත කර පසුව එය විකාශය කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබුණත්, ඒ සඳහා කල් වේලාවක් තිබුණේ නැත. ඒ වනවිටත් විරෝධතාකරුවෝ, විපක්ෂයේ සහාය ලබන විශ්වවිද්‍යාල සිසුහු සහ ජවයෙන් පිරි තරුණ, තරුණියෝ නිල නිවෙසට ළඟා වෙමින් සිටියහ.

පොලිසිය සහ හමුදාව අග්‍රාමාත්‍ය නිල නිවෙසට පිවිසිය හැකි මාර්ග කම්බි වැටවල් යොදා අවහිර කිරීමට කටයුතු තර තිබුණු අතර, තැනින් තැන තවත් මාර්ග බාධක ද යොදවා තිබුණි. ඒත් මාස ගණනක් තිස්සේ කුපිත වී සිටි විරෝධතාකරුවන්ට හරස්වීමට කිසිවක් සමත් වූයේ නැත.

ඇඳිරි නීතිය නොතකමින් ඩකා අගනුවරට රැස්වුණු විරෝධතාකරුවෝ පිරිස ලක්ෂ හතර ඉක්ම වූහ. ප්‍රකෝපකාරී පිරිස්, අග්‍රාමාත්‍ය නිල නිවෙසේ ගේට්ටු කඩා බිඳ දමා තල්ලු කරමින්, ඇතුළට කඩා වැදුණේ පස්වරු තුනට පමණය. ඔවුහු නිල නිවෙසට පහර දෙමින්, ජනෙල් දොරවල් කඩා දැමූහ. ගෘහ භාණ්ඩවලට හානි කළහ. අග්‍රාමාත්‍ය නිල නිවෙසේ බඩු බාහිරාදිය ද කොල්ල කෑමට ද වූහ.

අග්‍රාමාත්‍යවරියගේ පලා වෑමෙන් පසු බංග්ලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතුවේය. වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ඔහු පැවසීය. විරෝධතාවලදී මියගිය පිරිස වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත්, හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජෙනරාල් වකර් උස් සමාන් බැගෑපත් විය. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වූයේ මෙම වසරේ ජනවාරියේය. එය තනි අස්සයා දුවන මැතිවරණයක් විය. හසීනා නියෝජනය කරන්නේ බංග්ලාදේශ අවාමි ලීග පක්ෂයයි. හසීනා අග්‍රාමාත්‍ය ධුරයේ සිටින්නේ නම් සාධාරණ ඡන්ද විමසුමක් සිදු නොවන බව බංග්ලාදේශ විපක්ෂය වන ‘ජාතික පක්ෂය’ දිගින් දිගටම චෝදනා කරමින් ජනවාරියේ පැවැති මැතිවරණය වර්ජනය කළේය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආසන 300 න්, ආසන 233 ක් දිනා ගනිමින් හසීනා සහ ඇගේ පක්ෂය රජයක් පිහිටුවා තිබුණි. විරෝධතා හටගෙන බංග්ලාදේශය ගිනියම් වූයේ, එරට නිදහස් සටනට උරදුන් විරුවන්ගේ දරුවන් වෙනුවෙන් හසීනාගේ රජය වෙන් කළ රැකියා කෝටාව මුල්කර ගනිමිනි. විපක්ෂයේ සහාය ලබන ශිෂ්‍ය විරෝධතාකරුවන් විරෝධතා ආරම්භ කරද්දී, රජයට පක්ෂ විරෝධතාකරුවෝ ද වීදි බැස ඔවුන්ගේ විරෝධතා පළ කළහ. දෙපාර්ශ්වය අතරේත් පොලිසිය අතරේත් ගැටුම් හටගත්තේ ඒ අනුවය. අවසානයේ ශිෂ්‍ය විරෝධතා හමුවේ හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී රටින් පලා ගිය අතර, ඇගේ රජය බිඳ වැටුණි.

(***)

ලුසිත ජයමාන්න

ඒ.එෆ්.පී. ඇසුරිනි