හැඟීම්වලට බර නොවී බුද්ධියෙන් ප්‍රශ්න විසඳමු


අන්තවාදයට සහයෝගය දෙන දේශපාලනඥයන් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය ඊයේ අවසන් කළහ. ඊට පසුව දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ සිද්ධි හටගනිමින් තිබේ.

රට පුරා පැන නැඟී ඇති විරෝධතා හමුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරු ඉල්ලා අස්වූහ. තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට ඉඩ සලසා දෙමින් එම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම යහපත්ය.

අවධානය යොමු කළ යුතු කාරණාවක් තිබේ.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ නිර්මාණය වී තිබෙන්නේ අලුත්ම තත්ත්වයකි. එම අලුත් තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. එසේ හඳුනා ගැනීමට සමත් නොවන්නේ නම් එය රට බරපතළ අනතුරකට හෙළීමකි. රට ගමන් කරමින් තිබෙන්නේ එම බරපතළ අනතුර දිශාවටය. එයින් කියැවෙන්නේ අලුත් තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමට අප සමත් වී නැති බවය.

අප රට තරම් “අවස්ථා” අතහැරි වෙනත් රටක් තිබේ දැයි සැක සහිතය. 2006 සුනාමි උවදුරෙන් පසුව පොදු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අනගිතම අවස්ථාවක් නිර්මාණය විය. එහෙත් එම අවස්ථාව අපතේ ගියේය. 2009 මැයි 19 වැනි දින කොටි සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කිරීමෙන් පසුව රට ගොඩනැඟීමට සමත් දියුණු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිව තිබිණි. එහෙත් එවැන්නක් සිදු වූයේ ද නැත.

2015 ජනවාරි 8 වැනිදායින් පසුව මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකමුතුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේය. එයින් අපේක්ෂා කළේ ද රට හමුවේ නිර්මාණය වී ඇති බැරෑරුම් අභියෝග හඳුනා ගනිමින් රටට ජයග්‍රහණ ගෙන ඒමටය. එහෙත් අපේක්ෂිත අරමුණු පමුණුවා ගැනීමකින් තොරවම එම ජාතික ආණ්ඩුව ද අභාවයට ගියේය.

රට ගොඩනැඟීමට සමත් දියුණු යාන්ත්‍රණයක් ගොඩනැඟීමට කදිමට පස සකස් වී තිබුණ ද එම අවස්ථා ගිලිහී ගියේ දේශපාලනඥයන්ගේ පටු හා අවස්ථාවාදී රංචු ගැසීම් නිසාය. ජනතාව මහත් බලාපොරොත්තු තබා සිටියද දේශපාලනඥයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වගවීමක් නොවීය.

වළක්වා ගත හැකිව තිබුණ ද, වළක්වා නොගත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ද රටට ඇවැසි දියුණු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිව තිබිණි. විශේෂයෙන්ම සියලු ආකාරයේ අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාදාමයන්ට එරෙහි ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවිය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඉලක්කවලට ලක් නොවී සතුටින් දවස් ගෙවා දැමීමේ මිනිස් අපේක්ෂා සම්බන්ධයෙන් යම් හෝ වගවීමක් වී නම් නොපමාව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකිව තිබිණි. එහෙත් පාස්කු ඉරිදා එක් දින ප්‍රහාරයෙන් අනතුරුව ද අප අත්විඳිමින් සිටින කටුක යථාර්ථය නම් රටේ තත්ත්වය සම්බන්ධයෙන් බැරෑරුම් අවධානයක් වගකිව යුත්තන්ගෙන් යොමු නොවූ බවය.

පුරාජේරු කතා හෝ තත්ත්වය තේරුම් නොගෙන සිදුකරන සුරංගනා කතාවලින් හෝ රට ඉදිරිපිට ඇති අනතුරු ඉවත් කළ නොහැකිය. එමෙන්ම අවස්ථාවාදී ප්‍රකාශවලින් හෝ ඉබාගාතේ සිදුකරන විවිධ ක්‍රියාදාම මගින් ද අනතුර ඉවත් කළ නොහැකිය. ඒ සියල්ලෙන්ම සිදුවන්නේ තත්ත්වය තව තවත් සංකීර්ණවීමය.

මුහුදු ජලයෙන් උඩට මතුව ඇති අයිස් කන්දෙන් එම අයිස් කන්දේ තරම වටහා ගත නොහැකිය. වඩාත් භයානක ජලයෙන් මතු වී ප්‍රදර්ශනය වන අයිස් කන්ද නොව, ගැඹුරු දියෙහි විසල් පරාසයක් පුරා විහිදී ඇති අයිස් පර්වතය වේ. රට තුළ ඇති අනතුර ද එසේමය. විවිධ ක්‍රියාකාරකම් ගණන පෙන්නුම් කෙරෙන්නේ අර්බුදයේ එක් මානයක් පමණි. එහෙත් ක්‍රියාකාරකම් හරහා පෙන්නුම් කෙරෙනවාට වඩා තත්ත්වය ඉතාම භයානකය. වර්ගවාදය හා ආගම්වාදය යනු පිළිකාවක්මය. එය සුව නොකරන්නේ නම් මරණය ඒකාන්තය.

විනාශකාරී ඉරණමකට ලක්ව එම ඉරණම දකින ඇතැමකු විසඳුම ලෙස තෝරා ගන්නේ ද විනාශයක්මය. ඒ එම විනාශය එයට ඇති එකම විසඳුම යැයි මුග්ධ ලෙස සිතීමේ ප්‍රතිඵලයක් ලෙසය. අප රට ගමන් කරමින් සිටින්නේ ඒ දිශාවට නොවේ දැයි සබුද්ධික ජනයාට තේරුම් ගැනීමට අසීරු නැත. එහෙත් එය රට කරවන ඇත්තන්ට නොතේරෙන්නේ මන්දැයි උත්තර නැති ප්‍රශ්නයක්මය.

යමක් කළ යුත්තේ එය කළ යුතුම මොහොතේය. එය කළ යුතුම මොහොතේ එය නොකර පරක්කු වී හෝ ඉක්මන් වී එය කිරීම වැඩ වරද්දා ගැනීමකි. මුහුදු හත් ගව්වක් තිබියදී අමුඩ නොගසන ලෙසත්, අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීමත් මුග්ධ බවකි. එබඳු මුග්ධයන්ට අවසානයේදී අසන්නට සිදුවන්නේ  “කවුද මගේ අමුඬේ කැත කළේ?” යන්නය. මෙරට ජනයාගෙන් හෙට දිනයේදී කවුරුන් හෝ විමසුවහොත් එය විමතියට කරුණක් නොවනු ඇත.