හිටපු විගණකාධිපතිගෙන් ඇස් ඇරෙන කතාවක්!


ප්‍රතිපත්ති විරහිත අගතියට බර අවර ගණයේ දේශපාලන සංස්කෘතියක් ආගමක් සේ අදහන සමාජයක සාමාජිකයන් වන්නට සිදුවීම පෙර කරුමයකි. නැතිනම් පෙර පව් පල දීමකි. අපේ ඡන්දයෙන් වසර පහකට බලය ලබන දේශපාලන භවතුන්ගෙන් බහුතරය නිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ කී දෑ පිළිබඳව විවෘත මනසින් මෙනෙහි කරන විට අප තුළ ඇතිවන්නේ සංවේගයකි. කෙසේ හෝ දැන් අපට මඟ වැරැදී ඇත.  එලෙස වල්මත්ව හසරක් නොදැක ඉබාගාතේ යන සමාජයක් බවට ශ්‍රී ලාංකික සමාජය පත්වූයේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම බෙහෙවින්ම සංකීර්ණ කටයුත්තකි.

එහෙත් මේ කරුණ සම්බන්ධයෙන් සමාජයේ ඇස් ඇරෙන දෙසුමක් පසුගියදා අපට  කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අසන්නට ලැබුණි. එහි දේශකයා වූයේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාය. ඔහු එදා ශ්‍රී ලාංකික සමාජ දේහයට මෙතෙක් සිදුව ඇති වින්නැහිය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළේය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලනය ඔහු හැඳින්වූයේ ‘පාදඩ දේශපාලනය’ යන විශේෂ හැඳින්වීමෙනි. ඡන්දය බලාගෙන රටේ දුප්පත්කම විකිණීම ගැන ඔහු කළ විග්‍රහය කදිම සමාජ විවරණයකි.

හිටපු විගණකාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූයේ රටේ කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. කලින් කල ආණ්ඩු බලය අතට ගන්නා මැති ඇමැති සමූහය තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තිය සේ හුවාදක්වමින් දෙසාබානා හතරවරම් කයි කතන්දරවලට රැවටෙන පිරිස මේ අය සුර ලොවින් මිහිබට දෙවිවරුන් සේ සලකති. මේ තත්ත්වය විවේචනය කරන අතරතුර අතීත  උදාහරණවල පූර්වාපර සන්ධි ගැළපූ හිටපු විගණකාධිපතිවරයා ශ්‍රී ලංකාවට 1910 දී  සර්වජන ඡන්ද බලය ලබාදීමට මුලින් යෝජනා වූ අවස්ථාවේ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ඊට එරෙහි වූ ආකාරය ද විස්තර කළේය.

ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට තරම් බුද්ධියක් ශ්‍රී ලාංකික ජනතාවට නොමැති බව එහිදී පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා යම් හෙයකින් මෙරට ජනයාට සර්වජන ඡන්ද බලය  ලබා දුන්නොත් අනාගතයේදී ශ්‍රී ලංකාව පාලනය කරනු ලබනු ඇත්තේ පවුල් කිහිපයක් විසින් පමණක් බව පෙන්වා දුන්නේය. නිදහසින් පසු එම තත්ත්වය යථාර්ථයක් වූ බව අප ඔබට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. 1948 සිට මේ දක්වා ප්‍රධාන දේශපාලන පවුල් ගණනාවක් විසින් ශ්‍රී ලංකාව පාලනය කරන ලද නමුත් පොදුවේ රටට සිදු වූ සුගතියක් නැති බව පැහැදිලි සත්‍යයයි.

එසේම ආණ්ඩුකාර හෙන්රි මැකලම් විසින් පෙන්වා දෙන ලද පරිදි සර්වජන ඡන්දය නමැති බල සම්පන්න දේශපාලන මෙවලම භාවිත කරන්නට තරම් ශ්‍රී ලාංකිකයන් බුද්ධිමත් නොවන බව සමාජය විසින් පසක් කරනු ලැබ ඇත්තේ වරක් දෙවරක් නොවේ.

විශේෂයෙන්ම මෙරට ජනතාව මැතිවරණයෙන් මැතිවරණයට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ ජාතික ප්‍රතිපත්තියකට නොවන බව පැහැදිලිය. තමන්ට වඩාත් සුන්දර පොරොන්දු දෙන්නන් රටේ පාලකයන් ලෙස තෝරාගන්නා සමාජය එම පාලකයා විසින් දෙන ලද පොරොන්දු ඉටු නොකරන විට ඔහුට දොස් නගමින් ඊළගට ආණ්ඩු කරන්නට තෝරාගත්තේ විපක්ෂයයි. මේ ආකාරයට තට්ටු මාරු දේශපාලනය පිළිගත් සමාජය සදාකාලිකව විඳවන්නේ තමන් කරගත් වැරැදි නිසා බව සඳහන් කරනු වටී.

රටේ දුප්පත්කම නඩත්තු කරන ආණ්ඩු සංකල්ප තුළින් රටක් ගොඩනැගිය නොහැකි බව සිය දේශනයේදී පෙන්වා දුන් හිටපු විගණකාධිපතිවරයා ජනතාවට හාල් නොමිලේ දීම, බඩු මලු බෙදීම වැනි පැලැස්තර විසඳුම්වලින් ශ්‍රී ලාංකික සමාජය බෙලහීන තත්ත්වයට පත්කර ඇති බව ද පෙන්වා දෙයි. මේ සියල්ල දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන්නේ ජනතාව ගැන හෝ රට ගැන සිතා නොව ඊළඟ ඡන්දය අපේක්ෂාවෙන් නිසා එයින් රටට යහපතක් සිදු නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව දියුණු කිරීමට ප්‍රධාන වශයෙන් බාධාකාරී වන දූෂණය සහ නාස්තිය සම්බන්ධයෙන් ඔහු පැවසූ අදහස් බෙහෙවින් ප්‍රායෝගිකය. සාරගර්භය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුල්‍ය බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටයි. එහෙත් පාර්ලිමේන්තුව දැන හෝ නොදැන එම උත්තරීතර මුල්‍ය පාලන බලය කැබිනට් මණ්ඩලය අත්පත් කරගෙන තිබීම බොහෝ දූෂණවලට මුල් වී ඇති බව ප්‍රකට කරුණකි. අමාත්‍ය මණ්ඩලය අනුමත කරන මුල්‍ය යෝජනා හෝ පරිපූරක ඇස්තමේන්තු ක්‍රියාත්මක කළ පසුව අනුමැතිය  සඳහා පමණක් මැතිසබය උපයෝගී කර ගන්නා ක්‍රමවේදය හේතුවෙන් බොහෝ ගනුදෙනු දූෂණය නමැති චෝදනාවට ලක්වෙයි. විශේෂයෙන් ටෙන්ඩර් පටිපාටිය ආදියේ කිසිදු විනිවිද බවක් නැති බවට නිතර නැගෙන චෝදනා විමර්ශනයට හෝ නිසි ක්‍රමවේද සකසා නැත.

මේ නිසා දේශපාලනය අද ගරුකටයුතු සමාජ මෙහෙවරක් නොව කෙටි කලකින් මහා ධන සිටාන කෙනකු වීමේ මාවතක් බවට පත්ව තිබේ. එංගලන්තයේවත් අමෙරිකාවේවත් නැති වරප්‍රසාද හා බලතල අප රටේ දේශපාලකයන්ට හිමිය.

නිල වාහන, නිල නිවාස, අඩු මිල ආහාරපාන, රට සවාරි සහ තවත් නොයෙක් නිල දීමනා ඔවුන්ට හිමිය. එපමණක් නොව තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගෙන්  ආරක්ෂා වීම සඳහා ආරක්ෂක නිලධාරීන්ද රජයේ වියදමින් සපයා දෙනු ලැබේ. ඒ නිසා  දැන් මැති ඇමැති පට්ටම ඉතා හොඳ රැකියාවක් බවට පත්ව තිබෙන්නේ එම තනතුරු වටා භ්‍රමණය වන දේශපාලන රැස් වළල්ලත් ඊට ආවේණික වරප්‍රසාද මල්ලත් නිසාය. ඔවුන් ලබන වරප්‍රසාදවලට ප්‍රමාණවත් මහජන සේවාවක් සිදුවන්නේදැයි කියා විමසා බලන්නට විගණනයක් හෝ විමර්ශනයක් නැත්නම් අඩුම තරමේ  සරල පසුවිපරමක් කරන ක්‍රමවේදයක් මේ රටේ නැත.

ජනතාවගේ අපේක්ෂා ඉටු නොකරන දේශපාලනඥයන් පන්නා දැමීමට ජනතාවට ලැබෙන එකම අවස්ථාව වසර පහකට පසුව එන ඡන්දය පමණි. එම නිසා පටු දේශපාලනය විසින් අගාධයටම ගෙන ගොස් ඇති වත්මන් ශ්‍රී ලාංකික සමාජයට ජීව වායුව පිඹින්නට හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියක් තුළ තැන්පත් වීමෙන් පමණි. ඒ සඳහා පොදු ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට  වෙනස් නොවන නීති රීති හා සම්ප්‍රදායන් හා සම්මතයන්ද වුවමනාය. ඒ සඳහා අපට අසල්වැසි ඉන්දියාවෙන් පවා ලබාගත හැකි ආදර්ශ අපමණය.

(***)