අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරි ඇරැඹුණු මුල් දින දෙකේදීම දුම්රිය මගීන්ට අසුබ අත්දැකීමක් විඳින්නට සිදුවිය. දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු වීම ඊට හේතු වී තිබිණි. දුම්රිය රියැදුරන් හා නියාමකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙසේ දුම්රිය ගමන්වාර අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක සඳහන් විය.
අලුත් අවුරුද්දට පෙර දිනයකද (09) හදිසියේම දුම්රිය රියැදුරෝ සහ නියාමකවරු වැඩවර්ජනයක නිරත වූහ. එම වර්ජනයද එදින පස්වරුවේ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වූ අතර ප්‍රධාන දුම්රිය ස්ථානවල දැඩි නොසන්සුන්තාවක්ද හටගෙන තිබිණි. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එදිනම දුම්රිය වර්ජනය අත්හිටුවීමට කටයුතු කර තිබුණද ඉන්පසුවත් ඇතැම් දුම්රිය ධාවනය වූයේ ප්‍රමාද වී බවට දුම්රිය මගීහු පැමිණිලි කළහ. එම ප්‍රමාදය දුම්රිය මගීන්ට මහත් හිසරදයක් බවට පත්වී තිබූ බවද වාර්තා විය.
දුම්රිය වැඩවර්ජන මීට කාලයකට පෙර සුලබ මාතෘකාවක් බවට පත්ව තිබුණද ආණ්ඩුව මාරුවීමෙන් පසුව ඒ ගැන අසන්නට ලැබුණේ නැත. එහෙත් දැන් යළිත් හදිසියේ සිදුවන දුම්රිය වැඩවර්ජන පිළිබඳ වාර්තා වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා දෙපාර්තමේන්තුව තුළින්ම පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මේ හදිසි වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති මගින් පියවර ගෙන තිබූ බවද දැනගන්නට ලැබිණි.
එහෙත් වැඩවර්ජනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් මගී ජනතාව පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටය. වැඩ ඇරී නිවෙස් බලා යන පිරිස් පමණක් නොව අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යාමට සූදානමින් සිටි ජනතාවද අමාරුවේ වැටී සිටියහ. මෙය කනගාටුදායක සිදුවීමක් බව සඳහන් කළ යුතුය.
තමන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් වැදීමට වෘත්තීය සමිතිවලට තිබෙන අයිතිය පිළිබඳ කිසිවකුත් ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී වුවද අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයක් තිබේ. එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක මූලික අරමුණ විය යුත්තේ මහජනතාව තලා පෙළා දැමීම නොව සමිතියේ ඉල්ලීම් දිනාගැනීමය. ඒ සඳහා මහජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නැත. දුම්රිය මගීන් යනු දුම්රිය වෘත්තීය සමිතිවල ගැටලු විසඳාදීමට හැකියාව ඇති පිරිසක් නොවේ. ඒවා විසඳාගැනීම ආණ්ඩුවක් සමඟ කරන ගනුදෙනුවකි. එහි ඇපකාරයන් බවට දුම්රිය මගීන් පත්කළ යුතු නැත.
දුම්රිය මගීන් යනු මේ රටේ ශ්‍රමදායකයන් බහුතරයකින් සැදුම්ලත් පිරිසක් මිස වරප්‍රසාද සහිත සුවපහසු දිවියක් ගෙවන පිරිසක් නොවේ. උදේ පාන්දර හිරුඑළිය දකින්නත් පෙර දුම්රියට ගොඩවදින බොහෝ මගීන් ආපසු නිවෙස් බලා යන්නේ හොඳටම ඇඳිරි වැටීමෙන් පසුවය. මෙවැනි මගීන්ගේ ගමන් බිමන්වලට හරස් කැපීම අපරාධයකි. එය
මගීන්ගෙන් පළි ගැනීමකි. දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් දිනාගැනීමට මේ ආකාරයට මගීන්ගේ බඩට ගැසීම අනුමත කළ නොහැකිය.
තවත් අතකින් දුම්රිය මගීන්ට දුම්රිය සේවයෙන් ලැබෙන සේවාව පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක. ඇතැම් කාර්යාල දුම්රිය වෙලාවට ධාවනය වන්නේ නැත. එයින් සිදුවන ප්‍රමාදය බොහෝ මගීන්ට ගැටලු ඇති කරයි. එවැනි තත්ත්වයක් තිබියදී නොකියාම දුම්රිය ධාවනය ඇනහිටුවීම මගීන්ට සිදුකරන මහත් අසාධාරණයකි.
එසේම ඇතැම් ප්‍රධාන දුම්රිය ස්ථානවලද මගීන්ට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නැත. මැදිරි සංඛ්‍යාව අඩුවෙන් යෙදීම හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රියවල මගීන්ට හැරෙන්නවත් ඉඩක් නැත. තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට මගීන් තලා පෙළා කටයුතු කරන දුම්රිය වෘත්තීය සමිති මේ කරුණු කෙරෙහිද ප්‍රමාණවත් අවධානයක් යොමුකරන්නේ නම් වැදගත් බවද පෙන්වාදීමට කැමැත්තෙමු.
දුම්රිය රියැදුරන් සහ නියාමකයන් පසුගිය දිනවලදී සේවයට වාර්තා නොකළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දැයි කිසිවකුත් නිල වශයෙන් කියා නැත. ඊට කලින් සතියේ හදිසි වැඩවර්ජනය ඇමැතිවරයා සමඟ සාකච්ඡාවකින් අවසන් වුවද සේවයට වාර්තා නොකිරීම පිළිබඳ ගැටලුව දිගටම පැවතුණහොත් එයද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් සැලකිය යුතු වෙයි. එසේ නම් මගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් එම ගැටලුව විසඳාදීමට දුම්රිය බලධාරීන් වහා පියවර ගත යුතුය. එසේ නොවුණහොත් දුම්රිය මගීන්ට නම් අලුත් අවුරුද්ද ලබන්නේම අසුබ නැකතකින් බව අකැමැත්තෙන් වුවද පෙන්වාදීමට අපට සිදුවනු ඇත.
රටක දියුණුව මැනිය හැක්කේ එරටේ තිබෙන පෞද්ගලික වාහන සංඛ්‍යාව අනුව නොව පොදු ගමනාගමන සේවයේ ඉහළ ගුණාත්මකභාවය අනුව යැයි කියමනක් තිබේ. දුම්රිය සේවය මෙරට පොදු ගමනාගමන සේවයේ ප්‍රබල අංශයකි. අලුතින් දුම්රිය මැදිරි, එන්ජින් කොතරම් මෙරට දුම්රිය සේවාවට එක්වුණද එහි ගුණාත්මක බව පවතින්නේ පහළ මට්ටමක නම් ඒ ගැන අපට රටක් වශයෙන් සතුටු විය නොහැක. දුම්රිය මගීන්ට වඩා එහි වගකීම පැවරෙන්නේ දුම්රිය රියැදුරන් සහ නියාමකයන් ඇතුළු නිලධාරීන්ට බව සඳහන් කළ යුතුය.
(***)