මැදපෙරදිග ඇවිළෙමින් අඩුවෙමින් පවතින ගින්නට නැවතත් පිදුරු එක්කොට තිබේ. යුද භීතිකාව ගැන දසතින් යළි කතාවෙනු ඇසෙයි. ඊශ්‍රායලය තම උතුරු දෙසින් අලුත් යුද පෙරමුණක් විවෘත කරගෙන තිබේ. එහි උච්චතම අවස්ථාව පසුගිය ඉරිදා (25) අලුයම වාර්තා විය.
ඊශ්‍රායලය මෑත භාගයේ ගාසා තීරය හැරුණු කොට, තම රටෙන් බැහැර ප්‍රදේශයක දරුණුතම හා විශාලතම ගුවන් ප්‍රහාරය ලෙබනනය වෙත එල්ල කළේය. හිස්බුල්ලා සංවිධානයද රොකට් වෙඩි 300කට අධික සංඛ්‍යාවක් හා ප්‍රහාරක ඩ්‍රෝන යානා යම් සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කළේ තම ප්‍රහාරක ශක්තිය දුර්වල වී නොමැති බව තහවුරු කිරීමටයි.
මෙය මැදපෙරදිග ගැටුමේ අලුත්ම පරිච්ඡේදයයි. ඊශ්‍රායලය මේ වනවිට සන්නද්ධ සංවිධාන තුනක් සමගත් එනම් හමාස්, හිස්බුල්ලා සහ හූති සංවිධාන සමගත්, රාජ්‍යයක් වශයෙන් ඉරානය සමගත් විවෘත ගැටුමකට එළඹ තිබේ. පලස්තීන පාලන අධිකාරියේ බලය සතු බටහිර ඉවුර ප්‍රදේශයේ ක්‍රියාත්මක, ජනාධිපති මහමුද් අබ්බාස්ගේ නායකත්වයෙන් යුත් ෆාතාහ් කණ්ඩායම සමග ඊශ්‍රායලය නිල වශයෙන් යුද්ධයක නැතත් ඉකුත් සතියේ ලෙබනනයේදී පලස්තීන අධිකාරියට සම්බන්ධ අල් අක්සා බළකායේ ප්‍රධානියකු වූ කාලිල් අල් මක්දා ඊශ්‍රායල් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියයාම දෙපාර්ශවය වඩාත් ගැටුම්කාරී මාවතට ගෙන යාමකි.
මේ සියලු සංසිද්ධී ගෙන හැර බලන කල පැහැදිලිව දක්නට ලැබෙන්නේ දිගු කාලින යුද්ධයකට අත වනන සාධකය. යුදෙව් අරාබි වෛරය තව තවත් වර්ධනය වන තත්වයක්ය. මැදපෙරදිග කලාපය තව තවත් ව්‍යාකූල නිසා අමෙරිකාව ඇතුළු බලවත් රාජ්‍ය තම යුදමය ශක්තිය එම කලාපය තුළ තවදුරටත් තර කිරීමේ නිරත වන්නේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට තමන් තුළ ඇති කැපවීම හුවා දක්වමිනි. මෑතකාලීන යුද උණුසුම වර්ධනය වන වාතාවරණය යටතේ අමෙරිකාව, අති නවින F 35 LIGHTNING වර්ගයේ ප්‍රහාරක යානාවලින් සමන්විත, යූ එස් එස් ඒබ්‍රහම් ලින්කන් යුද ගුවන්යානා ප්‍රවාහන නැව ඇතුළු යුද නෞකා ප්‍රහාරක කණ්ඩායම (නැව් 10කින් පමණ සමන්විත) මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇත. ඒ දැනට මැදපෙරදිග මුහුදු ප්‍රදේශයේ රැදී සිටින යූ ඒස් ඒස් තියඩෝර් රුසවෙල්ට් නමැති යුද ගුවන්යානා ප්‍රවාහන නෞකාව ඇතුළත් ප්‍රහාරක කණ්ඩායමට අමතරවයි. එමෙන්ම USS GEORGIA නමැති මිසයිල ප්‍රහාරක අමෙරිකානු සබ්මැරිනය දැනටමත් මැදපෙරදිග මුහුදු තීරයේ සැරිසරයි. වර්ග සැතපුම් මිලියන 4කට අධික විශාලත්වයෙන් යුත් හා කෝටි 56ක ජනගහනයෙන් යුත් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව හා එය තම ජාතික අභිලාෂයන්ට අනුකූල පිළිවෙතක පිහිටා තිබෙනු දැකීම ලෝක බලවතා වන අමෙරිකා එක්සත් ජනපදයේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ වෑයමේදී ඊශ්‍රායලය තම බලාධිකාරයේ නියෝජිතයා ලෙස මැදපෙරදිග කලාපයේ වැජඹෙනු දැකීම අමෙරිකාව මෙන්ම බටහිර බලවතුන්ගේ අපේක්ෂාවයි. මේ නිසා වර්තමානයේ හටගෙන ඇත යුද උණුසුම තුළ මෙන්ම ගාසා තීරය පදනම් කරගත් මහා මානුෂීය ඛේදවාචකයේදී තීරණාත්මක සන්ධිස්ථානය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාවයි. ඊශ්‍රායලය මේච්චල් කිරීමේ සැබෑ බලවත් රන් කෙවිටේ අයිතිකරු අමෙරිකාවයි.
වත්මන් ගැටුමේ සුළ මුල සොයා බැලීමේදී අපට පැහැදිලි වන්නේ දෙපාර්ශවය නිකුත් කළ නිවේදන මගින් අතිශයින් පරස්පරතා සහිත තත්වයක් පෙන්නුම් කරයි. මුලින් පහරදුන්නේ ඊශ්‍රායලයද හිස්බුල්ලා සටන්කාමීන්ද යන්න නිගමනයකට එළැඹිය හැක්කේ නිල ප්‍රකාශ වෙනුවට භූමියේ පැවති තත්වය පිළිබඳ වාර්තා සළකා බැලීමෙනි. ඊශ්‍රායලයේ ප්‍රකාශයට අනුව ඉරිදා අලුයම ඊශ්‍රායල් ගුවන් හමුදා යානා උතුරු දිග දේශසීමාවෙන් ඔබ්බට පියාසර කර ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන්ගේ අවි මෙහෙයුම් ස්ථාන විනාශ කර තිබේ. මෙහිදි ඊශ්‍රායලය පවසන පරිදි හිස්බුල්ලා ගරිල්ලන්ගේ රොකට් විදුම් මධ්‍යස්ථාන ඉරිදා ප්‍රහාරයේදී වැඩි වශයෙන් විනාශ කිරීමට සැලසුම් කර තිබිණ. හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ ප්‍රධානතම දිගු දුර අවිය වන්නේ රොකට් වෙඩි ප්‍රහාරයි. ඉරාන හා චීන තාක්ෂණය සහිත ග්‍රාඩ් රොකට් පද්ධති රැසක් ඔවුන් සතුය. උතුරින් හිස්බුල්ලාත් දකුනින් හමාසුත් ඊශ්‍රායලයනට පහරදීමට මූලික වශයෙන් මෙවැනි දිගුදුර රොකට් වෙඩි යොදාගනී. ඒවා ඊශ්‍රායලයේ ඕනෑම නගරයක් වෙත ළඟාවීමේ හැකියාවෙන් යුක්ත වේ. රොකට් වෙඩි ප්‍රහාර මැඩලීමට ඊශ්‍රායලය සතු ප්‍රබලම ආරක්ෂක යාන්ත්‍රණය නම් අයන් ඩෝම් නම් රොකට් ආරක්ෂණ පද්ධතියයි. ඉරිදා හිස්බුල්ලා ගරිල්ලන් ඊශ්‍රායලය දෙසට රොකට් වෙඩි 300කට වැඩි ගණනක් එල්ල කර තිබේ. ඒහෙත් අයන්ඩෝම් පද්ධතිය මගින් ඒම සියලු රොකට් වෙඩි විනාශ කිරීම නිසා තමන්ට හානියක් සිදු නොවු බව ඊශ්‍රායලය කියයි. හිස්බුල්ලා ගරිල්ලා නායක හසන් නස්රුල්ලාහ් ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශේෂ ප්‍රකාශකයක් සිදු කර තිබේ. ඒහිදි ඔහු සඳහන් කරන්නේ ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයෙන් හානි සිදුව ඇතත් ඒරට රජය ඒවා පිළිබඳ තතු සඟවන බවයි.
කෙසේ වෙතත් ගුවනින් ඒල්ල වන රොකට් ප්‍රහාරයකින් සිදුවූ හානිය පිළිබඳ තතු මෙවැනි ඩිජිටල් මාධ්‍ය දියුණුව අධික යුගයක සඟවා තැබීමට හැකිවේද යන්න ගැනද ප්‍රශ්නයක් පවතී. කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් ඊශ්‍රායලයට පහර දුන් බවයි. ඒම ප්‍රහාරය පසුගිය මාසයේදී ලෙබනනයේ බේරුට් අගනුවරට ඒල්ල කෙරුණු ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගිය හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ දෙවැනි ප්‍රධාන නායක ෆවූද් ෂකූර්ගේ මරණයට පළිගැනීමක් ලෙස එල්ල කෙරුණු ප්‍රහාරයක් බව නස්රුල්ලා ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේම ප්‍රකාශ සලකා බැලීමේදී අපට පැහැදිලි වන්නේ ඒකට ඒක වශයෙන් සිදු කෙරුණු ප්‍රබල ප්‍රහාරයකට දෙපාර්ශවයම ඉලක්ක වී ඇති බවයි. ඒම ප්‍රහාරවලින් සිදුවූ හානි ගැන දෙපාර්ශවයම වැඩිපුර කතා නොකරයි. හිස්බුල්ලා ගරිල්ලන් පවසන්නේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් තම සටන්කාමීන් තිදෙනකු මිය ගිය බවයි. ඒ හැර සිදුවූ හානි ගැන ඔවුන්ද කරුණු දක්වා නැත. ඒ වෙනුවට පෙන්නුම් කරන්නේ පසමිතුරු පාර්ශව ඒකිනෙකා දඩයම් කිරීමට දරන වෑයමයි. එම දඩයමෙහි වඩාත් සාර්ථක භාවයක් ලබා ඇත්තේ ඊශ්‍රායලයයි. ඔවුන් මේ වනවිට හමාස් නායකයන් හා හිස්බුල්ලා නායකයන් ගොදුරු කරගැනීම අතින් සාර්ථක භාවයක් ලබා ඇති බව පෙන්නුම් කරන්නේ මෑත භාගයේ සිදුවූ ඝාතනවලිනි. එය ඊශ්‍රායල් බුද්ධි අංශ ලැබූ සාර්ථකත්වයක් ලෙස සැලකේ. හිස්බුල්ලා නායක හසන් නස්රුල්ලා ඉරිදා ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් කර ඇත් තේ තමන් එම ප්‍රහාරයේදී ඊශ්‍රායලයේ බුද්ධි අංශ මූලස්ථානය වන මොසාඩ් කේන්ද්‍රය ඉලක්ක කරගත් බවයි. ඒහෙත් ඊශ්‍රායලය තම බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක වූ බවක් සඳහන් නොකරයි. හසන් නස්රුල්ලා පවසන පරදි පළිගැනීමේ ප්‍රහාරය මෙතරම් පමා කළේ ගාසාහි සටන් විරාම සාකච්ඡා සඳහා ඉඩ ලබා දීමට බවයි. ඒහෙත් ඒම වැඩපිළිවෙළ සාර්ථකත්වයක් අත්කරගෙන නැති නිසා ප්‍රහාර මාලාවට යොමු වූ බව නස්රුල්ලා කියයි.
හිස්බුල්ලා පසුබිම
ලෙබනනය කේන්දු කරගත් හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය බිහිවන්නේ 1982 ඊශ්‍රායල් ආක්‍රමණය සහ ඉන් පෙර සිදුවූ ලෙබනන් සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ලෙබනනයට රිංගා ගත් ඉරාන ජනරජ බලකා හමුදා කණ්ඩායම් ඒහි ස්ථානගතව ෂියා මුස්ලිම් තරුණයන්ගෙන් සමන්විත සටන්කාමී බලවේගයක් නිර්මාණය කිරීම ඇරඹීය. ඒ වනවිටත් ලෙබනනයේ ක්‍රියාත්මකව සිටි අමාල් හා දාවා වැනි සටන්කාමී සංවිධානද මේ සමග ඒක්විය. ඒ හිස්බුල්ලන්ගේ බිහිවීමයි. ඔවුන් අදවනවිට ඉතා ප්‍රබල ගරිල්ලා සංවිධානයකි. ඒය සම්ප්‍රදායික යුද හමුදාවක් තරම් ප්‍රබල බව යුද විශේෂඥයන්ගේ තක්සේරුවයි. 2021 වාර්තාවලට අනුව හිස්බුල්ලා සංවිධානයේ පිරිස් බලය ලක්ෂය ඉක්වමයි. අවි බලය සැලකූ විට රුසියානු ටී 72 යුද ටැංකි, ගුවන්යානා නාශක අවි, විවිධ රොකට් වේ 40000-1200000 අතර ගණනක් ඇතුළත් වේ. ඒ අනුව හිස්බුල්ලා යනු නිත්‍ය හමුදාවක බලය සහිත සන්නද්ධ සංවිධානයකි. කාලයත් සමග ඊශ්‍රායල් විරෝධය වැඩි වෙද්දී දක්නට හැකි ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ මෙවැනි සන්නද්ධ සංවිධාන බලවත් වීම හා තවදුරටත් ශක්තිමක් වීමයි.
මැදපෙරදිග තර්ජනය
මැදපෙරදිග කලාපය ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රභවයයි. ඒ තුළ ගැබ්ව ඇත්තේ ඛනිජතෙල් නිෂ්පාදන ක්‍රියාවලිය හා බැදුණු ආර්ථික හා දේශපාලනික බලවේගයයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර බල කඳවුර මැදපෙරදිග කලාපයේ නිරන්තර මැදිහත්වීම් සිදුකරන්නේත් එය තම බලසීමාව තුළ තබා ගැනීමට උත්සුක වන්නේ ත් එබැවිනි. ඊට උපකාරී වන වැදගත්ම සාධකය ඊශ්‍රායලයයි. 1948දී බ්‍රිතාන්‍යයේ උපක්‍රමශීලිත්වය මත පලස්තීන භූමියේ බිහිවන ඊශ්‍රායලය නම් යුදෙව් රාජ්‍යය තම බිහිවීමේ සිටම පැවත්ම සඳහා අසල්වැසි අරාබි ජාතීන් සමග නිරන්තර අරගලයක නිරත විය. පලස්තීන භූමියේ පලස්තීන වැසියන් ලක්ෂ 4කට අධික ගණනක් අවතැන් කරමින් ඔවුන්ගේ භූමිය අත්පත් කරගනිමින් බිහිවූ යුදෙව් රාජ්‍යය 1967 සයදින යුද්ධය වැනි සටන්වලදී තම සීමා මායිම් පුළුල් කරගත්තේය. පලස්තිනුවන් කොටුවූයේ දකුණු ප්‍රදේශයේ ගාසා තීරයට හා නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බටහිර ඉවූරු කලාපයටයි. පසුකාලීනව බටහිර ඉවුර පලස්තීන ෆාතා කණ්ඩායමටත් ගාසාතීරය ෂියා මුස්ලිම් හමාස් පලස්තීන කණ්ඩායමටත් හිමිවූයේ ඊශ්‍රායලය හා බටහිර බලවතුන් තිරයෙන් පිටුපස ගෙන ගිය යටිකූට්ටු වැඩ නිසාවෙනි. ඊශ්‍රායලය අදටත් බටහිර ඉවුරේ පලස්තීන ජාතිකයන්ගේ ඉඩම් ක්‍රම ක්‍රමයෙන් අත්පත් කර ගනිමින් යුදෙව් ජනාවාස ඉදිකරන බව ලෝකයම පිළිගත් කරුණකි. ඊශ්‍රායල පලස්තීන අර්බුදය නිමා කිරීම සඳහා 1993 ඔස්ලෝ සාම ගිවිසුම ඇතිකරගත්තද එය අඩවශයෙන් පමණක් ක්‍රියාත්මක වීම නිසා අර්බුදය තව තවත් උග්‍ර විය. 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් යුදෙව් වැසියන් 1600ක් පමණ මියයාමත් තවත් 250කට අධික සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන ගාසා තීරයට ගෙනයාමත් යන සිදුවීම් වර්තමානයේ අප අත්විදින බිහිසුණු මැදපෙරදිග ගැටුම්කාරී තත්වය අවුළුවාලූ ගිනි පුපුර ලෙස හැදින්විය හැක. ඊට පලිගැනීමක් ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට හමුදා යැවීම හා ගුවන් ප්‍රහාර ඒල්ල කිරීම නිසා මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 40000 ඉක්මවයි. මෙය මෑතකාලීන යුද්ධයකදී වාර්තා වූ දරුණුතම සිවිල් මරණ සහිත සංසිද්ධියයි.
යුදබිය සමනය වේද?
මැදපෙරදිග ගැටුම මේ වනවිට පාර්ශවකරුවන් රැසක් දක්වා ව්‍යාප්ත වී ඇති නිසා කඩිනම් සාමයක් අපේක්ෂා කිරීමට තුඩුදෙන කිසිදු තත්වයක් දැනට භුමියේ නැත. ඒ වෙනුවට දක්නට ඇත්තේ ගැටුමට මුල්වූ පාර්ශව විවිධ ක්‍රමවේද ඔස්සේ තම බලය වර්ධනය කරගැනීමට හා ඒ තුළින් ප්‍රතිවාදීන් පාගා දැමීමට දරණ උත්සාහයයි. මේ හැර සාමය සඳහා අවංක උත්සාහයක් අද වනවිට පැහැදිලි නොවේ. ඊශ්‍රායලය දිහට හරහට හමාස්, හිස්බුල්ලා හා ඉරාන පාර්ශවවලට පහර දෙයි. හමාස් සංවිධානයද ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදා හැර මේ ප්‍රචණ්ඩත්වය සඳහා ඊශ්‍රායලයට ඇති ඒකම සාධකය අවසන් කිරීමට උනන්දුවක් නොපෙන්වයි. මේ අඳුරු වලාවේ රිදී රේඛාව නම් පුළුල් කලාපීය යුද්ධයකට යොමූවීමට ප්‍රතිවාදී පාර්ශව යම් පසුගාමීත්වයක සිටීමයි. ඒ බව ඉරානයේ, ඊශ්‍රායලයේ හා හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් වලින් පෙනී යයි. හිස්බුල්ලා නායක නස්රුල්ලා පවසන්නේද තමන්ට තත්වය උග්‍ර අතට හැරවීමට කිසිදු වුවමනාවක් නැති බවයි. එය හොඳ ස්ථාවරයකි.
ශ්‍රී ලංකාවට ඇති බලපෑම
මැදපෙරදිග අංශ දෙකකින් ශ්‍රී ලංකාවට ජීවනාලිය බදු වේ. පළමුවැන්න බලශක්තියයි. අපගේ සියලු තෙල් සැපයුම්කරුවන් මැදපෙරදිගට සම්බන්ධය. ඒ නිසා මහා මැදපෙරදිග යුද්ධයකදී අපට නැවතත් තෙල් නැතිවීමේ අවදානමක් ඇත. දෙවැන්න අපේ මැදපෙරදිග ශ්‍රම බළකායයි. ශ්‍රී ලාංකිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මැදපෙරදිග කලාපයේ රැකියාවල නිරත වන බව සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි. යුද තත්වයකදී ඔවුන්ට අවදානමක් මතුවන අතර ඔවුන් යළි ගෙන්වා ගැනීමේ අභියෝගයට රජය මුහුණ දෙයි. අනෙක් අතට ඔවුන්ගෙන් ලැබෙන විදෙස් ප්‍රේෂණ අහිමිවීම නිසා නැවතත් සංචිත අඩුවීම වැනි අහිතකර ආර්ථිකර තත්වයට මුහුණ දීමේ අවදානමක් ඇත. මේ අනුව අපේ ප්‍රාර්ථනය නම් දැනටත් මැදපෙරදිග යුද්ධයක් වැළැක්වීමට සිදුකෙරෙන ගෝලීය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් සාර්ථක විය යුතුය යන්නයි.
(*** ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ)