හෙටට ගැළපෙන පෙරැළියක් අවශ්‍ය ඇයි?


අවුරුද්දකට පෙර අප බංකොලොත් රටක් යැයි ලෝකයටම ප්‍රකාශ කෙරුණි. ඒ අර්බුදයෙන් එගොඩවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ) ආධාර හැර වෙනත් විසඳුමක් නැතැයි සමාජ මතයක් තහවුරු කෙරෙන්නේය. ජා.මූ.අරමුදලේ ණය සහනාධාරය සමග කොවිඩ් වසංගතයට පෙර තිබූ “සමාජ යථාර්ථය” යළි තහවුරු කර ගැනීමේ බලාපොරොත්තු ජනාධිපති වික්‍රමසිංහ පමණක් නොව, ඔහු සමග කටයුතු කරන හා ස්වාධීන යැයි සැලකෙන ආර්ථික විශේෂඥයෝද සහතික කරති. ඒ සඳහා මේ සමාජයේ අකමැත්තක් විරෝධයක් අසන්නටද නැත. එහෙත් කොවිඩ්-19 ට පෙර වූ “සමාජ යථාර්ථය” සතු ගුණ දොස් ගැන විමසීමක් සිදුකෙරෙන්නේ නැත.

නූතන ලෝකයේ ශිෂ්ට සමාජ පැවැත්මක් ගැන ඇත්තේ සරළ කතාවකි. ගැටුමින් තොර සාමකාමී සමාජ වටපිටාවක, සමාජ සාධාරණත්වයක් සමගින් වන ආර්ථිකයක්ද ඇතිව, සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් මගින් පවත්වා ගන්නා ස්ථාවර ජීවන පැවැත්ම “සමාජ යථාර්ථය” විය යුතු යැයි පිළිගනු ලබන්නේය.

එය ක්‍රමානුකූලව දියුණුවන, එවගේම පිරිහිය හැකි සාධක ගණනාවක සංස්කෘතික සමාජ ගොනුවකි. ජා.මූ.අ ඩොලර බිලියන 03 ක ණය සහනාධාරය සමග අපට පොරොන්දු වන පූර්ව කොවිඩ් සමාජයේ වූ “සමාජ යථාර්ථය” එවැන්නක්ද? එහි තිබූ සමාජ සාධාරණත්වය, එහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමකාමී සහජීවනය ගැන මීට පෙර අප විමසා තිබුණිද? ඒ ගැන අපට ඇත්තේ කවර ආකාරයේ ඇගයුමක්ද? 

අප දන්නේ යැයි සිතා සිටින පූර්ව කොවිඩ් සමාජයේ ආර්ථික අසීරුකම් ගැන යම් ප්‍රතිචාර අපට තිබුණද, එහි ඇතිවූ සමාජීය හැඩ ගැසීම් හා වටිනාකම්, ආකල්ප වෙනස්වීම් ගැන අප සොයා බලා නැත. එබැවින් කොවිඩ් වසංගතයට පෙර කාලයේ සිදුව ඇත්තේ ඒ සමාජයේවූ ව්‍යසන ගැන පැහැදිලි අවබෝධයක් නැතිව ඊට පිළිගැනුමක් ලබාදීමය. 

ඒ පැවති “සමාජ යථාර්ථය” ගැන මේ විමසුම එහි ආර්ථික ක්‍රියාවලියෙන් ආරම්භ කළහොත් අප තවමත් රැඳී ඉන්නේ අවුරුදු 40 ට වැඩි කලක සිට පවතින නිදහස් වෙළඳපොළ ආර්ථිකයෙහිය. ඒ වෙනුවෙන් යටත් විජිත සමයේ සිට පවත්වා ගත් සමාජ සුබසාධනයේ බරපතළ කප්පාදු කිරීම් සිදු විය.

සහන මිල සහල් සළාකය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රාජ්‍ය අනුග්‍රහය සමගින් ලබාදීම අහෝසි කිරීමෙන් රාජ්‍ය වියදම්වල ඉතිරියක් තිබුණත් එමගින් ඉතා කටුක ලෙස පහළ සමාජයේ පැවැත්මට සිදු කළ වෙනස්කම් ගණන් හැදෙන්නේ නැත. ඒ සමග සමාජයේ මූලික සේවා අවශ්‍යතා සඳහා වන ආණ්ඩුවෙහි වගකීම පෞද්ගලික ආයෝජන වෙනුවෙන් හිලව් කිරීමෙන් කළ විනාශය නිසා සමාජයේ යථා පැවැත්මට දීර්ඝකාලීනව ඇති කළ බලපෑම ගණන් හැදෙන්නේද නැත. 

ජයවර්ධන ජනාධිපති පොදු මගී ප්‍රවාහනය සිල්ලර ජාවාරම්කාරයන්ට බාර කර එය අවිනීත අවුලක් බවට පත් කළේය. එනිසා තමන්ගේ දෛනික ප්‍රවාහන කටයුතු තනි තනිව විසඳා ගැනීමට ජනතාවට සිදු විය. ඒ හේතුවෙන් යතුරු පැදියේ සිට අධිසුඛෝපභෝගී වාහන දක්වා සියලු වර්ගවල වාහන ආනයනය කිරීමේ වෙළඳාමක්ද ඒවා මිලට ගැනීම සඳහා කල්බදු ව්‍යාපාරයක්ද ඉතා සරුවට ව්‍යාප්ත විය. එවගේම මාර්ග තද බදය හා ප්‍රධාන නගරවල වායු දූෂණය විසඳුම් නොමැති අගතීන් බවට පත් විය. 

විධිමත් ජාතික අධ්‍යාපනය හෑල්ලු කෙරුණේ සල්ලිකාර පැළැන්තියේ ළමයින් සඳහා පසුගිය අවුරුදු 25 ක 30 ක පමණ කාලයේ සිට පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ආරම්භ කිරීමත් සමගිනි. එතැන් සිට රජයේ පාසල් සඳහාවන වැදගත් සෙවිල්ලක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ පාසල්වලින් සියයට 16.5 ට කිසිදු ජල පහසුකමක් නැත. තවත් සියයට 08 ක් ජලය ලබා ගන්නේ ඇළ දොළ වෙතින්ය.

මේ පාසල්වල වැසිකිළි පහසුකම් කිසිත් තිබිය නොහැක. තවත් පාසල් සියයට 40 ට ජලය ලබා ගන්නේ පාසල් භූමියේ ඇති ළිං හෝ නළ ළිං මගින්ය. පාසල්වල වැසිකිළි එලෙසින් නඩත්තු කළ නොහැකිය. ජාතික අධ්‍යාපනයට ඇති සැලකිල්ල හා එවන් පාසල්වල ළමයින්ගේ අධ්‍යාපනය ගැන සිතා ගැනීමට වෙනත් කිසිවක් අවශ්‍ය නැත. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි පෞද්ගලික ආයෝජනවලට ඉඩ හැරුණේ රජයේ රෝහල් පමණක් නොව, ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ද අතපසු වන්නට ඉඩ හැරීමෙනි. ප්‍රජා සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම මේ සමාජයේ කතා නොවුණත් දසක දෙකකට වැඩි කාලයක සිට ඩෙංගු උණ පැතිරීම පාලනය කරගත නොහැකිව ඇත්තේ ප්‍රජා සෞඛ්‍ය සේවා දැන් අඩපණව ඇති හෙයිනි. ප්‍රජා සෞඛ්‍ය සේවා බිඳ වැටීමේ හේතුවෙන් දැන් සෞඛ්‍ය ගණන් හැදෙන්නේ රෝග පැතිරීම හා රෝගීන් අඩුවීමේ සාධක මත නොව, වැඩිවන රෝගීන් සඳහා රෝහල් ඇඳන්, වෛද්‍ය වෘත්තිකයන් සහ ඖෂධ සඳහාවන ඉල්ලුම ඉහළ යාම වශයෙනි. එහි විපාක විඳින්නට සිදුව ඇත්තේ ඒ කිසිත් හරියාකාරව නොලැබෙන විශේෂයෙන් ග්‍රාමීය හා වැවිලිකරයේ ජනයාට ය.

මේ සමාජ යථාර්ථය ගැන අවධානය අතහැරුණේ විවෘත වෙළඳපොළ සතු නිදහස් පාරිභෝගික තේරීම්ද “ප්‍රජාතන්ත්‍රවාදය” යැයි සමාජ මතයක් ගොඩ නැගීමෙනි. 

එලෙසින් වර්ණනා කෙරුණු සමාජ යථාර්ථය විසින් වාර්ෂිකව වර්ධනය කෙරුණු ආදායම් හා වත්කම් සම්බන්ධ විෂමතාව ගැන බහුතර සමාජයේ තබා ආර්ථික විශේෂඥයන්ගේ දේශනවලදී හෝ අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් ඒ විෂමතාව බරපතළ ය. පවුල් වශයෙන් සලකතොත් 2016 වසරේදී සමස්ත ජාතික ගෘහියික ආදායමෙන් සියයට 50.8 ක් ධනවත්ම පවුල් සියයට 20 ට අයත් විය. දුප්පත්ම සියයට 20 සඳහා හිමි වූයේ ගෘහියික ආදායමෙන් සියයට 04.8 ක් පමණය (මහ බැංකු ආර්ථික දත්ත - 2020).

 
විවෘත වෙළඳපොළ ආර්ථිකයක් යනු මහ නගර කේන්ද්‍රීය වෙළඳපොළකි. අපගේ මහ නගර අතුරින් මහ පරිමාණ අවිධිමත් ආර්ථිකයක් කොළඹ හා අවට ඇත්තේද එබැවින්ය. ගමේ හා වැවිලිකරයේ තරුණ තරුණියන් ආදායම් සොයා නිරන්තරව කොළඹට සංක්‍රමණය වන්නේද එබැවින්ය. කොළඹ දිස්ත්‍රික්කයේ 2016 වනවිට “සුපිරි” ධනවතුන් (ධනවත්ම සියයට 20) අත රැඳුනු ආදායම සියයට 72.9 ක් යැයි පර්​ෙ ය්ෂක සචින් පරතලිංගම් “ග්‍රවුන්ඩ්වීව්ස්” වෙත ලියා තිබිණ. ඉන් කියන්නේ ඉතිරි සියයට 80 ටම ඇත්තේ සියයට 27.1 ක ආදායමක් බවය. විවෘත වෙළඳපොළ ආර්ථිකයන්හි යථාර්ථය එවැනිය.    

කොවිඩ් වසංගතයට හා ආර්ථික බංකොලොත්කමට පෙර සමාජ යථාර්ථයෙහි වූ අශීලාචාරකම් බොහෝය. ජයවර්ධනගේ විවෘත වෙළඳපොළ ආර්ථිකයට මුල පිරුණේම 1977 සහ 1979 දෙමළ ජනතාවට එරෙහි මැර ප්‍රහාර සමගය. 1979 සම්මත කෙරුණු තාවකාලික කොටි පනත පසුව ස්ථිර කෙරුණි. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණ සමග 1981 මැයි මස අවසානයේ යාපනය නගරය විනාශ කරමින් විශිෂ්ට පුස්තකාලයක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කළේය.

අනතුරුව සිංහල-බෞද්ධ ජාතිවාදය ප්‍රචණ්ඩ ජාතිවාදයක් බවට පත් කෙරුණේ ‘83 කලු ජූලියෙනි’. හමුදා ක්‍රියාකාරිත්වයකින් දෙමළ සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීමේ දිග ඇදුණු යුද්ධයකට රටම ඇද දැමුණි. අනතුරුව සකස්වූ සමාජ යථාර්ථයේ ඉතිරි වූයේ සිංහල-බෞද්ධ ආධිපත්‍ය විසින් අනුමත කෙරුණු හමුදාකරණය සහ ස්වාධීන විය යුතු රාජ්‍ය සිංහල-බෞද්ධ රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමය. 

එතැන් සිට සිංහල-බෞද්ධ අන්තවාදය හැරුණේ මුස්ලිම් විරෝධයකට ය. එයද අළුත්ගම, අම්පාර, දිගන, උඩිස්පත්තුව, මීගමුව හා ආසන්න ප්‍රදේශවල ජීවිත හා ගොඩනැගිලි, කඩ සාප්පු ආදියට විශාල හානි සිදු කෙරුණක් විය. මේ සියල්ල අවසන් වශයෙන් ඉතිරි වූයේ අන්තවාදී සිංහල-බෞද්ධ ප්‍රචණ්ඩත්වයක් සමග සිංහල දකුණේ සාමාන්‍ය සිදුවීම් වශයෙනි. එබැවින් ඒ සමාජ යථාර්ථය සාමය, සමානාත්මතාවය නොහඳුණන යථාර්ථයක් විය. 

මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි ඒ සියල්ලට වඩා කුරිරු, අමානුෂික හා අශිෂ්ට වර්ධනය වන්නේ විනය, සාරධර්ම, සමාජ හර පද්ධතී හා ආචාර ධර්ම සියල්ල පිරිහී යෑම සහ එසේ වන්නේ යැයි සමාජ පිළිගැනීමක් නොවීමය. එය සනාථ කිරීමට දේශපාලන විග්‍රහ හෝ දාර්ශනික විවරණ අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මෙවැනි නිල සංඛ්‍යා හා දත්ත කිහිපයක් පමණි.

“2019 - බරපතළ අපරාධ පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවට” අනුව, පැහැරගැනීම් (Abduction iy Kidnapping) 21,010 කි. කප්පම් ගැනීම් 5,040 කි. සොරකම් 4,770 කි. හොර මුදල් නෝට්ටු ගනුදෙනු හා ළඟ තබා ගැනීම් 6,709 කි. මිනීමැරීම් 2,005 කි. මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ අලෙවිය, ආනයන අපනයනය, ළඟ තබා ගැනීම ආදි අපරාධ 10,012 කි. 

ඒ සියල්ලටම වඩා තිරිසන් සමාජ පැවැත්මක් වන්නේ මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම් හා ළමා සුරක්ෂාව වැනි ක්ෂේත්‍ර ආවරණය කරන ක්‍රියාකාරීන් කිසිවකුද කතා නොකරන 2019 වසරේ පමණක් වයස අවුරුදු 16 ට වැඩි කාන්තාවන් 1,674 ක් දූෂණය කිරීම සහ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරිවියන් 67,543 ක් දූෂණය කිරීම ය. ඉන් 10,765 දෙනකු ස්ව කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදුනත් බාල වයස්කාර දැරිවියන්ගේ “කැමැත්ත” නීතිය හමුවේ පිළිගනු නොලැබේ.

එබැවින් ඔවුහු දූෂණය කරනු ලැබුවෝ වෙති. ඊට අමතරව ළමයි 8,921 දෙනෙක් අස්වාභාවික නැතිනම් බරපතළ ලිංගික අතවරයන්ට ලක්ව සිටියහ. තවත් ළමයින් 256 ක් ලිංගික අපයෝජනයට හසුව සිටියහ. ඊටත් අමතරව ළමයින් 90,400 ක් කුරිරු අතවරයන්ට බඳුන්ව තිබිණ. (ඉහත සියලු දත්ත ලබාගත් “2019 - බරපතළ අපරාධ පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව” තව දුරටත් පොලිස් වෙබ් අඩවියේ නැත).

බෞද්ධ වරප්‍රසාදයක් ලෙස සියලු පොහෝ දින රජයේ නිවාඩු දින බවට පත් කළ, වසර සියයකට ආසන්න කාලයක් ඉරිදා දහම් පාසල්, කතෝලික සහ මද්‍රසා පාසල් පවතින රටක, වසරක් තුළ 67,000 ට වැඩි බාල වයස්කාර දැරිවියන් දූෂණය කිරීම, 90,000 ට වැඩි ළමයින් කුරිරු අතවරයන්ට ලක් කිරීම, වැඩිහිටි කාන්තාවන් 1,500 ට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීම සාමාන්‍ය සිදුවීම් ලෙස තිබිය හැකි යැයි සිතිය හැක්කේ කාටද? එහෙත් පූර්ව කොවිඩ් ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථය එය විය.

ජා.මූ. අරමුදලේ ඩොලර් බිලියන 03 ක ණය සහනාධාර වැඩසටහන මගින් අපට තහවුරු කර දෙන්නේ කොවිඩ් වසංගතයට පෙර පැවති සමාජ යථාර්ථය නම්, එහි බරපතළ අගතීන් හා පිරිහීම් වූ යෝධ දූෂණ හා වංචා, සිංහල-බෞද්ධ අන්තවාදය, දේශපාලනීකරණය වූ අකාර්යක්ෂම හා දූෂිත රාජ්‍ය පරිපාලනය, හමුදාකරණය, කැලෑ සංහාර හා පරිසර විනාශය, අත්අඩංගුවේදී මියයෑම්, කප්පම් ගැනීම්, මිනීමැරීම්, මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ අලෙවිය, ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා ලිංගික අපයෝජන හා ලිංගික අතවර සහ ශිෂ්ට, ශීලාචාර සමාජයක අහලකවත් නොතිබිය යුතු සියල්ල පිටු දැකිය හැකි පියවර සඳහා අවකාශ ඇතිදැයි හඬ නගා ඇසිය යුත්තකි. 

ජා.මූ. අරමුදලට ඒ කිසිත් වැඩක් නැත. සමාජ සේවා වියදම් කප්පාදුව සමග රාජ්‍ය ව්‍යාපාර අලෙවි කිරීමේදී සිදුවන රැකියා අහෝසිය හමුවේ ඔවුන්ගේ උත්සාහය දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් සඳහා සියලු උපකාර කරන බවට යෝජනා ඇතුළත්කර තැබීමය. එහෙත් නව බදු ක්‍රමයද එකතු වූ පසු ඇතිවිය හැකි ආර්ථික අහේනිය හමුවේ ජා.මූ.අ. අපට ඉතිරි කරනු ඇත්තේ දැඩි මර්දනකාරී බලහත්කාර රාජ්‍ය පාලනයක් සමග පූර්ව කොවිඩ් වසංගත සමයේ පැවති පිරිහුණු අශීලාචාර සමාජ යථාර්ථය පමණි. 

මේ විනාශකාරී යථාර්ථය අප භාරගත යුතුදැයි ඇසිය යුතු ප්‍රශ්නයකි. අවශ්‍ය වන්නේ එය නොවේ. නව සමාජ යථාර්ථයකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ (1) සියල්ලන් සමානයන් ලෙස පිළිගනු ලබන අනාගමික, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් (2) වන වගා සමග පාරිසරික සුරක්ෂාව (3) සමාජ ආර්ථික විෂමතා අහෝසි කෙරෙන සමාජ සාධාරණත්වයක් සහිත ආර්ථිකයක් හා (4) ජාතික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ සඳහා ධවල පත්‍රිකාවක් සකසා ගැනීමේ දියුණු සමාජ කතිකාවකි. සරළ බසින් කිවහොත් අනාගතය සඳහා නව සමාජ යථාර්ථයක් සාකච්ඡා කෙරෙන පුළුල් සමාජ ව්‍යාපාරයකි.

කුසල් පෙරේරා විසිනි