හෙළයේ මහා ගාන්ධර්වයා - අමරදේව


ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව ඉකුත් 3 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මොරටුවේ කොරළවලේ වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් වඩු බාස්ට දරුවන් සදෙනෙකි.

බලාපු වඩුගේ මැගී වෙස්ලියානු මැන්දිස් ජනෝරිස් බාස් උන්නැහේගේ බිරිඳ සිය සවැනි දරුවා ප්‍රසූත කළේ 1927 දෙසැම්බර් 5 වැනිදාය. දූ පුතුන් පස් දෙනෙකු සිටින පවුලක සවැන්නාගේ උපත එතරම් සුවිශේෂි දෙයක් විය නොහැකිය.

ගමේ වටපිට ඇති වයලීන අලුත්වැඩියා කිරීමට ගෙන ආවේ ජිනෝරිස් බාස් උන්නැහේ වෙතය. වැඩ අවසන් කර තබන වයලීනය අතින් ගෙන තත් පහරා එහි කම්පනයෙන් ප්‍රකම්පනය වීමට පවුලේ බාල දරුවා, වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා පුරුදු විය.

මේ බඩපිස්සා ගායනයෙහි ලා දැක්වූ සමත්කම දැනගත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඔහු ලවා දොරකඩ අස්නක් කියවිය යුතු යැයි යෝජනා කළහ. ගමේ පන්සල අතුරු සිදුරු නැතිව පිරුණු දා කුඩා ඇල්බට් මධුර ස්වරයෙන් දොරකඩ අස්න කීය. ඇල්බට්ගේ ගායනා මාධුර්යය දැනගත් ගමේ පල්ලියේ ස්වාමි, ඔහුගේ මවට කතා කර ඇල්බට් ප්‍රධාන ළමයින් පිරිසක් යොදවා  නත්තල් කැරොල් කණ්ඩායමක් තැනීමට යෝජනා කළේය. ඇල්බට් ප්‍රමුඛ කැරොල් කණ්ඩායම සිය මධුර ගායනයෙන් ගම පතළ විය.

කුඩා ඇල්බට් කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුළත් කරනු ලැබීය. මුල්ගුරුතුමා හෙළ හවුලේ කු.ජෝ. ප්‍රනාන්දුය. මුනිදාස කුමාරතුංග පඬිවරයාට හේ දෙවියකුට මෙන් සැලකුවේය. ඔහු බොහෝ විට සැන්දෑව ගත කළේ කුමාරතුංගයන්ගේ සෙවණේය.

ඇල්බට් පුතා කෙමෙන් සංගීත ලෝකයට ඇදෙනු දුටු ජිනෝරිස් බාස් උන්නැහේ පුතුගේ හත්වැනි උපන් දිනේදී සියතින්ම තැනූ  වයලීනයක් තෑගි කළේය.

‘‘ජීවන ප්‍රභා’’ ‘‘ශුද්ධ නුවර බලා’’ යන නාට්‍ය රඟදැක්වීය. පාසල් ගීත වෙසක් ගීත ගැයිණි. පාසලට සම්බන්ධව ඇරඹුණු කල්‍යාණ මිත්‍ර සංගමයේ කොළඹ කලා සංගමය මෙහෙයවූ ගායනා තරගයෙන් ඇල්බට් ප්‍රධාන ගායක පිරිසට රන් පදක්කම හිමිවිය. සෙසු තෑගි ගණනාවක්ද පාසලට අත්විණි.

කුඩා ඇල්බට්ගේ ගායන - වාදන හපන්කම් මේ වන විට ගමින් ඔබ්බට පැතිර ගියේය. මේ හපනාට ශිෂ්‍යත්ව දීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටු විද්‍යාලය ඉදිරිපත් විය.

ඇල්බට් ප්‍රථම වරට ‘‘වයර්ලස්’’ කන්තෝරුවට ගියේ මොරටු විද්‍යාලය මැදිනි. මොරටු විද්‍යාලයේ කවි තරගයෙන් මුල් තැන් ගත් ඔහුට වයර්ලස් එකෙන් ඒ කවි ගායනය ඉදිරිපත් කිරීමට ගුරු මණ්ඩලය ඉඩ ලබා දුන්නේය.

මොරටු විද්‍යාලයේ විද්‍යාලයාධිපති සමරවීර මහතා කළුතර විද්‍යාලයට පත්ව යද්දි මේ ගායන ශූර ශිෂ්‍යයා ද එහි කැඳවා  ගත්තේය. ඉක්බිති ඔහු ගියේ බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයටය. මේ කාලයේදි ‘‘අශෝක මාලා’’ චිත්‍රපටයේ වැඩ ඇරැඹිණි. කලාව ගැන ඇල්ම මෝරා එන මේ සමයේ බම්බලපිටියේ ජයා පාරේ අශෝක උයනේ ශාන්ත කලා නිකේතනය ශාන්ති කුමාර්ගේ අධ්‍යක්ෂකත්වය යටතේ පටන් ගැනිණි. නැටුම් භාරව සිටියේ කුංජිකුරුක්කු නම් භාරතීය ශිල්පියාය. සංගීතාංශය භාරව සිටියේ මොහොමඩ් ගවුස් මාස්ටර්ය.

වයලීනයට ආදරය කළ කුඩා ඇල්බට් ජීවිතයේ ප්‍රථම වරට අංග සම්පූර්ණ වාදක මණ්ඩලයක් දුටුවේ එදාය. මොරටුවේ ජෙරාඩ් ජේ. පීරිස්, ගවුස් මාස්ටර්ට ඇල්බට් හඳුන්වා දුන්නේය. ගවුස් මාස්ටර් නොබෝ වේලාවකින් ඔහුගේ කුසලතා හැඳින ගත්තේය. වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන ශිල්පියා වශයෙන්  කුඩා ඇල්බට් පත්කර ගත්තේය.

‘‘අශෝක මාලා’’ චිත්‍රපටය සඳහා ගවුස් මාස්ටර් නිර්මාණය කළ ගීතවල ඇතැම් අතුරු වාද්‍ය ඛණ්ඩ රචනා කළේ ඇල්බට්ය.

භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති මහාචාර්ය ශ්‍රී රතන්ජංකර් පඬිතුමා ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ග කිරීමට ශ්‍රී ලංකාවට ආවේය. රතන්ජංකර් පඬිතුමා ඉහළම ශ්‍රේණියේ ගායකයා ලෙස ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරාත් ගායිකාව ලෙස කෝකිලාදේවි වීරතුංගත් නම් කළේය.

1953 දී ඇල්බට් පෙරේරාගේ ජීවිතයේ පෙරැළියකට  මඟ පාදන තවත් පඬිවරයකු වෙත ඔහු කැඳවාගෙන  යනු ලැබුවේ ගුවන් විදුලියේ කුලසිරි අමරතුංග විසිනි. එවකට ගුවන් විදුලියේ යෞවන සමාජය මෙහෙයවූ  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇල්බට් පෙරේරාට තමන්ගේ ‘පබාවතී’ නාට්‍යයේ සංගීත සම්පාදනයට භාර කළේය. භාරතීය  මහා සංගීත සම්ප්‍රදායයේ ආශිර්වාදය මොහුට ලබාදීමේ අවශ්‍යතාව ඔහුට පෙනිණි. ඔහු සිය කල්‍යාණ මිත්‍ර  පත්‍ර කලා ගුරු ඩී.බී. ධනපාල මහතාගේ ‘ලංකාදීප’ පත්‍රයේ ඇල්බට් පෙරේරා අරමුදලක් ආරම්භ කරවීමෙහිලා ප්‍රෝත්සාහී විය. මහජන ආධාර ගලා ආවේය.

ඇල්බට් පෙරේරා අමරදේව වී භාරතයට ගොස්  සංගීතාර්ණවය තරණය කොටැ පෙරළා සිය රට පැමිණෙන විට ඒ අසිරිය දකින්ට ජිනෝරින් බස් උන්නැහේ ජීවතුන් අතර නොසිටියේය.

 මහාචාර්ය සරච්චන්ද්‍ර පේරාදෙණි සරසවියේ ‘‘මේලා’’ පන්තියේ උපදේශකයකු ලෙස පත් කරගැනීම අමරදේවගේ සංගීත ජීවිතය බලගතු  වෙනසකට භාජනය කළේය.

ප්‍රේමකුමාර, චිත්‍රසේන, වසන්ත කුමාර, ශේෂා පලිහක්කාර ආදි කලා ශිල්පීන් ඇසුරින් විවිධ සංගීත පර්යේෂණවල නිරතවූ අමරදේව, ගුවන් විදුලියට සම්බන්ධවීමෙන් පසු එමඟ ඉදිරියටම ගියේය.

 මොරටු විද්‍යාලයේ ‘කිරිහාමි’ නාට්‍යයේ සිට සුනේත්‍රා- සැළලිහිණි සන්දේශය- තිත්ත බත- රාවණා- චණ්ඩාලි- විධුර- පුෂ්පශාංගාර- පබාවතී- කරදිය- නල දමයන්ති ආදි නාට්‍ය ගණනාවකට සංගීත සම්පාදනය කරමින් විවිධ සංගීත පර්යේෂණ හා අත්හදාබැලීම් කරන ලදී. මෙසේ සතතාභ්‍යාසයේ යෙදීම අමරදේවගේ ප්‍රගතියේ මුඛ්‍ය ලක්ෂණයකි.

 1955 දී සමස්ත  ඉන්දීය වයලීන වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් අමරදේව, 1956 දී භාත්ඛණ්ඩ අනුබද්ධායතන හා සබැඳි අතිදක්ෂයන් දහදෙනා අතට එක් විය.

1971 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් එහි  ගොස් කළ පර්යේෂණයකින් පසු මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කිරීමෙන් අමරදේව බහුමානයට පත්විය.

අමරදේව රන්මුතු දූවේ සිට සිංහල චිත්‍රපට කලාව පෝෂණයට අත ගසා සිටී. ජගත් කීර්තියට පත් ‘‘ගම්පෙරළිය’’ ඔහුගේ චිත්‍රපට සංගීතයේ ජය ටැඹක් විය. ආදරයයි කරුණාවයි, රන්සළු, මඩොල් දුව, ප්‍රමුඛ චිත්‍රපට රැසක සාර්ථකත්වයට අමරදේව දායක  විය.

අමරදේව වූ කලී අපට සිටි පරිණත සංගීත දෘෂ්ටියක් ඇති සංගීත ප්‍රාඥයා ය. මැග්සේසේ- පද්ම ශ්‍රී ගෞරව සම්මානලාභී අමරදේවයන් සුරලෝ ගාන්ධර්වයා බවට පත්වූයේ 2016 නොවැම්බර් 03 වැනිදාය.

 

(***)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී - තිලකරත්න කුරුවිට බණ්ඩාර