හොඳටත් නරකටත් ඉන්දියාව


”ඉන්දියාව අපට යුද්ධය දිනන්න උපරිම සහාය දීපු රටක්. වෙනත් රටවලිනුත් අපට ලොකු සහායක් ලැබුණා. අපට එ්වා අමතක කරන්න බැහැ. කාගේත් සහාය නොලැබුණා නම් යුද්ධය අපට දිනාගන්න බැරිවෙනවා. නිසා ඉන්දියාව ඇතුළු සහාය දීපු රටවලට අනේක වාරයක් ගෞරවය ලබාදිය යුතු වෙනවා. යුද්ධය ඉවර කරලා ලංකාවේ සියලූ ජාතීන් එකට ජීවත් වීමට හා දෙරට අතර හොඳ හිත දැඩිව වර්ධනය වෙනවා දකින්නට ඉන්දියාවට තිබූ අවංක වුවමනාව මම එවකට විදේශ ඇමති ලෙස හොඳින් දැක්කා.”


(රෝහිත බෝගොල්ලාගම 11.03.2013 ලංකාදීප)


ඉන්දියාව ගැන මෙහෙම කියන්නේ පසුගිය බිහිසුණු යුද සමයේ අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ භාරදුර කාර්යය භාරව සිටි මේ රටට සාමය ගෙන එ්මට දායක වූ හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ය. එම යුද සමයේම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාව ගැන සඳහන් කළේ මීට සමාන මතයක්ය.


”ඇත්ත වශයෙන්ම ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එකිනෙකාගේ හදවත හා ආත්මයයි. අපගේ ජනතාව, අපගේ සංස්කෘතිය, අපගේ භාෂාව, අපගේ ආධ්‍යාත්මික වටිනාකම් පැමිණියේ පැරණි ඉන්දියාවෙනි. නවීන ඉන්දියාව මා උද්දාමයට පත් කරන්නකි. ලෝකයටද ඉන්දියාවෙන් උගතයුතු පාඩම් බොහෝ ඇත. ඉන්දියාවෙන් අපට කිසිම බලපෑමක් තිබුණේ නැහැ. මට කුමක් හෝ බලපෑමක් ආවා නම් ආවේ බටහිර රටවලින් පමණයි.”


(ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ ‘තෙහෙල්කා’ සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාව)

 


මානව හිමිකම් සමුළුවේ ඊයේ පැවැති 22 වැනි සැසිවාරයේ දී අපට එරෙහිව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට අපට එරෙහිව ඡන්දය පාවිච්චි කළේද මේ ඉන්දියාවමය. ඊට පෙර පසුගිය වසරේ (2012) ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙනා යෝජනාවේ සැර බාලකරමින් නැතිනම් සංශෝධනයක් ඉදිරිපත් කරමින් වුවද අපට එරෙහි වූයේ ද මේ ඉන්දියාවමය. ඒ සමඟම ඉන්දියානු ලෝක් සභාවේ ශී‍්‍ර ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ මන්තී‍්‍රවරුන් කෑ ගසනවිට ශී‍්‍ර ලංකාව අපේ මිතුරු රටක් යැයි ද, සතුරු රටක් නොවේ යනුවෙන් ඉන්දියානු ආණ්ඩුවේ ශී‍්‍ර ලංකාව පිළිබඳ පිළිවෙත නැවත වරක් අවධානය කළේ එරට විදේශ ඇමැති සල්මන් කුර්ෂිඞ් ය.
මේ අතර ඉන්දීය රාජ්‍ය ප‍්‍රතිපත්තිය සැකසීමේලා වැදගත් කාර්යයක් ඉටුකරන සංවිධානයක් වන South Asia Analysis Group ප‍්‍රබල සාමාජිකයකු වන ඉන්දීය විදේශ විත්ති විචාරක කර්නල් ආර්. හරිහරන් සඳහන් කරන්නේ තවමත් නවදිල්ලි රජය ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සඳහා වූ කි‍්‍රයාදාමයේ මන්දගාමී ප‍්‍රගතිය පිළිබඳව ශී‍්‍ර ලංකා රජයේ නිදහසට කරුණු දැක්වීම පිළිගැනීම කනගාටුවට කරුණක් බවය. එසේම TESO සමුළුව සඳහා කොංග‍්‍රස් පක්ෂයේ සහභාගිත්‍වය මඟින් පැහැදිලි වූයේ මෙම සමුළුවේ අරමුණ වෙනම රාජ්‍යයක් උදෙසා සටන් කිරීම නොව ශී‍්‍ර ලංකාවේ දමිළ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය වෙනස් කිරීමෙහිලා යුක්තිය ඉටුකිරීම උදෙසා වූවක් බවයි. මෙය ශී‍්‍ර ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහිකිරීමට කිසිදු සහායක් ලබා නොදීමේ ඉන්දීය රජයේ ස්ථාවරය කිසිලෙසකින්වත් වෙනස් නොවී ඇති බවට මනා සාක්‍ෂියක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 


”එසේ නම් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
ඉන්දියාව ජිනීවාවල අපට විරුද්ධ වෙනවා.
ශී‍්‍ර ලංකාව අපේ හතුරෙක් නොවේ කියනවා.
වෙනම රාජ්‍යයකට ඉඩක් දෙන්නෙ නෑ කියනවා.
මේ අතරේ අපේ හාමුදුරුවරුන්ට, වන්දනා නඩවලට තමිල්නාඩුවේදී ගුටි කන්න සිදුවෙනවා. 
ගුටිකන හාමුදුරුවන්ගෙන් ශී‍්‍ර ලංකාවේ සිටින ඉන්දීය මහා කොමසාරිස්වරයා සමාව අයැද සිටිනවා.


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය මුල් කර ගනිමින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඞී.ඇම්.කේ. පක්ෂය ඉන්දීය ආණ්ඩුවෙන් ඉවත් වී ඉන්දීය ආණ්ඩුව දුර්වල කරමින් සිටිනවා. දැන් ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයත් ශී‍්‍ර ලංකාවට එරෙහිව යම් යම් ප‍්‍රකාශ නිකුත් කරනවා.” 

මේ සමස්ත කි‍්‍රයාදාමය තුළ ඉන්දියාවේත් ශී‍්‍ර ලංකාවේත් දේශපාලනය අන්තවාදී කි‍්‍රයාදාමයකට හසු වී තිබෙන බව පෙනේ. ඉන් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ප‍්‍රයෝජනයක් ගනිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය එකකි. ඉන්දියාවේ සහ ශී‍්‍ර ලංකාවේ න්‍යාය පත‍්‍රය තවත් එකකි. මේ න්‍යාය පත‍්‍ර දෙක නිවැරැදිව හඳුනා ගැනීමෙන් තොරව අපට අනාගතයක් සොයා ගැනීමද අපහසුය.

දකුණු ඉන්දියාවේ දී අපේ හිමිවරුන් හා වන්දනා නඩ ප‍්‍රහාරවලට ලක්වන්නේ බෙදුම්වාදී ඊළාම් බලසේනා අන්තවාදය නිසා බව පෙනේ. දැන් තමිල්නාඩු දේශපාලනයට ජීවය දෙන්නේ ද එම අන්තවාදය මය. එහි බලපෑම දිල්ලි දක්වා ගමන් කරමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පැවැත්මටද තර්ජනයක් එල්ලකරමින් සිටී. මෙවන් අන්තවාදී ප‍්‍රවණතාවක් ශී‍්‍ර ලංකාව තුළද කි‍්‍රයාත්මක වෙමින් පවතී. එය වත්මන් ආණ්ඩුවට උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමට එරෙහිව හෝ එය ප‍්‍රමාද කිරීමට කි‍්‍රයාත්මක වන්නකි. ද්‍රවිඩ සන්ධානයේ දඩබ්බර හැසිරීමද මීට හේතුවක් වී තිබේ.

උතුරේ කි‍්‍රයාත්මක වූ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නරුමයන් අතළොස්සක් අතරින් පැන නැඟුණු පිස්සුවක් පමණක් නොවේ. එහෙත් සමහරුන් කල්පනා කරන්නේ එය දේශපාලන හේතුවක් නොමැති නරුම කි‍්‍රයාවලියක් ලෙසිනි. මේ කල්පනාවම අන්තවාදීය. එසේම ජාතිවාදී කුණු රසය ඇතිකරවන්නකි. නිදහසට පෙර සිටම මතුවෙමින් පවතින ”ශී‍්‍ර ලාංකීය ජාතිය” ගොඬනොනඟමින් උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගත නොහැකි වූ අර්බුදයට අපි මුහුණ දී සිටිමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සඳහන් කරන පරිදි ඊට විසඳුම් සෙවීම එය ක්ෂණිකව හෝ කඩිමුඩියේ කළ නොහැක්කකි. පැරණි නායකයන්  වරද්දාගත් අතීතය ඔහුට අමතක නැත. එහෙත් මීට පාදකවන අන්තවාදී ප‍්‍රවණතා අබියස මේ ආණ්ඩු දෙකම (ශී‍්‍ර ලංකා හා ඉන්දියා) අද අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ශී‍්‍ර ලංකාවට එය එන්නේ ජිනීවා හරහාය. ඉන්දියාවට එරට අභ්‍යන්තරයෙනි. 

ජිනීවා නුවරට රැස්වන අය යුද්ධයේ කුණු කන්දල් ඇද ගැනීමට සූදානමින් සිටින්නේ මේ නිසාය. ඔවුන් උතුරට දෙන දේශපාලන විසඳුමට ත‍්‍රස්තවාදයට එරෙහිව අප ගෙනගිය යුද්ධයේ අවසාන අදියරේ කි‍්‍රයාදාමයන් හිලව් කිරීමට සැරසෙනවා වාගේය. එක්කෝ දේශපාලන විසඳුමක් නැතිනම් යුද අපරාධ යනුවෙන් වාගේය. එහිදී මානුෂික මෙහෙවරක යෙදෙමින් ලක්ෂ ගණනින් ජනයා ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් බේරාගනිමින් ගෙන ගිය දුෂ්කර සටන ඇගැයීමකට ලක් වන්නේ නැත. ඒ වෙනුවට එහි අඩුපාඩු සොයමින් සිටින්නේය. උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාව පිළිගනිමින් ම ශී‍්‍ර ලංකා හමුදාව චේතනාන්විතව යුද අපරාධ සිදු නොකළ බවට දෙනු ලබන සහතිකය ගැන මේ අය හිතාමතා අමතක කරති.

ලෝකයේ හැටි එහෙමය. ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයේ වැඩ සිදුවන්නේ අප සිතන ආකාරයටම නොවේ. අප ජාත්‍යන්තරයක ජීවත් වන බවත්, ශී‍්‍ර ලංකාව තුළ ජාත්‍යන්තරය පිහිටා නොමැති බවත් අප තේරුම් ගත යුතුය. ලෝකයේ මෙවැනි බිහිසුණු සටන් අවසානයේ සාමය කි‍්‍රයාත්මක වීමත් සමඟ ඇරැුඹි දේශපාලන විසඳුම් අබියස ජාත්‍යන්තර ප‍්‍රජාව එ්වායේ මානව හිමිකම් අමතක කළ අවස්ථාද අපට හමුවේ. පිලිපීනයේ අචේ ගරිල්ලා යුද්ධය, ඉන්දියාවේ නාගලන්තය වෙන්කර ගැනීමට ගෙනගිය සටන හා ජම්බු කාෂ්මීර අර්බුදය මීට හොඳම නිදසුන්ය. දේශපාලන විසඳුම් අබියස අද මේ තැන්වල මානව අයිතීන් උල්ලංඝනය වීම් ගැන කතාබහක් වන්නේ නැත. 

මේ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය තම රටේ ආණ්ඩුවේ පැවැත්මට හේතුවන අභ්‍යන්තර ප‍්‍රශ්නයක් දක්වා දුරදිග ගොස් තිබීම ඉන්දියාවේ අපට එරෙහිව ජිනීවා හැසිරීමට හේතු වී තිබෙන බව සාමාන්‍ය කෙනකුට වුවද තේරුම් යන කාරණයකි. මේ අතර වර්තමාන පසුබිම 1987 ට සමාන යැයි සමහර විචාරකයෝ සඳහන් කරති. 

”ඉන්දියාවේ බල ව්‍යුහය ගොඩ නැඟී තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවී ඉවත්ව සිටීමට අපහසුවන ආකාරයටය. ශී‍්‍ර ලංකා රජයට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා උපකාර කිරීම ඉන්දියාවේ යහපතට හේතුවනු ඇත. එවැනි විසඳුමක ඊළාම් රාජ්‍යයක් හැර ද්‍රවිඩයන්ගේ අනෙක් මූලික ඉල්ලීම් අභිලාෂ සපුරා ලීමේ හැකියාව තිබිය යුතුය.” 

”ඉන්දියාව 1983-1990 යුගයේ දී ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූයේ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව ඇති වූ බිය හා ශී‍්‍ර ලංකාවේ එ්කීයත්‍වය, භෞමික අඛණ්ඩතාව, ආදිය සුරැකීමේ අවංක චේතනා නිසා බව අවධාරණය කළ යුතුය.”

 

(ජේ.එන්. ඩික්සිත් - කොළඹ භූමිකාව ග‍්‍රන්ථයෙන් උපුටාගන්නා ලදී)

 

1987 පසුබිම අද නොතිබුණත් ඩික්සිත් ඉන්දු ශී‍්‍ර ලංකා සබඳතා සම්බන්ධයෙන් එදා කියූ කාරණා අදටත් වලංගු වාගේය.
මේ තත්ත්වය වෙනස් කර ගැනීමට නම් අන්තවාදයට යට නොවී කාරණා දෙකක් කෙරෙහි අපේ අවධානය යොමුකිරීමට සිදුවේ යැයි මධ්‍යස්ථ විද්වත්හු පෙන්වා දෙති.

”මගේ මතය නම් අපි ගෙදර වැඩ කරල තියෙද්දී ඒක මීට වඩා හොඳට ලෝකයට පෙන්නුවා නම් මීට වැඩිය සාර්ථක ප‍්‍රතිඵල අපට ලබාගන්න තිබුණා කියන එකයි.”


(නීතිඥ ගෝමින් දයාසිරි 19.03.2013 දිනමිණ)

 

උතුරේ මැතිවරණය පවත්වා දේශපාලන විසඳුම කරළියට ගෙන එ්ම දෙවැන්නය. දැනටමත් 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යා යුතු තැනක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුවීම නිසා එය එතරම් අපහසුවන්නේ නැත. එහෙත් ඊට ද රට තුළ කි‍්‍රයාත්මක වන අන්තවාදයට අමතරව අභ්‍යන්තර අපහසුතාවක්ද පවතින බව සමහරු විශ්වාස කරති.

 

”අද තිබෙන්නෙත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලේ යථාර්ථය නමැති කළුගලේ හැප්පෙන්නට පෙර තිබුණු ව්‍යාජ විඥනය සහ උප ව්‍යාපෘති දෙකයි. ජනාධිපතිතුමා නායකයා වුණාට සැබවින්ම නියාමක බලවේගය ඔහුද කියන ප‍්‍රශ්නය මට තිබෙනවා. ජනාධිපතිතුමා අදහස් කරන දේවල් ඊළඟ උදේ වෙනකොට වෙනස් කරනවා.”


(ආචාර්ය දයාන් ජයතිලක 10.02.2013 රාවය)

 


මේවා මෙහෙම දැයි කියන්න දන්නේ නැත. එහෙත් මෙම මතවාද කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්ය.
හෙට දවසේ අපට වැදගත් වන්නේ ජිනීවා ප‍්‍රතිඵලයටත් වඩා ඉන්දියාවේ හැසිරීමය. ඉන්දියාව අපේ අසල්වැසියා ඥතියා කිය කියා සිටිය පළියට කිසිවක් සිදුවන්නේ නැත. මෙතැන් සිට තීන්දු තීරණ ගත හැකි මට්ටමේ පලදායී සාකච්ඡුා වටයක් ඇරඹීම දෙරටට ම වැඩදායකය. ප‍්‍රබල ශක්තිමත් අසල්වැසියකුගෙන් පලදායී ප‍්‍රයෝජනයක් ගැනීමේ වගකීම ආසියාවේ ආශ්චර්යයක් බලාපොරොත්තු වන රටකට අවැඩක් හෝ බාල්දු වීමක් නොවේ.  ඊටත් වඩා ප‍්‍රබල හේතුවක් වන්නේ අපට හොඳට නරකට දෙකටම ඉන්දියාව ම වීමය.

 

වසන්තප‍්‍රිය රාමනායක