ළපටි පෙළින් මතුවී ළපැටියන් පිනවූ සිබිල් නැන්දා


දිනය 1948 අප්‍රේල් 1 වැනිදාය. දහඅට හැවිරිදි තරුණියක වූ සිබිල් ද සිල්වා ‘‘ලංකාදීප’’ කාර්යාලයට පියමං කළේ එහි ප්‍රධාන කර්තෘවරයා වූ ඩී.බී. ධනපාල මහතා හමුවීමට එන ලෙස දැන්වූ ලිපිය ද රැගෙනය.

කුඩා කල සිට චිත්‍ර කලාවට ඇලුම් කළ සිබිල්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් දුටු මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ චිත්‍ර ගැන පුවත් පතකට ලියූ විවේචනයක් ධනපාල මහතා දැක තිබුණි. සිබිල් ලංකාදීප හා ඉරිදා ලංකාදීප පත්‍රවල කතුවරයන් වූ ජුලියස් ද ලැනරෝල් හා ඩී.බී. ධනපාල මහත්වරුන් ඉදිරියේ පෙනී සිටි මේ තරුණියට කීවේ ගැමි චරිත කිහිපයක්  චිත්‍රයට නඟන ලෙසය. ලංකාදීප ළපටි පෙළ ළමා අතිරේකයට පුංචි පුංචි කතා හා චිත්‍ර අඳින ලෙසය.

මගේ චිත්‍ර බලලා පැහැදුණු ඒ මහත්වරු ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ ළමා පිටුව සකස් කරන්න පැවරුවා. ඒ වුණාට මගේ චිත්‍ර ඇඳීමේ කුසලතාව මුලින්ම හඳුනා ගත්තේ ඒ කාලේ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති එච්.ඩී. සුගතපාල මහතා. ඒ කාලයේ මම ඉගෙන ගත්තේ බම්බලපිටියේ හෝලි ෆැමිලි විද්‍යාලයේ. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මාව වෛද්‍ය විද්‍යාව පැත්තට යොමු කරන්න. ඒත් මම චිත්‍ර කලාවට තමයි වැඩි කැමැත්තක් තිබුණේ. ඔය කාලේ කොළඹ කලාභවනේ තිබුණු චිත්‍ර ප්‍රදර්ශනයකට මම චිත්‍ර 10 ක්ම ඉදිරිපත් කළා. කොළඹ ළමයි අඳින චිත්‍රවලට වඩා මගේ චිත්‍රවල තිබුණු වෙනස නම් ගමේ මා දුටු චරිත අලුත් ශෛලියකින් ඉදිරිපත් කිරීම. මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න සුගතපාල මහත්තයා ආවා. චිත්‍ර ගැන පැහැදිලා එතුමා අපේ ගෙදර හොයාගෙන ඇවිත් තාත්තාට මෙහෙම කිව්වා.

‘‘මේ ළමයට හොඳ අනාගතයක් තියෙනවා. මම කැමැතියි මගේ නව මඟ කියන පාඩම් පොත්වලට චිත්‍ර අන්දවන්න.’’
සුගතපාල මහත්තයා මට කඩදාසි පාට දීලා කතාවකුත් කියලා චිත්‍ර අඳින්න කිව්වා. මේ චිත්‍ර ගැන පැහැදිලා නව මඟ පාඩම් පොත් මාලාවේ පස්වැනි පොතට පාට චිත්‍ර ඇතුළත් කළා. ලංකාවේ මුලින්ම පාඩම් පොතකට චිත්‍ර ඇතුළු වුණේ එහෙමයි.

සිබිල් වෙත්තසිංහ නොහොත් සිබිල් නැන්දා ළමා පොත් ලිවීමට මෙන්ම චිත්‍ර ඇඳීම ගැන ඇති විශේෂඥ බවත්, ඒ ඇතැම් ළමා පොත් ජගත් සම්මානයට කීර්තියට පත්ව ඇති බව මුළු රටම දනී.

සිබිල් ද සිල්වා උපත ලැබුවේ 1928 ඔක්තෝබර් 31 වෙනිදා ගාල්ලේ ගිංතොටය.

මගේ චිත්‍රවලට හා කතාවලට පසුබිම් වන ගැමි චරිත හැම එකක්ම පාහේ අපේ ගමේ චරිත හා අත්දැකීම්. මම හිතන්නේ වයස අවුරුදු 6, 7 වන විට ලැබූ අත්දැකීම් අනුක්‍රමයෙන් දියුණු වෙලා මගේ ජීවිතය පෝෂණය වුණේ සිබිල් කීවාය.

මගේ සීයා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක්. ඒ වගේම ගමේ හිටිය දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සීයාගේ සියුම් කලා නිර්මාණ එවකට වයස අවුරුදු 9 ක ගැහැනු ළමයෙකු ලෙස මගේ සිත් ගත්තා. ඒ කාලේ යුද්ධ කාලේ නිසා මම ගෙදර හිටියේ. ඉස්කෝලේ ගියේ නෑ. අනුරාධපුරේ රුවන්වැලිසෑයේ ඇත් පවුර කැටයම් නිර්මාණය කළේ සීයා. මාවත් සීයා අනුරාධපුරේ එක්ක ගිහින් ඒවාට අත්උදව් ගන්නවා.

දුව ඉස්සරහා බලාගෙන ඉන්න අලියව අඳින්න.

මම සීයා විසින් පවරන ලද කාරිය ආසාවෙන් ඉටු කරනවා. ලොකු සුදු ඩිමයි කඩදාසියක ලොකුවට අඳින ලද අලි රූපය දිහා බලා සිටින සීයා තුළ වූ උද්දාමය, සතුට මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඔහු මගේ හිස අත ගාන්නේ ඒ නිසා වෙන්න ඇති. සීයා ඒ දවස්වල කොළඹ නිදහස් චත්‍රරස්‍රයේ කුලුනුවල සිංහයොත් ඇඹුවා.

පාසලේ දී දඬුවමක් ලැබුණු විගසම මා කරන්නේ මට දඬුවම දුන් ගුරුතුමාගේ රුව හොරෙන් චිත්‍රයට නඟනවා. බලා සිට වස්තු, ගහකොළ, සතා සිව්පාවා අඳින්න හුරුවුණේ අර ආභාසයෙන්.

මගේ තාත්තා (සව්දේරිස් ද සිල්වා) ගමේ සිටි ප්‍රසිද්ධ කලාකාරයෙක්. කළුතර චෛත්‍යය ඒ කාලේ තිබූ වෙනත් චෛත්‍යවලට වඩා වෙනස් අයුරකින් නිර්මාණය කළෙත් තාත්තා විසින්. තාත්තා පින්තූර අඹන්නත් දක්ෂයි. සීයගේ ගෝලයා තාත්තලු. ඒ නිසයි ගෝලයට සීයගෙ දියණිය (ජොසලින් ද සිල්වා) කරකාරෙට ලැබුණෙ. පුංචි කාලේ සීයා බලි ඇරිය. මේ බලි යාගයට ගමේ ප්‍රසිද්ධ ගුරුන්නාන්සේලා ආවා. ඔවුන් බලි චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ මම ඒ අසලටම වෙලා බලා හිටියා. ගුරුන්නාන්සේ අහන ප්‍රශ්නවලට මම උත්තර දුන්නා. මටත් හිතුණා බලි චිත්‍ර අඳින්න. ඔවුන් මට අවශ්‍ය සායම් දුන්නා. අමු රෙදිවලට බලි චිත්‍ර මම ඇන්දා. මේ අතර ගෙදර රණ්ඩුවක්. බැලින්නම් මම බලි අදිනවට ගෙදර අයගෙන් තර්ජන ගර්ජන. මම කිසි දේකට නොසැලී බලි ඇන්ද. අන්තිමේ බලි යාගෙට ගුරුන්නාන්සේලා තැබූ බලි චිත්‍ර අතර මගේ බලි චිත්‍රත් තිබ්බා.

මේ ළමයා නම් පුදුම ළමයෙක්. යකාගේ ළමයෙක්. වැඩිහිටියෙකු කියනු ඇසුනා.

සිබිල් නම් චිත්‍ර ශිල්පිනියට සිය අනාගත සැමියා හමු වන්නේ ලංකාදීපයෙන්. ඇය ලංකාදීපයට බැඳීමට වසරකට පෙර 1947 ඔහු ලංකාදීප කාර්තෘ මණ්ඩලයට බැඳී ඇත්තේ පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ බී.ඒ. උපාධියත් ලබාගෙන. මේ කාලයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා අපේ ගම පොතට චිත්‍ර ඇඳීම සිබිල්ට පවරා තිබුණි. සිබිල් අඳින ලද චිත්‍ර ගැන අගය කළා මිස වෙත්තසිංහ මහතා වෙන දේවල් කතා කොට නැත. 1950 ධර්මපාල වෙත්තසිංහ හා සිබිල් ලේක් හවුසියට බැඳුණාහ.

වෙත්තසිංහ මහතා ජනතා පත්‍රයේ ප්‍රධාන උපකර්තෘවරයාය. සිබිල් ද ජනතාවේමය. ඔහු ඈ වෙත පැමිණියේය.
අද පත්‍රයේ කතාවක් නෑ. සිබිල්ම කතාවක් ලියලා චිත්‍රයක් අඳින්න.

මට කතා ලියන්න බෑ.
ඔය කතා කියන ශෛලියෙන්ම ලිව්වාම හොඳ කතාවක් ලියවේවි.

සිබිල් මේසයේ ඉඳ ගත්තාය. තමාගේ ගමේ හිටිය හුරතල් වඳුරෙක් ඇයගේ මතකයට නැඟුණි. මේ වඳුරා හරිම හරි හොරෙක්ලු. ගෙවල්වලට ගිහින් කෑම බීම හොරා ගෙන කනවලු. ඇය වඳුරා ඇසුරෙන් කතාවක් ලියලා චිත්‍රයක් ඇඳලා ජනතා ප්‍රධාන කර්තෘ ඩෙන්සිල් පීරිස්ට පෙන්නුවාය. ඇයට අත දී සුබ පැතූ කතුවරයා කීවේ සිබිල් දිගටම කතා ලියලා චිත්‍ර අඳින්න මට ඕනෑ ඔය වගේ කතා.

සිබිල් වෙත්තසිංහ මහත්මිය අවසන් වරට මා හමු වූයේ ඇගේ සැමියා ගැන ලිපියක් ලිවීමට කරුණු ටිකක් ලබා ගැනීමටය. ඒ 2019 ජුනි මාසේ දවසකය.

වෙත්තෙ ගැන මෙතෙක් කවුරුත් ඇහැව්වේ නෑ, ඔයා මිසක්. සිනාසෙමින් කීවාය.

අපි දෙන්නා ලේක් හවුස් එකේ එකට වැඩ කළාට වැඩි කතා බහක් තිබුණේ නැහැ. වෙත්තෙගේ හොඳම යාළුවා මීමන ප්‍රේමතිලක. මීමන, ඇස්. සුබසිංහ, ඩෙන්සිල් පීරිස්, නිමල් පෙරේරා, අභයවර්ධන මම චිත්‍ර අඳින මේසය වටා ඇතැම් විට රොක් වෙනවා. මේ 1952 විතර. ඒ කාලේ මගේ කුඩ හොරා පොත ජාත්‍යන්තර සම්මාන ලැබුණු අලුත මට තේරුණා වෙත්තෙ මගේ චිත්‍ර දිහා බලනවට වඩා මා දිහා බලා ඉන්නවා. අපි දෙදෙනා අතර පිළිබඳ සිත් ඇති වුණා. ඒක කෙළවර වුණේ 1955 මැයි 08 වෙනිදා විවාහයෙන්. අපිට දරුවන් ලැබුණට පස්සේ දවසක් වෙත්තේ මට රහසක් කිව්වා.

ඇත්තම කියන්නම් සිබිල් මම ඔයාට වඩා ආදරේ කළේ ඔයාගේ චිත්‍රවලට.
ඒ බව ඔයා මට මුලින්ම කිව්වා නං කිසිදාක මං ඔයා දිහා බලන්නෙත් නෑ. විවාහ වෙන්නෙත් නෑ.
එදා සිබිල් වෙත්තසිංහ මහත්මිය මේ සිද්ධිය කියමින් හයියෙන් සිනාසුණාය.

(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)