ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා පත් කරගැනීම සඳහා පවත්වන මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දේශපාලන වටපිටාව වෙනස් වෙමින් පවතින අතර, ඒ සමඟම, අපගේ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි, සහ අත්‍යවශ්‍ය සාමාජිකයන් වන අපගේ දරුවන්ට බලපාන කරුණු කාරණා සඳහා නැවත ප්‍රමුඛත්වය ලබාදීමට අවස්ථාවක් ලැබි තිබේ.
දේශපාලන නායකයින්, සිවිල් සමාජය සහ ප්‍රජාවන් විසින් වර්තමානයේ ගනු ලබන තීරණ ඉදිරි වසර ගණනාවක් තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අනාගතය හැඩගස්වනු ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC), 3 (1) වගන්තියේ වදන් මෙම තීරණාත්මක අවස්ථාවේ දී සැලකිය යුතු ගැඹුරක් සහ අදාළත්වයක් දරයි: “ළමයින් සම්බන්ධ සෑම ක්‍රියාවකදීම, දරුවාගේ යහපත මූලික වශයෙන් සලකා බැලිය යුතුය.” 1991 දී CRC අනුමත කළ පළමු රටවලින් එකක් වන ශ්‍රී ලංකාව, ළමා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. 1989 දී විශ්ව ළමා ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමේ සිට, 1998 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීම දක්වා රාජ්‍ය ප්‍රතිපත්ති තුළ දරුවන්ට ප්‍රමුඛත්වය දීමේ ප්‍රෞඪ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.
කෙසේ වෙතත්, තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව තිබේ. මෙය තීරණාත්මක මොහොතකි; සියලු ජාතික ප්‍රතිපත්ති තුලින් දරුවන්ගේ ආරක්ෂාව, සංවර්ධනය සහ අනාගතය සඳහා ප්‍රමුඛත්වය දී ඇති බව සහතික කරමින්, දරුවන්ගේ යහපැවැත්මට සහ අනාගතයට බලපාන කරුණු කාරණා ස්ථිරවම පාලන කේන්ද්‍රයේ අවධානය ලැබෙන සේ තැබීමට අවස්ථාවකි.
දේශපාලන ක්‍රියාවලිය තුළ දරුවන් ආරක්ෂා කිරීම.
දේශපාලන පරිසරය කෙමෙන් විකාශනයට ලක් වන විට, එමගින් ඇතිවන අස්ථාවරත්වයේ බලපෑමට බොහෝ විට ගොදුරු වන්නේ ළමයින් බව මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සියලු ආකාරයේ දේශපාලන බලපෑම්වලින් හෝ සූරාකෑම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සාමූහික වගකීමකි. තමන්ගේ නොවන දේශපාලන මතවාද හෝ සටන් පාඨ ප්‍රවර්ධනය කිරීමට දරුවන් යොදා නොගන්නා බව සහතික කිරීම අත්‍යවශ්‍ය අතරම, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීන් අන් සියල්ලටම වඩා දරුවන්ගේ යහපත ආරක්ෂා කිරීම සහතික කිරීමේ CRC හි මාර්ගෝපදේශක මූලධර්ම ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම ඉතාමත්ම වැදගත් වේ.
එපමණක්ද නොව, දරුවන්ට බලපාන තීරණ සම්බන්ධයෙන් හඬක් නැගීම ඉතා වැදගත් වේ. සූරාකෑම්වලින් හෝ අනිසි බලපෑම්වලින් ඔවුන්ව ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනාගතය ගැන අර්ථවත් ලෙස සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම වැඩිහිටියන් හෝ භාරකරුවන් ලෙස මෙන්ම සමස්ත සමාජයක් ලෙස බැරෑරුම් ලෙස ගත යුතු වගකීමකි.
ළමුන් සඳහා මූලික සේවාවන් හි ආයෝජනය කිරීම.
ඕනෑම ජාතියක ප්‍රගතියේ හදවත වන්නේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි මූලික සේවාවන් සඳහා වන ආයෝජනයයි. නමුත්, මෙම වැදගත් අංශ සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන ජාත්‍යන්තර මිණුම් දඬුවලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී. 2023 දී රජය අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක් පමණක් වන අතර එය ගෝලීය වශයෙන් නිර්දේශිත 4-6%ට වඩා බෙහෙවින් අඩුය. එසේම, සෞඛ්‍ය වියදම් සඳහා වෙන් කල ප්‍රමාණය 1.6% ක් වන අතර, එය ලෝක සෞඛ්‍ය ආවරණය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය 5% ඉලක්කයට වඩා බෙහෙවින් පහත වැටේ. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා, රාජ්‍ය සම්පත් වෙන් කිරීම සම්බන්ධයෙන් අලුත් ප්‍රවේශයක් ලබාගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් මෙම ක්ෂේත්‍රයන්හි ආයෝජනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතුය.
මෙය හුදු අයවැය ප්‍රශ්නයකට එහා ගිය සදාචාරාත්මක අවශ්‍යතාවයකි. ප්‍රමාණවත් සම්පත් නොමැතිව, දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම අවදානමකට ලක්ව ඇති අතර එහි ප්‍රතිවිපාක මෙම පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවට ද අත්විඳීමට සිදුවනු ඇත.
ළමා මන්දපෝෂණයට අවධානය යොමු කිරීම.
මන්දපෝෂණය, ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දෙන ප්‍රධානත ම අභියෝගයකි. වර්තමානයේ දී, සෑම දරුවන් පස් දෙනකුගෙන් තිදෙනෙකුම මන්දපෝෂණයේ කිසියම් හෝ අවධියකින් පෙළෙන අතර එය ඔවුන්ගේ ශාරීරික සහ සංජානන වර්ධනයට දැඩි ලෙස බලපෑම් ඇති කරයි. මෙය හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවේ- එය මනාව සම්බන්ධීකරණය කරන ලද, බහුආංශික ප්‍රතිචාරයක් අවශ්‍ය වන බහුවිධ ගැටලුවකි. බහුආංශික ක්‍රියාකාරී පෝෂණ සැලැස්මක් දැනටමත් සකස් කර ඇත, නමුත් එය පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම තවමත් සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. ළමා මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා ශක්තිමත් නායකත්වයක්, ජාතික සහ උපජාතික මට්ටමින් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සහ මෙම ප්‍රයත්නයන් සඳහා ප්‍රමාණවත් අරමුදල් අවශ්‍ය වේ. මේ ගැටලුව සඳහා එක්සත් ප්‍රවේශයක් නොමැතිව ක්‍රියාකර, වළක්වා ගත හැකි සෞඛ්‍ය ගැටලු සඳහා ළමයින් නිරාවරණය කරමින්, ළමා පරම්පරාවක ජීවිත කාලයම අවධානමකට ලක් වෙයි.
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය (ECCD) සඳහා ප්‍රමුඛත්වය දීම
පිළිසිඳ ගැනීමේ සිට වයස අවුරුදු දෙක දක්වා වූ පළමු දින 1000, දරුවාගේ පරිපූර්ණ වර්ධනය සඳහා පදනම සකසන, මොළයේ වර්ධනය වේගවත්ව සිදුවන කාල පරිච්ඡේදයකි. දරුවෙකුගේ ජීවිතයේ මුල් වසරවල වැදගත්කම අධිතක්සේරු කළ නොහැකිය. පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ, මොළයේ වර්ධනයෙන් 90% ක් වයස අවුරුදු හය වන විට සිදුවන බවයි. එනම් මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය (ECCD), ඕනෑම රටක අනාගතය සඳහා තීරණාත්මක ආයෝජනයක් බවට පත් කරමිනි.
ECCD (2024-2028) අංශයේ ජාතික බහුආංශික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම මෑත කාලීනව සංවර්ධනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ලබා ඇත. නමුත්, ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අංශ හරහා සම්බන්ධීකරණ ප්‍රයත්නයන් සහ රජයේ ඉහළ ම මට්ටම්වලින් ප්‍රමාණවත් ආයෝජන අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුට ම ඵලදායී ජීවිතයක් ගත කිරීමට හැකිවන බවට අපට සහතික විය හැක්කේ එවිට ය.
පවුල් වෙන්වීම වැළැක්වීම සහ විකල්ප සත්කාර ප්‍රවර්ධනය කිරීම.
ශ්‍රී ලංකාවේ ළමුන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් ආයතනික රැකවරණයේ ජීවත් වේ. බොහෝ විට එය ඔවුන්ගේ වර්ධනයට හිතකර නොවන අතර ඇත්ත වශයෙන්ම එය කණගාටුවට කරුණකි. වඩාත් ම සැලකිය යුතු දේ නම්, මෙම දරුවන්ගෙන් 90%කට වඩා වැඩි පිරිසකට නිවැරදි සහයෝගය ලබා දෙන්නේ නම් ඔවුන් තම පවුල් සමඟ නැවත එකතු කල හැකි වේ.
ආයතනික රැකවරණයේ සිටින දරුවන් සඳහා පවුල් පදනම් වූ විසඳුම් සෙවීම අරමුණු කරගත් විකල්ප සත්කාර ප්‍රතිපත්තියක් රජය විසින් අනුමත කර ඇත. මෙම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමත්, සියලු ම පරිසර තුළ ශාරීරික දඬුවම් තහනම් කිරීම මගින් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීමත්, දරුවන් හානිවලින් ආරක්‍ෂා කිරීමත්, පෝෂණීය පරිසරයක හැදී වැඩීමත්, සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ.
අධ්‍යාපනය ආරක්ෂා කිරීම සහ ඉගෙනීමේ පාඩු අවම කිරීම.
විශේෂයෙන් ම කොවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා පනවා තිබූ සීමාවන් සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය මෑත වසර වල දී සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇත. දිගුකාලීන පාසල් වසා දැමීම් සහ මූල්‍ය දුෂ්කරතා දැනට පවතින අධ්‍යාපන විෂමතා උග්‍ර කර ඇත. මෑතකාලීන දත්ත පෙන්නුම් කරනුයේ තුන්වන ශ්‍රේණියේ සිසුන්ගෙන් අපේක්ෂිත සාක්ෂරතා කුසලතාවන් ළඟා කරගෙන ඇත්තේ 14% ක් පමණ බවත් මූලික සංඛ්‍යාත්මක කුසලතා පෙන්නුම් කරනුයේ 15%ක් පමණක් බවත් ය.
මෙම ඉගෙනුම් පාඩු මගහරවා ගැනීම සඳහා, විශේෂයෙන් ම සාක්ෂරතාව සහ සංඛ්‍යාත්මක දැනුම ඇතුළත්ව මූලික අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දීම අත්‍යවශ්‍ය වේ. මුල් ළමාවිය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ඉගෙනීම් අපහසුතා ඇති සිසුන් සඳහා ඉලක්කගත සහාය ලබාදීම, ශ්‍රී ලංකාවේ දරුවන්, ඔවුන්ට 21 වැනි සියවස තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ බව සහතික කිරීම සඳහා වන ප්‍රධාන උපාය මාර්ග වේ.
අවදානමට ලක්විය හැකි පවුල් සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම.
කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් පසු එළඹෙන මෑතකාලීන ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් දරිද්‍රතාවයේ ගැඹුරටම තල්ලු කර ඇත. සමාජ ආරක්ෂණ පියවරයන් ශක්තිමත් කිරීම, මෙම පවුල් යථා තත්ත්වයට පත් කිරීමට සහ දරුවන් අත් හැරදමා නැති බව සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ.
දරිද්‍රතාවය සහ අවදානම් සහගත බව අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ආකාරයේ ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක්, ශ්‍රී ලංකාව විසින් සකස් කර තිබේ. නව රජය පිහිටුවා, මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වන අතර, ප්‍රමාණවත් මූල්‍ය සම්පාදන සහ ව්‍යවස්ථාදායක පිටුබලය ඇතිව, සියලුම දරුවන්ට, විශේෂයෙන් වඩාත්ම අවාසි සහගත පසුබිම්වල සිටින දරුවන්ට; ඔවුන්ට අවශ්‍ය සහය ලැබෙන බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.
සුහුරු-ළමා අනාගතයක් සඳහා දේශගුණික ක්‍රියාදාමයට ප්‍රමුඛත්වය දීම.
ශ්‍රී ලංකාවේ දරුවන් දේශගුණික වන බලපෑම් වලට මුහුණ දීමේ අවදානම සම්බන්ධව ඉදිරි පෙළේ සිටියි. දේශගුණික අනාවැකි අනතුරු අඟවන්නේ 2030 වන විට ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු ජල හිඟය, කෘෂිකාර්මික පාඩු සහ යටිතල පහසුකම් හානි වැඩි වැශයෙන් සිදුවන, ගංවතුර අවදානම් ප්‍රදේශවල වාසය කළ හැකි බවයි. පසුගිය දශක දෙක තුළ, දැනටමත් අවදානමට ලක්වී ඇති පවුල්වලට ඒ සඳහා ඔරොත්තු දීමේ හැකියාව අඩු කරමින්, දේශගුණය ආශ්‍රිතව සිදු වු අලාභයන් වාර්ෂිකව ඩොලර් මිලියන 313කට වඩා වැඩි වී තිබේ.
දරුවන්ගේ වර්ධනය වන සිරුරු දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන/ බෝවන රෝග, මන්දපෝෂණය සහ මානසික කම්පනයන්ට ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවක් ඇති බැවින්, මෙහි වැඩි අවදානමක් දරන්නේ දරුවන්ය. UNICEF හි ළමා දේශගුණික අවදානම් දර්ශකය (CCRI), ශ්‍රී ලංකාව, එහි දරුවන්, දේශගුණික විපර්යාසවලට නිරාවරණය වීම සඳහා “අතිශයින් ඉහළ අවදානමක්” සහිත රටක් ලෙස ශ්‍රේණිගත කරයි. එමනිසා, දරුවන්ගේ යහපත අරමුණු කරගනිමින් දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දෙන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වේ. දරුවන් විසින් සකස් කරන ලද, ආපදා අවදානම අවම කිරීම සහ දේශගුණික විපර්යාස අනුවර්තනය සඳහා වන ශ්‍රී ලංකා ළමා ප්‍රකාශනය, ඔවුන්ගේ හඬට සවන් දීමේ වැදගත්කම සහ දේශගුණික ක්‍රියාකාරකම් සදහා දරුවන්ව කේන්ද්‍රගත වීම සහතික කිරීමේ වැදගත්කම අවධාරනය කරයි. දේශගුණික අභියෝගවලට මුහුණ දීමෙන් අපට පරිසරය පමණක් නොව ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ අනාගතය ද ආරක්ෂා කළ හැකිය.
හවුල් වගකීමක්
අනාගතය දෙස බලන විට, අද අප කරන තේරිම්, මෙරට දරුවන්ට කුමන ආකාරයේ රටක් වනු ඇතිද යන්න තීරණය කරනු ඇති බව පැහැදිලිය. සෑම දරුවෙකුටම සුරක්ෂිත ජිවිතයකට අවස්ථාව ඇති බව සහතික කිරීම සඳහා UNICEF; රජය, සිවිල් සමාජය සහ ප්‍රජාවන් සමඟ හවුල්ව ක්‍රියා කිරීමට කැපවී සිටී.
මෙම ජාතික ළමා දිනයේදී අප ගන්නා සෑම තීරණයකදීම දරුවන්ට මුල් තැන දීමට අපි අදිටන් කර ගනිමු. දරුවාගේ යහපත, දේශපාලන හා සමාජ ක්ෂේත්‍රවල මාර්ගෝපදේශයක මූලධර්මයක් පමණක් නොවී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හවුල් වගකීමක් විය යුතුය. සෑම දරුවෙකුටම දියුණු වීමට අවස්ථාව ඇති අනාගතයක් ගොඩනගා ගත හැක්කේ එවිටයි.
සටහන: එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් විසිනි