ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවැති අසූව දශකයේ අවසාන භාගයේදී සිද්ධවූ දේ සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලනඥයන් කරන ප්‍රකාශ හා සමාජ මාධ්‍ය සටහන් දෙස බලන වත්මන් තරුණ පරපුරේ ඕනෑම කෙනකු සිතනු ඇත්තේ ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා හා රණසිංහ ප්‍රේමදාස මහතා කිසිවකුගේ ජීවිතයට හානි නොපමුණුවා කැරැල්ලක් මර්දනය කොට ඇති බවය.
එම ප්‍රකාශ හා සටහන් අනුව පෙනෙන්නේ එකල ආරක්ෂක හමුදා හා එකල පැවැති විවිධ ආණ්ඩු පාක්ෂික සන්නද්ධ කල්ලි ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නමින් ඝාතනය කරද්දී නිහඬව බලා සිටි බවකි.
පසුගිය සතියේ රූපවාහිනි සංවාදයක දී ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල ජවිපෙට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වෙමින් තිබේ. එම සංවාදය හේවගේ මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි හා ඩී. වීරසිංහ යන මහත්වරුන් අතරත් වූ පෞද්ගලික දබරයක් බවට පත්විය. එහිදී ජවිපෙ 1988-89 කාලයේ දී තම පියා ඝාතනය කළ බවට වීරසිංහ මහතා කළ චෝදනාවකට පිළිතුරු දුන් හේවගේ මහතා ඒ කාලයේ ස්ත්‍රී දූෂකයන්, හරක් සොරුන්, මංකොල්ලකරුවන් ආදීන් ද මියගිය බව පැවසීය.
මෙය ජ.වි.පෙ. අඩු තරමින් සොරුන්, මංකොල්ලකරුවන් හෝ ඝාතනය කළ බවට එම පක්ෂයම පිළි ගැනීමකි. මේ නිසා දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ සොරුන්, මංකොල්ලකරුවන් ඝාතනය කරන්නට ජවිපෙට බලය දුන්නේ කවුරුන්ද? යනුවෙනි. එසේම මෙය මත්ද්‍රව්‍ය පතුරුවන්නන්ට වෙඩි තැබීම පාපයක් නොවන බවත් එවැන්නන්ට වෙඩි තැබීමට බිය නොවන ලෙසත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මෑතක දී පොලිසියට දුන් ප්‍රසිද්ධ උපදෙසට සමාන බව ද සමහරු කියති.
කෙසේ වෙතත් නීති විරෝධී ලෙස විරුද්ධවාදීන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ පක්ෂයක හෝ දෙකක ඒකාධිපති කටයුත්තක් නොවේ. එසේම එම පක්ෂය හෝ දෙක ඝාතන කරද්දී අනෙක් පක්ෂ අහිංසකයන් ලෙස බලා සිටි බවක් ද කිව නොහැකිය. එසේ පැවසීම කරුණු විකෘති කිරීමක් මෙන්ම ඉතිහාසය ද විකෘති කිරීමකි. ශ්‍රී ලංකාවේ උතුරේ වුවද දකුණේ වුවද කැරැලිකරුවන් වුවද දේශපාලන පක්ෂ වුවද බොහෝ පිරිසකගේ අත්වල ලේ තැවරී තිබේ. විශේෂයෙන්ම 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලෙ සිටම මෙය පොදු තත්වයකි.
ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලට සාධක ගණනාවක් බලපෑවේය. දේශීය වශයෙන් වමේ ප්‍රබල නායකයන් 1964 දී ප්‍රකට ඉල්ලීම් 21 සටන අත්හැර ඇමැතිධුර භාර ගැනීම බලපෑවේය. එසේම 1959 ජයග්‍රාහී කියුබානු සන්නද්ධ අරගලත් ලොව පුරා වාමාංශිකයන්ට ආස්වාදයක් ගෙන දුන්නේය. එහෙත් 1965 ලක්ෂ පහකට පමණ මරණය ගෙන දුන් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය මර්දනය කිරීම බොහෝ රටවල වාමාංශිකයන්ට බිය ගෙන දුන්නේය. ඒ අනුව 1965 දී ජවිපෙ උපත ලද්දේ රහසිගත සංවිධානයක් වශයෙනි.
එම රහසිගත භාවය එක්තරා ආකාරයකට රාජ්‍ය මර්දනයට කරන ආරාධනාවක් විය. ඒ අනුව 1970 දක්වා පැවැති එජාප ආණ්ඩුව මෙන්ම එම වසරේ බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවල ආණ්ඩුව1970 වනවිට ජවිපෙට එරෙහි මර්දනයක් ආරම්භ කර තිබිණි. කලින් සඳහන් කරන ලද ජාත්‍යන්තරයේ බලපෑම් හේතුවෙන් ජවිපෙ ද ඉතා ඉක්මනින් සන්නන්ධ ක්‍රියාමාර්ග වෙතට තල්ලු වී ගියේය.
1971 අප්‍රේල් 5 වැනිදා ආරම්භ වූ කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් සිය ගණනක් පොලිස් හා හමුදා භටයන් ද ප්‍රතිවිරුද්ධ දේශපාලන ක්‍රියාකාරීකයන් හා හමුදාවනට ඔත්තු සපයන්නන් බවට සැක කරනු ලැබූවන් වශයෙන් බොහෝ දෙනෙක් ජවිපෙ වෙතින් ඝාතනය වූහ. එසේම හමුදාව හා පොලීසිය වෙතින් ජවිපෙ ක්‍රියාකාරිකයන් පමණක් නොව එවැන්නන් බවට සැබෑ හා ව්‍යාජ පෙත්සම් මගින් චෝදනාවට ලක් වූ විශාල පිරිසක් පොලිසිය හා හමුදාව අතින් මරුමුවට පත්වූහ. ඒ පිළිබඳ සැබෑ සංඛ්‍යා ලේඛන නැති වුවද10,000ක පමණ එසේ ඝාතනයට ලක්වන්නට ඇතැයි අනුමාන කෙරේ. තවත් 20,000ක් පමණ සිරගත කරනු ලැබූහ.
මෙම සංඛ්‍යා ලේඛන මගින් එම ක්‍රියාවලියේ දක්නට ලැබුණු කෲරත්වය හෝ මිනිස් ඛේදාන්තය පැහැදිලි කෙරෙන්නේ නැත. අවිගත් දෙපාර්ශ්වයම කෲරත්වය පිළිබඳ තරගයක නිරත වී සිටිනු දක්නට ලැබිණි. ඇතැම් පුද්ගලයන් කපා කොටා මරා දැමීම පහර දී මරා දැමීම වැනි ඇතැම් කරුණු හැර ජවිපෙ වෙතින් කෙරුණු කෲරත්වය පිළිබඳ වාර්තා අඩුය.
කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය එම කැරැල්ලේ දී රාජ්‍ය කෲරත්වයේ සංකේතය විය. දසවැනි ශ්‍රේණියේ සිසුවියක් වූ මනම්පේරි තවත් සිසුවියන් ගණනාවක් සමග හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ දූෂණය කොට නිරුවතින් මහමඟ ඇවිද්දවා වෙඩි තබා මිය යන්නට පෙර වළලා දමනු ලැබූ බවට වාර්තා විය. කමලබන්දු නම් ජවිපෙ ක්‍රියාකාරිකයකු ප්‍රශ්න කිරීමේ දී යාන්ත්‍රික කියතකින් අත් පා කපා ඝාතනය කරනු ලැබූ බව ජවිපෙ නායකයෝ පසුව ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රකාශ කළහ.
එකල පැවැතියේ ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවකි. වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන්න ශ්‍රීලනිපයෙන් කැඩුණකි. පොදුජන පෙරමුණේ වැඩිහිටි පිරිස් සියලු දෙනාම පාහේ එදා සිටියේ ශ්‍රීලනිපයේය. ඉතිහාසයේ පළමුවතාවට ටයර් සෑයවල් දක්නට ලැබුණෙත් ගංගාවල මිනී පාවුයේත් ඒ කාලයේය.
සිය දෙවැනි කැරැල්ලේ දී කරන ලද ඝාතන සම්බන්ධයෙන් ජවිපෙ වගකිව යුතුය යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. එහෙත් එම කැරැල්ලට ජවිපෙ තල්ලු කළේ 1983 බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයයි. ඒ එම වසරේ දෙමළ ජනතාවට එරෙහි පහරදීම් (කළු ජූලිය) සම්බන්ධයෙන් ව්‍යාජ චෝදනාවක් කරමින් එම ආණ්ඩුව ජවිපෙ තහනම් කිරීම නිසාය.
ඒ කාලය වනවිට පළමු කැරැල්ල නිසා සිරගත වූ ජවිපෙ නායකයෝ සිර ගෙවල්වලින් නිදහස්ව පැමිණ මැතිවරණ දේශපාලනයේ නිරතව සිටියහ. එහෙයින් ජවිපෙ පාර්ලිමේන්තුවාදීන් බවට පත්වී සිටිතැයි එකල වාමාංශිකයෝ චෝදනා කළහ. ජවිපෙ තහනම් කරනු ලැබුවේ ඒ තත්වය යටතේය.
වසර තුනක් ඉක්ම ගිය තැන ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය යන නමින් යළි අවි අතට ගත්තේය. එය කොතරම් දුරට බුද්ධිමත් ක්‍රියාවක් ද යන්න පසු කාලීන සිදුවීම්වලින් පෙනී ගියේය. 1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දීය හමුදා මෙරටට පැමිණි විට ඊට එරෙහිව මෙරට තුළ ඇති වූ විරෝධය හේතුවෙන් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ ක්‍රියා මාර්ග ද උත්සන්න විය.
ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය ද ඉතා දරුණු විය. රට පුරා විශාල වශයෙන් පුද්ගලයන් පැහැරගෙන යෑම් සිදුවිය. එජාප ආණ්ඩුව විවේචනය කරමින් සිටි ඇතැම් වාමාංශික කණ්ඩායම්ද ‘‘ප්‍රා’’ හා ‘‘ස්‍රා’’ වැනි සන්නද්ධ කල්ලි ගොඩ නගා ජවිපෙට එරෙහි ක්‍රියාමාර්ගවල නිරත වූහ. එම කල්ලිවලට රජයෙන් අවි ආයුධ ලැබුණු බව කියවේ. එසේම ශ්‍රීලනිප ඇතුළු විපක්ෂයේ පක්ෂ ඇතුළු සෑම පක්ෂයකටම පාහේ ආණ්ඩුවෙන් ආයුධ සපයනු ලැබීය. ඒ කාලයේ දී ආයුධ ගත් මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් තවමත් එම ආයුධ රජයට භාර දී නැතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ දී පවසා තිබිණි.
ජනාධිපති ප්‍රේමදාස මහතාගේ කාලයේ දී ආරක්ෂක රාජ්‍ය ඇමතිව සිටි රන්ජන් විජේරත්න මහතා කළු බළල්ලු හා කහ බළල්ලු වශයෙන් සන්නද්ධ ඝාතන කල්ලි සිටින බව ඒ කාලයේ දී පවසා තිබිණි. එහෙත් එම කල්ලි ද රජය විසින් ගොඩනඟන ලද ඒවා බව කියවේ. මෙසේ එකල ආණ්ඩු පාක්ෂික හා ආණ්ඩු විරෝධී හමුදා, කල්ලි, කණ්ඩායම් අතර ඝාතන හා කෲරත්වය පිළිබඳ දැඩි තරගයක් විය.
එම කෲරත්වය පළමු කැරැල්ලේ දී දක්නට ලැබුණු කෲරත්වයට වඩා අතිශයින් දරුණු විය. මියගිය පුද්ගලයන් පිළිබඳ නිවැරැදි තොරතුරු වාර්තා නැති වුවද ජවිපෙ විසින් 6000ත් 7000ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කළ බව කියවෙන අතර 60,000 වැඩි පිරිසක් අතුරුදන් වූ බව ද කියවේ. ඒ 60,000 දෙනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ රජයේ හමුදා හා ඊට සම්බන්ධ කල්ලි කණ්ඩායම්වලටය. එම අතුරුදන් වීම් සම්බන්ධයෙන් ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන් කොමිෂන් සභා පහක් පත් කළ ද ඒවායින් වැරැදිකරුවන් හෙළිදරව් කිරීමක් සිදු නොවීය.
දෙවැනි කැරැල්ලේ දී ජවිපෙ කෲරත්වයේ සංකේතය නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල මහතාගේ පවුලේ වියපත් වූවන් හා ළමයින් ඇතුළු සියලු දෙනා ඝාතනය කිරීමයි. ආණ්ඩුවේ මර්දනයේ සංකේතය වූයේ නීතිඥ විජේදාස ලියනාරච්චි මහතා අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමයි. ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ සිරුරේ තුවාල සියයකට අධික සංඛ්‍යාවක් තිබුණු බව කියවේ.
මෙම කැරැල්ලේදී ද ටයර් සෑයවල් හා ගංගාවල මිනී පාවීම් හා මාර්ගයේ මළ සිරුරු විසුරුවා දැමීම් පිළිබඳ ජනමාධ්‍යවල වාර්තා පළවිය. බටලන්ද, එළියකන්ද වැනි වධ කඳවුරු ගැන ද බොහෝ දෑ මේ වනවිට දේශපාලන වේදිකාවල ප්‍රකාශ වී තිබේ. එවක ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා වත්මන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන අතර එකල එජාපයේ සිටි අයගෙන් බහුතරය අද සිටින්නේ සජබයේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙවර මැයි දින රැලියේ දී 88/89 ගැන කියමින් ජවිපෙට ඇනුම්පදයක් එල්ල කොට තිබිණි. එහෙත් රාජපක්ෂ මහතා ඒ කාලයේ දී ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව අරගල කළ අයෙකි. ඔහු 1990 සැප්තැම්බර් මාසයේදී ඒ පිළිබඳ ඡායාරූප හා ලිපි ලේඛන දහස් ගණනක් ජිනීවාහි එකල තිබූ එ.ජා.මානව හිමිකම් කොමිසම වෙත රැගෙන යද්දී ගුවන්තොටුපොළ බලධාරීන්ට ඊට එරෙහිවීමෙන් විශාල කලබලයක් ද ඇතිවිය.
අතීත ඝාතන වර්තමාන දේශපාලනය තීරණය කරන සාධකයක් නම් මේ රටේ දැනට ඉදිරියෙන් සිටින කිසිදු දේශපාලන පක්ෂයකට දේශපාලනය කිරීමට අයිතියක් නැතිවනු ඇත.
(*** එම්.එස්.එම්. අයුබ්)